Print this Article


බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස... මහා ප්‍රජාපතී ගෝතමිය

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස...

මහා ප්‍රජාපතී ගෝතමිය

මෙලොව කාන්තාවක් විසින් ලබන උත්තරීතම පදවිය වන්නේ “මව් පදවිය” යි . සෑම වනිතාවකගේම යුතුකම වන්නේ තමන්ට ලැබුණු ඒ උත්තරීතර පදවියේ ගෞරවය රැක ගැනීමයි. දරුවකු මෙලොවට බිහිකළ පමණින් මවු කෙනෙකු වන්නේ නැත. “අම්මා” යන අකුරු තුනට පුළුල් අරුතක් දෙන්නට නම්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක් වන්නට නම් සෑම ගැහැනියක්ම තම ගතිනුත්, සිතිනුත් විශාල කැප කිරීමක් කළ යුතුය. එවැනි මවුවරුන්ගේ දරුවන් දිනක ලොව ශ්‍රේෂ්ඨ මිනිසුන් වන්නේය.එය තුන් කල්හිම පවතින්නා වූ සදාතනික සත්‍යයකි. මනුෂ්‍යයෙකු වශයෙන් මේ ලොව ලැබිය හැකි උත්තරීතරම තත්ත්වය වන්නේ බුද්ධත්වයයි. එවන් වූ බුදු පුතෙකු බිහි වන්නේද මවු කුස තුළිනි. තම කුසින් නොවැදුවත් එවන් වු බුදු පුතෙකුට මවක් වී තම දරුවකුට මෙන් සෙනෙහස දක්වා හදා වඩා පෝෂණය කොට, ලෝකයාගේ යහපත පිණිස ඒ දරුවා සියලු සැප සම්පත් අතහැර යද්දී උපේක්ෂාවෙන් ඒ සියල්ල විඳ දරා ගත් උතුම් මවු කෙනෙකු පිළිබඳ තොරතුරු බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. ඒ ශ්‍රේෂ්ඨ කාන්තා රත්නය අන් කවුරුත් නොව “බුද්ධ මාතා” යන විශේෂ ගෞරව නාමයෙන් පිදුම් ලැබූ “මහ ප්‍රජාපතී’ ගෝතමියයි.

මින් කල්ප ලක්ෂයකට පෙර බුදු වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි දඹදිව හංසවතී. නුවර ඕ ඇමතිවරයෙකුගේ දියණියකව උපන්නාය. දිනක් ඇය තම පියාණන් සමඟ පියුමතුරා බුදුරජාණන් වහන්සේ වෙත දහම් ඇසීමට ගියාය. එදින පියුමතුරා බුදුරජාණන් වහන්සේ පැවිදි වී සිටි තම සුළු මවුට භික්ෂුණීන් අතරින් චිරරාත්‍රඥ භික්ෂුණී තනතුර දෙන අවස්ථාව විය. ඒ වන විටත් දහම් අසා පැහැදීමට පත්ව සිටි ඇමති කුමරිය, “අහෝ බුදුරජාණන් වහන්සේ නමක ගෙන් මෙවැනි උසස් තනතුරක් ලැබීමට මේ භික්ෂුණිය මහා පිනැත්තියකි. මම ද බුදු සසුනක පැවිදි වී මේ චිරරාත්‍රඥ භික්ෂුණී තනතුර බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් ලබා ගැනීමට පින් කරන්නෙමි”යි අධිෂ්ඨාන කර එම තනතුර පතමින් පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන්ද විවරණ ගෙන, එතැන් සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වා කාල පරාසය තුළ ලොව පහළ වූ බුදු, පසේ බුදුවරුන්ගේ කාලයන්හි නොයෙක් පින්දහම් කරමින්, දෙව් මිනිස් ලොව සැරිසරා ගෞතම බෝසතුන් පහළ වීමට පෙර දඹදිව දෙව්දහනුවර කෝලිය වංශයෙහි සුප්පබුද්ධ හෙවත් අඤ්ජන ශාක්‍ය රජුගේ දෙවැනි දියණිය උපන්නාය. ඇගේ මව වූයේ කිඹුල්වත්පුර සිංහහනු රජුගේ නැගණිය වූ ද ,සුද්ධෝදන රජුගේ නැන්දණිය වූද, “ශුභ ලක්ඛනා” හෙවත් මහ යශෝධරා දේවියයි. ඇගේ වැඩිමහල් සොහොයුරිය “මහාමායා’ කුමරියයි. “ප්‍රජාපතී’ කුමරියට නම් තබන දවසේ නැකැත්කරුවෝ ඇය “මහත් වූ ප්‍රජාවකට පති” වන්නේ යැයි ප්‍රකාශ කොට “මහා ප්‍රජාපතී” යන නාමය තැබුවාහුය. එමෙන්ම “මහාමායා” “ප්‍රජාපතී’ සොහොයුරියන් දෙදෙනාම අනාගතයේ සක්විති සැපත් ලබන පුත්‍රයන් ලබන්නාහ යන අනාවැකියද ප්‍රකාශ කළහ. නිසි කළ වයස එළඹෙද්දී කිඹූල්වත්පුර සුද්ධෝදන රජතුමා මේ වාසනාවන්ත කුමරියන් දෙදෙනා මහ පෙළහරින් තම රජ ගෙට ගෙන්වා, මහාමායා කුමරිය අගමෙහෙසුන් වශයෙන්ද, ප්‍රජාපතී කුමරිය දෙවැනි මෙහෙසිය වශයෙන්ද බිසෝ තනතුරු දී පාවා ගත්තේය.

නොබෝ කලකින් මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කළාය. සිදුහත් කුමරු ඉපදී සත් දිනකින් මහාමායා දේවිය කලුරිය කළ අතර, අනතුරුව සිදුහත් කුමරුන් පෝෂණය කිරීමේ කාර්යභාරය ප්‍රජාපතී ගෝතමී දේවිය සිය කැමැත්තෙන්ම තමා වෙත පවරා ගත්තාය.

අතීතයේ සිට පැවත ආ කුඩම්මාගේ භූමිකාවට නව අරුතක් දෙන්නට ප්‍රජාපතී ගෝතමියට හැකි විය. තම කුසින් වැදූ නන්ද කුමරුට ඇගෙන් හිමි වූයේ දෙවැනි තැනය. තම සොහොයුරිය ගේ පුත්‍රයා වූ සිදුහත් කුමරුට ඇගේ ජීවිතයේ පළමු තැන හිමි විය. නන්ද කුමරුට මෙන්ම සිදුහත් කුමරුටද තම ලේ කිරි කර පොවා සෙනෙහසින් යුතුව ඇති දැඩි කළාය. මව අහිමි කුඩා සිදුහත් කුමරුට ඒ අவඩුව නොදැණූනේ සුළු මවගෙන් මවු සෙනෙහස නොඅඩුව ලැබුණූ නිසාය. තම කුසින් වැදු දරුවන්ගේ යහපත, සුබ සිද්ධිය පමණක් පතන, ඒ සඳහාම හැම විටම ක්‍රියා කරන මවුවරුන්ට ප්‍රජාපතී ගෝතමිය ආදර්ශවත් මවු කෙනෙකි. තම දරුවා කෙරෙහි පමණක් නොව අන් දරුවන්ටද , ආදරය සෙනෙහස, රැකවරණය අවැසිය. තම දරුවන් කෙරෙහි පමණක් මවකගේ සිත තුළ ඇතිවන්නා වූ මෙත්, කරුණා , මුදිතා, උපේක්ෂාදී ගුණයන් ලොව වසන සෑම දරුවකු කෙරෙහිම ඇති වන්නේ නම් මේ සමාජය තුළ කිසි විටකත් ළමා නිවාස, පුනරුත්ථාපන කඳවුරු, බිහි වන්නේ ද නැත. තම සැමියා සතු සියලු උරුමයන් තම දරුවන් වෙත පමණක් පවරා ගන්නට මාන බලන කුඩම්මාවරුන් අතර ප්‍රජාපතී ගෝතමිය වෙනස්ම චරිතයක් වූවාය. නිසි වියට පත් සිදුහත් කුමරුන්ට පිය උරුමයෙන් ලැබිය යුතු රාජ්‍යත්වය ලබා දෙන්නට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරන ලද්දේ සුළු මව වු ප්‍රජාපතී ගෝතමියයි. තම පුත් කුමරුන් සිටියදී සියලු තනතුරු, වරප්‍රසාද , උරුම විය යුත්තා සිදුහත් කුමරු බව ඇගේ අදහස විය. තරුණ වියේ පසු වු කුමරුට විවාහ කර දීමට සුදුසු වාසනාවන්ත කුමරියක් සෙවීමටද ඈ උනන්දු වූවාය. රම්‍ය, සුරම්‍ය, සුබ යන මාළිගා තුනෙහි රජ සැප විඳි සිදුහත් කුමරු හා ඔහුගේ දේවිය දැක ඇය සතුටු වුවාය. තම පුත් නන්ද කුමරුට වඩා වැඩි වරප්‍රසාද රැසක් සිය සොහොයුරියගේ පුත්‍රයා වු සිදුහත් කුමරුට හිමිව ඇතැයි සිතා කිසි විටකත් ප්‍රජාපතී ගෝතමිය ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ලක් ඇති කර නොගත්තාය. නමුත් කාලයාගේ ඇවෑමෙන් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයාගේ අනාවැකිය සත්‍ය කරවමින් එතුමිය ආදරයෙන් පෝෂණය කළ ඔටුන්න හිමි පින්වත් පුත්‍රයා මහාභිනිෂ්ක්‍රමණය කළ විට ඇය ශෝකි වූවාය.

සිද්ධාර්ථ කුමාරයාගේ ගිිහි ගෙය හැර යාම නිසා සොවින් වැළපෙන යශෝදරා ලේලිය සැනසීමටත්, ළදරු රහල් කුමරු, පෝෂණය කිරීමට උපදෙස් දීමටත්, ඇයට සිදු විය. තම පුත් නන්ද කුමරු ළදරු කල කිරි මවුවරුන් ලවා පෝෂණය කරවීම ආදිය සොයා බැලූ ඇයට, තම මුණුබුරා පිළිබඳ, සොයා බැලීම ගැටලුවක් නොවන්නට ඇත. පවුලක වගකීම් දරන වැඩිහිටි කාන්තාවක වශයෙන් ඇය ඇගේ යුතුකම නොපරිහෙලා ඉටු කරන්නට වග බලා ගත්තාය. සිදුහත් කුමරුගෙන් හිස් වූ සිහසුනේ භාරකාරත්වය නන්ද කුමරුට පැවරීමටත් ඔහුට සුදුසු විවාහයක් කරදීමටත්, ඇය පියවර ගත්තාය. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වු පසු උන්වහන්සේ කිඹුල්වත්පුරයට වැඩමවාගෙන එනු පිණිස සුද්ධෝදන රජු විසින් යැවු පිරිවර බුදු සසුනේ පැවිදි වූ අතර පසුව බුදුන්වහන්සේ සියලු භික්ෂු සංඝයා වහන්සේලා පිරිවරා කුඹුල්වත්පුරයට වැඩම කළ විට, උන්වහන්සේ ගේ ශ්‍රී විභූතිය , බුද්ධ රූපශ්‍රීය දැක ප්‍රජාපතී ගෝතමිය සතුටු වුවාය. එදා ඥාතීන් මැද යමා මහ පෙළහර පවත්වන අවස්ථාවේ බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ද දරු සෙනෙහස උතුරා යන හදවතින්ද යුතුව එතුමිය ප්‍රාතිහාර්යය නරඹන්නට ඇත. බුදුන් වහන්සේ රජ මැදුරේදී දේශනා කළ ධර්මය අසා ඇය සෝවාන් ඵලයට පත්වූවාය. පසුව නන්ද කුමරුගේ පැවිදි වීමත්, එ නිසාම සුද්ධෝදන රජුට රාජ්‍ය කර්යභාරය තනිව ඉසිලීමට සිදුවීමත්, නිසා ප්‍රජාපතී ගෝතමි දේවියට මහත් වු සිත් වේදනාවන් ඇති වුවද, ඇය ඒ සියල්ල විඳ දරා ගත්තාය. එහෙත් නොසිතූ අයුරින් තම සුරතල් මුණුබුරා වු රහල් කුමරු ද පැවිදි දිවියට පත්වීම ප්‍රජාපතී ගෝතමියට පමණක් නොව සුද්ධෝදන රජුටද විශාල කම්පනයක් ඇති කරවීය. තමන් පි‍්‍රය කළ සියලු දෙනා ටිකෙන් ටික තම ජීවිතයෙන් ඈත්ව යද්දී, ප්‍රජාපතී ගෝතමිය ඒ සියල්ල උපේක්ෂාවනේ විඳදරා ගත්තාය. ජීවිතයේ අවසාන සමයේ ධර්මය අසා රහත් භාවයට පත්ව සිටි සුද්ධෝදන රජුගේ පිරිනිවන් පෑමත් සමඟ මාළිගයේ තනි වූ ප්‍රජාපති ගෝතමියටද පැවිදි වීමට සිතක් පහළ විය. ඒ වන විට යශෝදරා දේවියද පැවිදි වීමේ කැමැත්තෙන් පසු වූවාය. එක් අවස්ථාවක රෝහිනී නදියේ ජලය බෙදා ගැනීමට නොහැකිව සටනකට සූදානම් වූ ශාක්‍ය කෝලිය දෙපිරිස අතරට වැඩම කළ බුදුන් වහන්සේ ධර්මය දේශනා කොට එම ගැටුම සමථයකට පත් කරන ලදහ. එහිදී ධර්මය අසා පැහැදුණූ ශාක්‍ය කුමාරවරු පන්සීයක් දෙනා පැවිදි දිවියට පත් වුවේය. කුමාරවරුන්ගේ පැවිදි වීමෙන් ඔවුන්ගේ බිසෝවරු තනිවූහ. එසේ ගිහිගෙයි තනිවූ එම ශාක්‍ය කුමාරිකාවන් පන්සීය දෙනාද ප්‍රජාපතී ගෝතමිය සමඟ එකතු වූවාය. ඒ වන විටත් බුදු සසුන තුළ භික්ෂුණී ශාසනය ආරම්භ වී නොතිබුණි. මහා ප්‍රජාපතී ගෝතමිය පන්සීයක් වු කුමාරිකාවන් පිරිවරා නිග්‍රෝධාරාමයේ වැඩ සිටින බුදුන් වහන්සේ වෙත එළඹ පැවිදි වීමට අවසර පැතුවත් බුදුන් වහන්සේ ඒ සඳහා තම අනුමැතිය ලබා නොදුන්හ. “මාගේ නිර්මල වූ ශාසනයෙහි ස්ත්‍රීන් පැවිදි වීමට උත්සාහ නොකරව“ යි වදාරා ඇයගේ ඉල්ලීම තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කළහ.

කාන්තා පැවිද්ද බුදුන් වහන්සේ වෙතින් ප්‍රතික්ෂේප වුවත් ප්‍රජාපතී ගෝතමිය සිය අරමුණ වෙනස් කර නොගත්තාය. තම අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා ඇය තුළ තිබුණා වු කැපවීම ඇය සතු වු සුවිශේෂී ගුණාංගයකි. වීර්යවන්ත බව, ඉවසිලිවන්ත බව, නිහතමානීකම, දිනක ඇගේ අරමුණ ජයග්‍රහණය, කරා ගමන් කරවීය. ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීමෙන් අෂ්ට ගරු ධර්ම පිළිපැදීමේ පොරොන්දුව මත ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පන්සීයක් කාන්තාවන්ට ශාසනයේ උරුමකරුවන් බවට පත්වීමට හැකි විය. ඉක්බිති භික්ෂුණී ශාසනයේ ආරම්භය උදා විය. ප්‍රජාපතී ගෝතමී භික්ෂුණිය උපසපන් ප්‍රථම භික්ෂුණිය ද වූවාය. විශාලා මහනුවර මෙහෙණවර තුළ එතුමිය අනෙකුත් භික්ෂුණීන් පිරිවරා වැඩ සිටියහ. එසේ වැඩ සිටිද්දී තමන් වෙත පැවිද්ද ලබා ගැනීමට එන උවැසියන් කාටත් ඇගේ අවවාද අනුශාසනා යටතේ පැවිද්ද ලැබිණ, එතුමිය නිසා බොහෝ කාන්තාවන් ලෞකික ලෝකෝත්තර සැප ළඟා කර ගත්හ. ආදර්ශවත් ජීවිත ගත කළහ. ගිහි කල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “අම්මා” කෙනෙකු වූ ප්‍රජාපතී ගෝතමී තෙරණිය මුළු ගැන්වී පීඩා විඳිමින් කිසිම නිදහසක් නැතිව සිටි කාන්තාවන්ට ලෝකෝත්තර ගුණ ධර්ම පිරීමට ස්ත්‍රී පක්ෂයට ද හැකියාව ඇති බව ඔප්පු කර පෙන්වුවාය. එදා සිට අද දක්වාම බුද්ධ මාතාවගේ ආදර්ශවත් චරිතය බෞද්ධ සිත් සතන්හි ගෞරවාදරයට පාත්‍රව පවතින්නේද ඒ නිසාය.