සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 7
නාරංවත්තේ
ධම්මසිරි හිමි
බුද්ධභුමි වන්දනාවෙන් බ්නර අමාවක පෝදා (2014 - 09 - 23) අප බුද්ධගයා
වන්දනාව ආරම්භ කළෙමු. අද එතැන් සිට වන්දනා කරමු.
බුද්ධගයාවේ මහා බෝධීන් වහන්සේ උදෙසා පසුකාලීනව අශෝක අධිරාජයාගෙන් පැවැත
එන්නෙකු විසින් ගල් බැම්මක් ඉදිකර ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කිරීමට
කටයුතු යොදා ඇත. ඈත අතීතයේදී බෝධිය වන සතුන්ගෙන් ප්‍රවේශම් කර ගැනීම
සඳහා ආරක්ෂක ගල් වැටක් ඉදිකර ඒ වටා පිළිම තැන්පත් කළ බව ටිබෙට් ජාතික
නාරානාථ සඳහන් කර ඇත.
හයවෙනි ශත වර්ෂයේදී ද නැවත බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය විනාශ කර ඇති
අතර, පසුව මගධයේ පූර්ව චර්ම රජු කිරි එළදෙනුන් දහසකගේ කිරිවලින් පූජා
පවත්වා ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත නැවත ජීවය ලබාදී ඇත. මෙසේ ශ්‍රී
මහා බෝධින් වහන්සේ විනාශ කිරීමට ගත් උත්සාහයන් අනාදිමත් කාලයක සිට
සිදුවී ඇත. බෝධින් වහන්සේ තුළ වූ පුනර්ජීවන ශක්තිය නිසා නැවත දළුලමින්
වැඩෙමින් පවතින ස්වභාවය සම්පූර්ණයෙන් විනාශ කිරීමට කිසිවෙකුටත් නොහැකි
වී ඇත.
සම්බුද්ධත්වයට පත්වීම සඳහා වැඩ සිටි වජ්‍රාසනය
බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සඳහා වැඩ සිටි ස්ථානයේ
ආසනය, “වජ්‍රාසනය” වශයෙන් වන්දනීය වේ. මහා බෝධි විහාරය තුළ ඇති
සුවිශේෂී බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින ආසනය, සම්බුද්ධත්වයට පත්වන
අවස්ථාවේ “සොත්ථිය” බමුණා විසින් පුජා කළ කුස තණ අතුරා සැකසුණු ස්ථානය
සිහිගන් වන අතර එය මුල් වජ්‍රාසනය වශයෙන් සැලකේ.
සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක්වන බෝධින් වහන්සේ මූලයේ ඇති හතරැස්
හැඩයෙන් යුත් ශෛලමය පුවරුව බාහිර වජ්‍රාසනය වශයෙන් සැලකේ. චුනාර්
වැලිගලින් නිර්මිත මෙම වජ්‍රාසනය විහාරයේ ඇතුළේ ඇති පැරැණි වජ්‍රාසනය
මත තබා තිබූ පුවරුවක් විය හැකි බවද විශ්වාස කෙරේ. මෙම වජ්‍රාසනය උස අඩි
තුනයි දිග අඩි 7 යි අඟල් 6 කි. පළල අඩි 4 යි. අඟල් 3 කි .
බුද්ධත්වයෙන් පසුව
ගත කරන ලද සත් සතිය
පළමු සතිය (බෝරුක මුල)
වෙසක්පුර පසළොස්වක අලුයම් වේලෙහි කෙලෙසුන් නසා ලොව්තුරා දහම පසක් කොට
උතුම් බුද්ධ රාජ්‍යයට පත්වු තථාගතයන් වහන්සේ මෙසේ සිතූහ. මේ උතුම්
බුද්ධ රාජ්‍යය දිනාගැනීම සඳහා මම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම්
පිරුවෙමි. මම අද බුදු බව ලැබීමි.
තථාගතයන් වහන්සේ සතියක්ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මූලයේ ඒ හුන්
පරිදිම බැඳගත් පළඟ නොලිහා සමවත් සුවෙන් වැඩ සිටි සේක. තථාගතයන් වහන්සේ
බෝමැඬ ගත කළ සත්වන දිනයේදී පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම
වශයෙන් මෙනෙහි කළහ.
මෙසේ පටිච්චි සමුප්පාද ධර්මය මෙනෙහි කිරීමෙන් තථාගතයන් වහන්සේගේ සිත
තවත් පහන් විය. සකලවිධ බැඳීම් වලින් මිදී සුවපත්ව තිබු සිත පුළුන්
රොදකට වඩා සැහැල්ලු විය. උන්වහන්සේ මේ පහන් සිත සුන්දරත්වය “යදා හවේ
පාතු භවන්ති ධම්මා” ආදී ගාථා දේශනා මගින් පැහැදිලි වේ. බුදු වීමෙන් පසු
පළඟ නොලිහා වැඩ වසනු දුටු බුදු පියාණන් වහන්සේ “සිද්ධාර්ථයන් වහන්සේ
තවම බුදු නොවූ සේක්දෝයි” යන ඇතැම් දෙවියන්ගේ සැකය දුරුකරනු වස් අප
බුදුපියාණෝ සත්වන දින පශ්චිම යාමයේ අහසට පැන නැගි යමා මහ පෙළහර පෑහ.
දෙවන සතිය
(අනිමිස ලෝචන පූජාව)
දෙවන සතිය ගත කළේ අනිමිස ලෝචන පූජාවෙහිය. උන්වහන්සේ ඇසිපිය නොහෙලා
කළගුණ දැක්වුයේ ශ්‍රී මහා බෝධි මණ්ඩලය වෙතය. මේ මොහොතේ බෝ මැඩ දෙස බලා
බුදුබව ලැබීමට ආධාර වු බව සලකා මම කෘතගුණයෙන් සිහිකරමි යන්න
උන්වහන්සේගේ සිතිවිල්ල විය.
තෙවන සතිය (රුවන් සක්මන)
තෙවන සතිය ගතකළේ රුවන් සක්මනෙහිය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේත් අනිමිස
ලෝචන චෛත්‍යයත් අතර පිහිටි පියුම් සහිත වේදිකාව රුවන් සක්මන් කළ ස්ථානය
ලෙස සැලකේ. මෙහි අමා මෑණියන් වහන්සේ සක්මන් කරමින් ගත කළ සේක.
බුදුරජාණන්වහන්සේ ධර්මය මෙනෙහි කරමින් සක්මන් කළ අයුරු සිහිපත් වන
අයුරින් පසු කලෙක ඉදිකරන ලද චෛත්‍යයක නටබුන් අදත් දක්නට ලැබේ. එය
රත්නචංක්‍රමණ චෛත්‍ය නම් වේ. සක්මන් කරද්දී පියුම් 18ක් පැණ නැගුණු බව
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
සිව්වන සතිය (රුවන් ගෙය)
භාග්‍යවතුන් වහන්සේ බෝධි මුලයෙන් වයඹ පැත්තේ රත්න ගෘහයෙහි වැඩ විසු
සේක. අභිධර්ම අටුවාවෙහි දක්වා ඇති පරිදි රනින් නිමවූ ගෘහයක් නිසා එසේ
නොකියන බවත්, අභිධර්ම සප්තප්‍රකරණ නමැති රුවන් විමසා බැලූ හෙයින්
“රතනඝර” නම් වු බව සඳහන්ය. සතරවන සතියෙහිදී සම්බුදු සිරුරෙන් ෂඩ් වර්ණ
බුද්ධ රශ්මීන් විහිදෙන්නට විය.
මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේෂණ යන සූත්‍රයේදී මේ බව සඳහන් වේ. ධර්මය
අපි රත්නයක් ලෙස සලකනු ලැබේ. ඉනුත් අභිධර්මය දේශනා කළ ස්ථානය රතනාඝරය
ජය ශ්‍රී මහා බෝධියේ දකුණූ පැත්තේ දැකිය හැක. ගඩොලින් සාදන ලද බිත්ති
අතරේ නටබුන් පමණක් ඉතිරි වී ඇත. විසිතුරු කැටයම් සහිත ගලින් නිම කළ දොර
රාමුවකි. අද දක්නට ලැබෙන කැටයම් වල උළුවස්ස ක්‍රි.ව. 10 වන සියවසට අයත්
වේ.
පස්වන සතිය
(අජපල් නුග රුක මුල)
බුදුවීමෙන් මසක් ගතවිය. සති හතරක් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සමීපයේ
වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පස්වන සතිය ගතකළේ අජපල් නුගරුක මුලය.
සමවතින් නැඟී සිටි අවස්ථාවක එක්තරා උඩඟු එක්තරා බමුණෙකු බුදුරදුන්ගේ
හමුවට පැමිණියහ. එම අවස්ථාවෙහිදී බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන්
බමුණෙකු වීමට තිබිය යුතු කරුණු කවරේදැයි විචාළේය. බුදුරජාණන් වහන්සේ
මෙසේ පිළිතුරු දුන් සේක. “පව් දුරුකළ අහංකාරයෙන් අනුන් හෙළා නොදකිනා,
කෙලෙස් කහට නැති, කෙලෙසුන් කෙරෙන් සිත රැක ගත් සතර මග නුවණින් නිවන්
කරා පැමිණි මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවූ යමෙක් වේ නම් හේ සැබෑ
බ්‍රාහ්මණයා නම් වේ.”
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ද ගුරුවරයෙක් නොමැතිව විසීම අයෝග්‍ය
යැයි සිතා ඊට සුදුස්සෙක් මෙම කාම, රූප, අරූප ලෝකත්‍රයෙහි නොවන බැව් දැන
තමන් වහන්සේ අවබෝධකරගත් ධර්මයම ගුරුතන්හි තබා කටයුතු කිරීමට අධිෂ්ඨාන
කළේද මෙම සතිය තුළදීමය.
මතු සම්බන්ධයි
සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 6 |