Print this Article


වැඩිහිටි සැම දනන් වෙත සලකමු යොමා මෙත් සිත

වැඩිහිටි සැම දනන් වෙත සලකමු යොමා මෙත් සිත

මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙන්ව ඇත්තේ ඔහුගේ බුද්ධියත්, ගුණධර්මත් නිසාවෙනි. බුද්ධිය හා ගුණධර්ම හීන වුවහොත් සිදුවන්නේ මිනිස්, තිරිසන් භේදයක් නොමැතිවීමයි. වැඩිහිටියන්ට සලකන, කරුණාව දක්වන තිරිසන් සතුන් අපි දැක නැත්තෙමු. එබැවින් මෙත් සිත පතුරුවා වැඩිහිටියන් වෙත සැලකීම කෙතෙක් කාර්යබහුල ජීවිත ගත කළ ද අප සැවොම ප්‍රගුණ කළ යුතු උසස් ගුණ ධර්මයක් වනු ඇත

නූතන තරගකාරී සමාජ පරිසරය තුළ වැඩිහිටියන්ට සැලකීම වැනි උතුම් ගුණාංග ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවීම අතින් ඇතැමුන් ඉතා පහළ මට්ටමක සිටින බව එදිනෙදා ඇසීමට හා දැකීමට ලැබෙන සිදුවීම් තුළින් පැහැදිලි වෙයි. වර්තමානයේ බොහෝ පුද්ගලයින් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සටන් පාඨ කියමින්, උද්ඝෝෂණ හා උපවාස සිදු කරමින් ක්‍රියාත්මක වන ස්වභාවයක් පෙන්නුම් කළ ද යුතුකම් වෙනුවෙන් හඬ නඟන අය හා ඒවා ක්‍රියාත්මක කරවන අය දැකිය හැකිවන්නේ කලාතුරෙකිනි. උගත්කමෙන් ධනයෙන් ඉදිරියට ගිය ඇතැමුන්ට කාර්යබහුලතාවය මත වැඩිහිටියන් කෙරෙහි යුතුකම් ඉටු කිරීමට කාලවේලාවක් සොයා ගැනීම දුෂ්කරව පවතී. එය සංස්කෘතික වශයෙන් ගතහොත් මහා ඛේදවාචකයක් ලෙස පෙන්වාදිය හැකිය. රටපුරා ගමින් ගමට, නගරයෙන් නගරයට වැඩිහිටි නිවාස බිහිව ඇත්තේ එම ඛේද වාචකයේ අනිටු ප්‍රතිඵලයක් ලෙසයි.

වැඩිහිටියන් කෙරෙහි මෙත් සිත් පෙරටුව සැලකීම හා ගරු කිරීම අප ජාතියට උරුම වූයේ බෞද්ධ සංස්කෘතියේ ආභාෂයෙනි. වැඩිහිටියන්ට සැලකීම සේම ඔවුනට ගරු බුහුමන් පුද කිරීම ඔවුන ගේ උපදෙස් පිළිගැනීම බෙහෙවින්ම අගය කොට සැලකූ බුදුරජාණන් වහන්සේ එසේ නොකරන අය නොදැනුවත්වම පිරිහීම කරා ගමන් කරන බව දේශනා කළහ.

බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල ද වැඩිහිටි ගුණයට සැලකීම ඉතා ඉහළින් අගය කොට ඇත. ඒ අතර හොඳම සාධකයක් ලෙස පන්සිය පනස් ජාතක පොතේ එන ‘තිත්තිර’ ජාතකය දැක්විය හැකිය. තිරිසන් සතුන්ගේ චරිත කතා උපමාවට ගෙන මිනිස් සමාජයට ඉන් ලබාදෙන ආදර්ශය ඉතා අගනේ ය. එහි වර්තමාන කතාව තුළින් කියවෙනුයේ නොහික්මුණු හැසිරීම් රටාවක් ප්‍රදර්ශනය කළ ‘ජබ්බග්ගීය’ භික්ෂූන් සැරියුත් මහරහතන් වහන්සේට නිගරු වන ලෙස ක්‍රියා කිරීමයි. මෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙම ශාසනයෙහි පැවිදි වූ පිළිවෙළ අනුව වැඩිහිටියන් කෙරෙහි ගෞරව කළ යුතු ආකාරයයි. පෙර තිරිසන් සතුන් පවා වැඩිහිටියන්ට ගරු කළ අයුරු මෙම තිත්තිර ජාතකය තුළින් මනාව පෙන්නුම් කර දී තිබේ.

පෙර හිමාලය වනයෙහි මහා නුග ගසක් විය. එම ගස සමීපයෙහි වටු කුරුල්ලෙක්, වඳුරෙක් හා ඇතෙක් ඉතා මිත්‍රශීලීව වාසය කළහ. ඔවුහු කිසිදු වැඩිමහලු භේදයක් නොමැතිව සමව ජීවත් වූහ. එහෙත් එක් දිනක් ඔවුන් අතුරෙන් වැඩිමහලු තැනැත්තා කවුරුන්දැයි සෙවීමට ඔවුහු තීරණය කළහ. එය ජාතක පොතේ සඳහන්ව ඇත්තේ “අපට මෙසේ වාසය කරන්ට නුසුදුසුය. අපි අපගෙන් යමෙක් මහලු ද? ඕ හට වන්දනා මානාදී කෙරෙමින් වාසය කළ මෝ නම් ඉතා යෙහෙකි.” යනුවෙනි. ඉක්බිති ඔවුහු තම තමා අතර වැඩිමහලු කවුරුන් දැයි සෙවීම පිණිස සුදුසු ක්‍රමයක් ගැන සිතූහ. එයට ඉතාම සුදුසු උපායක් සොයාගත් ඔවුහු පළමුව නුග ගස ළඟට ගියාහුය. ගොස් වටුවා හා වඳුරා එක්ව ඇතාගෙන් මෙසේ ඇසූහ. “යහළු හස්තිය නුඹ මෙම නුග ගස කවර කාලයක පටන් දන්නෙහිද?” එයට පිළිතුරු දුන් ඇතා’ මිතුරනි මා කුඩා කල මෙතනින් ගමන් කරන විට මෙම නුග ගසේ දල්ල මාගේ නාභියේ ගෑවිණ, ඒ කාලයේ සිට මම මේ නුග ගස දනිමියි ඇතා කීවේ ය. පසුව වටුවා හා ඇතා වඳුරාගෙන් පෙර සේම ප්‍රශ්න කළහ. එවිට වඳුරා කියනුයේ මිතුරනි, මා කුඩා වඳුරු පැටියෙකුව සිටි කාලයෙහි මගේ බෙල්ල නො ඔසවාම මේ නුග පැළෑටියේ දලු කෑවෙමි. ඒ කාලයේ සිට මම මේ නුග ගස ගැන දන්නෙමි.” අනතුරුව වඳුරා හා ඇතා වටුවාගෙන් පෙර ප්‍රශ්නයම ඇසූහ. එයට පිළිතුරු දුන් වටුවා “මිතුරනි, පෙර එක් පෙදෙසක විශාල නුග ගසක් විය. මම එම නුග ගසේ ගෙඩියක් අනුභව කොට මෙම ස්ථානයෙහි මළපහ කෙළෙමි. එහි නුග ඇටයක් තිබී මේ මහා නුග ගස හට ගත්තේ ය. එකල සිට මම මේ නුග ගස ගැන දනිමි” යි කීවේ ය.

මෙම කතාබස් කිරීමෙන් පසු වටුවා ශරීරයෙන් කුඩා වුවද මිතුරන් තිදෙනාගෙන්ම වැඩිමහලු තැනැත්තා බව ඔවුනට වැටහිණ. එබැවින් එදා සිට වඳුරා හා ඇතා එක්ව වටුකුරුල්ලාට වැඩිහිටියෙකු ලෙස සලකා ගෞරව සත්කාර කරන්නට වූහ.

මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙන්ව ඇත්තේ ඔහුගේ බුද්ධියත්, ගුණධර්මත් නිසාවෙනි. බුද්ධිය හා ගුණධර්ම හීන වුවහොත් සිදුවන්නේ මිනිස්, තිරිසන් භේදයක් නොමැතිවීමයි. වැඩිහිටියන්ට සලකන, කරුණාව දක්වන තිරිසන් සතුන් අපි දැක නැත්තෙමු. එබැවින් මෙත් සිත පතුරුවා වැඩිහිටියන් වෙත සැලකීම කෙතෙක් කාර්යබහුල ජීවිත ගත කළ ද අප සැවොම ප්‍රගුණ කළ යුතු උසස් ගුණ ධර්මයක් වනු ඇත. බටහිර අනුකරණශීලී සමාජ රටාව පසෙකලා මෙවන් ගුණධර්ම ආරක්ෂා කිරීම තුළින් තමාටත්, පොදුවේ සමාජයටත් මාහැඟි ආලෝකයක් උදාවෙනු ඇත.