Print this Article


ප්‍රශ්නය
සත්වයාගේ පැවැත්මට ප්‍රධාන සාධකය වන්නේ ආහාරයයි. ජීවි අජීවි සියල්ල ආහාරය මත පවතී. ජීවය පමණක් නොව අජීවි වස්තුවක පැවැත්ම සිදුවන්නේද හේතු ප්‍රත්‍ය ආශ්‍රය කොට ගෙනයි. මේ නිසා පැවැත්මේ ප්‍රධාන සාධකය වන ආහාරය පිළිබඳ දත යුතුය. බුදුරජාණන් වහන්සේ “ඒක නාම කිං” ලොව සත්වයා පිළිබඳ ප්‍රධාන කාරණය කුමක්ද යන්නට සෝපාක සාමණේරයන් වහන්සේ “ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වන නිසා ආහාරය පළමු කාරණය බව බෞද්ධ මතයයි. මේ මතය තවදුරටත් දේශනා මඟින් පැහැදිලි කරන්න.

පිළිතුර
ජීවියෙකුගේ පැවැත්ම ලෙස සලකනු ලබන්නේ “අපවෘතිය සහ සංවෘතිය නම් වු සමාන්තර ක්‍රියාවලියයි. එනම් සංවෘතිය යනු ආහාරපාන ගැනීම හා ආශ්වාස කිරීමයි “අපවෘතිය” යනු බුදිනු ලබන ලද ආහාර දිරවා අනවශ්‍ය දෑ පිටකිරීමයි. සත්වයාගේ මරණයට යනු සංවෘතිය අපවෘතිය නම් වූ මෙම ක්‍රියාවලිය නතරවීමයි. මිනිසාගේ පැවැත්මට අවශ්‍ය ඉන්ධන ලෙස සැලකෙන ආහාර මඟින් මිනිසාගේ සතිය සමාධිය ප්‍රඥාව අවධානය ආදි අධ්‍යාත්මික ක්‍රියාවලිය සඳහා ද ආහාරය අනිවාර්ය අවශ්‍යතාවක බව“කොරියානු ජාතික “හයිඕන් සුන්” විද්වතා ආහාර පිළිබඳ බෞද්ධ අදහස හා පෝෂ්‍ය පදාර්ථය පිළිබඳ නව දැක්ම” මැයෙන් බෞද්ධ මතය පැහැදිලි කරයි.

ආහාරයෙන් ආයු – වර්ණ , සැප, බල, ප්‍රඥා ලැබෙන බව බුදුහු වදාළහ. ආහාරයෙහි පෝෂ්‍ය පදාර්ථ මිනිසාගේ ආධ්‍යාත්මික ගුණ කෙරෙහි බලපාන අයුරු බෞද්ධ මතයයි. සය අවුරුද්දක් ප්‍රමාණවත් ආහාරයක් නොගත් සිදුහත් තවුසාණන්ට සමාධියත් ප්‍රඥාවත් වඩා නිර්වාණාවබෝධය ලැබීමට හැකිවුයේ සුජාතා සිටුදුව විසින් පිරිනැමු අතිශය පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් ක්ෂීර පායාසීය වැළඳීමෙන් පසුව බව ප්‍රකට කරුණකි. තවද “ධම්ම පදට්ඨ” කථාවේ මාතිකමාතා කථා වස්තුව මඟින් ආහාරයේ පෝෂ්‍ය ගුණය චිත්ත සමාධිය සඳහාත් නිර්වාණවබෝධය සඳහාත් අනිවාර්ය අවශ්‍යතාවයක් බව සනාථ කරයි.

බුදු දහමට අනුව ආහාරය සිව්වැදෑරුම් බව දැක්වේ.

කබලිංකාර ආහාර
ස්පර්ශ ආහාර
මමෝ සංචෙතනික ආහාර
විඤ්ඤාණ ආහාර

ප්‍රශ්නය
කේන්ද්‍රිය බෞද්ධ සාරධර්ම ලෙස සැලකිය යුතු සිව්බඹ විහරණය වු කලී. මානව හිතවාදී බවද ඉක්මවා ගිය ජීව හිතවාදී හ අව්‍යාජ සංවේදී බවකින්ද යුතු ප්‍රබුද්ධ විකසිත සමාජයක් බිහි කරලීමට උපකාරි වන බෞද්ධ ඉගැන්වීමකි. අගැයීමක් කරන්න.

පිළිතුර
බුදු සමයෙහි එන කේන්ද්‍රිය සද්ගුණ සතර නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන්නය. මෙත්තාව යන්න අනේකාකාරවූ සකලවිධ ජීවින්ගේ සුවසෙත ඉත සිතින් පතන්නෙකු ,දුක්ඛය කැමැති නොවන්නෙකු බිහිකිීරීම සඳහාය. ද්වෙෂයෙන් තොර චරිතයක් ගොඩ නැංවීම පිණිසය. කරුණාව දුකට පත්වූවන් කෙරේ සැබෑ අනුකම්පාව ඇත. එයින් කම්පාවන හදවත් ඇති මිනිසෙකු ගොඩනැගීම අපේක්ෂා කරයි. මුදිතාව අන්‍යයන් කෙරේ ඊර්ෂ්‍යාවෙන් තොරවූ ඔවුන්ගේ දියුණුව සැපත දැක සතුටුවන සිත් ඇත්තෙකු බිහි කරයි. උපේක්ෂාව ලෝකයේ විවිධාකාර සිතුම් පැතුම් හා අදහස් උදහස් දැක එකී විෂමත්වය තුළින් මැදිහත් ව සිතන්නෙකු ඇති කරලීමට අපේක්ෂා කරයි. බුදුන් වදාළ සියලු යහගුණයන් කේන්ද්‍රය වන්නේ මෙකී සිව් බඹ විහරණයකන්ය.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍යදායක පිරිස අතරෙන් කීර්තිමත් දායක දායිකා දෙපළකි. දෙපළගේ නම කුමක්ද?

පිළිතුර
අනේපිඬු සිටුතුමා සහ විශාඛා මහෝපාසිකාව

ප්‍රශ්නය
කෝ සිතැතියන් මෙත්දහමින් දිනිය යුතු
කුපුරිස් දනන් සත් දහමින් දිනිය යුතු
මසුරු දනන් දන්දීමෙන් දිනිය යුතු
බොරුව සබවසින් නිබඳව දිනි යුතු
අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදිරිං දානෙන
සච්චේන අලික වාදිනන්ති

මේ බුද්ධ දේශනාව බුදුන් වහන්සේ කවුරුන්හට කොතැන්හිදී දේශනා කළ සේක්ද?

පිළිතුර
උත්තරා සිටු දියණිය තම සැමියා සමඟ සහවාසයට යැවු “සිරිමා” නම් “අබිසරුලිය” කලක් ගතවීමෙන් අනතුරව උත්තරාවගේ ම මග පෙන්වීමෙන් උත්තරා වගේ ගෙහිදීම සිරිමා ගණිකාව බුදුරාජාණන් වහන්සේ මුණ ගැසුනු අවස්ථා වෙහිදී ඇයට මෙම දහම් දෙසීම සිදුවිය

ප්‍රශ්නය
එක්තරා රාජකුමාරවරයෙක් සැරියුත් හිමියන් වෙත පැවිදිවනු කැමැතිව, අයැද සිටියහ. සැරියුත් හිමියන් කුමරාට අවවාද කරනුයේ , සත් හවුරුදු සත්මසක් තොප විඳි දුකට සිහිකරන්නයි. වදාරා පළමු කෙස් වැටිය බාන විටම කුමරා සෝවාන් විය. දෙවන කෙස්වැටිය බාන කෙනෙහිම සෙද ගැමි විය. අනතුරුව අනාගාමී වී කෙස් බා අවසන් වත්ම රහත්ඵලයට ද පත්විය. උන්වහන්සේ පැවිදි වූ දින පටන් විත් සඟනට සිවුපසය බහුල විය . මේ රහතන් වහන්සේගේ නම කුමක්ද?

පිළිතුර
පෙර කළ කුසල බලයෙන් “ලාභීනං අග්ගො සීවලී” නමින් ලබන්නන් අතරරෙන් අග්‍ර තනතුරින් බුහුමන් ලද සීවලී මහරහතන් වහන්සේ සාසන ඉතිහාසයට එක්විය.

ප්‍රශ්නය
මෙම පුවතින් සටහන් වන තැනැත්තා කවුද?

බුදුරුව සොරහුගේ ඇස වැකෙත්ම මිහිරි කටහඬ කනහෙත්ම දකුණ’තින් කඩුව බිම හෙත්ම.

සිරිපා යුග වැඳ – දනිමි ස්වාමීනි, හැඳින්නෙමි ස්වාමීනි, ගැත්තා කරන දැක අනුකම්පාවෙන් වැඩිසේක්ද? දිවි ඇතිතාක් සරණයෙමි. ගැත්තහුට අනුකම්පාකොට පැවිදිකොට වදාළ මැනවි. ඇයැද සිටියේය. බුදු රදුන්, “මහණ මෙහි එව“ යි . වදාළ සැණින් මහණව පෙනී ගියේය.

පිළිතුර
අංගුලිමාල මහරහතන් වහන්සේ

ප්‍රශ්නය
සූත්‍ර පිටකයේ සඳහන් වන සියලු සූත්‍ර ආරම්භයේ “එවං මෙසුතං” යනුවෙන් මා විසින් මෙසේ අසන ලදී. යන වැකියෙහි”මා” යනු කවරෙක්ද පැහැදිලි කරන්න.

පිළිතුර
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට පෙරදා රාත්‍රියෙහි බවුන් වඩා සිවිපිළිසිඹියා සහිතව රහත් ඵලයට පත්වු ආනන්ද හිමියෝ සංගායනා මණ්ඩපයෙහි අසුන් ගැනීමට සුදුසු වීමෙන් රහතන් වහන්සේ පන්සියයක් බවට පත්ව “පංච සතික යන ව්‍යවහාරයට ප්‍රථම සංගීතිය පත්විය.

මෙම සංගායනාව ආනන්ද මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙහි මුලසුන හෙබවූ මහ කසුප් මහරහතන් වහන්සේ ඇසු ප්‍රශ්නවලට ආනන්ද හිමියන් පිළිතුරු දුන්හ. එම පිළිතුරෙහි සඳහන් වැකිය “එවං මෙසුතං” මා විසින් මෙසේ අසන ලදී යන්නයි.

ප්‍රශ්නය
මරණ මංචකයෙහිදි නැත්නම් මරණය සිදුවන මොහොතෙහිදී ඇතිවන සිතිවිල්ල නැත්නම් කර්මය මතු භවයෙහි ප්‍රතිසන්ධිය ඇති කිරීමට සමත් වෙයි. මේ කර්මයෙහි නම කුමක්ද?

පිළිතුර
ආසන්න කර්මය