Print this Article


පෙරභවය යි කර්ම විපාකය යි 05 ධනයට ආශාවෙන් මිය ගිය තෝදෙය්‍ය බමුණා

පෙරභවය යි කර්ම විපාකය යි 05

ධනයට ආශාවෙන් මිය ගිය තෝදෙය්‍ය බමුණා

පසුව බුදුරදුන් හමුවට ගිය ඔහු බුදුරදුන් කෙරෙහි පැහැදී සරණශීලයෙහි පිහිටා උපාසකයෙක් බවට පත්විය. ධනය කෙරෙහි ලෝභ වූ තම පියාට සිදු වූ දේ පිළිබඳ කනගාටු වූ සුභ මානවක නිතර බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැනින් උවටැන් කරමින් උපස්ථාන කරන්නට විය.

පෙර භවයයි. කර්ම විපාකයයි .ලිපි මාලාවෙන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහි විසූ එක් බ්‍රාහ්මණයෙකු පිළිබඳ අද මතකයට නඟා ගනිමු. ඒ තෝදෙය්‍ය බමුණා පිළිබඳවය.

“තෝදෙය්‍ය” බමුණාගේ කතාව බෞද්ධ සාහිත්‍යයෙහි පවා ප්‍රසිද්ධ කතාවකි. කොසොල් රජතුමාගේ පුරෝහිත බමුණෙක් වූ තෝදෙය්‍ය බමුණා කොසොල් රජු විසින් “තුදී” නම් ගමෙහි අධිපතියා වශයෙන් පත්කළ නිසා එනමින් හඳුන්වා ඇත. කිසිදා දනක් නොදුන් ඔහු තද මසුරෙක් විය. අසූ කෙළක් නිධන්ගත ධනය හිමි වූ ඔහු නිතරම උත්සාහ කළේ ධනය රැස්කිරීමට මිස වියදම් කිරීමට නොවේ. ඔහුට “සුභ” නම් පුතෙක් විය. ඔහු තම පුතාට ද නිතර අවවාද කළේ ධනය වියදම් නොකොට රැස්කර ගන්නා ආකාරය පිළිබඳවය. එම උපදේශය මෙසේය.

“අඤ්ජනානං ඛයං දිස්වා,
ධම්මිකානඤ්ච සඤ්චයං
මධුනඤ්ච සමාහාරං
පණ්ඩිතො ඝරමාවසෙති”

අඳුන් යනු වරකට ඉතා ස්වල්පය බැගින් ඇස්හි ගල්වන බෙහෙතකි. එහෙත් මඳ මඳ ගැල්වීමෙනුත් නැවත අඳුන් රැස්කිරීමක් නොවුන කල නිමාවට පත් වෙයි. එමෙන්ම මඳ මඳ වශයෙන් දුන්නත් තමාගේ වස්තුව අවසාන විය හැක. වේයෝ තම තුඩින් පස් බිඳ බිඳ ගෙනවුත් විශාල තුඹසක් ඉදිකරති. එමෙන්ම ටික ටික වුවද වස්තුව රැස්කිරීමෙන් විශාල වස්තුවක් ඇති වන්නේය. මී මැස්සෝ මල්වලින් රොන් බිඳ බිඳ ගෙනවුත් මහ මී වදයක් බඳිති. මෙසේ නුවණින් සලකා බලා නුවණැත්තෝ ධනය වියදම් නොකොට රැස්කරති.

මෙසේ තම පුතුට නිතරම ධනය රැස්කිරීම පිළිබඳව අවවාද දුන් තෝදෙය්‍ය බමුණා බුදුරදුන් තම ගම සමීපයෙහි වැඩ සිටියද කිසිදු දනක් නොදී තද මසුරු කමින්ම සිට මිය ගොස් එම නිවසෙහිම සුනඛයෙකුව උපන්නේය. සුභ මානවකයාද ඉතා ආදරයෙන් මේ සුනඛ පෝතකයා හදා වඩා ගනිමින් ලොකු මහත් කළේය. මනාව සැලකිළි සම්මාන කළේය.

තෝද්‍යෙය බමුණා මියගොස් සුනඛ ආත්ම බවක් ලත් බව දැනගත් අපගේ බුදුරජාණන් වහන්සේ එය සුභ මානවකයාට ඒත්තු ගැන්වීමෙන් සරණශීලයෙහි පිහිටුවීමෙන් ඔහුට ධර්මාභිසමය වන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ හුදකලාවම සුභ මානවකයාගේ නිවස බලා වැඩියේය. සුභ මානවකයාගේ මාලිගය අසලට බුදුරජාණන් වහන්සේ වැඩි අවස්ථාවේ සුභ මානවකයා එහි නොසිටි අතර සුනඛ අත්බවක් ලැබ සිටි තෝදෙය්‍ය බමුණා බුරමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවේය. එවිට බුදුරජාණන් වහන්සේ “එම්බා තෝදෙය්‍ය බමුණ ඔබ මිනිසත් බව ලත් ආත්මයේත් මා හට නිගරු කළේය. දැනුදු මා හට නිගරු කර අවීචියට යන්නේ දැයි “ විමසීය.

”තෝදෙය්‍යය ත්වං පුබ්බේපි මං හො හොති පරිභවිත්වා සුනඛො ජාතො, ඉදානිපි භුක්කාරං කත්වා අවීචිං ගමිස්සසීතියී

බුදුරදුන් මා හඳුනා ගත්තේයැයි ලැජ්ජාවට පත් සුනඛයා හිස පහත් කරමින් ගොස් මාළිගයෙහි සැඟවුණේය. සුනඛයා අස්වැසීමට සේවකයින් උත්සාහ කළ ද එය වය්‍යවර්ථ විය. පසුව සුභ මානවකයා පැමිණ කරුණු විමසීමේදී බුදුරජාණන් වහන්සේ පැමිණි බවත් තම සුරතල් සුනඛයාට පියතුමාගේ නමින් ඇමතූ බවත් දැන මහා බ්‍රහ්මයාගේ සභව්‍යතාවයට ගිය තම පියාට බුදුරදුන් නිගරු කළේ යැයි කිපී දොස් නැගීමට වහා බුදුරදුන් හමුවට ජේතවනාරාමයට ගියේය.

එහි පැමිණි සුභ මානවකයා බුදුරජාණන් වහන්සේ තම සුනඛයාට පියාගේ නමින් ඇමතුවේ දැයි ඇසීය. බුදුරජාණන් වහන්සේ ‘ඔබේ පියා සුනඛ අත් බවක් ලැබූ නිසා එසේ පැවසුවේය. එය සත්‍යයකි” යනුවෙන් වදාළ නමුත් සුභ මානවකයා එය පිළිගැනීමට අකැමැති වූ නිසා බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් මෙසේ විචාළේය.

“තොපගේ පියා තොපට නොදන්වා සඟවන ලද යම් වස්තුවක් ඇත්ද?

“අත්ථි පන තෙ මාණව පිතරා අනක්ඛාතං ධනන්ති”

”එසේය, වස්තුව ඇත. ලක්ෂයක් වටිනා රන් මාලයක්ද ලක්ෂයක් වටිනා රන් මිරිවැඩි සඟළක්ද ලක්ෂයක් වටිනා රන් තැටියක්ද ලක්ෂයක කහවනුද මාගේ පියා විසින් සඟවන ලද්දේය”

“අත්ථී හො ගොතම, සතසහස්සග්ඝනිකා සුවණ්ණමාලා සතසහස්සග්ගනිකා සුවණ්ණපාදුකා සතසහස්සග්ඝනිකා සුවණ්ණපාති සතසහස්සඤ්ච කහාපණන්ති”

“තොප ඒ කහවනු ලබනු කැමැත්තේද?”

“එසේය ලබනු කැමැත්තෙමි”

“එසේ නම් මාලිගයට ගොස්තොප ආදරයෙන් හදා වඩා ගන්නා සුනඛයා නහවා කිරිබත් පිස කවා යහනෙහි සතප්පවා මදක් නින්දට වන් කල්හිි හිස පිරිමැද පියතුමනි යනුවෙන් අමතා සඟවන ලද වස්තුව කොහේදැයි අසන්න”

“ගච්ඡ තං සුනඛං අප්පොදකපායාසං භොජාපෙත්වා සයෙන ආරොපෙත්වා ඊසකං නිද්දං ඔක්කන්තකාලෙ පුච්ඡ, සබ්බං තෙ ආචික්ඛිස්සති”

සුභ මානවකයා ද එය පිළිගෙන එය ඇත්තක් නම් වස්තුව ලැබීමේ ආශාවෙන් හා මුසාවක් නම් බුදුරජාණන් වහන්සේට පරිභව කිරීමේ අරමුණින් ජේතවනාරාමයෙන් පිටත්ව මාලිගයට ගොස් බුදුරදුන් කී පරිදිම කළේය.

”සචෙ සච්චං භවිස්සති. ධනං ලච්ඡාමි. නො වෙ,සමණං ගොතමං මුසාවාදෙන නිග්ගණ්හිස්සාමිති”

කිරිබත් අනුභව කොට මද නින්දේ සිටි සුනඛයාද වහානැගිට පාදයෙන් පහුරු ගා ඉහත කී වස්තුව සඟවන ලද සිව්තැන සලකුණූ කළේය.පෙර කී ලක්ෂයක් වටිනා රන්මාලයක්ද ලක්ෂයක් වටිනා රන් මිරිවැඩි සඟලක් ද ලක්ෂයක් වටිනා රන් තැටියක්ද ලක්ෂයක් කහවනු ද එහි තිබීය. එයින් සතුටට පත් සුභ මානවකයා වහා වස්තුව හිමි කර ගත්තේය.

පසුව බුදුරදුන් හමුවට ගිය ඔහු බුදුරදුන් කෙරෙහි පැහැදී සරණශීලයෙහි පිහිටා උපාසකයෙක් බවට පත්විය. ධනය කෙරෙහි ලෝභ වූ තම පියාට සිදු වූ දේ පිළිබඳ කනගාටු වූ සුභ මානවක නිතර බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැනින් උවටැන් කරමින් උපස්ථාන කරන්නට විය.

මෙයින් අපට පැහැදිළි කර දෙන්නේ අප උපයන වස්තුව නොකා ,නොබී, නොදී රැස්කිරීම යනු මෙලොවද දුක්විඳීමක් මෙන්ම පරලොව ද දුකට හේතුවන බවයි. එබැවින් අප ජීවත් විය යුත්තේ ධනය සෙවීමට නොව ධනය සෙවිය යුත්තේ ජීවත් වීමටය” යන්න සිත්හි තබා ගත යුතුය.


පෙරභවය යි කර්ම විපාකය යි 04 කෙතරම් ධනය තිබුණත් අනුභවයට සිත් නොදුන් සිටුතුමා