Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 8

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 8

දඹදිව බුද්ධභූමි වන්දනාවේ අනාදිමත් කාලයක සිට නිරත වන අපි එම බුද්ධභූමි වන්දනාවේදි බෝසත් සිරිතට සහ අසිරිමත් බුදු සිරිතට සම්බන්ධ බොහෝ ස්ථාන සියැසින් දැක බලා වන්දනා කරන්නෙමු. එසේ එම වන්දනාවේ යෙදුණු සහ දැනටද වන්දනාවේ යෙදෙන පිරිස් අප්‍රමාණය. දඹදිව බුද්ධ වන්දනාවේ යෙදිය හැකිනම් ජීවිතයේ එය සැබවින්ම අනුස්මරණීය වන්දනාවක්ම වනු ඇත. ඒ වාසනාව, භාග්‍යය උදාකර ගැනීමට ශක්තිය ලැබේවායිද පතමු.

දඹදිව බුද්ධභූමි වන්දනා ලිපි මාලාවේ අටවන ලිපියයි මේ. වප් පුර අටවක (2014.10.01) පත්‍රයේදී සත් සතියෙහි පස්වන සතිය දක්වා වන්දනා කළෙමු. සත් සතියෙන් හය වැනි සතියේ සිට වන්දනාව අරඹමු.

හයවන සතිය (මුචලින්ද නාගදරණය)

බුදුරජාණන් වහන්සේ මිදෙල්ල රුක මුලට වැඩම කොට සමවතින් එහි වැඩහුන් සේක. මේ කාලය තුළ තද වැසි සහිත මහා සුළඟක් ඇතිවූයෙන් අසල සිටි මහා නාග රාජයෙක් පැමිණ බුදුරදුන් වැස්සෙන් බේරා ගැනීමට කටයුතු කළේය. අවසානයේදී නාගරාජයා බුදුරදුන් ඉදිරියට විත් නමස්කාර කළේය.

මුචලින්ද ගම නමින් තවමත් බුද්ධගයාවේ ග්‍රාමයක් ඇත. එහි විල දැනට දකින්නට ලැබේ. ඒ බව සිහිපත් කර එය සටහන් කර ජය ශ්‍රී මහා බෝධියට වම්පසින් දැනට මුචලින්ද නාග දරණයේ බුදුරදුන් වැඩ වසන ආකාරයේ මූර්තියක් දැකිය හැකිය.

හත්වන සතිය (රාජායතනය)

බුදුරජාණන් වහන්සේ රාජායතනය නම් වූ කිරිපලු රුකමුල වැඩ හිඳිමින් සමවත් සුවයෙන් සතියක්ම ගතකළ සේක. සත්සතිය අවසන බුදුරජාණන් වහන්සේ සමවතින් නඟී හුන් සේක.

මේ කාලපරිච්ඡේයේදී උත්තර ජනපදයෙන් වෙළෙඳාමෙහි යන තපස්සු භල්ලුක යන වෙළෙඳ දෙබෑයන් ඒ අසලින් ව්‍යාපාර සඳහා යමින් සිටියහ. රාජායතනය මුල වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ විළඳ සහ මී පැණි වැළඳීමට පිදූහ. මේවා කිමෙකින් පිළිගනිම්දැයි උන්වහන්සේට සිතක් විය එකෙනෙහි වරම් රජහු සතරක් ගල් පාත්‍ර උන්වහන්සේට පිළිගැන්වූහ. උන්වහන්සේ ඒවා අධිෂ්ඨාන බලයෙන් එක්කොට එම වෙළෙඳුන්ගේ පූජාව පිළිගෙන වැළඳුවේය. බුදු හිමියන් දැක පැහැදුන මේ දෙදෙනා බුදුන්, දහම්, සරණ ගියහ. බුදු සසුනේ ප්‍රථම ද්වේවාචික උපාසකයන් වූයේ තපස්සු භල්ලුක වෙළෙඳ සොහොයුරන් දෙපළය. තමන් යන ගමනේදී පුද පූජා කිරීමට යමක් ඉල්ලූ විට බුදුරදුන් හිස පිරිමැද කෙශ ධාතු මිටක් දුන් සේක. මේ කේශ ධාතු රැගෙන ගොස් එම වෙළෙඳුන් දෙදෙනා තම ජාත භූමියේ චෛත්‍යයක් කරවූහ. මහා විහාර ආසන්නයේම රාජායතනය කිරිපලු නුගරුක තිබුණූ බවට සලකනු ලැබේ.

බුද්ධගයාව හා ශ්‍රී ලංකාව අතර සබැඳියාව

බුද්ධගයාව හා ශ්‍රී ලංකාව අතර සබැඳියාවේ ආරම්භය සිදුවූයේ අශෝක අධිරාජයා ධර්මාශෝක ලෙස බුදුදහම වැළැඳ ගැනීමෙන් පසුව රටවල් නවයක් පුරා ධර්ම ප්‍රචාර කටයුතු ඇරඹීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව සිදුවූ මහින්දාගමනයද ලක්දිව භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා මෙහි වැඩම කළ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේද අප රටට තිළිණ වශයෙන් ප්‍රදානය කළ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේද පමණක් නොව සංස්කෘතික සබඳතා ද දෙරට අතර සබඳතාවෙහි ප්‍රධාන නිර්ණායකයන් වූහ.

ගුප්ත අධිරාජ්‍යයේ සමුද්‍රගුප්ත අධිරාජයාගේ සමයේ (ක්‍රි.ව. 347-388) ශ්‍රී ලංකාවේ මේඝවර්ණ රජතුමාගේ මෙහෙයවීමෙන් බුද්ධගයාවේ විශාල සංඝාවාසයක් තනන ලද බව සඳහන් වේ.

7 වන ශත වර්ෂයට අයත් හියුං සාං වාර්තා අනුව මෙම ආරාමයේ ථෙරවාදී භික්ෂූන් දහසක් පමණ වැඩ විසූ බවත් ඔවුන් මනාව ධර්ම විනය පිළිපැදි බවත් සඳහන් වේ. ආක්‍රමණ වලින් පසුවත් 13 වන ශත වර්ෂය ආරම්භය දක්වාම මෙම ආරාමයේ ශ්‍රී ලාංකික භික්ෂූන් බුද්ධගයාව ආරක්ෂා කරමින් එහි රැඳී සිටි බව ක්‍රි.ව. 1234 දී බුද්ධගයාවට පැමිණි ටිබෙට් ජාතික ධර්ම ස්වාමීන් වහන්සේ සඳහන් කර ඇත.

බුදු දහම දඹදිවෙන් තුරන්වීමේ ආරම්භය

බුදුදහම දඹදිවෙන් තුරන්වීමේ ආරම්භය ප්‍රථමයෙන් සනිටුහන් වන්නේ ක්‍රි.ව. 1034 දී පමණ උතුරු ඉන්දියාව ආක්‍රමණය කර බරණැස ද කොල්ලකෑමත් සමඟය. ඉන් අනතුරුව බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණෙන තුරුම ගෝත්‍රික ආක්‍රමණිකයන්ගේ ක්‍රියාකලාප තුළින් දඹදිව වැඩි කොටසක් ඔවුන් අතට පත්විය.

ආක්‍රමණ සමඟ බෞද්ධ රාජ වංශිකයන් අතරින් මහීපාල රජතුමාගේ කාලය දක්වා බෞද්ධයන්ට විශාල අනුග්‍රහයක් ලැබුණු අතර පසුව රජ පැමිණි රජවරුන් දුර්වල පාලකයන් වූ බැවින් බුදුදහමේ උන්නතිය සඳහා බලාපොරොත්තු වූ සහයෝගය නොලැබුණි.

ඉන් අනතුරුව රජ පැමිණි සේන වංශික රජවරුන් සතර දෙනෙකුගේ කාල සීමාව තුළදී බුද්ධගයාව නැවත ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය ලෙස පැවතී ඇත.

ක්‍රි.ව. 1234 දී ටිබෙට් ජාතික ධර්ම ස්වාමින් වහන්සේ බුද්ධගයාවට වැඩමවන විට භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් ආක්‍රමණවලට බියෙන් බුද්ධගයාව අතහැර දමා ගොස් තිබිණි. භික්ෂූන් සිවු නමක් පමණක් රැඳී සිටි අතර ඔවුන් මහාබෝධි විහාරයේ පිළිමය පිටුපස දොරටුව ගඩොලින් බැඳ වසා දැමීමට කටයුතු කර ඇත.

ආක්‍රමණිකයන් බුද්ධගයාව ප්‍රදේශයට ළඟා වන විට ධර්ම ස්වාමින් වහන්සේට සහ රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සතර නමටද බුද්ධගයාව අතහැර යාමට සිදුවී ඇත. ආක්‍රමණිකයන්ට බුද්ධගයාව හඳුනා ගත නොහැකිව ඈතට ගොස් ඇති බව දින කීපයකින් දැන ගැනීමට ලැබුණු පසු එම භික්ෂූන් වහන්සේලා සතර නම නැවත බුද්ධගයාවට පැමිණ ඇත.

බෞද්ධයන් විසින් අතහැර දමා තිබූ බුද්ධගයා පූජා භූමිය 13 වන සහ 19 වන ශත වර්ෂ අතරතුර කාලයේදී වරින්වර පිළිසකර කිරීමට බුරුම බෞද්ධයන් ඉදිරිපත් වී අත.

16 වන ශත වර්ෂය අග භාගය වන විට බුද්ධගයා පූජා භූමිය හින්දු බැතිමතුන්ගේ වන්දනා ස්ථානයක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වන්නට විය. ඉන් අනතුරුව බුද්ධගයාවේ භාරකාරත්වය ශිව භක්තිකයන්ගේ ප්‍රධානියා ලෙස සැලකූ මහන්තා වෙත පැවරීමට කටයුතු කර ඇත.

18 වන සියවසේ මුල් භාගය වන විට මහාබෝධි විහාරයේ ඉදිරිපස කොටස සහ පැති මහල් ගරා වැටී අවට ප්‍රදේශය රොන් මඩ සහ කැඩුණු ගඩොල් ආදියෙන් වැසී පැවතී ඇත.

බුද්ධගයා පුනරුදය

ක්‍රි.ව. 1819-1837 කාල සීමාව තුළ බුරුමය පාලනය කළ බග්යිදෝ රජතුමා විශාල පිරිවැයක් යොදා බුද්ධගයාව බෞද්ධ පුදබිමක් ලෙස නැවැත සංවර්ධනය කිරීමට උත්සාහ ගත්තද, නොයෙකුත් බාධක නිසා එම ප්‍රයත්නය අසාර්ථක වී ඇත.

ක්‍රි.ව. 18 වන සියවස මුල් භාගයේදී බ්‍රිතාන්‍ය රජය මහාබෝධි විහාරය සහ පූජා භුමිය අලුත්වැඩියා කිරීම සඳහා ඉදිරිපත් විය. ඒ අනුව 1811 දී බුවනන් හැමිල්ටන් විසින් මෙම පරිහානිය මුල්වරට දැක තිබුණි. ක්‍රි.ව. 1861 දී එහි පැමිණි ජෙනරාල් කනින්හැම් යම් ප්‍රමාණයකින් ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකළ අතර ක්‍රි.ව. 1875 දී බුරුමයේ දී මිණ්ඩන්මින් රජු භාරත රජයේ අවසරය මත මහාබෝධි විහාරයේ ප්‍රතිසංස්කරණ ඇරඹූහ.

පසුව කනින්හැම් සහ රාජේන්ද්‍රලාල්මිත්‍ර දෙදෙනාගේ අධීක්ෂණය මත ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළේ ක්‍රි.ව. 1880 දී ජේ.ඩී. බෙග්ලර් විසිනි.

මේ අතරතුර බුද්ධගයාව බෞද්ධ පුදබිමක් ලෙස එහි භාරකාරත්වය සහ නඩත්තු කටයුතු බෞද්ධයන් වෙත පවරා ගැනීමේ අවශ්‍යතාවය ආසියානු බෞද්ධයින් විසින් අවබෝධ කරගෙන තිබුණි.

ක්‍රි.ව. 1891 දී ඉන්දීය මහාබෝධි සමාගම පිහිටුවමින් මේ සඳහා නායකත්වය ලබා දුන්නේ ශී‍්‍ර ලංකාවේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාය. එතුමාගේ කටයුතු වලදී බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමා ක්‍රියාකාරි දායකත්වයක් ලබාදී ඇත.

බුද්ධගයාවේ’ බෞද්ධ අයිතිය නැවත ලබා ගැනීම සඳහා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, එවකට භාරකරුව සිටි හින්දු භක්තික මහන්තා සමඟ දීර්ඝ නීතිමය සටනකට අවතීර්ණ විය. එම කාලය තුළ නොයෙකුත් ශාරීරික වධ හිංසා මෙන්ම බන්ධනාගාර ගත වීම් වලටද එතුමන් ලක්වී ඇත.

පසුව නොබෙල් ත්‍යාග ලාභී බෙංගාලි ජාතික මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් තුමා මේ පිළිබඳව තව දුරටත් කටයුතු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ධර්මපාලතුමා වෙත ලබාදුන්හ.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූ ස්ථානයේ ගොඩනගන ලද විහාරය අන්‍යාගමික කණ්ඩායමක් යටතේ පැවතීම වරදක් බවත් එම ඓතිහාසික පූජා භූමිය ජීවමාන දහමක් ලෙස තවදුරටත් බුද්ධාගම ගෞරවයෙන් අදහන බෞද්ධයින් වෙත පවරාදීම නිදහස හා සාධාරණය අගය කරන සියලු පුද්ගලයන්ගේ පරම යුතුකමක් බවත් එතුමාගේ ස්ථාවරය වූහ. පසුව ඉන්දීය නිදහස් සටන මෙහෙය වූ මහත්මා ගාන්ධි තුමාද මහාබෝධි විහාරයේ අයිතිය බෞද්ධයින් වෙත පැවරිය යුතුය යන අදහස පිළිගත්හ.

ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු ක්‍රි.ව. 1949 දී බිහාර් ප්‍රාන්ත මන්ත්‍රණ සභාව විසින් බුද්ධගයා විහාර පනත සම්මත කර, බුද්ධගයා පූජාභූමිය පවත්වා ගෙන යාමේ වගකීම අලුතෙන් පිහිටුවන ලද “බුද්ධගයා විහාර පාලන කමිටුව“ වෙත පවරන ලදී. මෙම පනත මගින් බුද්ධගයාව බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙස පිළිගත් අතර බෞද්ධ හා හින්දු දෙපාර්ශ්වයටම වන්දනා කිරීමේ අයිතිය පැවරිණි.පාලක කමිටුවේ සාමාජිකත්වය බෞද්ධ සහ හින්දු යන දෙපාර්ශ්වයන්ගෙන්ම සමන්විත විය. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2500 ක් සපිරුණු ශී‍්‍ර සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා ක්‍රි.ව. 1956 දී ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ශ්‍රී නේරු තුමාගේ මූලිකත්වයෙන් බුද්ධගයාවද ඇතුළු දඹදිව සියලුම බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීම සඳහා පියවර ගැනිණ. අනතුරුව බුද්ධගයාව අන්තර් ජාතික පූජා භූමියක් ලෙස සංවර්ධනය වීම ආරම්භ වූ අතර මේ වන විට සියලුම බෞද්ධ රටවල නියෝජනයක් ලෙස විහාරාරාම ගොඩනැගී ඇත. මේ විහාරස්ථාන අතුරින් මුලින්ම ගොඩනැඟුනේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් පිහිටුවන ලද ඉන්දීය මහාබෝධි සමාගම් සංකීර්ණය සහ ටිබෙට් පන්සලය.

2550 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඉන්දීය මහාබෝධි සමාගම් ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටස නව විහාර මන්දිරයක් ලෙසට වැඩි දියුණු කර ජය ශී‍්‍ර මහාබෝධි විහාරය නමින් විවෘත කරන ලදී.

බුද්ධගයාවට සමීප වැදගත් ස්ථාන

බුද්ධගයාව සිට නේරංජනා ගඟෙන් එගොඩ වී සේනානි ගමට පිවිසුන විට ප්‍රථමයෙන් සුජාතා සිටු මාලිගය පිහිටි ස්ථානය හමුවේ. එහි දැනට ගුප්ත යුගයට අයත් චෛත්‍යයක් සොයා ගනු ලැබ ප්‍රතිසංස්කරණය කර ඇත.

එම ස්ථානයෙන් ඔබ්බට නියරවල් දිගේ කෙටි දුරක් ගියවිට සුජාතා සිටුදේවිය කිරිපිඩු පිළිගැන්වූ ස්ථානය හමුවේ. අද එම ස්ථානයේ දඹදිවෙන් බෞද්ධාගම තුරන්වීමෙන් අනතුරුව හින්දු ආගමික ශාස්තෘවරයෙකු වූ සංඛරාචාර්ය විසින් ඉදිකළ හින්දු කෝවිලක් හමුවේ. මෙම කෝවිල ඇතුළේ ඇති පාෂාණ පා සටහන කිරිපිඩු පූජා කළ මුල් ස්ථානය ලෙසටද විශ්වාසයක් පවතී.

එම කෝවිලටම සම්බන්ධ අළුතින් තනා ඇති කුඩා විහාර දෙකක් ඇති අතර ඉන් එකක් තනා ඇත්තේ බුරුම බෞද්ධයින් විසිනි. කිරිපිඩු දානය පිළිගැන්වීමේ අවස්ථාව සංකේතවත් වන අයරින් අලුතෙන් ප්‍රතිමා ඉදිකර ඇත.

නියර දිගේ ගමන් කිරීමේදී බෝධි සත්ත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ ප්‍රාග් බෝධී නොහොත් දුර්ගෙශ්වරි කන්ද ද මැනවින් දිස්වේ. එම කඳු මුදුනේ ටිබෙට් ජාතික ලාමාවරයෙකු වැඩ සිටින විහාරස්ථානයක් ඇත. එම විහාරස්ථානය තුළ ඇති ගුහා කුටි දෙකක දුෂ්කර ක්‍රියාව පිළිබිඹු වන සෙල් පිළිම දකින්නට ඇත.කිරිපිඬු පූජා කළ ස්ථානයේ සිට ආපසු හැරී නැවත නියර දිගේ පැමිණ ස්නානි ගම මැදින් නේරංජනා නදී තීරයට පිවිසි විට සොත්ථිය බමුණා කුස තණ පූජා කිරීම සංකේතවත් කිරීමට තැනූ කුඩා විහාරයක් දැකිය හැකිය. මෙම ස්ථානයේ සිට ගඟට උඩින් කෙළින්ම බැලු විට බුද්ධගයා මහා බෝධි විහාරය දිස්වේ.

බුද්ධගයාව සම්බන්ධ වෙනත් කරුණු

බුද්ධගයාවේ සිට බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන පැට්නා වෙත දුර කිලෝ මීටර් 115 කි. සමීප නගරය වන ගයාවට කි.මී. 16 කි. රජගහනුවරට කි.මී. 80 කි.

බුද්ධගයාවේ කලින් පැවති අභ්‍යන්තර සේවා ගුවන් තොටුපළ දැන් අන්තර් ජාතික ගුවන් තොටුපළක් ලෙස වැඩි දියුණු කර ඇත. කොළඹ සිට බුද්ධගයාව දක්වා සතියට දෙවරක් මිහින් ලංකා ගුවන් සේවයද බැංකොක් දක්වා නිරන්තරයෙන් ගුවන් සේවාද පවත්වා ගෙන යයි.

ගයා දුම්රිය ස්ථානය බිහාර් ප්‍රාන්තය හරහා දිවෙන ශීඝ්‍රගාමී දුම්රිය නවත්වන ප්‍රධාන දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය සේවාවලින් ප්‍රධාන වන්නේ කල්කටාවේ හව්රා දුම්රිය ස්ථානයේ සිට සහ ඔරිස්සාවේ බුවනේෂ්වර් සිට දිල්ලිය දක්වා ගමන් කරන ශීඝ්‍රගාමී රාජධානි දුම්රියන්ය. මේ හැර දිල්ලිය හා ගයාව අතර දිනපතාම මහාබෝධි ශීඝ්‍රගාමී දුම්රිය ක්‍රියාත්මක වේ.

සැම සිත් කඳුලින් තෙමී ගිය කුසිනාරා පුදබිම

“හන්ද’ දානි භික්ඛවෙ ආමන්තයාමි වො
වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ
න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති
ඉතො තින්වං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සති”

“මහණෙනි, දැන් ඔබ අමතමි,
සියලු සංස්කාරයෝ නැසෙන සුලුය.
එළඹ සිටි සිහි ඇතිව නොපමාව ක්‍රියා කරන්න .
තව නොබෝ දිනකින් තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වන්නේය”

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළයි.බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහලවීම ඉතා දුර්ලභ කාරණයකි. එසේ උත්පත්තිය ලබා ලොවට උත්තම සේවාවක් කරන බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය තුළ තුන් ලෝ වාසී සියලු ජනතාව උන්වහන්සේගේ පරිනිර්වානයෙන් අප්‍රමාණ දුකට පත්වෙයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් පරිනිර්වාණ අවස්ථා හතරක් උන්වහන්සේගේ චරිත කතාවෙන් ප්‍රකට වේ. එනම්

1 ක්ලේශ පරිනිර්වාණය
2. ආයු සංස්කරණ පරිනිර්වාණය
3. ස්කන්ධ පරිනිර්වාණය
4. ධාතු පරිනිර්වාණය

තවත් කොටසක් වප් අවඅටවක පොහෝදා ඔක්තෝබර් 15 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 7