Print this Article


සියපත්ගම විපස්සනා භාවනා මධ්‍යස්ථානය

සියපත්ගම විපස්සනා භාවනා මධ්‍යස්ථානය


භාවනා කුටි

ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමියන් සමරු ඵලකය විවෘත කළ අවස්ථාව


භාවනා කුටි විවෘත කිරීමේ පින්කමේ දී...

මහනුවර හාරිස්පත්තුවේ, සියපත්ගම, පතිරාදවත්ත, උඩහේන, උඩහිඟුල්වල විපස්සනා භාවනා මධ්‍යස්ථානය ආරම්භ කළේ 1975 වසරේදීය. කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ශාඛාවක් වශයෙන් මෙය කම්මට්ඨානාචාර්ය මාගන්දනමුල්ලේ බුද්ධසෝම ලොකුහාමුදුරුවන් විසින් ආරම්භ කර සැදැහැවතුන්ට භාවනා පුහුණුවීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබුණි.

වසර ගණනාවක්ම බොහෝ දෙනා එහි නේවාසිකව භාවනා පුහුණු වූ අතර භාවනා කුටි දුබලවීම නිසා පසුගිය කාලයේ යෝගීන්ගේ පැමිණීම නතර විය. එහෙත් මෙහි ඇති අත්‍යවශ්‍ය බව නිසාම මේ වසරේ වෙසක් මාසය වන විට අලුතින්ම භාවනා කුටි ඉදිකිරීමට හැකිවිය. ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික සැදැහැවත් පරිත්‍යාගශීලි දායක දායිකා පින්වතුන් රාශියකගේ ආධාර ඇතිව විශාල වියදමක් දැරීමෙන්ද ගම් ප්‍රදේශයේ සැදැහැවතුන්ගේ ශ්‍රමදාන සහ දැව පරිත්‍යාග තුළින් මෙන්ම විවිධ උදව් උපකාර මත එම භාවනා කුටි ඉදිකිරීමට හැකිවිය.

නේවාසිකව භාවනා පුහුණුවීමට අවශ්‍ය පරිදි පිරිමි පක්ෂය සඳහා භාවනා කුටි 5 ක් ද කාන්තා පක්ෂය සඳහා භාවනා කුටි 5 ක් ද වශයෙන් ඉදිකළ එම භාවනා කුටි 10 සහ එම යෝගාවචර පිරිසට දානය වැළඳීම සඳහා ඉදිකළ දාන ශාලාවද 2014 වෙසක් මස 31 වන දින විවෘත කිරීමට ලැබුණි. කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති හා රත්නපුර ලෙල්ලොපිටිය විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ප්‍රධාන කම්මට්ඨානාචාර්ය, ඉඟුරුවත්තේ පියනන්දාභිධාන ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නා හිමිපාණන් වහන්සේ අතින් එම භාවනා මධ්‍යස්ථානය විවෘත කෙරුණි.

ප්‍රාදේශීය ගරුතර මහා සංඝරත්නයේ සහ සැදැහැවතුන් දෙදහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් එම භාවනා කුටි විවෘත කිරීමෙන් අනතුරුව ජූනි මස 21 වන දින එක්දින භාවනා වැඩසටහනක් පැවැත්විය. ඒ සඳහා අවට ගම් ප්‍රදේශවලින් විශාල පිරිසක් සහභාගිවූහ. එම එක්දින භාවනා වැඩසටහන පැවැත්වූයේ ගම්පහ ඉඳිගොල්ල භාවනා මධ්‍යස්ථානාධිපති බුත්පිටියේ සමිත නාහිමිපාණන් වහන්සේ ය. එසේම ජූලි මස 5 වන දින දෙවන භාවනා වැඩසටහන පැවැත්වූයේ මාවතගම කැන්දගොල්ල භාවනා මධ්‍යස්ථානාධිපති පනාවල ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ විසිනි.

මේ තුළින් ප්‍රදේශයේ සැදැහැවතුන් තුළ ඇති වූ ප්‍රබෝධය නිසා ධර්මාවබෝධය සඳහා කටයුතු කරගැනීමට ගම් ප්‍රදේශයේ බොහෝ සැදැහැවතුන් දිනපතා සවසට භාවනා මධ්‍යස්ථානයට පැමිණෙති. භාවනා කුටි ඉදිකිරීමට ආධාර උපකාර කළ සහයෝගය දැක්වූ සැමටම අනේකවාරයක් පින්දෙමින් ධර්මාවබෝධය සඳහාම මේ කුසල් හේතුවේවායි පතමින් බොහෝ දෙනාට නැවතී භාවනා කටයුතු කර ගැනීමට දැන් ඉඩකඩ සැලසී තිබීමද මහත් වාසනාවකි.

ගමන් පහසුව, ජලය, විදුලිය ආදි අවශ්‍යතා සලසා ඇති, සිත සන්සුන්වන නිස්කලංක පරිසරයකින් හෙබි, සිත ගත නිවාලන සිසිල් සුළඟින් සහ මනැස ප්‍රබෝධමත්වන අවට සුන්දර පරිසරයක් ඇති කඳුමුදුනක ඉදිකර ඇති එම භාවනා මධ්‍යස්ථානයට පැමිණ භාවනා කර ගැනීමට ඕනෑම අයකුට අවකාශ ලැබී ඇත. මෙම වස් කාලයේ නේවාසික භාවනා වැඩසටහන් පවත්වනු ලබන්නේ කම්මට්ඨානාචාර්ය කඳුබොඩ සෝභිත හිමිපාණන් වහන්සේ ය. ජීවිතය අර්ථවත් හරවත් කරගැනීමට ධර්මාවබෝධය සඳහා කටයුතු කර ගැනීමට මෙය උපකාරයක් කරගන්නේනම් මැනවි. එම වැඩසටහන් නොමිලයේ පැවැත්වෙන අතර වැඩි විස්තර දැන ගැනීම සඳහා ලිපි යොමුකරන්නේ නම්, ලේකම්, සංරක්ෂක සභාව, විපස්සනා භාවනා මධ්‍යස්ථානය, සියපත්ගම, උඩහිඟුල්වල.