Print this Article


එකිනෙකාට උපකාරයෙන් උපදින සොඳුරු ධර්මයෝ

එකිනෙකාට උපකාරයෙන් උපදින සොඳුරු ධර්මයෝ

අපි එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කරන්ට පුරුදු වීමෙන් සහ ගරුසරු ඇතිව වාසය කළොත් ඒ අයට එකිනෙකාට උපකාර කරමින් කුසල් උපදවා ගන්නට පුළුවන් වෙනවා. එවිට අප තුළ සේඛ ධර්ම ඇතිකර ගන්නටත් පුළුවන් . සේඛ ධර්ම දියුණු වී යාමෙන් සීලය පිරෙනවා. සීලය අපිරිසුදු නොවන විදියට ආරක්ෂා වෙනවා. රැකෙනවා. එහෙනම් අප ආරම්භ කරන්නේ කොහොම ද? එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කරන්ට පුුරුදු වීමෙන්.

කෙනෙක් තනියම වාසය කර එකිනෙකාට ගරුසරු ඇතිව වාසය කරන්ට බැහැ. එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කළොත් නේද කුසල් සිතින් වත්පිළිවෙත් කරන්ට පුළුවන් වෙන්නේ. කුසල් සිතින් වත් පිළිවෙත් කළොත් ඒ පිරිස සංවරයි. ඒ සංවර වූ අයට සේඛ ධර්ම ඇතිකර ගන්ට පුළුවන්. ඒ විදියට කටයුතු කළ විට සේඛබල දියුණූවෙනවා. ඒ සේඛබල මුල් කරගෙන සීලය,නැවත පිරිහෙන්නේ නැති ආකාරයට රැක ගන්න පුළුවන්. එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කරන්නට නම් නියතමානීකම, කීකරුකම ආදි මේ ගුණ ඇති කරගත යුතුත් වෙනවා.

එකිනෙකා කෙරෙහි ගරුකිරීමේ දියුණුූ මානසිකත්වයක් නැත්නම් ඒ අය තුළ කුසල් දහම් දියුණු වෙන විදියට වත්පිළිවෙත් වලට සම්බන්ධ වීමක් ඇතිවන්නේ නැහැ. එහෙනම් පිරිස එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කරන්න නම්, ඒ අය තුළ තිබිය යුතු වටිනාම ගුණ ධර්ම වන්නේ නිහතමානීකම, කීකරුකම, කළගුණ දන්නාකම,අන් අයගේ ඇදකුද හොයන්නේ නැති ගතිය, එකිනෙකාගේ ගුණ කල්පනා කිරීමේ ගතිය, ඊළඟට ඇද පළුදු හොයන අදහසින් ඇහුම්කම් නොදෙන ගතිය, සිදුරු හොයනවා කියන අන්න ඒ ස්වභාවය නැති වෙන්න ඕන. ඊළඟට විශේෂයෙන් දැඩි ගතිය නැතිවෙන්ට ඕන. මුදු, මොලොක් කෙනෙක් බවට පත් වෙන්ට ඕන. ඒ අය තුළ එකිනෙකා කෙරෙහි ගරුසරුව වාසය කරන්න හිත නැමෙනවා.

එකිනෙකා කෙරෙහි ගෞරවයක් දක්වන අය වත්පිළිවෙත් කරන විට ගෞරවාන්විත සිතකින් කරන්නේ. ඔහු දන්නවා ඒ උපකාරය කරන්නේ ගරු කළ යුතු කෙනෙක් උදෙසා කියල, මෙත් සිත, කරුණාව මුදිතාව, උපේක්ෂාව කියන කුසල් දහම් දියුණුූ කරගන්ට ඒ අයට පුළුවන්. මේ ආකාරයට වාසය කරණ පිරිස අතර දෙතිස් කතාව පවතින්නේ නැහැ. එකිනෙකාට ගරුසරු ඇතිව වාසය කරන අය තුළ දෙතිස් කතාවට අනුබල දෙන්නේ නැහැ. එයට ඉඩක් නැහැ. දෙතිස් කතාව ඇතිවෙන විට ඒ සඳහා අවවාද ලැබෙනවා. දෙතිස් කතාව ඉක්මවා දස කතාව කරන්ට හුරු කරවනවා. කීකරු කෙනා එයින් බැහැරට නො ගොස් අවවාදය පිළිගන්නවා.

කල්‍යාණ මිත්‍රයා තමයි අවවාදය මගින් පුද්ගලයාට සද්ධර්මය කියා දෙන්නේ. ඒ සද්ධර්මයට ඇහුම්කම් දෙන පිරිස ඉන්නේ එකිනෙකාට ගරුසරු කරන පිරිස තුළ. ඒ අය ඉතාමත් ගෞරවයෙන් පිරිස ඇසුරු කරනවා. ඒ අය කුසල් දහම් වැඩෙන ආකාරයෙන් උපකාර කර ගැනීම නිසා පි‍්‍රයශීලියි. කිරියි දියයි එකතු වුණා වගේ සමඟි සම්පන්නයි. ඒ අය මෙත් සිතින් වාසය කරනවා. කරුණාවෙන්, මුදිතාවෙන් වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා ඒ සමඟියෙන් වාසය, කරන විට ඒ පිරිස තුළ මුදිතාව වැඩෙනවා. ඒ අය බ්‍රහ්ම විහරණයෙන් වාසය කරනවා කියා.

ඒ පිරිස නිහතමානි ගුණය තියෙන අය කීකරු අය මෘදු මොලොක් ගති ගුණ තියෙන අය.අනුන්ගේ ගුණ දකින්න පුළුවන් ගුණයක් තිබෙන අය. අනුන්ගේ අඩුපාඩු පෙන්නා පෙන්නා දැක දැක ඒ හෙළා දකින විදියට අඩු පාඩු නො සොයන අය. ඒ අය තුළ අවවාදයට ඇහුම්කම් දීමේ හිත තිබෙනවා. එවිට අවවාද අනුශාසනා මුල් කරගෙන ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. ඒ පිරිසට භාග්‍යවතුන් වහන්සේ හඳුනා ගන්න පුළුවන් ධර්මය තමන්ට අහන්ට අවස්ථාව ලැබෙනවිටත් ඒ ධර්මයේ තියෙන ආකාරයේ ඔහු නුවණින් කල්පනා කරනවා. ඒ ධර්මය කිව්වට පස්සේ ඒ ධර්මය මගේ කියල ගන්නේ නැහැ. ඔහු කීකරුයි. මාන්නය ඇතිකරගෙන නෙවෙයි ඉන්නේ. මාන්නයම ඇතිකරගෙන ආඩම්බරය ඇතිකරගෙන ඉන්න පිරිස ධර්මය කියනවා. ඒ කියන දේ මගේ කියා ගන්නවා. ඒ දහම් දැනුමෙනුත් මාන්නය ඇති කර ගන්නවා. ආඩම්බර වෙනවා. එතන වත් පිළිවෙත් තිබුණත් එතන නැතිවෙන්නේ මොනවාද? ශ්‍රද්ධාව නැතිවෙනවා. හිරි ඔතප් නැති වෙනවා. වීර්යය, ප්‍රඥාව නැතිවෙනවා. සේඛබල නැතිවෙනවා.

ඇයි සේඛබල උපදින්නේ නැත්තේ ? කියා දුන්න ධර්මය ඔහුට ඕන විදියට ගත්තා. ඒකෙන් මාන්නය උපදවා ගත්තා. එවිට වත් පිළිවෙත් ඔක්කොම කළත් සේඛ බල උපදින්නේ නැහැ. ඒ සේඛ බල උපදින්නේ නැති නිසා යම් සීලයක් තියෙයි. එයිනුත් ඔහු ආඩම්බර වෙනවා. ඒ සීලය පිරිසුදු වෙලා යන්නේ නැහැ. ඔහු ඒ සීලය මුල් කරගෙන සමාධියකුත් උපදවා ගනියි. එයිනුත් ආඩම්බර වෙයි. ඒ සීලය හෝ වේවා ඒ සමාධිය හෝ වේවා මුල් කරගෙන නිවන් මඟට පිවිසෙන්ට තිබෙන ඉඩකඩ විවෘත වෙන්නේ නැහැ. ඇයි ඔහු දැඩියි. මාන්නක්කාර යි. ඒ සමාධියෙනුත් තමන්ගේ තත්ත්වය හුවා දක්වනවා. ඒ සීලයෙනුත් තමාගේ තත්ත්වය හුවා දක්වනවා. එවිට කල්‍යාණ මිත්‍රයා බැහැර කරනවා. කල්‍යාණ මිත්‍රයා අතහැරල දානවා.

එහෙනම් ඒ වගේ නිවන් මගෙන් බැහැර වෙන්ට තිබෙන ඉඩ කඩ හඳුනගෙන ඒක බැහැර කිරීම පිණිස, ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් නිදහස් වීම පිණිස අප කෙසේ කටයුතු කළ යුතුද? ඒ සඳහා නිහතමානීකම ඇතිකරගත යුතුයි. නිහතමානීකම තිබෙන පුද්ගලයා තුළ කළගුණ දන්නාකම ඇතිවෙනවා. ඇයි මට මේ මේ පුද්ගලයා උපකාර කළා කියලා නිහතමානි පිරිස දන්නවා. අසවලා මට මෙහෙම උපකාර කළා. අසවලාගේ මට මේ උපකාරය ලැබුණා කියා පිළිගෙන්නේ නිහතමානී පුද්ගලයායි.

මාන්නයෙන් ඉන්න අය ‘මට අසවලාගෙන් මේක ලැබුණ කියන්න කැමති පුද්ගලයා වෙන්නේ නැහැ. සියල්ලම තමන්ගේ කියලා හිතන්නේ. මාන්නයෙන් ඉන්න පුද්ගලයා යි. ‘මට මේ දේ අසවලා කිව්ව තමයි, හැබැයි ඒ වෙනකොටත් මම දැනගෙන හිටියා කියා මාන්නය තිබෙන කෙනාගේ හිත කළගුණ නොදන්න විදියට සකස් වෙනවා. ඒ නිසා අප නැතිකර ගත යුතු නරකම දේ තමා මාන්නක්කාරකම. මාන්නය තිබුණම ලැබෙන හැම දෙයින්ම මාන්නය ඇතිකර ගන්නවා. එතැන ගරුසරු ඇතිව වාසය කිරීමක් නැහැ. ඒකයි ඔහු කල්පනා කරන්නේ කවුරු අවවාද කරත් ඒ අවවාද කරන්නේ මට අනුකම්පාව පිණිස නෙවෙයි කියා. ඒ නිසා අප කාටත් එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කරන්ට පුළුවන් විදියට අපේ හිත් හදා ගන්න පුළුවන් වෙන්ට ඕන.

එවිට සියලු දෙනාම මේ ගෞරවයක් ලැබිය යුතු අය අනිත් පිරිසත් ගෞරව ලැබිය යුතුයි කියා පිළිගන්නේ නිහතමානි කමින්. නැත්නම් ආඩම්බරයෙන් ඉන්න අය හිතන්නේ තමන් තම ගෞරවාන්විත කෙනා. ඔහු පිළිගන්නේ හැම කෙනාම මට ගරු කළ යුතු කියා. හැමකෙනාම එහෙම හිතුවොත් මොකද වෙන්නේ ? එතැන ආරවුල් හට ගන්න පටන් ගන්නවා. පිරිහිලා යනවා. සමඟිය කවදාවත් තිබෙන්නේ නැහැ. කුසල් දහම් දියුණුූ කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අප එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කරන්ට පුළුවන් විදියේ මානසිකත්වයක් ඇති කර ගන්ට ඕන.

එකිනෙකා තුළ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැකියාවන් වල අඩු වැඩි කම් තිබෙන්න පුළුවන්. අප ඒවා මුල් කරගෙන නෙවෙයි ගරු කළ යුත්තේ. සමහර කෙනෙකුට ගොඩක් කටපාඩම් තියෙන්න පුළුවන්. සමහර කෙනෙකුට අල්ප මාත්‍රයක් කටපාඩම් නැති වෙන්න පුළුවන්. ඒක කෙනෙකුගේ ගෞරවය සඳහා හෝ අගෞරවය සඳහා හෝ හේතුවන කාරණයක් නෙවෙයි. ගෞරවය හේතුවෙන්නේ ඒ කාරණා නෙවෙයි. ඒ සඳහා හේතුවන්නේ කෙනෙකුගේ ආකල්ප, කෙනෙකුගේ කැමැත්ත, කැමැති වීම, මොනවා කැමැති වීමෙන්ද ඒ පිරිස වාසය කරන්නේ කියන දේ තමයි ගරුකිරීම සඳහා උපකාර කරගන්නේ. හොඳ දේ දියුණූ කරන්න මහන්සි ගන්නවා නම් ඒ අය ගරුසරු ලැබිය යුතු අයයි. හොඳ දෙයක් පුරුදු කරන්න කැමැතියි නම් ඒ කැමැත්තට ගරු කළ යුතුයි. එහෙනම් අප කල්පනා කරන්නේ මේ ඉන්න හැම දෙනාම හොඳ දෙයක් පුරුදු කරන්න කැමැත්තෙන් ඉන්නවා. හොඳ දෙයක් ඇතිකර ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ සඳහා එකිනෙකාට ගරු කරන්ට ඒ ගෞරවාන්විත ගෞරවය ලැබිය යුතු අය. එහෙනම් එකිනෙකා එකිනෙකාට ගරු සරු ඇතිව වාසය කරන්ට පුරුදු වෙන්ට ඕන.

එවිට අපි කීකරුයි. නිහතමානියි. වත් පිළිවෙත් කරනවා. එකිනෙකාට උපකාර කරනවා. ඒ උපකාර මුල් කරගෙන ඒ අය තුළ සංවරය ඇති වෙනවා. සංවර බවට පත්වෙනවා. එසේ සංවර වෙන අය අවවාදයට ඇහුම්කම් දෙනවා. ඒ අය ඒ අවවාදය මුල්කරගෙන ශ්‍රද්ධාව උපදවා ගන්නවා. හිරි ඔතප් ඇති කරගන්නවා. ලජ්ජා භය ඇති කරගෙන අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්න වීර්යය කරනවා. ඒ පිරිසට ප්‍රඥාව උපදවා ගන්න පුළුවන්. මේ තමයි දුක, මේ දුකේ හට ගැනීම, මේ දුකේ නැති වීම, මේ දුක නැති කරන විදිය කියා තේරුම් කර ගන්නට ඔහුට පුළුවන්. ඒ පිරිස සීලය ගෞරවයෙන් රැක ගන්නවා. සිල්පද වීරියෙන් රැක ගන්නවා. අවබෝධයෙන් සිල් රකිනවා. ඒ අය තුලින් පිරිසුදුභාවයට පත්වෙනවා. එතන තමයි ‘සීල විසුද්ධිය’ ඇති වෙන්නේ.

නයනා නිල්මිණි