Print this Article


නිවැරැදි කෙනෙකුවන්නේ කෙසේද?

නිවැරැදි කෙනෙකුවන්නේ කෙසේද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුවිජානො භවං හොති
සුවිජානො පරාභවො
ධම්ම කාමො භවංහොති
ධම්ම දෙස්සී පරාභවො

සුපින්වත්නි,

සකල ජන හිත සදහම් අමාවෙන් සැනසූ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගේ පිරිහීමට හා දියුණුවට හේතුවන කරුණු රාශියක් සූත්‍ර කීපයකින් දේශනා කළ සේක. එයින් පරාභව සූත්‍රය ප්‍රධානවන අතර එහි පරාභව කරුණු දොළසක් දේශනා කොට ඇත.

පුද්ගලයා පිරිහෙන විට පුද්ගලාන්තර බලපෑමෙන් සමාජයම පිරිහෙන්නේ ය. පුද්ගලයාගේ දැනුම, හා ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන ඔහුගේ කේන්ද්‍රීය සම්ප්‍රේෂණය ඤාතීන්ට අසල්වැසියන් හා ජාතිය, ලෝකය ආදීනයින් සමස්ත මානව පරපුරට අනාගතයට බලපවත්නේ ය. මේ නිසා අප බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවිට පුරිසො, පුග්ගලො යන වදන් භාවිතාකොට පුද්ගල ශීර්ෂය අනුව ධර්ම කරුණු දක්වා එමගින් මානව සිද්ධාන්ත තහවුරු කොට ඇත.

පුද්ගලයා පුද්ගලාන්තරව අන්තර්ගත වන්නේ තමාගේ සහජගති ජාලය හැරයාමෙනි. මේනිසා කෙනෙකුගේ සද් අසද්භාවයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ සමාජය බව අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතු වන්නේ ය.

අප බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ පරිදි භව්‍ය හෙවත් දියුණුවන්නාත් අභව්‍ය හෙවත් පරාභවයට පත්වන්නාද ක්‍රියාකාරීත්වයෙන් දැනගැනීමට පුළුවන. යහපත් සමාජය විසින් අතිදීර්ඝකාලයක් යහපත් යයි සම්මත ධර්මයට කැමැති වන්නා දියුණුවන අතර එම ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙන්නේ ය. මෙහි දියුණුව, පිරිහීම වශයෙන් දක්වන්නේ තමන්ට හා අනුන්ට යහපත හා අයහපත ඇතිකිරීමයි. අප බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් කල්ප ගණන් සමාජ අත්දැකීමෙන් සද් අසද් පුද්ගලයන් හා ධර්මයන් ප්‍රත්‍යක්ෂ කරගෙන පුද්ගලයාගේ පරිහානිය වළක්වාලීමට මෙම පරාභව ධර්මයන් දේශනා කළසේක. අප බෝධිසත්වයන් වහන්සේ පවා එය නොදැනීමෙන් විවිධ කරදර බාධකවලට භාජනය වී ඇත.

පුද්ගලයාගේ චර්යාධර්මරටාව වෙනස් කිරීමට තවත් කෙනෙකුට හැකියාවක් නැත. ඔහු විසින්ම ප්‍රත්‍යක්ෂයෙන් දැනගත යුතුවන්නේ ය. එහෙත් සමාජය විසින් එම පුද්ගලයාට ආදර්ශයෙන් දැනුවත් කළයුතු අතර එයට ශ්‍රේෂ්ඨතම පරිසරය සකස්වීමට නම් බුද්ධාදී උතුමන් මනුලොව පහළවිය යුතුම වන්නේ ය.

නිදාගැනීම සත්වයාට අත්‍යවශ්‍යවන අතර සොබාදහමින්ම එයට කාලසීමාවක් වෙන්කොට ඇත. එහෙත් එම කාලසීමාව ඉක්මවා නිදාගැනීම මන්ද බුද්ධිකයාගේ ලක්ෂණයකි. එම නිද්ද්‍රාශීලීකම ආත්මාර්ථකාමී හැඟීම් ක්‍රියාත්මක කිරීමට මෙන්ම අලසකම ක්‍රෝධයටද පරිවර්තනය කරගන්නේ ය. සමාජ විරෝධීව ජීවත් වී ඔහු දෙලොවම පිරිහෙන්නේ ය.

සත්ව පරම්පරාව පවතින්නේ මාතෘ පීතෘ මූලික කරගෙන බැවින් සෑම සත්වයාම තම තමන්ගේ මව්පියන් පිළිබඳව සැලකිලිමත්වන අතර මානව පරම්පරාවේ සුවිශේෂ ගුණාත්මක භාවය ප්‍රකාශවන්නේ දෙමව්පියන්ට ගරුසරු කිරීමෙනි. අප බුදුරජාණන් වහන්සේ තරම් යම් දෙයක් හෝ පුද්ගලයෙකු පිළිබඳව ඇති අගය තත්ත්වාකරයෙන් දේශනා කළ උත්තමයෙක් ලොව පහළ වී නොමැත. එම දේශනා අනුව මව්පිය උපස්ථානය පවුලක සමාජයක භාග්‍ය වාසනාව ගෙනදෙන උතුම් සද්පුරුෂ ක්‍රියාවක් වන අතර එය ක්‍රියාත්මක නොකිරීම පිරිහීමට හේතු වන්නේ ය. එමෙන්ම තමන් හදාවඩා කවාපොවා ඇති දැඩි කළ දෙමව්පියන් වයසට ගියපසු අමතක කිරීම වසල ක්‍රියාවකි.

දෙමව්පියන් දූදරුවන් අතර සම්බන්ධය තිරසරව පැවතීම සඳහා ඔවුනොවුන්ගෙන් ඉෂ්ඨවිය යුතු කරුණු පහ බැගින් දසයක් දක්වා ඇති සිඟාලෝවාද සූත්‍රයෙන් දෙමව්පියන් පූර්ව දිසාවට උපමාකොට ඇත. ගෙදරින් පිටස්තර සමාජයට සම්බන්ධවනවිට ගරුත්වයෙන් සැලකිය යුතු අය අතරට ශ්‍රමණ බ්‍රාහ්මණයන් ප්‍රධාන වන අතර බොරුවෙන් වංචා කිරීම පිරිහීමට හේතුවන්නේ ය.

සම්පත් වැඩි තැනින් අඩුතැනට බෙදීයාම නිසාම සමාජයක් වශයෙන් සංස්ථාපනයවී ප්‍රගතිය කරා ගමන් කරන්නේ ය. ලෝකයේ කිසිම දිනක කිසිම කෙනෙකුට හුදකලාව සම්පත් එක්රැස් කළ නොහැක. සාමූහික ප්‍රයත්නයකින් එක් පුද්ගලයෙකුට සන්තක වන බහු ධනය බෙදීයා යුතු ය. එසේ නොකරණ තමා පමණක් කා බී තුටුවන්නා පිරිහීමේ දොරටුව ළඟ සිටගෙන ස්වල්ප වේලාවක තුටුපහටු වන්නේ ය.

ජාතිය, ධනය, ගෝත්‍රය කරණකොට ගෙන මාන්නයෙන් මත්වන්නේ නම් එය ද පිරිහීමට හේතු වන්නේ ය. තමා හා අනුන් සසඳමින් මැනීමෙන් තමාගේම ඤාතීන් අධිමානයෙන් පහත්කොට සැලකීමෙන් ඥාතීන්ගෙන් මෙන්ම සමාජයෙන්ම ඈත්වී මාන්නයම පිහිට කරගෙන පිරිහීමට පත්වන්නේ ය.

ඉත්ථි නමුච්චති සදාපුන ඉතිථිභාවා
නාරී සදාභවති සොපුරිසො පරත්ථ
යො ආචරෙය්‍ය පරදාරමලංඝනීයං
ඝොරංච වින්දති සදා ව්‍යසනාචෙනෙකං

යම් ස්ත්‍රියක් කාමමිථ්‍යාචාරයෙහි යෙදෙන්නේ ද එම ස්ත්‍රීභාවයෙන් මිදීමට නොහැකි වන්නේ ය. සතර අපායාදී දුග්ගතියෙහි ඉපිද අතිභයානක දුක්වේදනාවිඳිමින් කල්ප ගණන් ගෙවා මනුලොව උපන්නේ ද නොයෙක් ව්‍යසනයන්ට භාජනවන්නේය. ස්ත්‍රී ලෝලත්වය, සුරාපානය, සූදුව යන පාප ක්‍රියා තුනෙන්ම සැමදා පීඩාවිඳින ජගත් මානව පරපුරට අප බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ පංචශීලයම පිහිටවන්නේ ය.

ජනසම්මත චාරිත්‍රානුකූලව විවාහවීමත් එයින් සතුටුවීමත් මානව පරපුරේ ක්‍රමික පැවැත්මට මහෝපකාරීවන අතර එය ඉක්මවා සමාජ නීති ආගමික නීති, කුලසිරිත් ආදී කිසිත් නොසලකා පරදාර සේවනය කරන්නාගේ ධනය හා බුද්ධිය, ශරීර ශක්තිය ඉතා ශීඝ්‍රයෙන් පිරිහෙන්නේය. එමෙන්ම කුමන අංශයකින් හෝ නැගීගෙන එන යහපත් ජීවන මාර්ග පරිහානි වශයෙන් වෙනස්කොට එයින් අගාධයකට පෙරලෙනවා පමණක් නොව මතු නැගී හිටින්නට නොහැකිවන්නේ ය.

අප බුදුරදුන් විසින් නුවණැසින් දැන දේශනා කළ පරිදි පරදාර සේවනය කළහොත් එහි ආදීනව සුළුපටු නොවන්නේ ය.

එතේ පරාභවෙ ලොකෙ
පණ්ඩිතො සමවෙක්ඛිය
අරියො දස්සන සම්පන්නො
සලොකං භජතෙ සිවං

මෙම පරාභව සූත්‍රයෙන් දක්වා ඇති පරිදි පරිහානි ධර්මයන් නුවණැත්තා පරීක්ෂාකොට ආර්ය දර්ශනයෙන් යුක්තව නිවන් සුව ලබන්නේ ය. ප්‍රථමයෙන් තමා ගුණ අවබෝධයක් ලබාගත යුතු අතර දෙවනුව සමාජධර්මතා ගැතත් ආත්මවිමුක්තිය පිළිබඳවත් පරිඤාණයක් ලබාගන්නේ නම් හැකි ඉක්මණින් ආර්ය දර්ශනය ලබන්නේ ය.

සමාජය පිළිබඳව දැනීමක් ලබා ගැනීමත් සමාජයේ පවත්නා වැරදි වැරදි ලෙස තේරුම් ගැනීමත් අත්‍යවශ්‍ය වන්නේ ය. ආගම, දහම, දර්ශනය යන විෂයයන්ගෙන් කෙතරම් ආවරණය වුවද තමා හා සමාජය අතර සන්සන්දනාත්මක, සංවේදී භාවයක් නැත්නම් මිනිසාට සම්පූර්ණ නිවැරදි කෙනෙකු වීමට නොහැකිවන්නේ ය.

පරාභව සූත්‍රයේ දැක්වෙන තෙවිසි පරාභව කරුණුවලින් දුරස්ථව තමතමන්ගේ ජීවිතයන් කුසල ක්‍රියාවලටම යොදවා ආර්යගුණය ඇතිකොට චතුරාර්ය සත්‍යඤාණයෙන් උතුම් නිවන් පසක් කරගැනීමට උත්සාහ වන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.