Print this Article


ගම්පහ කොරස ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරය

ගම්පහ කොරස ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරය

ගම්පහ කොරස ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් විහාර නාමාවලියෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙසින් හැඳින්විය හැකිය.

උඩුගම්පොල ප්‍රාදේශීය රජෙකු ලෙසින් හඳුන්වන සකලකලාවල්ලභයන්ගේ මල් උයනක් ලෙසින් පැවතියේ යැයි ජනමතයේ පවතින මල්වනාගාරය නම් වූ සුන්දර ප්‍රදේශයේ පිහිටි පින්බිම ගම්පහ උඩුගම්පළ නයිවල පාරේ ගමන් කරන විට නරඹා අගය වටහාගත හැකිය. එම පින්බිම ශත වර්ෂයක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි.

1896 වසරේ දී බලගල්ල සරස්වති පිරිවෙන්හි වැඩ සිටි මුඩගමුවේ සිරිනිවාස මාහිමියන් මෙහි ආදිකර්තෘවරයා වශයෙන් සඳහන් වන අතර උන්වහන්සේගේ ඇවෑමෙන් උඩුනුවර ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විහාරාධිපතිත්වයට පත්ව ඇත. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් නඟා සිටවූ දහම් පාසල සහ රාහුල ළමා සමාජය ප්‍රදේශවාසීනට මහත් සේවයක් ඉටු කර ඇත. අනතුරුව විහාරාධිපති ධූරයට පත්වූ මඩිත්තෙගම රතනවංශ ලොකු හාමුදුරුවෝ මෙම ස්ථානය විහාරාංග රාශියකින් පරිපූර්ණ වූ පින්බිමක් බවට පත් කිරීමට මහත් වෑයමක් දැරූහ. එමෙන්ම උන්වහන්සේගේ සිහිනයක්ව තිබූ චෛත්‍යය ඉදිකර නිමකර දැකීමට නොහැකි වූහ.


කටුවස්ගොඩ සෝමින්ද හිමි

රතනවංශ ලොකු හාමුදුරුවන් වහන්සේ ඉතාමත් බුද්ධිමත් වූවා මෙන්ම භාෂා කිහිපයකින්ම හසළ දැනුමක් හිමිකරගත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් ද වූහ. නිට්ටඹුව සාරිපුත්‍ර පිරිවෙන්හි දෙමළ භාෂා ආචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී දෙමළ බසින් රචිත ග්‍රන්ථ රාශියක් ද එළි දැක්වූහ. ඒ තුළින් ඉටු වූ සේවය මිල කළ නොහැකිය. ඒ වන විට උන්වහන්සේ 74 වන විය ඉක්මවා යමින් සිටි අතර පසුව දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසා විහාර සංවර්ධනය අඩපන වී ගියේ ය. එසේ වූ නමුදු එවකට විහාරාධිකාරී ව වැඩ සිටි කටුවස්ගොඩ සෝමින්ද ස්වාමීන් වහන්සේ ලොකු හාමුදුරුවන්ගේ උපස්ථාන කටයුතු ද නොපිරිහෙළා ඉටු කරමින් සිට විහාරාධිපතිත්වයට පත්වූහ. විහාර සංවර්ධනය කෙරෙහි දැඩි කැපවීමක් ද දැරූහ. ප්‍රදේශවාසීන්ගේ ආගමික මෙන්ම සමාජමය වත් පිළිවෙත් නොපිරිහෙලා ඉටු කළහ. සැමගේ සිත් දිනා ගත්හ. දායක කාරකාදීහු උන්වහන්සේ වටා එක්වූහ. එය විහාර සංවර්ධනය කිරීමෙහිලා මහත් පිටුවහලක් විය.

2003.10.06 වන දින රතනවංශ ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ සිහිනයක්ව තිබූ චෛත්‍යය ගොඩ නැගීමටත් අඩක් නිම කර තිබූ අවුකන බුද්ධ ප්‍රතිමාවහන්සේගේ අනුරුව ඉදිකිරීමටත් අහාමුදුරුවන් වහන්සේ දිරිමත් වූහ.

එම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමේ දී සහ පිවිසුම් දොරටුව අබියස මකර තොරණ ඉදිකිරීමේ දී මූල්‍ය හා ශ්‍රම දායකත්වය ලබා දුන් දීපානි වෙළෙඳසැල අධිපති ෂෙල්ටන් ජයසේකර යන අය සහ වසන්ත හාඩ්වෙයාර් අධිපතිතුමන්ද මහත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. ඒ හා සමානව මෙම විහාර සංවර්ධන කාර්යයන්හිද ඇප කැප වී දායකත්වය ලබා දුන් පින්වතුන් බොහෝ ය. විහාරස්ථාන අබියස පාරට මුහුණ ලා ඉදිකෙරුණු බුද්ධ මන්දිරය අනිල් ජයසිංහ මහතාගේ මූල්‍ය දායකත්වයෙන් පිදුනු පූජා වස්තුවකි.

එම විහාරස්ථානය යටතේ ආරම්භ වූ පොල්ගහවෙල විජයානන්ද හා පූජාපිටිය ධම්මානන්ද යන පිරිවෙන් ප්‍රදේශවාසී සැමට මෙන්ම ජනතාවට විශාල සේවයක් ඉටු කරන අගනා ආයතන වන්නේ ය. සෝමින්ද ස්වාමින් වහන්සේ දහසක් බාධක ජය ගනිමින් ඉටු කරන්නාවූ මෙම ශාසනික මෙන්ම සාමාජිකමය උදාර සේවය ආදර්ශවත්ය. එමෙන්ම ශාසනයේ පැවැත්ම කෙරෙහි අවධානය යොමුකරමින් “කුඩා හාමුදුරුවන්” වහන්සේලා බිහි කිරීම උන්වහන්සේ අතින් ඉටු කෙරෙන උදාර ශාසනික මෙහෙවරකි. ප්‍රදේශවාසීන්ගේ චරිත ශුද්ධිය යහපත් කරනු වස් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත් එමටය. ‘මතින් තොර දිවියක්’ යන සංකල්පය මත වැඩ සිටින උන්වහන්සේ ගුප්ත ක්‍රම මගින් හෝ මතින් තොර මිනිසෙකු බිහිකිරීමට ගන්නා උත්සාහය සුවිශේෂිය. මෙම සිද්ධස්ථාන රට දැය සමයට සෙත සලසන අගනා පින් බිමකි.


බෝධීන් වහන්සේ

විහාර මන්දිරය

පැරැණි ධර්ම ශාලාව

මෙම මස 28 වැනිදා විවෘත කරනු ලබන රතනවංශ ගුණානුස්මරණ ධර්ම ශාලාව