Print this Article


නුවණැත්තෙකු ඇසුරට නැතිනම් තනිව විසිම සුදුසුය

නුවණැත්තෙකු ඇසුරට නැතිනම් තනිව විසිම සුදුසුය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චරං චේ නා’ධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසම’ත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා
නත්ථි බාලේ සහායතා

කාරුණික පින්වත්නි,

අද ධර්ම දේශනාවෙන්ම මා බලාපොරොත්තු වන්නේ ආශ්‍රය පිළිබඳව බුදු දහමෙන් කර ඇති මග පෙන්වීම්වලට අදාළ කරුණු ස්වල්පයක් මේ පින්වතුන්ගේ දෙලොව අභිවෘද්ධිය සඳහා ඉදිරිපත් කිරීමටයි. මේ හා සම්බන්ධ කරුණු රාශියක් සූත්‍ර ධර්ම, ධම්මපද ගාථා, ජාතක කතා සහ ශ්‍රාවක ශ්‍රාවිකා චරිත ආශ්‍රිතව සඳහන්ව ඇත. එයින් බොහෝ කරුණු මේ පින්වතුන් අසා කියවා අවබෝධයෙන් තම ජීවිතයට සම්බන්ධ කරගෙන තිබීම ඉතා වැඩදායකය.

ආශ්‍රය හා සම්බන්ධ ගාථා රාශියක් ධම්මපදය’ නම් අගනා ධර්ම ග්‍රන්ථයේ ඇතුළත්ය. එයින් මා ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ඉහතින් දක්වා ඇත්තේ එහි බාල වග්ගයට අයත් දෙවෙනි ගාථාවයි. මෙහි සරල අදහස වන්නේ අප අපේ ආශ්‍රයට ගැළපෙන පුද්ගලයකු සොයන විට තෝරා ගන්නා විට ගුණනුවණින් තමන්ට වඩා උසස් කෙනෙකු වැඩිහිටි කෙනකු සොයා ගැනීම ඉතා මැනවි. එවැන්නකු සොයාගත නොහැකි නම් ගුණ නුවණින් .තමන් හා සමාන අයකුවත් සොයා ගැනීම යෙහෙකි. එවැන්නකුද සොයා ගැනීම අසාර්ථක වූයේ නම් කළ යුත්තේ කුමක්ද? තනිවම ජීවත්වීමට අධිෂ්ඨාන කර ගැනීමයි. එසේ නැතිව තමන්ට වඩා ගුණ නුවණින් අඩු අය ඇසුරු කිරීම නොකළ යුතුය.

බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමඟ එකම ආරාමයක වාසය කළ අන්තේවාසික අකීකරු භික්ෂුවක් මුල්කරගෙනය. මහා කාශ්‍යප තෙරණුවෝ රජගහ නුවර පුළිලලෙන වැඩ වසති. එහි උන්වහන්සේගේ අන්තේවාසික තවත් භික්ෂු දෙනමක් වාසය කරති. ඉන් එක් නමක් කීකරුය. ගුරු භක්තියෙන් යුක්තය. දෛනික වත පිළිවෙත්හි මැනවින් යෙදෙයි. අනෙක් භික්ෂුව වංකය, වංචනිකය, ගුරු බැතියෙන් හීනය. වළඳා බොහෝ වේලා නිදයි. වත පිළිවෙතෙහි නොයෙදෙයි. වත පිළිවෙතේ යෙදෙන භික්ෂුව මළු පෙත් මං ඇමදූ පසු ඒවා තමා කළ ඒවා බව ගුරු හිමියන්ට හඟවයි. මහා කාශ්‍යප තෙරණුවෝ ද එම වංචනික ක්‍රියා දැන, ඒ නොහික්මුණු කමෙන් ඔහු මුදා නියමිත මහණ දම්හි යෙදවීම සඳහා නිතර ඔවදන් දෙති. දිනක් එසේ අවවාද කරන විට ඒ භික්ෂුව එයින් කෝපයට පත්ව, මහ කසුප් හිමියන්ට එකට එක කියමින් ද්වේෂයෙන් හැසිරෙන්නට විය. උන්වහන්සේ කෙතරම් මෙත් සිතින් ක්‍රියා කළත්, ඒ භික්ෂුව කළේ නොමනා කි‍්‍රයාමය.

දිනක් මේ භික්ෂුව , මහා කාශ්‍යප තෙරණුවන්ට මහත් ශ්‍රද්ධා ගුණ ගෞරවයෙන් සිව්පසය පිරිනමන නිවසකට ගොස්, මහ කසුප් තෙරණුවන් බොහෝ ගිලන්ව ඇති බව පවසා, දානය ඉල්ලාගෙන ගොස් එය රහසිගතව තනිවම වළඳා, කිසිවක් සිදු නොවූ ලෙසින් නිහඬව සිටින්නට විය. මහා කාශ්‍යප තෙරණුවන් පසුව ඒ බව දැන, ඒ භික්ෂුව කැඳවා, ඇවැත්නි, පැවිද්දන්ට ඉල්ලාගෙන වැළඳීම කැප නැත. ඔබ වහන්සේ කර ඇත්තේ භික්ෂුවකට කොහෙත්ම නොගැළපෙන දෙයක් බව පෙන්වා දෙමින් අවවාද කළහ. ඒ අකීකරු භික්ෂුව එයින් මහා කාශ්‍යප තෙරණුවන් කෙරෙහි වෛර බැඳගෙන පලි ගැනීමට අවස්ථාවක් උදාවන තුරු බලා සිටියේය. මේ අතර මහා කාශ්‍යප තෙරණුවෝ අනෙක් භික්ෂුවද සමඟ පිණ්ඩපාතයේ වැඩි අවස්ථාවක එම නොහික්මුණු භික්ෂුව පන්සලේ තිබූ දේ පොලවේ ගසා විනාශ කර, පන්සලට ගිනි තබා පලා ගියේය. මේ සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඉහත ගාථාව දේශනා කළහ. මේ සිද්ධියට අදාළ නොහික්මුණු භික්ෂුව බාලයෙකි. ධම්මපදයේ බාල වග්ගයේම ගාථාවක සඳහන් වන්නේ බාලයා අනුවණයා මුළු ජීවිතකාලයම ගුණ නුවණින් යුතු උතුමන් ඇසුරේ විසුවත් (දබ්බී සූපරසං යථා) හැන්ද කෙතරම් හොඳි ව්‍යඤ්ජන හැඳි ගෑවත් ඒවායේ රසය නොහඳුනන්නාක් මෙන් අවශ්‍ය ගුණ නැණ දැනුමෙන් නොවැඩෙන බවයි. බුදු දහම පුද්ගල ආශ්‍රයට විශේෂ අවධානයක් යොමු කර ඇත. දිනක් අනඳ හිමියන් බුදුරදුන්ට පවසා සිටියේ පුද්ගල ජීවිතයේ අඩක්ම ගොඩනැගෙන්නේ යහපත් ආශ්‍රය මත බවයි. එවිට බුදු රඳුන් වදාළේ “ආනන්ද එසේ නොකියන්න, ආනන්ද එසේ නොකියන්න පුද්ගල ජීවිතයේ අඩක් නොව සම්පූර්ණ ජීවිතයම පමණක් නොව මුළු මහත් ශාසන බ්‍රහ්ම චර්යාව ම ගොඩනැගෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත බවයි. මේ අනුව පුද්ගල පෞරුෂය ගොඩනගන්න සාධක කිහිපයක් බුදුදහමෙන් අවධාරණය වේ. එනම් ආශ්‍රය ජීවත්වන වටපිටාව (පරිසරය) හා පෙර කළ පින් ඇති බව යන කරුණුය. පුද්ගලයාගේ දෙලොව අභිවෘද්ධියට හේතුවන කරුණු පෙන්වාදෙන මහා මංගල සූත්‍රයේ පළමු ගාථාවේ පළමුවෙන්ම පෙන්වා දෙන්නේ බාලයන් ඇසුරු නොකර පණ්ඩිතයන් එනම් ගුණ නුවණින් යුතු උතුමන් ඇසුරු කළ යුතු බවයි.එසේම සිඟාලෝවාද සූත්‍රයේ දක්වන සදිසා නමස්කාරයේදී උත්තර දිසා නමස්කාරය වන්නේ තම කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකිරීමයි. එම සූත්‍රයේම අප ඇසුරු කළ යුතු කලණ මිතුරන් හතර දෙනෙකුත් ඇසුරු නොකළ යුතු පාප මිත්‍රයන් හතර දෙනෙකුත් පෙන්වා ඔවුන් හඳුනා ගැනීමට ඔවුන්ගේ ගති ලක්ෂණද පෙන්නුම් කර ඇත. එපමණක් නොව පුද්ගල පරිහානියට හේතුවන අපාය මුඛ හෙවත් භෝග විනාශ කරණූ අතර පාප මිත්‍ර සේවනයද එකක් ලෙස එම සූත්‍රයේම පෙන්වා දී ඇත. ව්‍යග්ඝ පජ්ජ සුත්‍රයේ පුද්ගලයාගේ මෙලොව දියුණුව සඳහා පෙන්වා දී ඇති කරුණු හතරකි. එයින් තුන්වන කරුණ ලෙසද දක්වා ඇත්තේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයි. පුද්ගල පරිහානියට හේතුවන කරුණු පෙන්වා දෙන පරාභව සුත්‍රයේ ඒ සඳහා බලපාන ප්‍රබලම කරුණක් ලෙස දක්වා ඇත්තේ පාප මිත්‍ර ආශ්‍රයයි.

මේ අකාරයෙන් විවිධ සූත්‍රවලින් පෙන්වා දෙන පරිදි පුද්ගල අභිවෘද්ධිය සඳහා හේතුවන ප්‍රබලම සාධකයක් ලෙස කල්‍යාණ මිත්‍ර ආශ්‍රයද පුද්ගල පරිහානිය සඳහා හේතුවන ප්‍රබලම සාධකයක් ලෙස පාප මිත්‍ර ආශ්‍රයද දක්වා තිබීමෙන් ආශ්‍රය අපේ ජීවිත කෙරෙහි කෙතරම් බලපෑමක් සිදුකරන්නේද යන්න පැහැදිලි වේ. ඉහත මාතෘකා කළ ගාථාවේ සඳහන් පරිදි ආශ්‍රය තුළින් මනුෂ්‍ය ජීවිතයේ සිදුවිය හැකි විශේෂ පරිවර්තන කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතුය. එනම්

1. තමන් ඉන්න තත්ත්වයට වඩාගුණ නුවණින් ඉහළ ස්ථරයකට පත්වීම

2. ගුණ නුවණින් තමන් සිටින මට්ටම ඒ තත්ත්වයෙන්ම පැවතීම

3.ගුණ නුවණින් තමන් දැනට සිටින තත්ත්වයට වඩා පහත වැටීමේ අවදානම් ස්වභාවය

මේ අවස්ථා තුනෙන් පළමු සහ දෙවන අවස්ථා මෙම ධම්මපද ගාථාව තුළින් බුදුරජාණන් වහන්සේ අනුමත කර ඇත. එයිනුත් බුදු දහම වැඩි උත්තේජනයක් ලබා දෙන්නේ තමන් සිටින ත්ත්ත්වයට වඩා ගුණ නුවණින් ඉහළ තලයකට ඔසවා තබන ආශ්‍රයක් ඇතිකර ගැනීමටයි. තුන්වන අවස්ථාවෙන් දක්වන පහතට ඇද වැටීම බුදු දහම කොහෙත්ම අනුමත කර නැත. අනුමත කර නැතුවා පමණක් නොව එය සහමුලින්ම ප්‍රතික්ෂේප කර ඇත. ඒ නිසයි අවධාරණය කර ඇත්තේ තනිවම ජීවත්වීම ඊට වඩා හොඳ බව. බුදු දහම එසේ තමන්ගේ ඇසුරට ගැළපෙන ගුණනුවණින් යුතු උතුමෙකු සොයා ගත නොහැකිනම් තනිවම ජීවත්වීමේ අධිෂ්ඨානය දැඩි කර ගන්නා ලෙස කරන මෙම ප්‍රකාශය තුළින් පැහැදිලි වන කරුණක් වන්නේ බාලයන් ඇසුරු කිරීම නිසා පුද්ගල ජීවිතය මොනතරම් ආගාධයකට ඇදවැටෙන්නේද යන්නයි.

එසේ පවසන්නේ බුදු දහමෙන් හැම විටම අපව පොළඹවන්නේ තනිවම ජීවත්වීමට නොව, සමාජ යුතුකම් ඉටුකරන සමාජශීලි සත්වයකු ලෙස සමාජයේම ජීවත්වීමටයි. ඒ අනුව බෞද්ධ සමාජ දර්ශනයේ පෙන්වා දෙන්නේ පුද්ගලයා නමැති පියුම සමාජය නමැති පොකුණෙහි විකසිත විය යුතු බවයි. එම සමාජ ජීවිතයේදි පුද්ගලයාට බුද්ධියෙන්, වයසින්, ගුණයෙන් සමාජ තත්ත්වයෙන් ආදී වවිධ තරාතිරමේ අය ඇසුරු කරන්නට සිදුවේ. එහිදී අප දියෙන් කිරි වෙන්කර ගන්නා හංසයකු පරිද්දෙන් උචිතානුචිත විවේක බුද්ධියෙන් ඇසුරු කළ නොකළ යුතු අය තෝරා බේරා ගැනීම කළ යුතුය.අපට ළංකර ගත යුතු අය සහ අප ළං විය යුතු අය මෙන්ම අපෙන් සෙමින් ඉවත් කළ යුතු අය සහ අප සෙමින් ඉවත් විය යුතු පුද්ගලයින්ද පිළිබඳ මනා වැටහීමකින් කටයුතු කිරීමට බුදු දහම අපට මග පෙන්වා ඇත. ආශ්‍රය නිසා සිදුවන දියුණුවට හෝ පිරිහීමට වයස් භේදයක් නැත. ඕනෑම වයස් සීමාවක කෙනකු ඕනෑම තරාතිරමක කෙනකු අයහපත් ඇසුර නිසා පිරිහීමට පත්විය හැකිය. සංසාරිකව ගෙන එන පුරුද්දක් යැයි සිතෙන තරමට ඇතැම් මිනිසුන්ගේ මනස යහපතට වඩා අයහපතට ආකර්ෂණය වීමේ ප්‍රවණතාව වැඩිය. යහපත් සහ අයහපත් ආශ්‍රය නිසා පුද්ගල ජීවිතයේ සිදුවූ විශාල පරිවර්තනයන්ට එදා සමාජයේ මෙන්ම අද සමාජයේද නිදසුන් බහුලය. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ චරිත යහපත් ඇසුර නිසා සිදුවන ප්‍රගතියටත් දේවදත්ත හිමි අජාසත් රජ වැනි චරිත අයහපත් ඇසුර නිසා සිදුවන අගතිගාමී බවට කදිම නිදසුන්ය.

රටත් ජාතියත් සදාචාර සම්පන්න කළ අපේ ජාතික බණ පොත ජාතක පොත් වහන්සේය.මෙහි ගුත්තිල – මූසිල වැනි චරිතවලින් සද්පුරුෂයන් හා අසද්පුරුෂයන් අපට හඳුනා ගැනීමට අවස්ථාව සලසා ඇති ආකාරය කදිමය. සත්තිගුම්බ ජාතකය වැනි කතාවලින් කෙනෙකුගේ ගති ලක්ෂණ වර්ධනයට ඔහුගේ ජන්මයටත් වඩා ඔහු කුඩා අවධියේ සිට හැදෙන පරිසරය හා ආශ්‍රය කෙතරම් ප්‍රබල බලපෑමක් සිදුකරන්නේද යන්න මැනවින් පෙන්වා දී ඇත.

”අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ” අපි‍්‍රය අසද්පුරුෂයන් සමග එක්ව ජීවත්වන්නට සිදු වන්නේ නම් එය මහා මානසික වධයකි. මේ නිසා අප උදේ සවස තෙරුවන් වන්දනා කර අවසානයේ පතන උතුම් පැතුමක් ඇත. එනම් “ඉමිනා පුඤ්ඤ කම්මේන” – මට මේ පින් මහිමයෙන් සසර වසනාතුරු නිවන් දකිනා තුරු බාලයන්ගේ ඇසුරක් නොලැබ සද්පුරුෂ ආශ්‍රයක්ම වේවා” යන්නයි.

තෙරුවන් සරණයි