Print this Article


සුවපත් වීමට...

සුවපත් වීමට...

තථාගතයන් වහන්සේ නමක් ලෝකයේ පහළ වන සතර ආශ්චර්යය අද්භූත ධර්ම අතර මානයෙන් පිරි ලෝකයාට මානස දුරු කරගැනීම පිණිස මහත් වූ කරුණාවෙන් සදහම් දේශනා කිරීම එක් කරුණකි. සාමාන්‍ය ලෝකයා (පුහුදුන් තැනැත්තෝ) මානය ආරාම කොටගෙන ජීවත් වෙති. එහි ඇලී ගැලී වාසය කරති. උඩඟු සිතින් ක්ලාන්තව මත් වෙති. මහත් වූ බියෙන් තැතිගැන්මෙන් කල් ගත කරයි.

අතීතයේ දී මානය නිසා අපායට වැටී දුක්වින්දෝ බොහෝ ය. උතුම් ශ්‍රී සද්ධර්මය අසා මානය නමැති ක්ලේෂයන් දුරුකොට සුවපත් වූවෝද නැත්තේ නොවෙයි. සමාජය තුළ මෙය වසංගතයක් වී ඇති බව කවුරුත් දන්නා කරුණකි. මෙහි ආදීනව නොදන්නා නිසා අකුසල් රැස්කොට මානයෙන් ප්‍රමුදිතව වාසය කරයි. සෙය්‍ය මානය, සදිස මානය, හීන මානය යි තෙවදැරම් වෙයි. ජාති්‍යාදියෙන් ම (උපතින්ම) මෙම මැනීම සමාජය තුළ සම්මත කර ගනියි.

භාරතීය සමාජය තුළ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ෂුද්‍ර යන සතරාකාරයට ජාත්‍යයෙන් තමා උසස්, පහත් යන බෙදීම ඇතිකරගෙන තිබුණි. තථාගතයන් වහන්සේගේ පහළ විමෙන් උපතින් කිසිවෙකු බ්‍රාහ්මණයකු, වසලයකු නොවන බවක්, චින්තනය සහ ක්‍රියා කලාපයෙන් බ්‍රාහ්මණ සහ වසලයකු වන බව පැරණි මතය ඛණ්ඩය කොට සත්‍ය වූ දර්ශනය දේශනා කළ සේක. ඒ තුළින් සමාජයේ මුල් බැසගෙන තිබූ මිථ්‍යාවාද, දර්ශන යටපත් වී සියල්ලන් වෙත සත්‍ය වූ දහමතුළින් සැනසිල්ල, ශාන්තිය අත්පත් වූයේ ය. සමාජීය, සංස්කෘතික, ආර්ථික කටයුතු නිසි ආකාරයට සාධාරණව සැමට බෙදී ගියේ ය. සැමට ලොව්තුරා සම්බුදු ශාසනය තුළ පැවිදිවීම සැලසී සියලු කෙලෙස් නසා අමෘත මහා නිර්වාණ සුවය සලසා ගැනීමට භාග්‍ය උදාවිය. සුනීත, සෝපාක ආදී අහිංසක දරුවන්ට ශාසනය තුළ ලැබිය යුතු ශ්‍රේෂ්ඨ තත්ත්වය සලසා ගැනීමට වාසනාව සැළසුණේ ය. එම චරිතාපදාන තුළින් ලෝකයාට සිදු වූ යහපත අතිමහත් වූයේ ය.

මානය නමැති නපුරු වූ පහත් වූ, බියකර වූ ක්ලේෂය සිත තුළ විවිධාකාරයෙන් ඉස්මතු වන්නේ ය. ජාති, ගෝත්‍ර, දේශ සීමා, භෝග, වස්තු, ධනය, යසස, කීර්ති, ප්‍රශංසා, තානාන්තර, ගෞරව සම්මාන, වර්ණනා, උගත්කම බහුශ්‍රැතකම, යෞවනනමදය, ආරෝග්‍ය මදය, ජීවිතමදය, පරිනාහ මදය, රූපවන්තකම, ජවය, තේජස, රංගනය, ගැයීම, ශිල්පය, තාක්ෂණය, විද්‍යාව, සීලය, ධ්‍යානලාභීත්වය, සෘද්ධිය, ආදී විවිධ නයින් වෙස්වලාගෙන හටගත්තේ ය. එහි සීමාවන් ඉක්මවා යෑමෙන් විනාශය ද පමුණූවා ගත්තේ ය. දෙව්දත් තෙරණුවන් මානය නිසා ආනන්තරිය පාපකර්මයද කොට නිරයට හෙලුණේ ය.

උතුම් සද්පුරුෂයන්ගේ ගුණ ශක්තිය අනුව ආක්‍රෝෂ, පරිභව පමුණූුවන්නන්හට එහි විපාක තීව්‍ර වන්නේ ය. වයස් භේදයකින් තොරව එහි විපාක පැමිණෙන්නේ ය.

තෝදෙය්‍ය බමුණ අතිමානය නිසා ලොව්තුරා බුදුන්වහන්සේට නින්දා පමුණුවා මිය ගොස් එම නිවසෙහිම සුනඛයකු ව උපන්නේ ය. සතධම්ම නම් තරුණ බ්‍රාහ්මණයා අභිමානය නිසා වල්වැදි ජීවිතය නසා ගත්තේ ය. අප මහා බෝසතාණන්වහන්සේ එක් කලෙක සැඩොල් කුලයක ඉපිද තරුණ වයසට පත්ව යම් කරුණක් සඳහා දුර බැහැරට පිටත් විය. ඒ සඳහා මඟ වියදමට සහල් සහ බත්මුලක් ද ගෙන ගියේ ය. සතධම්ම බ්‍රාහ්මණ තරුණයා ද ඒ මඟදි හමුවිය. දෙදෙනාගේ උප්පත්ති විස්තර කථිකා කරගත්තේ ය. බ්‍රාහ්මණ තරුණයාගේ අත කිසිවක් නොවීය. බොහෝ ගමන් කොට දහවල් වේලාව පැමිණි කල බෝසතාණෝ තම බත්මුලෙන් ආහාර අනුභව කිරීමට බ්‍රාහ්මණ තරුණයාට ආරාධනා කළේ ය. එහිදී චණ්ඩාලය, මට බතින් කවර ප්‍රයෝජනයක් දැයි ප්‍රතික්ෂේප කෙළේ ය. අවසානයේ දී බඩගිනි ඉවසිය නොහැකිව බෝසතාණන් වහන්සේගෙන් ආහාර ඉල්ලීය. අනුභව කොට සිත මානයෙන් විපළිසර කර ගත්තේ ය. ජාතියට නුසුදුසු දෙයක් කරගත්තායි තැවීමට ක්ලාන්තභාවයට පත් විය. අපහසුතාවය වර්ධනය විය.ආහාරය වමනය කළේ ය. මරණය පවා සිදුකරගත්තේ ය. එතරම්ම අභිමානය තමා නසන්නේ ය.

මානය කරන කොටගෙන අපායට වැටී දුක් විඳින ලද රාජ පුත්‍ර පේ‍්‍රතයෙකු අරභයා සම්මා සම්බුදු පියාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි මේ කතාව දේශනා කළසේක.

අතීතයෙහි කිතව නම් බරැණස් රජුට එක්තරා පුත්‍රයෙක් විය. මෙම කුමාරයා පස්කම් සැපයෙහි ගිජුව වාසය කෙළේ ය. දිනක් උයන් කෙළි නිමවා ආපසු ඇතු පිට නැඟී පැමිණෙන විට සුනෙත්ත නම් පසේ බුදුන්වහන්සේ දුටුවේ ය. තමාට ගරුබුහුමන් නොකළ බැවින් කිපුණේ ය. ඇතා පිටින් බැස ස්වාමිනි භික්ෂාව ලැබුනේදැයි විමසීය. එය අසා පාත්‍රය හැරගෙන ඔසවා බිඳ දමා සිනාසුනේ ය. මෙතෙමේ කරගත්තේ මහත් වූ අනතුරක් යැයි සිතා කරුණාවෙන් ඔහුදෙස බැලුවේ ය. රාජ පුත්‍රයා මානයෙන් කිපී මහණ, මම කිතව රජුගේ පුත්‍රයා වෙමි. මාදෙස බලා කුමක් කරන්නේදැයි කීය. ඒ දරුණු වූ අකුසල කර්මයාගේ විපාකය කටුක වූයේ ය. කරනලද පාපකර්මයෙන් මැරීගොස් අසූහාරදහස බැඟින් සයවරක්ම නිරා දුකට පැමිණේ ය. උඩුකුරුව සයනය කිරීමෙන් අවුරුදු අසූ හාරදහසක් ද, යටුකුරුව සයනය කිරීමත් අවුරුදු අසූහාරදහසක් ද, වම් ඇලයෙන් එපමණ කලක් ද දකුණු ඇලයෙන් සයනය කිරීමෙන් එපමණ කලක් ද, සිටගෙන එමපණකලක්ද මෙසේ අපමණ දුක් විඳිමින් නිරයෙහි පැසුනේ ය. මනා පැවැතුම් ඇති, රාග, ද්වේශ, මෝහ නැසුවා වූ මහාර්ෂි වූ උතුමෙකු කෙරෙහි (පසේ බුදු පියාණන් කෙරෙහි) අහංකාර, මමංකාර, මානයෙන් යුතු වූ ක්‍රෝධ සිතින් වැඩුනාවූ බාලතෙම විසින් සිදු කළා වූ විපාකයක තරම කෙසේ.

මේ ජීවිතයේ දී ප්‍රමාදව දෙමාපියන්ට, වැඩිහිටි අයට, උපකාර කළාවූ අයට මහා සඟරුවනට වරදවා සිත පිහිටුවා රැස් කරගන්නා වූ පාප කර්මවල විපාක කෙතරම් බියකරු වන්නේ ද, සතර අපායට වැටී කෙළවරක් නොපෙනෙන ආත්ම වාරගණන් මෙසේ දුක් විඳින්න සිදුවුවහොත් කවරකු එහි විපාක ලිහිල් කරයිද, කොටසක් බාර ගනීද? එසේ සිදු නොවන්නේමයි.

මෙසේ රාජ පුත්‍රයා නිරයේ පැසී පසුව ප්‍රේතව උපන්නේ ය. සාපිසාදෙකින්ම බොහෝ කලක් දුක් විඳින්නට සිදුවිය. එයින් චුතව අප ලොව්තුරා බුදුන්වහන්සේ දවස ධීවර පවුලක (මසුන්මරන්නාවූ) උපන්නේ ය. දෙමාපියන් පොට්ඨපාද යයි නම තැබුවේ ය. තරුණ වියට පත්වෙන විට ඔහුට ජාතිස්මරණ නුවණ පහළවිය. පෙර ජාතිවල සැපදුක් වින්ද ආකාරය දැක ගැනීමට හැකිවිය. සිය පවුලේ අය මසුන් මැරීමට කතා කරනවිට හෙතෙම මඟ හරින්නේ ය. පලා යන්නේ ය. මානය නිසා සසරේ වින්ද අපමණ දුක් ගැහැට නිරතුරුව සිහිපත් කළේ ය. රහසින් ගොස් දැල් ඉරා දැම්මේය. පණපිටින් ඇති මසුන් දියට දැම්මේ ය. මෙම වැඩපිළිවෙළ දැනගත් පවුලේ දෙමාපියන් ගෙදරින් පන්නා දැම්මේ ය. එකම සහෝදරයකු හැර සියල්ලෝ විරුද්ධ විය.

එකල ආනන්ද තෙරණුවෝ සානුවාසී පර්වතයෙහි වැඩ සිටියේ ය. දන් වළඳන විට එතැනට පැමිණීයේ ය. දහවල් ආහාර දී සියලු තොරතුරු අසා මහණ වීමට කැමැති දැයි විමසුවේ ය. කැමැති බව ප්‍රකාශ කළ සැනින් පැවිදි කළේ ය.එහෙත් ආහාරපානාදී සිවුපස නිසි ආකාරයෙන් නොලැබුණේය. ආනන්ද තෙරණුවෝ මෙම සාමණේර නම සමඟ බුදුන්වහන්සේ බැහැදැකීමට සැවැත්නුවරට වැඩම කළේ ය. ආනන්ද, මේ සාමණේර නමට අනුකම්පා කළ යුතු ය. පෙර පින් නොකළ නිසා ස්වල්ප ලාභ ඇති කෙනෙකි. දෙව්රම් වෙහෙර වැඩසිටින ස්වාමීන්වහන්සේලාගේ පරිහරණයට පැන්කළ පුරවන ලෙස අණක් පණවන ලදී. ඒ පිළිබඳ කැමැත්ත පළකොට දිනපතා සිදුකරන විට සැදැහැවතුන්ගේ පැහැදීමට ලක් විය. ඒ පින්වතුන්ගේ අනුකම්පාවට පාත්‍ර වීමෙන් සිවුපස ලැබීම වර්ධනය විය. කාය පරිදහය දුරු විය.

අනතුරුව කල් වයස්යාමෙන් උපසම්පදාව ලබා කමටහන් වඩා රහත්ඵලයට පත්වූයේ ය. දොළොස් නමක් භික්ෂූන් සමඟ සානුවාසී පර්වතයෙහි වැඩසිටියේ ය. මේ වන විට පව්කම්කොට සිය ඤාති පිරිස පන්සියයක් ප්‍රේත ලෝකයේ උපත ලබා සිටියේය. මව්පියන් සමඟ හිතවත්ව සිටි සහෝදරයාද ඒ අතර විය. ප්‍රේත ලෝකයෙන් මිදීමට දෙමාපියනට උපකාරයක් ලබා ගැනීමට පොට්ඨපාද රහතන් වහන්සේ වෙත ඒමට නොහැකි විය. හේතුව එකල ඔහු ගෙදරින් එලවා දමා විරුද්ධ වීමයි. පසුව හිතවත් වූ සහෝදරයා පොළොඹවා සැනසීමක් ලබාදෙන ඉල්ලීමක් කරන ලෙස සිහිපත් කළා ය.

රහත් හිමියන් ගමට පිණ්ඩපාතය ලබාගෙන ආපසු එන විට දණහිස පොළොවේ තබා වැඳගෙන කමා දක්වා සිටියේ ය. එහෙත් ඒ ගැන නොසලකා පියවි ගමනින් වැඩම කළේ ය. නැවැත පසු පස දෙදනින් හා දෙඅතින් යමින් මෙසේ ප්‍රකාශ කරන ලදී. නුඹ වහන්සේගෙ මවත්, පියාත්, ඤාතීන් ප්‍රේත ලෝකයෙහි දුක් විඳිමි. ඉදිකටු මල් වැනි මුවදොර ඇති උගුර ඇති සාපිපාසා දෙකින් දුක් විඳින අපහට දනක් දී පින්දෙනු මැනවයි ඉල්ලා සිටියේ ය. එයින් සංවේගයට පත් වී දනක් දී “ඉදං මේ ඤාතීනං හෝතු, සුඛිතා හොන්තු ඤාතයෝ” කියා ඥාති ප්‍රේතයින්ට පින් දුන්හ. එවිට ආහාර ලැබුණේ ය. මෙසේ සුවපත් ප්‍රේත පිරිස වස්ත්‍ර, ගෙවල්, පාවහන් නැතිබව ප්‍රකාශ කළේ ය. පසුව සොහොන් වල දමා ඇති රෙදි කැබලි එකතු කොට පිරිසුදුකර සිවුරක් මසා මහ සඟරුවනට පූජා කළේ ය. සියලු දේ සපිරි සංඝාවාසයක් සාදා පූජා කළේ ය. ඒ පින් ලැබගෙන සතුටුවී තුතිවදන් පවසා සිය නිවෙස් බලා පිටත්ව ගියෝ ය. බුදුන්වහන්සේද මේ කතාව අසා තමනුත් (පොට්ඨපාද තෙරෙනුවො) ප්‍රේතව දුක් විඳී බව පවසා රාජපුත්‍ර ප්‍රේත කථා වදාළසේක. බොහෝ දෙනා සංවේග ඇතිව කුසල් දහම් කරන්නට විය. ඔබත් මෙය ආදර්ශයට ගෙන මානාදි පවෙන් මිදීමට උත්සාහවත් වන්න.