පියුමක සිරි ගත්
සම්බුදු සිරිත
සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි,
බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ
ප්‍රධාන අධිකරණ සංඝනායක,
රත්මලාන ශ්‍රී රත්නාරාමය,
බොරලැස්ගමුවේ
සිරි සෝණුත්තර විහාරය යන
විහාරද්වයාධිපති
අධ්‍යාපනපති ශාස්ත්‍රපති
සූරියගොඩ සිරිධම්ම නා හිමි
“බුද්ධ” යනු අවබෝධයයි. සම්මා සම්බුද්ධ යනු ගුරු උපදේශ රහිතව තමාගේම
නුවණින් අවබෝධ කර ගත් උත්තමයාය. ආගමික ශාස්තෘවරුන් දේවත්වයෙන් සැලකීම
බැතිමතුන්ගේ සාමාන්‍ය සිරිත යි. ් බුදුරජාණන් වහන්සේ තමා දෙවියෙක්
කියාවත්, දෙවියකුගේ නියෝජිතයෙක් කියාවත් කිසිම තැනකදී ප්‍රකාශ කොට නැත.
සිදුහත් ගෞතමයන් වහන්සේගේ මව, පියා, බිරිය, පුතා මනුෂ්‍යයෝමය.
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේද සුද්ධෝදන මහාමායා මව්පිය දෙපළගෙන් හටගත්
මනුෂ්‍යයෙක්මය.
එහෙත් උන්වහන්සේගේ අතිවිශිෂ්ට රූප සම්පත්තිය නිසා සමහරු දෙවියෙක් යැයි
උන්වහන්සේට රැවටුණු අවස්ථා කීපයක්ම ත්‍රිපිටකයෙහි දක්නට ඇත. බුදු වන
දිනයේ කිරිපිඬු පූජා කළ සුජාතා සිටු දියණියද උන්වහන්සේ වෘක්ෂ දේවතාවා
යැයි සැලකුවාය. බුදුරජාණන් වහන්සේ තමා ගැන හඳුන්වා දෙන තැන්වලදී භාවිත
කර ඇත්තේ “තථාගත “ යන වචනයයි. පෙර බුදුවරු ගිය මඟ ගිය හෙයින්ද ආ මඟ ආ
හෙයින්ද තථාගත යැයි කියනු ලැබේ. ඒ සෑම බුදුවරයෝම මනුෂ්‍යයෝම
වෙති.බුදුරදුන් දවස ද්‍රෝණ නම් බ්‍රාහ්මණයෙක් උක්කට්ඨා නුවර සිට
සේතව්‍ය නගරය බලා ගමන් කළේය. කිසිවකුගේ පා සටහන් යන මාර්ගයෙහි පිහිටා
ඇති බව දක්නට ලැබුණි. එම පා සටහන් සාමාන්‍ය මිනිසකුගේ පා සටහන් නොවන බව
ඔහුට වැටහුණි. ඒ පා සටහන් ඔස්සේ ඉදිරියට යන විට ගසක් යට වැඩහුන්
බුදුරදුන් දුටුවේය. එහෙත් ද්‍රෝණ බමුණුතුමා මේ සිද්ධාර්ථ ගෞතම
බුදුරදුන් බව නො දනී.
බුදුරදුන් වෙත ගිය ද්‍රෝණ බමුණුතුමා සහ බුදුරදුන් අතර මෙසේ කතාබහක්
ඇතිවිය. “ඔබ වහන්සේ ,දෙවියෙක්ද? නැත බමුණුතුමනි. එසේ නම්
ගාන්ධර්වයෙක්ද? නැත බමුණුතුමනි, මම ගාන්ධර්වයෙක්ද නො වෙමි. යක්ෂයෙක්ද ?
නැත. මම යක්ෂයෙක්ද නොවෙමි. එසේ නම් මනුෂ්‍යයෙක් ද? ඒත් නැත.
බමුණුතුමනි, බුදුරදුන්ගේ පිළිතුරුවලින් ද්‍රෝණ බමුණුතුමා මහත් විමතියකට
පත්ව එසේ නම් ඔබ වහන්සේ කවරෙක්දැයි විමසීය. ද්‍රෝණ බමුණුතුමනි, දෙවියන්
තුළ, ගාන්ධර්වයන් තුළ, යක්ෂයන් තුළ, මනුෂ්‍යයන් තුළ පවතින කෙලෙස් මම
දුරු කළෙමි. මම වීතරාගි, වීතදෝෂී, වීතමෝහි කෙනෙක් වෙමි”
එසේ ප්‍රකාශ කළ උන්වහන්සේ උපමාවකින් කරුණු පැහැදිලි කරන සේක්,
බ්‍රාහ්මණතුමනි, උපුල් නෙළුම් සුදු නෙළුම් ආදි මල් වර්ග දියෙහි හටගෙන,
දියෙහි වැඩී දියෙන් උඩට පැමිණ , දියෙහි නො ගෑවී සිටින්නාක් මෙන් මමද
මනුෂ්‍ය ලෝකයෙහි ඉපිද ලෝකය ඉක්මවා සිටිමි. එනිසා බ්‍රාහ්මණය, මා බුද්ධ
නාම හැඳින ගන්න යැයි පැහැදිලි කළ සේක. බුදු සිරිතට මෙම උපමාව
සාකල්‍යයෙන්ම ගැළපෙන්නේය. පියුමක සිරියාව, පියුමක ලස්සන, පියුමක
ස්වභාවය බුදු සිරිතෙහි ද දකින්නට ඇත.
ධජග්ග සූත්‍රයේදී සක් දෙවිඳු තමාගේ සහචර දේවතාවුන්ට ප්‍රකාශ කරන්නේ
නුඹලාට භයක්, තැති ගැනීමක්, ලොමුදැහැගැනීමක් ඇති වූ විට මාගේ කොඩිය අග
දෙස බලන්න. නැති නම් ප්‍රජාපතී දෙවියන්ගේ කොඩිය අග දෙස බලන්න. එසේත්
නැති නම් වරණ දෙවියන්ගේ කොඩිය අග දෙස බලන්න , නැති නම් ඊසාන දෙවියන්ගේ
කොඩියේ අග දෙස බලන්න. බුදුරජාණන් වහන්සේ දෙසු සේක්. ඒ දෙවිවරුන්ගේ කොඩි
අග බැලුවත් භය තැති ගැනීම් ලොමුදැහැගැනීම් නැති වන්නටත් පිළිවන. නැති
නොවන්නටත් පිළිවන.
හේතුව? ශක්‍ර, ප්‍රජාපතී , වරුණ ඊසාන යන දෙවිවරුද භයට, තැතිගැනීම්වලට,
ලොමුදැහැගැනීම්වලට පත් වී පැන දුවන නිසාය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට
ඇත්තේ එබඳු අවස්ථාවක තමන් වහන්සේ සිහිපත් කරන්න. නැති නම් ධර්මය
සිහිපත් කරන්න. නැති නම් ආර්ය සංඝයා සිහිපත් කරන්න. එවිට තැති ගැනීම්,
ලොමුදැහැගැනීම් පහව යන බවයි. හේතුව? “ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ
වීතරාගෝ , වීතදෝසෝ , වීතමෝහෝ, අභීරු අවිඡමිභී අනුත්‍රාසි, අපලායී”
තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාගය, දෝසය ,මෝහය දුරු කළ
මහෝත්තමයෙකි. උන්වහන්සේ බියපත් නො වෙති. තැති ගැනීම ලොමුදැහැගැනීම ඇතිව
පැන නො දුවති. මෙයින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේට සමාජගත හෝ
පෞද්ගලික ඇලීමක් හෝ ගැටීමක් නැති බවයි. බියපත් වන්නේ ඇලීම් ගැටීම් ඇති
තන්හිදීය.
ලාභ, අලාභ, යස,අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන අටලෝ දහම්හි
කම්පාවක් බුදුරජාණන් වහන්සේට නැත. “පදුමං ව තෝයේව අලිම්පමානෝ” නෙළුම
වතුරෙ නො ගැටෙන්නාක් මෙන් උන්වහන්සේ අටලෝ දහම්හී නො සැලෙති. නො ගැටෙති.
“ඵුට්ඨස්ස ලෝක ධම්මේහී, චිත්තං යස්සන කම්පතී” අටලෝ දහම් හී කම්පාවක්
නැද්ද එය මංගල කරුණක් බව මංගල සූත්‍රයෙහි දක්වා ඇත. බුදු සසුනෙහි බුද්ධ
ශ්‍රාවකයන් සැට නමක් ඇති වූ විට එම ශ්‍රාවකයන් ධර්ම ප්‍රචාරයෙහි මෙහෙය
වූහ. ධර්ම ප්‍රචාරයෙහි යෙදීමට බුදුරදුන් ප්‍රමුඛ උන්වහන්සේලා ලැබූ
සුදුසුකම වශයෙන් දක්වා ඇත්තේ ලෝකය පිළිබඳ සියලු බැඳීම්වලින් නිදහස්
වීමයි. තමන් නොලැබූ දෙයක් ලබා ගන්නට යයි අනුන්ට අවවාද කිරීම
බුදුරදුන්ගේ සිරිත නොවේ. චුල්ලසච්චක සූත්‍රයෙහි එන මේ කරුණුවලින් ඒ බව
තවදුරටත් පැහැදිලි වේ.
“බුද්ධෝ සො භගවා බෝධාය ධම්මං දේසේති” සත්‍යාවබෝධය කරගත් භාග්‍යවතුන්
වහන්සේ අනුන්ටත් සත්‍යාවබෝධය කරවීම පිණිස දම් දෙසති. ”දන්තෝ සෝ භගවා
දමතාය ධම්මං දේසේති” දැමුණා වු ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන් දමනය කිරිම
පිණිස දම් දෙසති. “සන්තෝ සෝ භගවා සමතාය ධම්මං දේසේති” සංසිඳුණා වූ ඒ
භාග්‍යවතුන් වහන්සේ සංසිඳවීම පිණිස දම් දෙසති. තිණ්ණෝ සෝ භගවා තරණාය
ධම්මං දේසේති” තෙරපත් භාග්‍යවතුන් වහන්සේ තරණය කරවීම පිණිස දම් දෙසති.
පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති” ක්ලේශ පරිනිර්වාණයෙන්
පිරිනිවියා වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවීම පිණිස දම් දෙසති.
අවබෝධය – දැමුණූ බව ශාන්ත බව , සසර කතරින් එතෙරවීම, නිවන ලබා ගැනීම
බුදුරදුන්ගෙන් පැවිද්දන් ලද ශික්ෂණයයි. එය ධර්ම ප්‍රචාරයෙහි යෙදීමට
ලැබූ යෝග්‍යතාවය යි. බුදු සමය කරුණා ශාසනයෙකි. බුද්ධ ශ්‍රාවකයන්
වහන්සේලා එම කරුණාවෙන් ලෝකාර්ථ චර්යාව පිණිස මෙහෙයවති. බුදුරජාණන්
වහන්සේ ද ලෝකාර්ථ චරියාවෙහි යෙදුණාහ. ඒ නිසා උන්වහන්සේට මුහුණපාන්නට
සිදු වූ කරදර කම්කටලු එමටය. ”පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡේ “පයින්වත්
ස්පර්ශ කරන්නට නො කැමැත්තෙමි” යි රූපයට අවමන් කළ නිසා වෛර බැඳගත්
මාගන්ධිය මාගම සොළි පෑ චිංචි මානවිකාව –දෙව්දත් තෙර වැනි අය
උන්වහන්සේගේ උපේක්ෂාවට ලක් වූහ. ආක්‍රෝෂ පරිභව කළෝ ද දානය වැළැක්වූවෝ ද
පැන් නො දිමට ළිං වැසුවෝද උන්වහන්සේගේ අනුකම්පාවට ලක්වූහ. බුදු සිරිතේ
මෙම නො ගැටෙන අසහාය ගුණ ධර්මය කැපී පෙනුණි. බුද්ධත්වය ලැබ පස්වන සතිය
ගත කරද්දී පැමිණ තණ්හා , රතී, රඟා මාර දූවරුන් ගේ භාව භාව ලීලාවන්ට
උන්වහන්සේගේ නිකෙලෙස් සිතට ඇලීමක් ඇති කරවිය නො හැකි විය. එසේම “වධකේ
දේවදත්තම්හි චෝරේ අංගුලිමාලකේ – ධනපාලේ රාහුලේ චේව සබ්බත්ථ සම්මානසෝ”
තමා වධයට පැමිණි දෙව්දත් තෙරුන්ටත් –අඟුල්මල් සොරුටත්, ධනපාල හස්ති
රාජයාටත්, තාමගේ ඖරස පුත්‍ර රාහුල කුමරුවාටත් උන්වහන්සේ සම මෙත ම පෑහ.
මේ කිසිවක් කෙරෙහිවත් ඇලීමක් හෝ ගැටීමක් නො වීය. ඒ බුදුරජාණන් වහන්සේගේ
පද්මාකාර ජීවිතයේ ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ කිසි දිනෙක කිසිවකුට
“එන්න, මේ ධර්මය පිළිගන්න” යැයි නො වදාළහ. “ඒහි පස්සික “ එන්න බලන්න
යන්න ධර්මයෙහි ඇති ගුණයෙකි.
උපාලි ගෘහපතිතුමා නිගණ්ඨනාථපුත්‍ර ශාස්තෘවරයාගේ ප්‍රධාන දායක මහතා විය.
ඔහු මහා ;ඤාණවන්තයෙක් නිසා අනෙක් අය බළකද්දීත් බුදුරදුන් සමඟ වාදයට
එව්වේත් නාථ පුත්‍ර ශාස්තෘවරයාමය. වාදය වූයේ කාය දණ්ඩද? මනෝ දණ්ඩද?
ප්‍රධාන යන තේමාව යටතෙහිය. බුදු දහමෙහි දණ්ඩ යන වචනය වෙනුවට භාවිත
කරනුයේ කර්ම යන වචනයයි. වාදයෙන් පසු උපාලි ගෘහපතියා තම මතය අතහැර මනෝ
කර්මය ප්‍රධාන යයි පිළිගෙන තෙරුවන් සරණ යාමට සූදානම් විය. එවිට
බුදුරජාණන් වහන්සේ වදාරන සේක් “අනුවිච්චකාරං ඛෝ ගහපති කරෝහි,
අනුවිච්චකාරං තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධූ හෝතියී ගෘහපතිතුමනි, සිතා
බලා කටයුතු කරන්න. එසේ කටයුතු කිරීම ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ට
සුදුසුය යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ උපාලි වැනි මහා දානපතියෙක්
වුවද තමන්ගේ දායකයෙක් බවට පත් කරගැනීමට උන්වහන්සේට ආශාවක් නො තිබුණ
බවයි. බුදුරජාණන් වහන්සේ තමන් පිළිබඳව සමහර අවස්ථාවන්හිදී දේශනා කොට
ඇත. සුත්ත නිපාතයේ සේල සූත්‍රයෙහි එන මෙම ගාථාව එබන්දකි.
“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවෙතබ්බං ව භාවිතං
පහාතබ්බං පහීණං මේ
තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ”
මා විසින් දැනගතග යුතු දේ සියල්ල දැන ගතිමි. වැඩිය යුතු දේ වඩන ලදී.
දුරු කළ යුතු දේ දුරු කරන ලදී. එහෙයින් බ්‍රාහ්මණය. මම බුද්ධ වෙමි.උපක
ආජීවකයාණන්ට තමන් වහන්සේ “ජින” නාමයෙන් හඳුන්වා දී ඇත.
මෙම සෑම කරුණකින්ම පැහැදිලි වනුයේ උන්වහන්සේ මිනිස් සමාජයේ
සාමාජිකයෙක්ව උපත ලබා අවබෝධය, භාවිතය හා අතහැරීම තුළින්ම එම මිනිස්
සමාජයේ සාමාජිකත්වය ඉක්මවූ පද්මාකාර ජීවිතයක් ගත කළ බවයි. |