Print this Article


බුදුරදුන්ගේ ධර්ම සන්නිවේදනය

බුදුරදුන්ගේ ධර්ම සන්නිවේදනය

බුදුරදුන් ලොව පහළ වූ විශිෂ්ටතම හා ප්‍රමුඛතම මහා සන්නිවේදකයාණන් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ඒ මන්දයත් මීට වසර 2500 කට පමණ පෙර බුදුරදුන් සිය ධර්ම සන්නිවේදනය භාවිතා කළ ආකාරය අදට ද ආදර්ශයකි. එසේම උන්වහන්සේ සිය ධර්ම සන්නිවේදනය තුළින් මතු කළ සන්නිවේදන ය මූලධර්ම හා න්‍යායන් රැසකි. එකී න්‍යායන් අදට ද එක සේ වලංගුය. නමුත් පසුකාලීනව බිහිවූ ලෝකයේ විවිධ සන්නිවේදන විශේෂඥයින්ද සන්නිවේදනය ආශි‍්‍රතව විවිධ මූලධර්ම හා න්‍යායන් ඉදිරිපත් කර ඇත. නමුත් වර්තමාන සන්නිවේදනය ආශි‍්‍රතව අපේ සිසු පරපුර ඉගෙන ගන්නා මෙකී නූතන සන්නිවේදන මූලධර්ම හා න්‍යායන් සියල්ලම මීට වසර 2500 කට පෙර බුදුරදුන් සිය සන්නිවේදන මෙහෙවරට භාවිතා කළ මූලධර්මයන් හා න්‍යායන්මය.

මීට සියවස් 25 කට පෙර බුදුරදුන්ගේ ධර්ම සන්නිවේදනය ලොව පුරා සුපතල වීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ උන්වහන්සේගේ සන්නිවේදන විධික්‍රමය වේ. එනම්, බුදුරදුන්ගේ ආකර්ෂණීය රූපශ්‍රීය සඵල සන්නිවේදනයට බලපෑවේ ය. බුදුරදුන්ගේ මධුරමය ස්වරය හෙවත් හඬ සඵල සන්නිවේදනයට බලපෑවේ ය. බුදුරදුන්ගේ මුල, මැද, අග යහපත් වූ දේශනා විලාශය සඵල සන්නිවේදනයකට බලපෑවේ ය. බුදුරදුන්ගේ ආකර්ෂණීය වූ රූපශ්‍රීය ගැන සෝණදණ්ඩ බමුණා පැහැදිලි කළ ආකාරය සෝණදණ්ඩ සූත්‍රයේ ඉතාමත් පැහැදිලිව සඳහන් වේ. එසේම බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන ඉතා පැහැදිලිව සඳහන් වේ. මේ ගුණාංග නිසාම බුදුරදුන් රූපශ්‍රීයෙන් ඉතාමත් ආකර්ෂණීය විය. මේ නිසා උන්වහන්සේ දකින ග්‍රාහක ජනතාව පළමුවෙන්ම රුවට ආකර්ෂණය විය. බුදුරදුන්ගේ පි‍්‍රයමනාප රූපය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් හා මහල්ලන් දක්වාම ආකර්ෂණය වඩවන්නක් විය. මේ පි‍්‍රය මනාප භාවය නිසාම ග්‍රාහක ජනතාව තුළ කැමැත්තක් මෙන්ම විශ්වාසයක් ගොඩ නැඟුණි. ඒ කැමැත්ත හා විශ්වාසය නිසාම උන්වහන්සේ ප්‍රකාශ කරන දේ දැඩි ඕනෑකමින් අසාගෙන සිටින්නට ග්‍රාහක ජනතාව පෙළඹුණි. බුදුරදුන්ගේ මෙම ආකර්ෂණීය රූපශ්‍රීය ගැන සෝණදණ්ඩ සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනාවකම සඳහන්ව තිබේ.

එසේම බුදුරදුන්ගේ මධුරමය ස්වරය හෙවත් මිහිරි හඬ සුවහසක් ග්‍රාහක ප්‍රජාව වශීකෘත කරගන්නට ආකර්ෂණය කරගන්නට හේතු වූ බව බොදු මූලාශ්‍රවල සඳහන් වේ. බුදුරදුන්ගේ මිහිරි මධුරමය බස් වහර ගැන සෝණදණ්ඩ සූත්‍රයේ සඳහන් වේ. එහි සෝණදණ්ඩ බමුණා සිය පිරිස අමතා බුදුරදුන්ගේ ආකර්ෂණීය හඬ ගැන සඳහන් කරන්නේ මෙසේ ය. බුදුරදුන් වූ කලී යහපත් කලන තෙපුල් ඇත්තේ ය. මිහිරි බස් කියන්නේ ය. නිදොස් වූ, කෙළතොළු නොවූ, කී අරුත හඟවනු සමත්, සිලිටි බසින් සමත්, සිලිටි බසින් සමත්විතයෝය. වඩාත් දියුණු මිනිසුන්ගේ බසම වහරන්නේය......” යැයි පැවසීය.

මින් පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ භාෂාව තුළ තිබූ සුවිශේෂි භාවය වේ. දිග්සගියේ සිහනාද සූත්‍රයේ දැක්වෙන පරිදි බුදුරදුන්ගේ වචන කාලවාදී (කාලයට ගැළපෙන්නේය.) භූතවාදීය (ඇති තතු මැ කියන්නේ ය.) අර්ථවාදීය (ගැඹුරු අරුතක් හා ප්‍රයෝජනයක් ඇත්තේය.) විනයවාදීය (ශික්ෂණය හා ආචාරශීලීභාවය අරමුණු කොටගෙන ඇත්තේ ය) ධර්මවාදී (අධර්මය බැහැර කරමින් යහපතක්ම ඉටුකරන්නේය.)

එසේම බුදුරදුන්ගේ මිහිරි ආකර්ෂණීය හඬ හා බස තුළ ශික්ෂණය ඇති කරවන භාෂණ අංග 8 ක් අඩංගුව පැවතිණි. එනම්,

01. විස්සට්ඨ - සිඳුණු බව
02. මඤ්ජු - මිහිරිකම
03. විඥේඤය්‍ය - පහසුවෙන් වැටහෙන බව
04. සවනීය – ඇසීමෙන් තව තවත් රුචිය ඇති කිරීම
05. අව්සාරි – පැහැදිලිකම
06. බින්දු – ඒකමිතිකතාව
07. ගම්භීර – ගැඹුරුකම
08. නින්නාද – නාදය ප්‍රතිනාද දෙමින් අස්සක් මුල්ලක් නෑර පැතිරී විසිරී යාම.

බුදුරදුන්ගේ ඉහත භාෂණ පෞරුෂය තුළ අඩංගුව පවතින ප්‍රධානතම අංග 8 න් ග්‍රාහක ජනතාව ආකර්ෂණය වේ. එසේම ග්‍රාහක ජනතාව බුදුබණ ඉතාමත් ඕනෑකමින්, වශීකෘතව ශ්‍රවණය කරති. මේ නිසාම ග්‍රාහක ප්‍රජාව තුළ දහම් කරුණු සන්නිවේදනය කිරීම වඩාත් පහසුවේ.

එසේම බුදුරදුන් සිය මධුරමය හඬ භාවිතා කරමින් තමන් වෙත පැමිණෙන ග්‍රාහක පිරිස සමඟ සුහදශීලීව කතාබහ කිරීමද, ග්‍රාහක ආකර්ෂණයට හේතුවේ. බුදුරදුන් දහම් ඇසීමට, ගැටලු නිරාකරණය කර ගැනීමට, උපදේශන ලබාගැනීමට තමන් වෙත පැමිණෙන ග්‍රාහක ජනතාව සමඟ දහම් දෙසන්නට පෙර සතුටු සාමීචියේ යෙදෙමින් ඔවුන්ගේ සුවදුක් ගැන ද විමසති.

බුදුරදුන් තමන් වෙත පැමිණෙන්නන් අමතා “එන්න ඔබගේ පැමිණීම යහපත්” යැයි පවසමින් පළමුව පිළිගනිති. ඉන්පසුව ග්‍රාහක ජනතාවගෙන් “ඔබගේ සැපදුක් කෙසේද” යනුවෙන් සුවදුක් විමසති. “එන්න සුදුසු තැනක අසුන් ගන්න” යැයි තමන් හමුවට පැමිණි ග්‍රාහකයින්ට ආරාධනා කරති. මේ නිසාම ශ්‍රාවකයින්ද උන්වහන්සේට ලෙන්ගතු වී ඔවුන්ද බුදුරදුන්ගේ ද සුවදුක් විචාලති. එනම් අප්පබාධා (ආබාධ අඩුද) අප්පානංකං (ලෙඩදුක් අඩුද) ලහුං (සැහැල්ලුවෙන් සිටිත්ද) ඵාසු විහාරං (පහසුවෙන් සුවෙන් සිටින්නේද) යනාදියෙන් විමසා සිටි බව සූත්‍රයන් හි සඳහන් වේ.

බුදුරදුන්ගේ මෙම ආකර්ෂණීය ලෙන්ගතුභාවය නිසාම සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර වඩාත් සමීප සබඳතාවයක් ගොඩනැඟේ. මේ නිසා ධර්ම සන්නිවේදනය වඩාත් ඵලදායක හා සාර්ථක වේ.

මේ පිළිබඳව සෝණදණ්ඩ සූත්‍රයේ සෝණදණ්ඩ බමුණා මෙසේ පවසති.

“උන්වහන්සේ තමන් හමුවට එන්නවුන්ට, එන්න ඔබේ පැමිණීම ඉතා යහපත් යැයි පිළිගන්නා සේක. මිහිරි වදනින් කතා කරන සේක. සතුටු සාමීචි බස්ම දොඩන සේක. විවෘතව කතා කරන සේක. තමා හමුවන්නට පැමිණෙනවුන්ට පළමුව කතා කරන්නට තරම් ආචාරශීලීය. නිහතමානීය.....” යැයි පැවසීය.

චූලෝගසිංහ නම් වනයේ දී බුදුරදුන් සිය ශ්‍රාවක භික්ෂූන් තිදෙනෙකු මුණ ගැසුණු විට ඔවුන්ගේ සුවදුක් විචාල ආකාරය මැදුම් සගියේ චූලෝගසිංහ සූත්‍රයේ දැක්වේ. එනම්,

“අනුරුද්ධයෙනි ඔබගේ සැප සනීප කෙසේද? ආහාරපානාදියෙන් අගහිඟකම් තිබේද? ඔබ තිදෙන සතුටින් සමඟියෙන් සිටිත්ද? යනුවෙන් විචාලේය.”

බුදුරදුන් මේ ආකාරයට සිය ශ්‍රාවක භික්ෂූන් මෙන්ම ග්‍රාහක ජනතාව සමඟ සමීප සබඳතාවක් මෙන්ම ලෙන්ගතුභාවයක් ගොඩනඟාගෙන සිටි බව බොදු මූලාශ්‍රවල සඳහන් වේ. මෙම සමීපතාව හෙවත් ලෙන්ගතුභාවය ගොඩනඟා ගැනීම සඳහා බුදුරදුන්ගේ ආකර්ෂණීය රූපශ්‍රීය හා මධුරමය හඬ හේතු වී තිබෙන බව විවිධ සූත්‍රයන්හි සඳහන් වේ.

බුදුරදුන්ගේ භාෂණ විලාශය තුළ අන්තර්ගතව පැවැති අර්ථයන්ද ග්‍රාහක ජනතාව බුදුබණ කෙරෙහි ආකර්ෂණය කර තබාගැනීමට හේතු වූ බව දීඝ නිකායේ ජාලිය සූත්‍රයේ සඳහන් වේ. එහි සඳහන් වන පරිදි බුදුරදුන්ගේ වදනක ඇති ශක්තිය හා එය පිරිහුණ විට ඇතිවන අනර්ථය පැහැදිලිව පෙන්වන කැඩපතක් ලෙස පෙන්වා දිය හැකිය.

ජාලිය සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

“හිස් වූ ප්‍රලාප කතා හැර ඉන් වෙසෙසින් වැළකෙති. අයහපත් කතා නොකරති) කාලයට සුදුසු වූ දේම, (කාලීන) සිදුවූ සැබෑ දේම (සත්‍ය හා නිවැරදි), කියති. අර්ථයෙන් යුක්ත (අර්ථවත්, යථාර්ථවාදී), දහම් ඇසුරින් (යහපත) විනය ඇසුරින් (ආචාරධර්මානුකුල, ශික්ෂණය) දේම කියන්නේ ය. සුදුසු පරිදි (ස්ථානෝචිත ප්‍රඥාව) උපමා හා කරුණු සහිතව (අර්ථවත්ව පැහැදිලි කරන) විස්තර කරන, සීමාවක් (කිව යුතු සීමාව දැනගෙන) සහිත, සිතේ තබාගත හැකි (සිතට කාවදින හා පොළඹවන) අර්ථාන්විත කරුණු කියන්නේද, එක් ශීලයකි.....”

මින් පැහැදිලි කෙරෙන්නේ බුදුරදුන්ගේ භාෂණ සන්නිවේදනයේ සත්‍ය, නිවැරදි, සමබර, පැහැදිලි හා ග්‍රාහක විශ්වාසනීය භාවය වේ. වසර 2500 කට පෙර බුදුරදුන්ගේ මෙම භාෂණ ගුණාංගය වර්තමාන සන්නිවේදනයට යුනෙස්කො සන්නිවේදන විශේෂඥයෙකු වූ පෝල් ඩී. මැසිනර් මූලධර්මයක් ලෙස ඉදිරිපත් කොට තිබේ. එනම්,

A – Aquracy  සත්‍ය/ නිවැරදි බව + B – Balance සමබර බව + C – Clarity පැහැදිලි බව = C – Credibility විශ්වසනියත්වය ලෙසය.

පෝල් ඩී. මැසිනර්ගේ සන්නිවේදන මූලධර්මයට වඩා බුදුරදුන් ජාලය සූත්‍රය තුළ කැටි කළ සන්නිවේදන මූලධර්ම වඩාත් පුළුල් අර්ථයක් ගෙන දෙන්නකි. බෞද්ධ සන්නිවේදනය තුළින් ප්‍රමුදිත වන මෙවන් වටිනා සන්නිවේදන සංකල්ප නූතන සන්නිවේදනයට මහඟු ආදර්ශයකි.

බුදුරදුන්ගේ ධර්ම දේශනා විලාශයද ග්‍රාහක ජනතාව තුළ සඵල සන්නිවේදනයක් ප්‍රබල ලෙස ඇති කිරීමට හේතු වී තිබේ.

බුදුරදුන්ගේ ධර්ම සන්නිවේදනයේ සංදේශය ආදි කල්‍යාණවය (මුල යහපත්ය) මාධ්‍ය කල්‍යාණවය (මැද යහපත්ය) හා පරියෝසාන කල්‍යාණවය (අග යහපත්ය) එනම් උන්වහන්සේ ධර්මය දේශනා කරන විට එහි අන්තර්ගතයේ මූල යහපත් ලෙස ධර්මය දේශනා කරති. එසේම මැදද යහපත්ය. උන්වහන්සේ ධර්ම දේශනාව අවසාන කරන විට අගද යහපත් ලෙස දහම් කරුණු දෙසති. එසේම උන්වහන්සේගේ ධර්ම දේශනා විලාශයද කොටස් 3 කට බෙදා වෙන් කෙරේ. මේ පිළිබඳව මැදුම් සගියේ කීටාගිරි සූත්‍රයේ සඳහන් වේ. එනම්,

01. අනුපූර්ව ශික්ෂණය වදාළහ.
02. අනුපූර්ව ක්‍රියාමාර්ග ඉගැන්වූහ.
03. අනුපූර්ව පිළිවෙත පෙන්වාදුන්හ.

මෙහි පළමු අදියරේ දී බුදුරදුන් පළමුකොට දානාදී පින්කම් කියාදෙමින් දාන කතාව දේශනා කරති. උන්වහන්සේ දෙවනුව ශීලාදී පිළිවෙත් ගැන පහදාදෙමින් ශීලකතාව දේශනා කරති. බුදුරදුන් තෙවනුව දාන, ශීල ආදිය මඟින් උදාකරගත හැකි දිව්‍ය ලෝකාදී සම්පත් ගැන පහදා දෙති. මේ අනුව බුදුරදුන් පළමු අදියරේ දී ලෞකික වශයෙන් සුවපත් කරන සංසාරික ජීවිතය ගොඩනඟා ගැනීමට උපදෙස් ලබාදේ. ඉන් අනතුරුව බුදුරදුන් ධර්ම සන්නිවේදනයේ දෙවන අදියරට ක්‍රමයෙන් පිවිසෙති. ඒ වන විට පළමු අදියර තුළ ග්‍රාහක ජනතාව යම්කිසි මෘදු මොලොක්, ශික්ෂණයකට පත්කර ඔවුන්ගේ සිත් විසිරි යාමට ඉඩ නොදී එකම අරමුණක් වෙත කේන්ද්‍රගත කොට තිබේ. එම නිසා බුදුරදුන්ට සිය ධර්ම සන්නිවේදනයේ දෙවෙනි අදියර ආරම්භ කිරීම පහසුය.

ඉන්පසුව බුදුරදුන් ක්‍රමානුකූල සංකීර්ණ දහම් කරුණු වෙත යොමුවෙති. ඒ අනුව කාමාදීන්ගේ ආදිනව, ඉන් මිදීමේ අගය වදාරති. එසේම කාමාදීන්ගේ ලාමක බව, කිළිටි බව පැහැදිලි කර දෙති. ඒ අනුව සංකීර්ණ හා ගැඹුරු දහම් කරුණුවලට ග්‍රාහකයා රැගෙන යති. මෙහිදී බුදුරදුන් සම්මුති, දාර්ශනික, හා පරමාර්ථ ලෙස දහම් කරුණු දේශනා කරති. බුදුරදුන්ගේ ධර්ම සන්දේශයේ අන්තර්ගත කරුණූ මෙසේ වර්ග කළ හැකිය.

01. අර්ථයෙන් හා ව්‍යංජනයෙන් යුක්තය.
02. සුපිරිසුදු බ්‍රහ්මචරියාව ප්‍රකාශිතය.
03. පියවරෙන්, පියවර සැලසුම් කරති.

මේ නිසා බුදුරදුන්ගේ දහම් සංදේශය ගුණාත්මක බවෙන් මෙන්ම මානුෂිකහිතවාදී බවෙන්ද පිරිපුන්ය. එම නිසා එහි වචනයක් වචනයක් පාසා ග්‍රාහක ජනතාවට යහපතක් ඉටු කෙරෙති. එසේම බුදුරදුන්ගේ දේශනා ග්‍රාහකයා හා ග්‍රාහක කණ්ඩායම් අනුව වෙනස් විය. මේ නිසා ඇතැම් දේශනා සංක්ෂිප්ත විය. තවත් විටෙක ධර්ම දේශනාව විස්තරාත්මක විය. එසේම ග්‍රාහකයාගේ ගැටලුව අනුවද ධර්ම දේශනා විධි විවිධාකාර විය. එසේම ඇතැම් ධර්ම දේශනාවලදී ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ධර්මය දේශනා කරනු ලැබීය. තවත් විටෙක බුදුරදුන් ග්‍රාහකයින්ගෙන් ප්‍රශ්න විචාරමින් පිළිතුරු ලබාදෙමින් ධර්මය දේශනා කරනු ලැබීය.

බුදුරදුන් සිය ධර්ම සන්නිවේදනය සඳහා බොහෝ අවස්ථාවල විවිධ උපමාවන් යොදාගත් බව විවිධ සූත්‍රයන්හි හා ජාතක කතා, ධම්මපද අටුවාව ආදියේ සඳහන් වේ. එසේම උන්වහන්සේ සියධර්ම දේශනාව රසවත් කතාන්දරයක් ආකාරයට විවිධ උපහැරණයන් සහිතව වෘත්තාන්ත ශෛලියෙන් ඉදිරිපත් කළ අවස්ථාද දක්නට ලැබේ. මෙහිදී බුදුරදුන් ග්‍රාහකයින් තුළ මනෝමය චිත්‍ර මැවීම සඳහා මනෝවිද්‍යාත්මකව දහම් දෙසූ ආකාරය අපගේ සූත්‍රයන්හි සඳහන් වේ. මේ තුළින් බුදුරදුන් මානව අත්දැකීම් මුසු කරමින් ග්‍රාහකයින් තුළ විශ්වාසනීය බව, යථාර්ථවාදී බව, ප්‍රත්‍යක්ෂ කිරීමට, දහම රසවත් කිරීමටත් කටයුතු කළේ ය. එසේම උන්වහන්සේ ඇතැම් ධර්ම දේශනා ගද්‍ය මෙන්ම පද්‍යයෙන් හා ගාථා මාධ්‍යයෙන් ද පැවැත්වීම නිසා එහි විවිධත්වයක් මෙන්ම විනෝදාස්වාදයක් ද ග්‍රාහකයින් තුළ ඇතිවිය.

උදා – ධම්මපදය, සුත්ත නිපාතය, ථෙරගාථ, ථෙරීගාථා, බුද්ධවංශය

එසේම බුදුරදුන් සිය ධර්ම සන්නිවේදනය සඳහා උපමා යොදා ගැනීම තුළ ග්‍රාහක ජනතාව තුළ ඊට අදාළ චිත්තරූප මවා පෙන්වීමට සමත් විය. මේ ආකාරයට ජන ජීවිතය හා බැඳුණු උපමා මඟින් දහම් පණිවිඩය ඉතා රසවත්ව සන්නිවේදනය විය.

උදා – 01. ඇතෙකු හඳුනාගැනීම සඳහා අන්ධයින් පිරිසක් ඇතාගේ අඟ පසඟ අත ගාමින් ඇතාව හඳුනාගැනීමට ගත් උත්සාහය හා ඔවුන් දබර කරගත් ආකාරය ගැන උපමාව.

02. පැවිදි දිවියේ හරය පිළිබඳව වටහා දුන් රුක් උපමාව.

03. කිසා ගෝතමියට ඉපදීම මැරීම ගැන වටහාදුන් උපමාව.

සේමම බුදුරදුන්ගේ ධර්ම සන්නිවේදනය කෙරෙන දම්සභා මණ්ඩපයන්හි පැවතියේ දැඩි නිහඬතාවකි. ග්‍රාහකයින් කිසිවෙකුත් කිසිදු හඬක් නොනඟා නිශ්ශබ්දව නිහඬව දහම් ශ්‍රවණය කරති. යමෙකු අහම්බයෙන් කිසියම් ශබ්දයක් නැඟුවද අනෙකා එය වළක්වන තරමට ශික්ෂණයක් ග්‍රාහකයින් තුළ පැවතුණි.

බුදුබණ අසන ග්‍රාහකයින්ගේ නිහඬත්වය ගැන අන්‍යගාමිකයෙකු වූ සකුළුදායි නමැති පිරිවැජියා පැවසූ ආකාරය මැදුම් සගියේ සකුළුදායි සූත්‍රයේ සඳහන් වේ. එනම්,

“සිව්මංසලක දඬුවෙල් බෑ මීයන් කඩද්දී මහජනයා මහත් රුචියෙන් පතාගෙන සිටිනු වැනිය...”

බුදුරදුන්ගේ ධර්ම සන්නිවේදනය කෙරෙන දම් සභා මණ්ඩපයන්හි පැවැති නිහඬතාව ගැන කොසොල් රජු බුදුරදුන්ගෙන් විමසා සිටියේ ය.

“ස්වාමිනී මම ඔටුණු පලන් රජෙක්මි. මා අධිකරණෙයෙහි විනිශ්චය පිණිස සිටිද්දී පවා මිනිසුන් තැනින් තැන ඝෝෂා කරති. හඬ නඟති. මම ඔවුනට අවවාද කරමි. නමුත් ඔබ වහන්සේ දහම් දෙසන තැන අසන්නෝ තැන්පත්ව නිහඬව සවන් දෙති......”

මීට කදිම පිළිතුරක් කරණපාලි සූත්‍රයේ සඳහන් වේ. එනම්,

කරාණ පාලි නම් බමුණා සිය හිතවතා වන පිංගියානිට මෙසේ පවසති.

“පිංවත යම් සේ අග්‍රරසයක් විඳි තැනැත්තෙකු හීන රසයක් රුචි නොකරයිද, යම්සේ සඳුන් ගැටය මුලද, මැදද, අගද අග්‍රවූ සුවඳ විහිදුවයිද, යම්සේ රෝගි වුවෙකු දක්ෂ වෛද්‍යවරයෙකු විසින් සුවපත් කරන්නේද, යම්සේ ගිම්හානයෙන් පීඩිත පිපාසිතයෙකු ප්‍රසන්න වූ සිසිල් වූ මිහිරි දිය ඇති මනාකොට ඇති පොකුණකට බැස පැන් සනසා පැන් බී සියලු පීඩා දුරු කර ගන්නේ ද, එලෙසින්ම ගෞතමයන් වහන්සේගේ ධර්මය අසන්නෝද එය රුචි කරති. එහි සුවඳට කැමති වෙති. එයින්ම සුවපත් වෙති. එයින්ම සැනසෙති......” යැයි පැවසීය.

මින් ගම්‍යමාන වන්නේ බුදුරදුන්ගේ ධර්ම සංදේශය කොතරම් ප්‍රබල මට්ටමක පැවතියේ ද යන්නය. මේ නිසා බුදුරදුන්ගේ ධර්ම සන්නිවේදනය විශිෂ්ටතම සඵල සන්නිවේදනයක් ලෙස හඳුන්වාදිය හැකි ය.

බුදුරදුන්ගේ මෙම සන්නිවේදන ක්‍රියාදාමය සහභාගිත්ව සන්නිවේදනයකි. ඒ මන්ද යත් මෙම දම් සභා මණ්ඩප සඳහා ධර්ම පිපාසාවෙන් පෙළෙන ග්‍රාහක ප්‍රජාව විශාල වශයෙන් සහභාගි වෙති. මේ අනුව බුදුරදුන්ගේ ධර්ම සන්නිවේදනය සහභාගිත්ව සන්නිවේදනයට කදිම නිදසුනකි. ඇතැම් අවස්ථාවල බුදුරදුන් දහම් පිපාසාවෙන් පෙළෙන ජනතාව සොයාගෙන සැතපුම් ගණන් වැඩිය බවද, අපගේ බොදු මූලාශ්‍රවල සඳහන්වේ. ඒ අනුව බුදුරදුන් සිය ධර්ම ඤාණය ග්‍රාහක ජනතාව අතර බෙදාදීම සඳහා ධර්ම සන්නිවේදනයේ යෙදුණි. මේ තුළින් උන්වහන්සේ ජනතාව දුකෙන්, මුදවාගෙන යහපත අවබෝධකරදීමට පෙරමුණ ගත්බව සඳහන් කළ යුතු ය.

බුදුරදුන් වසර 2500 කට පෙර ප්‍රායෝගිකවම ඉදිරිපත් කළ සහභාගිත්ව සන්නිවේදන න්‍යාය මෑත වකවානුවේදී සමාජ විද්‍යාඥයෙකු වූ පාලෝ ප්‍රේරි විසින් ඔහුගේ න්‍යායක් ලෙස ඉදිරිපත් කරනු ලැබීය. ප්‍රෙරීගේ න්‍යායට අනුව සහභාගිත්ව සන්නිවේදනය තුළින් ඔහු ඇමතුවේ ලෝකයේ දිළිඳු බවින් පෙළෙන නූගත් ජනතාවය. නමුත් බුදුරදුන් සහභාගිත්ව සන්නිවේදනය තුළින් ඇමතුවේ ලෝවැසි සියලුම ජනතාවය. ඒ මඟින් උන්වහන්සේ ලෝවැසි ග්‍රාහක ජනතාවට සත්‍ය, යථාර්ථය වටහා දෙමින් ඔවුන්ගේ දිවිය දුකෙන් මුදවා ගැනීම උදෙසා ධර්මය සන්නිවේදනය කළේ ය. ඒ සඳහා මාර්ගෝපදේශන ලබාදුණි.