Print this Article


බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස... කුඩා දැරියක සේ තරුණියක මහ මඟ දිවීම අශෝභන යැයි සිතූ විශාඛාවෝ

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස...

කුඩා දැරියක සේ තරුණියක මහ මඟ දිවීම අශෝභන යැයි සිතූ විශාඛාවෝ

සමාජ සංස්ථාවක මුල් පදනම වූ “පවුල” නමැති ඒකකය රැක ගැනීමේ කාර්යය පැවරී ඇත්තේ කාන්තාවටය. ඒ නිසාම පවුල් සංස්ථාවක විධිමත් පැවැත්ම උදෙසා විශාල වගකීමක් ඇති භාර්යාවකට සිය නිවස අතු පැලක් වුව ද එය සුර විමනක් කර ගැනීමේ හැකියාව තිබිය යුතු ය.

“ගුණ නැණැති විරිය වත්,
ලිය ඉඳින ගෙය වැඩේ සව්සිරි
සව්සිරි සපිරි ගේවත්
අවගුණ ලියක වත දිළිවේ.”

ලෝකෝපකාරය ස්ත්‍රිය පිළිබඳව සඳහන් කරන්නේ එලෙසිනි. ගුණවත් බව, ඥානවන්ත බව ඇති වීර්යවන්ත ස්ත්‍රියක් සිටින නිවස සියලු යස ඉසුරින් පිරුණු තැනක් වේ. නමුත් සියලු සැපතින් පිරුණු නිවසක් වුව ද අයහපත් ස්ත්‍රියක විසින් විනාශ කරන ලදුව දිළිඳු බවට පත්වේ. එබැවින් මුළු මහත් සමාජ සංස්ථාවෙහිම පැවැත්ම රඳා පවතින්නා වූ “පවුල” නමැති ඒකකයෙහි “කාන්තාව“ නිවැරදි දර්ශනයෙන් යුක්ත ඥානවන්ත ස්ත්‍රී රත්නයක්ම විය යුතු ය. රන් මිණි මුතු මැණික්වලටත් වඩා අඟනා ජීවිතාදර්ශයන්ගෙන් සමන්විත කාන්තා රත්නයන්ගෙන් බෞද්ධ සාහිත්‍ය පොහොසත්ය. සිය පවුල් සංස්ථාවත් රැකගෙන සමාජය ද බැබළ වූ එවන් එක් ආදර්ශවත් කාන්තාවක් ලෙස “මිගාර මාතා” ලෙසින් ප්‍රසිද්ධියට පත් වුණු විශාඛාවගේ චරිතය හඳුනා ගත හැකි ය.

භාරතයේ අංග ජනපදයේ භද්දිය නුවර ධනංජය නමැති සිටුවරයාගේ දියණිය ලෙසින් උපත ලැබුව විශාඛා ඉතා රූමත් දුටු දුටුවන්ගේ නෙත් සිත් වශී කරන රූපශ්‍රීයකින් යුක්ත කාන්තාවක් වූවා ය. දිනක් බුදුන්වහන්සේ භද්දිය නුවරට වැඩම කළ අවස්ථාවක දී උන්වහන්සේගෙන් ධර්මය ඇසූ සත් හැවිරිදි විශාඛා සිටු දියණිය සෝවාන් ඵලයට පත් වුවා. ක්‍රමයෙන් රුවින් මෙන් ම ගුණ නුවණින් ද වැඩුණු ඇය අවට සියලු රාජ්‍යවල ද ප්‍රසිද්ධ චරිතයක් බවට පත් විය. මේ කාලයේ දී ම සැවැත් නුවර විසූ මිගාර නම් සිටුවරයා තම පුත් කුමරුවන් වන පූර්ණ වර්ධන කුමාරයාට සරණ කර දීමට සුදුසු කුමාරිකාවක් සොයමින් සිටියේ ය. මිගාර සිටුතුමා තම පුත්‍රයාට සුදුසු කුමාරිකාවක් සොයා ගෙන ඒමට දූත පිරිස් විවිධ රාජ්‍යවලට පිටත් කළේ ය. සාකේත නුවරට පැමිණි මේ දූත පිරිස එවෙලෙහිම ඇද හැලුණු වර්ෂාවෙන් බේරීමට අසල තිබුණූ ශාලාවකට ගොඩ විය. එවේලෙහිම වැස්සෙන් බේරීමට සිතා කුමාරිකාවන් පිරිසක් ද වහා දුවවිත් මෙම ශාලාවට ඇතුල් විය. ස්වල්ප වේලාවකින් තවත් රූබර කුමාරියක් වැස්සේ තෙමි තෙමීම සන්සුන් ගමනින් පැමිණ මෙම ශාලාවට ඇතුල් විය. ඉතාමත් රූපශ්‍රීයෙන් අනූණ වුණ මෙම කුමාරිකාව අන් කිසිවෙකුත් නොව විශාඛාවයි. සන්සුන් ඉඳුරන්ගෙන් යුත් මේ කුමාරිකාව කතාවට පොළඹවා ගන්නා රිසියෙන් බමුණන් ඇයට ඇසෙන සේ,

“අනේ මේ දරුවා කොයිතරම් කම්මැලිද?

කම්මැලිකම නිසාම හොඳටම තෙමුණා” යැයි කීවේ ය. එය ඇසුණු විශාඛාව “ මා එසේ පැමිණියේ කුඩා දැරියක සේ තරුණියක මහ මඟ දිවීම අශෝභන නිසා.....” යැයි පිළිතුරු දුන්නා ය. එම පිළිතුරෙන් ඇගේ ගුණ නුවණ පිළිබඳ වටහාගත් බමුණෝ රූමත් විශාඛාව පිළිබඳ තොරතුරු මිගාර සිටුතුමා වෙත දැනුම් දුන්නේ ය.

විශාඛාව තුළ තිබුණා වූ හැදිච්චකම, සන්සුන් බව, හික්මීම ඕනෑම කාන්තාවකට තිබිය යුතු ගුණ ධර්මයන් ය. එබඳු ගුණ ධර්මයන් හැම විටම අකාලිකය.

කාන්තාවකට “කඩිසර බව“ කියන්නේ අත්‍යවශ්‍යම ගුණාංගයක්. එදිනෙදා ජීවිතයේ දී, ඇය නියලෙන රාජකාරී කටයුතුවලදී මේ කඩිසර බව හැම විටම අවශ්‍යයි. මෙවැනි අවස්ථාවලදී අලසව ක්‍රියා කොට, කාන්තාවකට උචිත නොවන වෙනත් කාර්යයන්හිදී ඇය අනලස්ව ක්‍රියා කරන්නේ නම් එය අශෝභනය.

විශාඛා සිටු දියණිය පිළිබඳ තොරතුරු දැන ගත් මිගාර සිටුතුමා විශාඛාවගේ පියා වන ධනංජය සිටුතුමාගේ ද අනුමැතිය ගෙන සිය පූර්ණ වර්ධන නම් වූ පුත්‍රයාට ඇය විවාහ කර දුන්නේ ය. මෙම විවාහ මංගල්‍යය දිනයේ දී ධනංජය සිටුතුමා සිය දියණියට මිල මුදලින් දායාදය පවරා දුන්නා පමණක් නොව තමාම පෝෂණය කරන්නා වූ සිය ස්වාමියා ඉක්මවා නො යමින් ස්වාමියාගේ ගුරු දෙගුරුන් මැනවින් පුදමින් ස්වාමියාගේ සිත සතුටු වන අයුරින් හැසිරෙන්නේ කෙසේද යන්න පහදා දීමට ද අමතක නො කළේ ය. ධනංජය සිටුතුමා විසින් විශාඛාව අමතා මංගල සභාවේ දී දුන් එම අවවාදයන් වර්තමානයේ කුලගෙට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින දියණිවරුන්ටත්, කුලගෙට පිවිසි දියණිවරුන්ටත් තම කුලගෙය ආරක්ෂා කර ගන්නට කදිම මන්තරයක් යැයි කීවොත් නිවැරදිය. ධනංජය සිටුතුමා තම දියණිය වූ විශාඛාවට දුන් පළමු අවවාදය වුණේ, “ඇතුළත ගිනි පිටතට නොදිය යුතු ය. පිටත ගිනි ඇතුළට නො ගත යුතුය” යන්නයි. මේ අවවාදය තුළ බැලූ බැල්මට ඔබට හැඟෙන්නේ කුමක්ද? එහි අරුත ප්‍රබලය. “ඇතුළත ගිනි පිටතට නො දිය යුතුයි.....” යනු තම සැමියාගේ හෝ නැදි මයිලන්ගේ හෝ අඩුපාඩු පිට මිනිසුන් සමඟ නො දෙඩිය යුතුය යන්නයි. වැරදි නැති කෙනෙක් මෙදියත උපදින්නේ නැත. අප හැම කෙනෙක් තුළම කුමන හෝ අඩුපාඩුවක් ඇත. එකිනෙකාගේ අඩුපාඩුකම්, වැරදි, දුර්වලතා, අපට හොඳින් අවබෝධ වන්නේ සමූහයක් වශයෙන් එකට ජවත් වෙන්න පටන් ගත් විටකදී ය. වැරදි අඩුපාඩු සිදුවීම මනුෂ්‍ය ස්වභාවයක් බැවින් හැම විටම අප එකිනෙකා කෙරෙහි උපේක්ෂා සහගත විය යුතුය. සාමූහිකව ජීවත් වීමේ දී එකිනෙකා කෙරෙහි අවබෝධය අත්‍යවශ්‍ය කරුණකි. එහෙයින් හැම විටම තම පවුලේ සුබ සිද්ධිය උදෙසා කාන්තාවක් ඉවසීමෙන් හා උපේක්ෂාවෙන් ක්‍රියා කළ යුතු බව පැහැදිලි කරුණකි. තම ස්වාමියාගේ නැදි මයිලන්ගේ වැරදි අඩුපාඩුකම් අසල්වැසියන් සමඟ පවසමින් කාලය ගත කිරීම “උඩ බලාගෙන කෙළ ගැසීම” හා සමාන ක්‍රියාවකි. ධනංජය සිටුතුමා සිය දියණියට “පිටත ගිනි ඇතුළතට නො ගත යුතු බව“ පැවසුවේ, පිටස්තර පුද්ගලයන් විසින් සැමියාගේ හෝ නැදි මයිලන්ගේ හෝ නුගුණ කී විට ඒ පිළිබඳව තම ස්වාමියාට හෝ නැදි මයිලන්ට නො කිය යුතු බැවිනි. එසේ නො වුණහොත් සිදු වන්නේ නැති ප්‍රශ්නවලට කරදරවලට මුහුණ දීමටය. “දෙන තැනැත්තාට දිය යුතු ය.” නො දෙන තැතැත්තාට නොදිය යුතු ය... දෙන්නාට ද නො දෙන්නාටද දිය යුතු ය......” යනු අනෙක් අවවාදයයි. කුමක්ද? මෙයින් අදහස් වන්නේ.....? ඔබ යම් නිවසක ස්වාමි දියණියක්ව සිටිත් ද? එසේ නම් අසල් වැසියෙක් ඔබෙන් යමක් ඉල්ලා ඔබේ නිවසට පැමිණ, යළි ගෙනත් දෙන්නේ යැයි පවසමින් ඉල්ලා සිටින විට ඔබ ඔවුන් ඉල්ලන දේ දිය යුත්තේ යළි එය ඔබ වෙත ලැබේවි යැයි විශ්වාසයක් ඔබ තුළ ඇත්නම් පමණි. රැගෙන ගිය දේ කුමක් වුවත්, එය ඔබේ නිවසේ ස්වාමියා හෝ නැදි මයිලන්ට හෝ අනෙකුත් අයෙකුට අත්‍යවශ්‍ය දෙයක් නම්, යළි එය ඔබට නො ලැබුණ විට නිවැසියන්ගේ දෝෂ දර්ශනයට ලක්වීමට ඔබට සිදුවනු නො අනුමානය. එබැවින් අසල් වැසියෙක් ඉල්ලා පැමිණෙන යම් දෙයක් ඔහුට හෝ ඇයට දෙන විට ඒ පිළිබඳව දෙවරක් සිතා බලා දීමට සිතට ගත යුතු ය. යමෙක් ගත් දෙය පෙරළා යළි නො දේ නම්, ඔවුනට නො දිය යුතු ය.

නමුත් මෙම අවවාදය තුළ තවත් වැදගත් කරුණක් ඉස්මතු කොට ඇත. ඒ “දෙන්නාට ද නො දෙන්නාට දිය යුතුය” යන්නයි. එයින් අදහස් වන්නේ දිළිඳු නෑදෑයින් යමක්ගෙන ගොස් පෙරළා දෙනු ලැබුවත්, නො ලැබුවත් ඔවුන්ට දිය යුතුයි යන්නයි. කොතරම් මිල මුදල් හරි හම්බ කර ඉහළට ගියත් කිසි විටකත් මනුස්සකම අමතක නො කළ යුතු ය. තමා වටා මුල දී සිටි තම දිළිඳු නෑ හිත මිතුරන් අමතක කොට දමා සුර සැප විඳිත් නම් තමන්ගේම අය දුක් විදිද්දී තමන් කා බී සතුටු වෙත්නම් එම සතුටෙන් ඇති ඵලය කිම? ධනංජය සිටුතුමා තම දියණියට දුන් අනෙක් අවවාදය නම් “සැප සේ ඉඳගත යුතුයි. සැපසේ අනුභව කළ යුතුයි. සැප සේ නිදිය යුතුයි” යන්නයි. මෙම අවවාදය මෙලෙසින් ක්‍රියාත්මක කරන දියණිවරුන් අද බොහෝ පවුල් සංස්ථා තුළ අපට දැකගත හැකියි. එහෙත් මෙම අවවාදය තුළ ගැබ්ව පවතින අරුත බොහෝ ගැඹුරු ය. “සැප සේ හිඳගත යුතුයි” යන්නෙන් අදහස් කරනුයේ සැමියා හෝ නැදි මයිලන් හෝ ඉදිරියේ උස් අසුන්වල වාඩි නොවිය යුතුය යන්නයි. බොහෝ දුරට බිරිඳ සැමියාට ගරු කළ යුතුවාක් මෙන්ම තම නැන්දා මාමාට ද ගරු කළ යතු ය. ස්වාමියාට නැදි මයිලන්ට ගරු බුහුමන් දැක්වීම කාන්තාවකට මදි පුංචිකමක් යැයි කිසි විටකත් නො සිතිය යුතු ය. ඉස්සර වාගේ නොවේ. දැන් සමාජය දියුණූයි. හැමෝම එක සමානයි වැනි අදහස් ඔබේ සිතට මතුවෙනවා ඇති. එහෙත් කාන්තාවගේ ගුණ යහපත්කමට සමාජ තත්ත්වය කිසි විටකත් බලපාන්නේ නැත. “සැප සේ අනුභව කළ යුතුයි” යන්නෙන් අදහස් කෙරෙන්නේ සැමියා සහ නැදි මයිලන් ආහාර ගත් පසු පමණක් තමන් ආහාර ගත යුතුයි යන්නයි. අතීතයේ සිට මුඛ පරම්පරා ගතව පැමිණි මේ අවවාද අපේ වැඩහිටි පරපුර තුළ තවමත් දැක ගත හැකිය. නිවසේ ආහාර ගන්නා සෑම අවස්ථාවක දී ම අපේ අම්මලා, අත්තම්මලා ආහාර අනුභව කරන ලද්දේ, නිවසේ හැම දෙනාම ආහාර ගත්තාට පසුවයි. ඇතැම් අවස්ථාවල ආහාර ගන්නා විට අමුත්තෙක් නිවසට පැමිණියහොත් ආහාර නො ගෙන සිටින ඔවුන්, තම බත්පත අමුත්තාට පිළිගන්වා තමන් නිරාහාරව සිටිනවා දැක ඇත. සියල්ලන්ටම පළමුව තමා කා බී කුස පුරවා ගෙන සිටියානම්, අහම්බෙන් පැමිණෙන අමුත්තාට සංග්‍රහ කරන්නේ කෙසේද? ආහාර ගන්නා අවස්ථාවක නිවසට පැමිණෙන ඕනෑම අමුත්තෙකුට සංග්‍රහ කිරීම සිංහල අපේ සිරිතයි. සියල්ලන්ගේම කුස පුරවා සතුටු කොට අවසානයේ තම කුස පුරවා ගැනීම නම් “සැපසේ අනුභව කිරීම” යන්නෙන් ගම්‍ය වේ. “සැපසේ නිදා ගැනීම” යනු නිවසේ සියලු දෙනාටම පෙර තමන් නින්දට පිවිසීම නොවේ. “ගෘහණියක්” යනු වගකීම්වලින් පිරුණු අයෙකි. ඇය තම නිවසේ වෙසෙන සියල්ලන්ගේම ආරක්ෂකයා විය යුතු ය. එක් අතකින් තම ස්වාමියා උපයා, සපයා දෙන වස්තුව, දේපළ රැක ගත යුතු ය. අනෙක් අතින් තමා හා වෙසෙන අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිත යහපත් මාර්ගයෙහි රැගෙන යා යුතු ය.

ධනංජය සිටුතුමා තම දියණියට දුන් අනෙක් අවවාදය නම් “ගිනි දෙවියන් පිදිය යුතු ය” යන්නයි. මෙහිදී ගිනි දෙවියන් යනුවෙන් අදහස් කොට ඇත්තේ නැන්දා සහ මාමාය. ඕනෑම අයෙකු ගින්දර සමඟ කටයුතු කළ යුත්තේ කෙතරම් කල්පනාකාරීවද? එතරම් ම කල්පනාවෙන් තම නැන්දා මාමා සමඟ ද ජීවත් විය යුතු ය. ඔවුන්ගේ සිත නොරිදා සිය දෙමව්පියන් මෙන් සිතා කටයුතු කළ යුතු ය. ධනංජය සිටුතුමාගේ මෙම අවවාද අතර අවසාන අවවාදය වන්නේ “ගෘහ දේවතාවන් පිදිය යුතුය” යන්නයි. මෙහි ගෘහ දේවතාවන් ලෙසින් දක්වා ඇත්තේ ද තම ස්වාමිය සහ නැදි මයිලන්ය. කෙසේ වෙතත් සිය දිවි ඇති තෙක් විශාඛා සිටු දියණිය මෙම අවවාද පිළිගෙන ක්‍රියා කළ බව පැහැදිලි වන්නේ ඇයට මිගාර මාතා නමින් විරුදාවලියක් ද බෞද්ධ සාහිත්‍ය තුළ දැක ගත හැකි බැවිනි. විශාඛා සිටු දියණිය බුදුපාමොක් මහ සඟනට දන් දෙමින්, පූර්වාරාමය වැනි ආරාමයන් ඉදිකොට බුදු සසුනට පූජා කරමින් ඉතා දැහැමි ජීවිතයක් ගත කළා ය. විශාඛා සිටු දියණිය විශාල දරු පිරිසකගේ මවකි. ඇය බොහෝ මුණුබුරු, මිණිමිරියන් දුටු අත්තම්මා කෙනෙකි. සාර්ථක ගිහි ජීවිතයක් ගත කළ විශාඛා සිටු දියණිය එක්සිය විසි අවුරුද්දක් නිරෝගීව ජීවත් වූවා ය. විශාඛා සිටු දියණිය වාසනාවන්ත කාන්තාවක් වූවා පමණක් නොව පින්වත් කතක් ද වූවා ය. ජීවිතය කම්සැප විඳිමින් කෙළවර කර ගන්නට හැකියාව තිබුණ මුත් ලැබූ වටිනා මිනිස් ජීවිතයට ඇය නව අරුතක් දුන්නා ය.