Print this Article


දම්පද මිහිර 8 සරු නිසරු දැන ගෙන සරු ඵල නෙලා ගනු මැන

දම්පද මිහිර 8

සරු නිසරු දැන ගෙන සරු ඵල නෙලා ගනු මැන

අපි හැම දෙයක්ම තේරුම් ගන්නෙ තම තම නැණ පමණින් නේද? ඒ වගේම අප කියන කරන දේවල් කියන්නෙ හා කරන්නෙත් තම තම නැණ පමණින්ම තමයි. එහෙනම් අපේ “නැණ පමණ” දියුණු කරගත් තරමට අප ඇසුරු කරන සජීව, අජීව ලෝකය අදට වඩා හොඳින් තේරුම් ගන්න අපට පුළුවන් වේවි.

නැණසාර වූ අයම තමයි ලෝකයේ ගුණසාර වී තියෙන්නෙත්. නැණ හීන අය ළඟම තමයි ගුණ හීනවී තියෙන්නෙත්. මොකද? නැණ සාර වූ කෙනාට හොඳ නරක තේරුම් ගන්න පහසුයි. සරු නිසරු වෙන්කර ගන්න පුළුවන්. නැණ හීන කෙනාට හොඳ නරක වටහා ගන්න අමාරු වගේම සරු නිසරු වෙන්කර ගන්නත් අමාරුයි.

මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම නැණවතා ලෙස සැකයකින් තොරව අප පිළිගන්නෙ ‘විජ්ජා චරණ’ ගුණ ඇති බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේගේ අවබෝධය මහා ඇට්ටේරිය වනයක ඇති කොළ තරම්. ඒත් බුදුවරයෙකු විසින් ලෝකයට දේශනා කරන්නෙ කොළ මිටක් තරම් ශේෂයක් පමණයි. ඒ උපමාව උන්වහන්සේම දේශනා කරන ලද්දක්. ඒත් ඒ කොළ මිට නමැති තෙවලා දහම සත්වයාගේ විමුක්තිය උදෙසා හොඳටම ප්‍රමාණවත් යැයි උන්වහන්සේ දේශනා කළා.

බුදුරජාණන් වහන්සේ විසින් වරක් තම ශ්‍රාවක සිව්වනක් පිරිසට දේශනා කළා. මගේ සාසනේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රවන්නෙ මාගේ පුත් සාරිපුත්තයි කියල. ඒ වගේම සැරියුත් හාමුදුරුවන් වහන්සේ ළඟ තිබූ නිහතමානිත්වය ප්‍රධාන ගුණ සමුදාය වෙනත් කිසිවෙකුට සම කළ නොහැකි තරම්.

සැරියුත් හාමුදුරුවන්ගෙ ගිහි නම "උපතිස්ස". මුගලන් හාමුදුරුවන්ගෙ ගිහි නම "කෝලිත". මේ දෙන්නම ජීවිතේ නිවැරදි කළකිරීමක් එක්ක සරු දහමක් හොයාගෙන ගිය අය. ඒ යද්දි හමුවුන පළවෙනි ගුරුවරය තමයි "සංජය" කියන පරිබ‍්‍රාජක සාධු වරය. මේ දෙන්න ජීවිතේ ගැන කළ කිරෙන්නෙ, තවත් මහා පිරිසක් සතුටු වෙන තැනකදි, ගිරි අග්‍රයක තිබූ සමජ්ජ නම් සැණකෙළි බිම තමයි ඒ ස්ථානය. පාරම්පරික ධනවත් පරපුරක ගම් ප්‍රධානීන් දෙදෙනෙකුගෙ දරුවන් දෙදෙනෙක් තමයි උපතිස්ස, කෝලිත කියන්නෙ. එකම දවසක මව්කුස පිළිසිඳ ගෙන එකම දවසක උපත ලද මේ දෙදෙනා කලණ මිතුරන්. මේ දෙන්නත් පරිවාර පිරිසත් සමඟ සැණකෙළිය නරඹන්න ගියා. පළවෙනි දවසේ අනිත් අය වගේම සතුටු විය යුතු තැන සතුටු වුණා. දුක්විය යුතු තැන දුක් වුණා. තෑගි දිය යුතු තැන තෑගි දුන්න. ඒත් දෙවෙනි දවසෙ එහෙම වුණේ නෑ. ටිකක් වෙනස් විදියට ඒ ගැන හිතන්න පටන් ගත්ත.තුන්වෙනි දවසෙත් සැණකෙළිය සුපුරුදු ලෙස පැවතුනා. ඒත් මේ දෙන්නටම වැටහුණේ මෙතන ඇති නිස්සාරත්වය පමණයි.

උපතින්ම පිළිසිඳ ඤාණයෙන් පැනසාර වූ මේ යහළුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ප්‍රශ්න කළේ ‘ඇත්තටම අපි මේ ඉන්නෙ නිසරු බිමක නිසරු දෙයක්ම දකිමින් නේද?’ කියල. ‘ යථාවබෝධයක් ලද හැකි මෝක්ෂ ධර්මයක් මේ දඹදිව අපට සොයාගන්න නැද්ද’ කියල අනිකා අපේක්ෂා සහගත ප්‍රශ්නයක්මයි පිළිතුර වෙනුවට ඉදිරිපත් කළේ. ඔවුන් සංජය ළඟට ගියේ සත්‍ය ගවේශී තරුණයන් දෙදෙනෙක් විදියට. සංජය ළඟ මේ දෙන්නට අලුත් දෙයක් තිබුණ. කෙටි කලකින්ම ඒ දේ ලබාගන්න මේ දෙදෙනාම සමත් වුණා. ඒත් ඒ තමා සොයන මෝක්ෂ ධර්මයක් නම් නොවේ. ඒ නිසයි මේ දෙන්න තනි තනිව ගුරුවරුන් සොයා යන්න තීරණය කළේ.

නොපහන් සිත් පහන් කරන පහන් සිත් සුපහන් කරන කහවත් දැරූ උතුමෙක් මහ මග පිඩුසිඟා වඩිනව. ඒ තමයි මේ සම්බුදු සසුනෙහි පළමු රහතන් වහන්සේල පස්නම අතර සිටි "අස්සජි" මහරහතන් වහන්සෙ. උපතිස්ස පහන් සිතින් මොහොතක් බලා සිටිය. බුහුමන් දක්වා පසුපසින් ගමන් කළා. තුරු සෙවණක නතර වී උන්වහන්සේ දානය වළඳන මොහොතේ පැන් පෙරා ගෙනැවිත් පූජා කළා. පාත්‍රය දෝතින් ගෙන පිරිසුදු කර දුන්න. සුදුසු අවස්ථාව බලල දෑත් එක්කරගෙන මෙහෙම ඇහුව.

“ස්වාමිනි, ඔබ වහන්සේගෙ ඉඳුරන් ප්‍රසන්නයි. ගමන සංවරයි, මගේ සිත පැහැදුනා. ඔබ වහන්සෙගෙ ගුරුවරය කවුද? එතුමා දේශනා කරන ධර්මය කුමක්ද?”

“පින්වත, මා නවක පැවිද්දෙක්. මගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සෙ. දේශනා කරන දහම ගැඹුරින් විස්තර කරන්න මට අමාරුයි. ඒත් හේතුවක් නිසා ඵලයක් හටගන්නව. හේතුව නැසීමෙන් ඵලය නැති වී යනව කියන හරය තමයි ඒ දහම තුළ තියෙන්නෙ.”

“සාධු සාධු සාධු ස්වාමිනි, මට වැටහුණා මට වැටහුණා. ඒ ශාස්තෘන් වහන්සෙ කොතැනක ද වැඩ සිටින්නෙ?”

“පින්වත, රජගහ නුවර වේලුවන අරණෙහි උන්වහන්සේ වැඩ සිටිනව“

” එහෙමයි, එහෙමයි, මට අවසරයි” ඔහු දිගටම ගියේ කෝලිත සොයාගෙන. තමා ඇසූ දහම ඔහුට පැහැදිලි කරන විටම එය මෝක්ෂ ධර්මයක්ම බව ඔහුටත් ප්‍රත්‍යක්ෂ වුණා.

නොසෙල්වෙන ශ්‍රද්ධාවෙහි පිහිටි මේ දෙදෙනා දිගටම ගියේ සංජය ළඟට, කෙටි කලකට හෝ තමන්ට ගුරුවරයෙකු වූ ඔහුටත් ඒ මෝක්ෂ ධර්මය ළඟාකර දීම ඒ ගමනේ අරමුණ වුණා. තමා ඇසූ ඒ නිර්මල දහම් හරය සංජයට කියා දුන්න. සාරවත් දහමක් මුණගැහිලත් ඒක හඳුනාගන්න නුවණක් ඔහුට තිබුණෙ නෑ. අනුගාමික පිරිස් පිරිවරාගෙන නායකත්වයක් දරමින් සිටි ඔහුට තවත් ශාස්තෘවරයෙකුගෙ අනුගාමිකයෙක් වීමට උඩඟු සිත ඉඩ දුන්නෙ නෑ.

“ මේ ලෝකෙ වැඩිපුර ඉන්නෙ මෝඩයොද නුවණැත්තොද?” සංජය උපතිස්සගෙනුත් කෝලිතගෙනුත් ඇහුව.

“නුවණැත්තන් ඉන්නෙ ඉතා ස්වල්පයයි. මෝඩ මිනිසුන් තමයි ලෝකෙ බහුලව ඉන්නෙ.”

“එහෙනම් ප්‍රඥාවන්ත වූ ශ්‍රමණභවත් ගෞතමයන් වෙත නුවණ ඇති ඔබ වැනි ස්වල්ප දෙනා එකතු වේවි. බහුතරයක් වූ මෝඩ මිනිසුන් විමුක්තිය සොයාගෙන මා වටා එකතු වේවි. ඒ මහා පිරිස පිරිවරාගෙන මගේ නායකත්වයත් රැකගෙන මා මෙහි රැඳෙන්නම්, පිරුණු දිය බඳුනක් වැනි මට, තවත් දිය බඳුණකින් වතුර ගන්න කිනිස්සක් වෙන්න බෑ”

නිසරු දේම සරුයි කියල හිතාගෙන ඉන්න සංජය ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. කෝලිත උපතිස්ස දෙන්න එතැනින් පිටත් වුණා. පන්සියයක් පමණ වූ සංජය ළඟ හිටිය අනුගාමික පිරිසෙන් භාගයක්ම ඒ දෙන්නත් එක්ක බුදු සුවඳ සොයාගෙන යන්න තීරණය කළා. සංජයගෙ අසපුව හිස් වෙනව දැකල ඔහුට ඇති වුණේ මහා වේදනාවක්. සෑහෙන වෙලාවක් යනතුරු ඔහු ලේ වමනය කරමින් හිටිය.

රජගහ නුවර බිම්බිසාර මහරජතුමා වේලුවන උයනේ පන්සලක් හදල බුදුපාමොක් මහා සංඝයාට පූජා කරල වැඩි කාලයක් නැහැ. ඒ පන්සලේ වැඩ සිටිමින් දහම් දෙසන බුදුන් වහන්සේ, ඈත එන උපතිස්ස කෝලිත දෙන්න දැක්ක. බණ අසන සිව්වනක් පිරිසට කිව්ව අර එන්නෙ මගේ අග්‍ර වූ ශ්‍රාවක යුගලයයි කියල. මේ පිරිස ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලැබුව, එදා බුදු බණ අහල උපතිස්ස කෝලිත දෙදෙනා හැර සෙසු පිරිස අරහත්වයට පත් වුණා. සතියකට පස්සෙ මුගලන් හිමියන් ශ්‍රාවක පාරමි ඤාණයෙහි කෙළවරට පැමිණියා. සැරියුත් හිමියන් දෙසතියකට පසු ශ්‍රාවක පාරමි ඤාණය සපුරා ගත්ත. ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ අනෝමදස්සී බුදු පා පියුම් අබියස විවරණ ලැබූ උන්වහන්සේලා, බුදුරජාණන් වහන්සේගෙන් ගෞතම බුදුසසුනේ අග්‍රශ්‍රාවක තනතුරු ලබා ගත්ත. අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත හාමුදුරුවන් වහන්සේ ගිරග්ග සමජ්ජ සැණකෙළිය නැරඹූ තැන සිට බුදුන් වහන්සේ වෙත පැමිණෙන මොහොත දක්වා සිදු වූ සියල්ල සඟරුවන මධ්‍යයේ පැහැදිළි කළා. කාලයක් තම ගුරුවරයා බවට පත්ව සිටි සංජය කැඳවාගෙන එන්න ගිය අවස්ථාවේ ඔහු කී කතාවත් බුදුහාමුදුරුවන්ට සිහිපත් කළා.

“ස්වාමිනී, ඔහු අපෙන් ඇහුව වැඩිය ඉන්නෙ මෝඩයන්ද පණ්ඩිතයන්ද කියල. අපි කීව පණ්ඩිතයන් ඉන්නෙ අල්ප පිරිසක් මෝඩයන් තමයි ලෝකෙ වැඩි කියල. ඊට පස්සෙ ඔහු කීව, පණ්ඩිත වූ ස්වල්ප දෙනා පණ්ඩිත වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත යාවි, බොහෝ වූ මෝඩ ජනයා මෝඩ වූ මා වෙතම ඒවි. කමක් නෑ ඔබලා යන්න මම එන්නෙ නෑ කියල”

“මහණෙනි, සංජය තමාගෙ මිසදිටු බව නිසාම නිසරු දේ වන, දස වස්තුක මිථ්‍යාදෘෂ්ටියත්, සිව්පසයත් සාරය ලෙස ගත්ත. සරු දේ වන දස වස්තුක සම්මාදිට්ඨියත්, එය කියා දෙන ධර්මයත් බැහැර කළා. ඤාණවන්ත වූ ඔබ සරු දේ සරු ලෙසම ගත්ත නිසරු දේ නිසරු බව හඳුනාගෙන බැහැර කළා.”

“සරු දේ නිසරු යැයි බැහැර කරන, නිසරු දේ සරුයි කියල ගන්න අයට ඇතිවන මිථ්‍යා සංකල්පනා නිසා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්ශන ආදී සාරය අහිමි වී යනව. ඒත් නිසරු දේ නිසරුයි කියල දැනගෙන බැහැර කරන, සරු දේ සරුයි කියල ළංකර ගන්න අයට ඇති වෙන්නෙ සම්මා සංකල්පනා. ඒ නිසා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්ශන ආදී සාරයම ඔවුන් හිමි කර ගන්නව.

මිසදිටු දහයම ද
ඒ මග කියන දහම ද
ලැබෙන සිව් පසය ද
නිසරු දේ වෙති ලොවේ අප ලද

සම්මා දිට්ඨියයි
ඒ මග කියන දහමයි
අරහත් බෝධිය යි
සාරවත් දේ බවට පත් වෙයි

නිසරු දේ සරු ලෙස
සරු දේ නිසරු දේ ලෙස
ගන්නා අයට විස
සාර ඵල නොලැබේය කිසි ලෙස

සරු දේම සරු ලෙස
නිසරු දේ තුළ දැක විස
සරන අය නිසි දෙස
සාර ඵල හිමිවේය නොවලස


දම්පද මිහිර 7 ගුණයට පිදිය යුතු කිමද යනු ඔබ දත යුතු