අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය – මජ්ක්‍ධිම නිකායේ “කොසොම්බි” සුත්‍ර දේශනාවට අනුව ලබා
ගත් දෙය කෙතරම් දැහැමි වුවද සමාජ සහජීවනය අරමුණු කරගෙන අවම වශයෙන් තම
පාත්‍රයට ලැබුණූ සුළු දෙය වුවද බෙදා හදා නොගෙන නොවැළඳිය යුතු බව දැඩි
ලෙස කියැවෙයි. බුදු දහමට අනුව පරිත්‍යාගය (චාග) සම්පතකි. සිව්
සඟරාවතින් (චතුස්සංගහ වත්ථු) දානය පළමු වැන්නෙන් අවධාරණය කළේ ඒ නිසයි.
සමාජ සාධාරණියකරණය සඳහාත් තමා වෙතින් අනෙක් අයට යන තේමාව ඔස්සේ
(පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක් විය යුතුය. පැහැදිලි
කරන්න.
පිළිතුර– බුදු දහමට අනුව ප්‍රධාන හේතුන් දෙකක් නිසා දානය අවධාරණය කර
තිබෙන බව පැහැදිලිය. ඉන් පළමුවැන්න පුද්ගලයා පිළිබඳ සලකා බැලීමයි.අනෙක
පරිත්‍යාගශීලි බව සමාජ ප්‍රගතියට බෙහෙවින්ම හේතු සාධකයක් වන බවයි.
පුද්ගල හා සමාජගත දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදුරජාණන් වහන්සේ
වදාළහ. තෘෂ්ණාව නිසා අයත් කර ගැනීම,රැස් කිරීම, පැහැර ගැනීම, මගේ බවට
පමුණුවා ගැනීම, මමත්වයට ගොඩ නැගීම, එමගින් (සක්කාය දිට්ඨි) හෙවත්
ආත්මයක් පිළිබඳ විශ්වාසයක් තහවුරු කර ගැනීම ආදිය සිදු වෙයි. මෙම
මිථ්‍යා දෘෂ්ටිය පුද්ගල සන්තානය තුළින් ඉවත් කිරීමට ප්‍රතිපක්ෂ ධර්මයන්
පුරුදු පුහුණු කළ යුතුය. මෙසේ ලෝභය,රාගය, තෘෂ්ණාව ප්‍රහීණ කිරීමට
පරිත්‍යාගය අනුගමනය කළ හැකි ඵලදායි මාර්ගය වෙයි.
අත්හැර දැමීමේ සංකල්පය “නෙක්ඛම්ම” නමින් හැඳින්වෙයි. ආධ්‍යාත්මික
දියුණුව සැලසීමේ අඩිතාලම එයින් දැමෙයි. සිව් සහරාවතින් වඩාත් අවධාරණය
කර ඇත්තෙ දන්දීමෙහි (පරිත්‍යාගයෙහි) සමාජමය අරුතයි. සමාජයෙහි යහ
පැවැත්ම මෙන්ම සද් ගුණවත් භාවයට පරිත්‍යාගය අත්‍යවශ්‍ය වෙයි. නොදීමෙන්
තැන් තැන්වල එක් රැස්වීමට පටන් ගැනේ. එවිට වෙනත් තැනක හිදැසක්,අවකාශයක්
(අඩුවක්) ඇති වෙයි. ඒ හේතුවෙන් සන්නිදිකාර (අධිකාරි) බලයක් ඇති වෙයි.
සමාජය තුළ එක් කොටසක් බලය පවරා ගනී. එමගින් සමතුලනය නැතිවේ. සම්පත්
සුරාකෑමකට ලක්වේ. එවිට සම්පත් හිඟයකට හා විනාශයකට මුහුණ පෑමට සිදු වේ.
මේ කරුණු දී.නි. අග්ගඤ්ඤ සූත්‍රයෙහි මෙසේ මැනවින් විස්තර වෙයි.
පෞද්ගලික හැකියාව නිසා හෝ වෙනත් හේතු නිසා හෝ හැම දෙනාටම එක පමණට නො
ලැබේ.ඇතැමුන්ට වැඩියෙනුත් සමහරෙකුට අඩුවෙනුත් ලැබීම ස්වභාවයෙකි.
වැඩියෙන් ලබන්නන් නොදී සිටීම (අදනානං ධනෙ අනුප්පාදිය මානෙ දළිද්දියං
වෙපුල්ලං අගමාසි) ඇත නැති පරතරයක් නැතහොත් අසමානතාවක් ඇති කිරීමට
හේතුවේ. එවිට අඩු අය වැඩි අය කෙරෙහි ඊර්ෂ්‍යාවන් බැලීමට පටන් ගනිති.
කලහයකට අරගලයකට මග පෑදේ. සමාජ සාමය එකමුතුකම බිඳ වැටේ. |