සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 6
නාරංවත්තේ
ධම්මසිරි හිමි
දුර්ගේශ්වරී ගොස් එහිදී සිදුහත් ගෞතම මහ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රතිමා
වහන්සේ දැක බලා ගත් අපි එතැන් සිට අද බුද්ධ භූමි වන්දනාව ආරම්භ කරමු.
මහ බෝසතාණන් වහන්සේ හිමිදිරියේ තමන් වහන්සේ වැඩ හුන් තැනින් නැගිට
සිරුර පිළිදැගුම් කොට සේනානි ගම අසල වූ අජපාල නමින් ප්‍රකට නුගරුක වෙත
වැඩ පිඬු සිඟා යා යුතු වේලාව එනතුරු එහි මුල වැඩ හුන්හ. එසේ ඉන්නා අතර
ඒ නිගමයට අධිපති සිටුහුගේ දියණිය වු සුජාතාවෝ ඒ වෘක්ෂයට අධිගෘහිත වූ
දෙවියාට භාරයක් ඔප්පු කිරීම් වශයෙන් රන් තලියෙක කිරිබත් තබා තවත් රන්
තලියෙකින් වසා හිස මත තබාගෙන එහි ආහ. එහි අවුත් වෘක්ෂ මූලය මත වැඩහුන්
බෝසතාණන් වහන්සේ දැක රුක් දෙවියා වනැයි සිතා මහත් පී‍්‍රති සොම්නසින්
නැමි නැමි ගොස් කිරිබත් සහිත තලිය අත්ල මත්තෙහි තබා වැඳ “මා මනදොළ
සමෘද්ධි වූවාසේ ම ඔබ වහන්සේගේ මනෝරථයත් සමෘද්ධවේවා”යි කියා ආශිර්වාද
කොට නික්ම ගියාය.
මහ බෝධි සත්වයන් වහන්සේ එය පිළිගෙන නිල්දලා (නේරංජරා) ගං තෙරට වැඩම
කළහ. ගං තෙර අද්දර රුක් සෙවණක එය තබා පැන් පහසු වූහ. අනතුරුව රුක්
සෙවණෙහි හිඳ එකුන් පණස්පිඬක් කොට එය වැළඳූහ.ඉන් පසු එම ස්ථානයෙන් නැගිට
නදිය අද්දරට වැ0ඩ අද ම සත්‍යාවබෝධය වෙතොත් මෙය උඩුගං බලා යේවායි” සත්‍ය
ක්‍රියා කොට තලිය නදියට දැමූහ .එය උඩුගං බලා ගොස් දිය සළාවෙක ගැසී දියේ
ගැලිණ.
මහ බෝධිසත්වයන් වහන්සේ එයින් නික්ම සමීපයෙහි වූ භද්‍ර වනයෙහි දහවල ගත
කරනුවෝ කලක් ම පුරුදු නොකොට හැර දමා තිබූ අෂ්ට සමාපත්ති හා පංච
අභිඥාවන් යලිත් වැඩූහ.
නැවැත සවස් භාගයෙහි එයින් නික්ම නිල්දලා ගඟ අද්දර වූ ඇසතු රුක බලා ගමන්
ගත්හ. මඟදී “සොත්ථිය” නම් බමුණා උන්වහන්සේ දැක පැහැද තමා ගෙන යන කුස
තණින් අට මිටක් දී ගියේය. බෝසතාණන් වහන්සේ එය ගෙන ඇසතු රුක (බෝමැඩ
පෙදෙස දැන් බුද්ධගයා නමින් ප්‍රකටය) වෙත එළඹියහ. එහි නැගෙනහිර පැත්තේ
එම වෘක්ෂය මුල ඒ කුස තණ සලා සත්‍යාවබෝධය කොට මිස මින් නොනැගිටිමි”යි
තරයේ ඉටා එහි හිඳගත්හ.
එහි හිඳ බවුන් වඩන බෝසතාණන් වහන්සේට නොයෙක් බිහිසුණු දර්ශන ඇති විය. ඒ
දර්ශන නම් වසවර්ති දිව්‍ය පුත්‍රයා කළ කලබලයි. එහෙත් ඒ කිසිවකටත්
බෝධිසත්වයන් වහන්සේ බිය නොගත්හ.
ආනාපානසතිය වඩන බෝධිසත්වයන් වහන්සේ ධ්‍යාන උපදවා එයින් නැගිට පෙර
ජාතීන් සිහිකරන්නට විය. මෙසේ පෙරයම අවසන් වන්නට පෙර
පූර්වේනිවාසානුස්මෘති ඤාණය පිරිසුදු කළහ. මැදුම් යෑම අවසන්වන්නට පෙර
දිවැස පිරිසුදු කළහ. තුන්වන යාමයෙහි විදසුන් වඩනුවෝ අරුණු නැගෙන කල්හි
සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වය ලැබූහ.
අනේකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො
දුක්ඛාජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණ්හානං ඛයමජ්ඣගා
භවයෙහි නැවත නැවත ඉපදීම දුකෙකි. භවයෙහි නැවත නැවත ඉපදීම වශයෙන් ස්කන්ධ
සංඛ්‍යාත ගෘහය හදන්නා වූ තෘෂ්ණා නමැති වඩුවා සොයන්නා වූ මම, ඔහු දක්නට
හැකි ඤාණය නොමැතිව අනාදිමත් කාලයක් සසර පුරා සියදහස් ගණන් ජාතිවල ඔබ
මොබ ඇවිද්දෙමි.
ස්කන්ධය නමැති ගෙය කරන්නා වූ තෘෂ්ණා නමැති වඩුවාණෙනි” බුදු වු මා
විසින් දැන් නුඹ දක්නා ලද්දෙහිය. නුඹ මින් මතු මට ස්කන්ධ නමැති ගෙය
නොකරන්නෙහිය. මා විසින් නුඹගේ සියලු කෙලෙස් නමැති පරාළ බිඳ දමන ලදී.
අවිද්‍යා නමැති කැණි මඬල අරහත් මාර්ග ඤාණ නමැති පොරොවින් පළා විනාශ කරන
ලදී. දැන් මගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේය. මම
තෘෂ්ණාවෙන් වෙන් වූ උතුම් අර්හත් ඵලයට පැමිණියෙමි” යනු මෙහි අදහසයි.
අති උත්තම බුද්ධ රාජ්‍ය දිනා ගනිමින් පී‍්‍රතියෙන් උදම් වූ ලොව්තුරා
බුදුරජාණන් වහන්සේ දස මරුන් පරදා වෙසක් පුන් පොහෝදා උතුම් බුද්ධත්වය
ලැබු මේ උත්තරීතර පුද බිම මහත් ශ්‍රද්ධා සිතින් වන්දනා මාන කරමු.
මහාබෝධි විහාරය
බිහාර් ප්‍රාන්තයේ ගයා නම් දිස්ත්‍රික්කයේ ගයා නගරයෙහි සිට කි.මී. 11
1/2ක් පමණ දකුණින් පිහිටා ඇත. බුද්ධගයා පූජා භූමිය තුළ බුදුරජාණන්
වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වූ ස්ථානයේ මුලින්ම දැක ගන්නට ලැබෙන උස
මනරම් සුවිශේෂි ගොඩනැගිල්ල විහාරය සහ ස්ථූපය යන උභය වස්තූන්ගේ අසිරිමත්
සංකලනයකි.
විහාරයට පිවිසෙන වන්දනාකරුවන්ට ප්‍රථමයෙන් සිය දෙනෙත් ගැටෙනුයේ
භූමිස්පර්ශ මුද්‍රාවෙන් නිර්මිත ලොව ඇති අසමසම පිළිම වහන්සේ වෙතය.
බුදුරජාණන් වහන්සේ වජ්‍රාසනය මත ශී‍්‍ර සම්බුද්ධත්වයට පත්වූ අයුරින්
පිළිම වහන්සේ නිර්මාණය වී ඇත. විහාර මන්දිරයේ පළමු මහල අනාදිමත් කාලයක
සිට වන්දනා මාන කටයුතු සඳහා වෙන්වූ අතර දෙවන මහල වැඩි වශයෙන් භාවනා
කටයුතු සඳහා යොදා ගෙන ඇත. විහාර මන්දිරයේ පළමු මහලේ ඇති සුවිශේෂී බුදු
පිළිමය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නිර්මාණකරුවෙකුගේ වේශය ගෙන පැමිණ
තැනු නිර්මාණයක් ලෙසද විශ්වාසයක් පවතී.
විහාර ගොඩනැගිල්ලේ ඉහළ කොටස සර්වඥ ධාතු තැන්පත් කර ඇති මහාබෝධි ස්ථූපය
වශයෙන් සැලකේ.
බුද්ධගයාවෙන් සොයා ගනු ලැබූ ගුප්ත යුගයට අයත් සෙල් ලිපියක (ක්‍රි.ව.
4-6) වජ්‍රාසන ගන්ධ කුටියක් පිළිබඳව සඳහන් වේ. ක්‍රි.ව. 409 දී චීන
ජාතික පාහියන් භික්ෂූන් වහන්සේ පැමිණෙන විට අද දක්නට ඇති ආකාරයටම මහා
බෝධි විහාරය පැවති බව සඳහන් වේ. පාහියන් වාර්තා අනුව අශෝක අධිරාජයා
විසින් ක්‍රි.පූ. 260 දි කුඩා විහාරයක් තනනු ලැබ ඇති අතර, ඉන් අනතුරුව
බ්‍රාහ්මණ වංශික සොහොයුරන් දෙදෙනෙකු විසින් විහාරය පුළුල් කරනු ලැබ ඇත.
එකල මහාබෝධි විහාරය අඩි 160 ක් පමණ තෙමහල් ගොඩනැගිල්ලක් වශයෙන් දක්නට
ලැබී ඇත.
දස මරුන් පරදා උතුම් බුද්ධත්වය අවබෝධ කර ගැනීමට පිහිට වූ ශ්‍රී මහා
බෝධින් වහන්සේ
මහාබෝධි විහාරය පිටුපසින් ගෞතම බුදුරජාණන් වහන්සේට ශ්‍රී සම්බුද්ධත්වයට
පත්වීම සඳහා සෙවණ ලබාදුන් ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටී.
බුද්ධත්වයට පත්වීම සඳහා රැකවරණය ලබාදුන් ශ්‍රී මහාබෝධින් වහන්සේ ලෝ
වාසි සියලු දෙනාගේම පූජනීයත්වයට පත්වූ අතිශය ශුද්ධ වස්තුවකි.
අශෝක අධිරාජයා බුද්ධාගම වැළඳ ගැනීමෙන් අනතුරුව අශෝක අධිරාජයා කිරි පූජා
පවත්වා බෝධින් වහන්සේට උපහාර පවත්වන ලද බව දැක්වේ.
අශෝක අධිරාජයා ශ්‍රී මහා බෝධියට අඛණ්ඩව වැඳුම් පිදුම් කිරීම ඉවසා දරාගත
නොහැකි වූ ඔහුගේ බිසවක් පසුව ශ්‍රී මහාබෝධිය විනාශ කළද රජතුමා විසින්
කිරිපූජා පවත්වා නැවත එය යථා තත්ත්වයට පත් කර ඇත.
මතු සම්බන්ධයි
සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 5 |