Print this Article


පරාර්ථ සේවයෙහි යෙදෙන්න

පරාර්ථ සේවයෙහි යෙදෙන්න

මෙම ලිපියේ මුල් කොටස බිනර පුර පසොළොස්වක පත්‍රයේ පළවිය

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය ලෝකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං, මා එකෙන ද්වෙ අගමිත්ථ, දෙසෙථ භික්ඛවේ ධම්මං ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං පරි සුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ”

මහණෙනි, බොහෝ දෙනාගේ හිත සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද හිත පිණිස ද සැප පිණිස ද චාරිකාවේ හැසිරෙව්. දෙනමක් එක මගින් නොයව්, මහණෙනි, මුල, මැද, අගය යහපත් අර්ථ සහිත ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසව්, පිරිසුදු බ්‍රහ්ම චරියාව ප්‍රකාශ කරව්.

මෙහි සඳහන් “බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” යන වචනයෙන් ද “මා එකෙන ද්වෙ අගමිත්ථ” වැනි ප්‍රකාශයන් ද බුදුරජාණන් වහන්සේගේ හෙවත් බෞද්ධ ආචාර ධර්ම විෂයයෙහි උගැන්වෙන පරාර්ථ චරියාවේ ඇති ශ්‍රේෂ්ඨතම පොදු ලක්ෂණය මැනවින් ප්‍රකට කරයි. ඉහත සඳහන් පරිදි තම ශ්‍රාවක පිරිස පරාර්ථ චර්යාවේ යොදවා අනතුරුව “අහම්පි භික්ඛවේ යෙන උරුවෙලා සෙනානි නිගමො තෙනුපසංකමිස්සාමි ධම්ම දේසනාය”

“මහණෙනි, මම ද උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම් ගමට ධර්ම දේශනා කිරීම පිණිස යන්නෙමි.”

මෙය පරාර්ථ චරියාව පිළිබඳ ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයකුගේ ආදර්ශවත් ජීවිතය පිළිබිඹු කරන්නකි. වෙනත් ආගමික නායකයෙකු ශාස්තෘවරයකු නම් කරන්නේ ශ්‍රාවකයන් එවැනි කටයුත්තක යොදවා තමන් සුව පහසුව, විවේකීව සිටීමයි. එහෙත් බුදුරජාණන් වහන්සේ එසේ නොකොට තමන් වහන්සේ ද හුදී ජනයාගේ පහන් සංවේගය දනවන ආකාරයෙන් පා ගමනින්ම උරුවේලාවෙහි සේනානි නියම් ගමට දහම් අමා පණිවිඩය බෙදා හැරීමට වැඩම කළහ. මෙයින් කාලීන මෙන්ම පශ්චාත් කාලීන ආගමික නායකයින්ටත් සමාජ සේවකයන්ටත් පෙන්වූ ආදර්ශය අතිශයින්ම ප්‍රශංසනීය වූවකි.

බුදුදහමෙහි උගැන්වෙන චරියා ධර්ම විෂයයෙහි අත්ථචරියා, පරත්ථ චරියා, ඤාතත්ථ චරියා, ලොකත්ථ චරියා, බුද්ධි චරියා යනුවෙන් ප්‍රභේද දක්නට ලැබෙයි.

අත්ථචරියා නම් පරාර්ථ චරියාවට සුදුසුකම් ලැබීමයි. සමාජයේ නැති බැරි කෙනෙකුට කිසියම් පරිත්‍යාගයක් කරන්නට නම් තමා සතු වස්තුවක් තිබිය යුතු ය. ශරීර ශක්තියෙන් යම් උදව්වක් කිරීමට නම් තමාට නොපිරිහුණ කායික ශක්තියක් තිබිය යුතු ය. පිහිනීමේ දක්ෂයෙකුටම දියේ ගිලෙන්නට යන කෙනෙකු එයින් මුදවා ජීවිත දානය දෙන්නට පුළුවනි. එවැනි වීර පුරුෂයෙකුගේ මහඟු ක්‍රියාවක ප්‍රතිඵල වශයෙනුයි අපට බුදු කෙනෙකු හා බුද්ධ ශාසනයක් ලැබුණේ ඈත අතීතයෙහි අප මහ බෝසතාණන් වහන්සේ තම මෑණියන් සමඟ මහ මුහුදේ නැවකින් යන විට හදිසි කුණාටුවකට අසුවී නැව කැඩී බිඳී ගියේ ය. එහිදී වීර පුතා තම මෑණියන් කරපින්නා ගෙන සත්දවසක් පීනා ගොඩට විත් මෑණියන්ට අභය දානය දුන්නේ ය. එහිදී ඒ මෑණියන්ගේ මුවෙන් පිට වූයේ “අනේ මගේ පුතා බුදු වෙන්න ඕනෑ” යන්නයි. වැදූ මෑණියන්ගේ මේ කාරුණික වචනය ඇසූ අපේ බෝධිසත්වයන් වහන්සේ “අම්මා මට බුදුවෙන්න කිව්ව මා කොහොමහරි බුදුවෙන්න ඕන” යනුවෙන් සිතමින් සරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනොප්‍රණිධානය පිරුවේ ස්වකීය මෑණියන්ගේ කාරුණික වචනය නිසාය. මේ අනුව බලන විට ශරීර ශක්තියෙන් ද විශාල පරාර්ථ සේවයක් ඉටුකළ හැකි බව පෙනේ.

ඤාතත්ථ චරියා නම් නෑදෑ හිතවතුන්ට නිසිලෙස සංග්‍රහ කිරීමයි. උපකාර කිරීමයි. බුදුදහමේ හැටියට නැති බැරි අසරණ ඥාතීන්ට සංග්‍රහ කිරීම උතුම් මංගල කරුණක් බව “ඤතකානඤ්ච සංගහෝ” යනුවෙන් මංගල සූත්‍රය පෙන්වා දෙයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පවා ධර්ම ලාභය ලබා දීමේ දී නෑයන්ට සැලකිල්ලක් දක්වා ඇති සැටි බෞද්ධ සාහිත්‍යයේ නොයෙක් ස්ථානයන්ගෙන් පැහැදිලි වේ. ශාක්‍ය කුලයෙන් පැමිණි කෙනෙකු නම් වග විභාගයක් නොකොට පැවිදි කරන්ට අවසර දීමෙන් ම ඒ බව පැහැදිලි වෙයි. වරක් බුදුරජාණන් වහන්සේ කොළ හැලුණ ගසක් යට අව්වෙහි වැඩ හුන්හ. එසේ වැඩ සිටින්නේ කුමක් නිසාදැයි ඇසූවිට උන්වහන්සේගේ පිළිතුර වූයේ ශාක්‍ය ජනපදයෙන් හමා එන සුළඟත් තමාට සුවදායක බවයි. මේ හැරුණු විට සුද්ධෝදන, මහාමායා, ප්‍රජාපතී ගෝතමී, යශෝධරා, නන්ද, රාහුල යනාදී පවුලේ ඥාතීන්ටත් බුදුසසුනේ දායාද ලබාදී ඇති සටියෙන් එය වඩාත් පැහැදිලි කරයි.

ලෝකත්ථ චරියා නම් පොදුවේ මුළුමහත් ලෝකයටම සෙත් ශාන්තිය උදාකර දීමයි. බුදුරජාණන් වහන්සේගේ දින චරියාව දෙස බලන විට දවල් කාලයෙන් පැයකුත් රාත්‍රී කාලයෙන් පැයකුත් හැර දිනකට පැය විසි දෙකක්ම කැපකොට ඇත්තේ ලෝකාර්ථ චරියාව සඳහා ය. “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” හතළිස් පස් වර්ෂයක් මුළුල්ලෙහි හිතා හිත මැදහත් සකල ලෝකවාසීන්ට ඉමහත් සේවයක් ඉටු කළහ. බුද්ධි චරියා නම් අනුන්ගේ බුද්ධි වර්ධනය කිරීමට උදව් කිරීමයි. “පඤ්ඤා නරානං රතනං” මිනිසුන්ට ප්‍රඥාව තරම් අගනා තවත් වස්තුවක නැත. මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය සලසා දෙන්නේ ප්‍රඥාවයි. කොයි කාට වූවත් එක්තරා ප්‍රමාණයක බුද්ධියක් උපතින්ම ලැබෙයි. එහෙත් එය සඵලවූ ජීවිතයකට ප්‍රමාණවත් නැත. ඇසීමෙන්, බැලීමෙන්, සිතීමෙන්, භාවනාවෙන්, නුවණ දියුණු කරගත යුතු ය. ශ්‍රැතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා යනුවෙන් දක්වන්නේ එයයි. මේ කවර ක්‍රමයකින් හෝ බුද්ධි වර්ධනයට රුකුල් දෙනවා නම් එය බුද්ධි චරියාවයි.

“අයං නිජඞ පරොවෙති ගණනා ලඝු වෙතසාම්
උදාර චරිතානාංතු – වසුධෛව කුටුම්බකම්”

යන කියමන ද පරාර්ථ චරියාවේ දී ඉතාම වැදගත් වෙයි. තමන්ගේ කෙනා අනුන්ගේ කෙනා යනාදී වර්ග කිරීමක් නැතිව මුළුමහත් ලෝකයා හටම එකසේ සැළකිය යුතු ය. කාගේත් අර්ථයට යහපතට බාධා නොකොට කටයුතු කළ යුතුය යන්නයි මෙහි අදහස. බෞද්ධ ආචාර ධර්ම වලට මෙය බෙහෙවින්ම සැසඳෙන්නකි.

සමාජ ජීවිතයේ දී අන්‍යෝන්‍ය උපකාරය, සහජීවනය නැතිව සාර්ථක ලෙස ජීවත් වීමට කිසිම කෙනෙක් අපොහොසත් වෙති. මේ අනුව බෞද්ධ ආචාර මාර්ගයේ උගන්වන පරාර්ථ චරියාව බෞද්ධයින් පමණක් නොව පොදුවේ මුළු මහත් මිනිස් සංහතිය විසින්ම ඇතිකර ගත යුතු පුරුදු කරගත යුතු වැදගත් ගුණ ධර්මයකි. පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ගමකින් ගමකට, පළාතකින් පළාතකට, රටකින් රටකට, අන්‍යෝන්‍ය සහයෝගය අතිශයින් අවශ්‍ය වෙයි. කාගේත් දෛනික කර්තව්‍යයන් සාර්ථක කර ගැනීමට එයින් ලැබෙන අනුබලය අසීමිතය.

පරාර්ථ චරියාවේ යෙදෙන පුද්ගලයා බැදීම් වලින් මිදුණ තරමට, බාහිර කරදර අඩුවූ තරමට සාර්ථක ලෙසත් නිවැරදි ලෙසත් එම කාර්යය ඉටුකළ හැකි බව බෞද්ධ දර්ශනය පෙන්නුම් කරයි. වරක් බුදුරජාණන් වහන්සේ “මුත්තොහං භික්ඛවේ සබ්බපාසෙහි යෙ දිබ්බායෙච මානුසා” මහණෙනි, මම දේවමානුෂික සියලුම බැමි වලින් මිදුණෙමි. තෙපිද ඒ සියලුම බැමි වලින් මිදුණාහුය. යනුවෙන් කළ දෙසුමෙන් ඒ බව ප්‍රකාශ වෙයි. බුදුරජාණන් වහන්සේගෙන් හා උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේගෙන් සාර්ථක සමාජ සේවයක් ඉටුවූයේ මෙකී ලක්ෂණයන්ගෙන් අනූන නිසා බව පෙනේ. පරාර්ථ චරියාවෙහි යෙදෙන්නෙකු තුළ තිබිය යුතු ගුණධර්ම පවා දැක්වීමෙන් ඒ සඳහා බුදු දහම කෙතරම් සැලකිල්ලක් දක්වා ඇද්ද යන්න පෙන්නුම් කරයි. සමාජ සේවකයෙකු තුළ ගුණ ධර්ම අටක පිහිටිය යුතු බව දැක්වූහ.

“අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ”

සමාජයේ ඉදිරිමග පෙන්වන්නා විසින් පළමු කොටම ඒ ගුණ දහම් තමා වෙතින් ප්‍රදර්ශනය කළ යුතු ය. එසේ නූනොත් ඒවා වැදි බණ වෙන්නට බැරි කමක් නැත. “ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට” යන්නෙන් පැහැදිලි කරන්නේ ද එයමයි. සමාජ සේවය, පරාර්ථ සේවය නාමයෙන් වෙස් මුහුණු බැඳගෙන තමාගේ මල්ල පුරවා ගන්නා සමාජ දූෂකයෝ ද අප සමාජයේ දුර්ලභ නොවෙති. එහෙත් ඔවුන්ට නම් බුදුසමයෙන් ඉඩක් නැත. ලෝකයාට උපකාර කිරීම බුද්ධ පූජාවක් බවත්, ලෝකයාට අපකාර කිරීම බුදුරජුන්ට කරන පීඩාවක් බවත් “ශ්‍රී රාමචන්ද්‍ර කවි භාරතී” ප¼ඩිතුමා ප්‍රකාශ කරන්නට යෙදුනේ පරාර්ථ චරියාවෙහි යෙදුණු අංගසම්පූර්ණ ශ්‍රේෂ්ඨ පුද්ගලයා බුදුරජුන් වූ නිසා පමණක් නොව මෙම ගුණ ධර්මය බෞද්ධ ආචාරධර්මයේ විශිෂ්ටතම ලක්ෂණයක් හා මූලික පරමාර්ථයක් ලෙස සලකන නිසාද විය යුතු ය.

බෝධිසත්වයන් වහන්සේගෙන් පාරමිතා ධර්ම පුරණය කිරීමේ දී සිදුවුන පරාර්ථ චරියාවද මිල කළ නොහැකිය. “පරොපකාරඞ පුණ්‍යාය – පාපාය පර පීඩනම්” යන ශ්ලෝක පාදයෙන් කියැවෙන පරිදි පරෝපකාරය පින් සඳහාත් පර පීඩනය පව් සඳහාත් හේතු වෙයි. බෝධිසත්වයන් වහන්සේ හා බුදුරජාණන් වහන්සේ පරාර්ථ චරියාව සිදු කරද්දී ලැබුණ අනේක ප්‍රකාර දුක් කරදර නින්දා අපහාස අපමණය. එහෙත් ඒවා ගණන් නොගෙන තව තවත් ධෛර්යය තරකොට පරාර්ථ චරියාව කුළුගැන්වූ අයුරු බුද්ධ චරිතයෙන් පිළිබිඹු වෙයි. වරක් බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි දහම් දෙසමින් සිටින විට චිංචිමාණවිකාව බඩෙහි දර මිටියක් බැඳගෙන අවුත්, බණ දෙසුවට මදි, වැදුම්ගෙට වුවමනා කලමනා සූදානම් කරන්නැයි මාගම් චෝදනාවක් එල්ල කළා ය. තවත් වරෙක තීර්ථකයෝ සුන්දරී පරිබ්‍රාජිකාව මරා බුදුන් වැඩ සිටින ජේතවනාරාමයේ මල් අසුන යට වළලා එය බුදුන්ගේ ක්‍රියාවකැයි චෝදනා එල්ල කළහ. මේ හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක් තිස්සේ පුරුදු කළ කරුණා, ප්‍රඥා පෙරටු කොටගෙන කේසර සිංහ රාජයෙකු මෙන් අකම්පිතව කරගෙන ආ සමාජ සේවය, පරාර්ථ චරියාව වැඩි වැඩියෙන් පළගැන්වූහ. හොඳ වැඩ කිරීමට සමාජයට බැස්ස කොයි කාටත් පටු අදහස් ඇති ඊර්ෂ්‍යා මාත්සර්යාදියෙන් යුත් පුද්ගලයන්ගෙන් පැමිණෙන කරදර බාධක වැළකිය නොහැකිය. සමාජයේ දියුණුව අපේක්ෂා නොකරන හොඳ වැඩට අකුල් හෙලන අධමයෝ එදත් අදත් කවදත් ලෝකයේ හිස් නොවෙති. පරාර්ථ චර්යාවේ අනුසස් පෙන්වූ නෛය්‍යානික බුද්ධ ශාසනයේ නියම දායාදය ලැබූ අය සමාජ දූෂක දුර්ජනයන්ගේ තර්ජන ගර්ජන පසෙක දමා ලොව්තුරා බුදුබව තෙක් ගමන් කරන පරාර්ථ චර්යාව ජීවිතයේ හරය ලෙස සැලකිය යුතු ය.

පරාර්ථ චරියාව යන වචන පවා ශබ්ද කෝෂයට එක්වී ඇත්තේ බෞද්ධ ආචාර විද්‍යාවෙන් බව පෙනේ. බුද්ධ කාලයට පෙර භාරතීය සමාජ තතු විමසන විට එය මැනවින් පැහැදිලි වෙයි. තත් කාලීන ඉන්දීය සමාජය කුලය, ගෝත්‍රය, පන්තිය, වෘත්තිය යනාදියෙන් පිල්බෙදී භේද භින්නව සිටියා මිස, සමාජ සේවයක් හෝ පරාර්ථ සේවයක් සිදුකොට නැත.සමාජයේම එක් කොටසක් ශුද්‍රයන් යයි කොන් කරමින් ඔවුන් තිරිසනුන්ටත් අන්තයන් ලෙස උගන්වමින්, ආගම ඇදහීමටවත් ඔවුන්ට දේවාලයකට, පූජනීය ස්ථානයකට යාම පවා තහනම් කළහ. කාටත් සාධාරණ වතුර ටික පවා තමන්ට ඕනෑ හැටියට ප්‍රයෝජන ගන්නට ඉඩ නොදුන්හ. බ්‍රාහ්මණයන්ගේ වේද පාඨයන් ශුද්‍රයකු කීවොත් ඔහුගේ දිව කපා දැමීමටත්, වේද පාඨයක් ඇසුවොත් කනේ ලෝදිය වත් කිරීමටත් ඉගැන්වූහ. එදා සමාජ තත්ත්වය පැවතියේ මෙසේ නම් ආචාර ධර්ම ගැන කතා කරන්ට දෙයක් නැත. සමාජ සේවය පරාර්ථ සේවය යන වචන වල අර්ථ පවා ලෝක සාහිත්‍යයට එක්වූයේ බුදු සසුන ඇරඹීමෙන් පසුවයි. බුදුරජාණන් වහන්සේ සහ බුද්ධ ශ්‍රාවකයන් විසින් එය අර්ථවත් කරන ලදී. බුදුන් දවසත් ඉන් පසුවත් බුද්ධ ශ්‍රාවකයන්ගේ සමාජ සේවයන් ඔද තෙදවූ බෞද්ධ නර ශ්‍රේෂ්ඨයෝ තව තවත් ඒවා පුළුල් කළහ. විශේෂයෙන් බුද්ධ ධර්මයේ නියම දායාදය ලැබූ ධර්මාශෝක රජතුමාණො බෝසත් සිරිත ආදර්ශයට ගෙන සමාජයට ඉමහත් සේවයක් ඉටු කළහ. තිරිසන් සතුන්ගේ පවා යහපත උදෙසා ආරෝග්‍යශාලා පවා කරවූ බවත් “සවෙ මුනිසේ පජා මම” යනුවෙන් රටේ ජනතාව තමාගේ දරුවන් යන හැඟීමෙන් මුළු මහත් භාරතීය ජනතාවට ම එක සමානව සැලකූ බවත් ශිලා ලිපි මගින් පෙන්නුම් කරයි. මේ හැරුණු විට දුටුගැමුණු, සද්ධාතිස්ස, බුද්ධදාස වැනි බෞද්ධ පරහිතකාමී නර ශ්‍රේෂ්ඨයන් බිහි වූයේ ද බෞද්ධ ආභාෂය නිසාම ය.

මෙතෙක් කරුණූ ුඉදිරිපත් කළ පරාර්ථ චරියාව බුදුසමයේ එන ඉතා වැදගත් මූල ධර්මයක් බව ඔබට දැන් වැටහෙන්නට ඇත. එසේම සසර වසනතුරු නිවන් දකින තුරු ජීවිතයකට අත්‍යවශ්‍ය ගුණාංගයක් බවත් වැටහෙන්නට ඇත. එබැවින් මේ කරුණු සලකා බලා ඔබ සමාජයේ කවර තරාතිරමේ පුද්ගලයකු වූවත් ඔබට කළ හැකි පරාර්ථ සේවයක්ද ඇත. එය නොපිරිහෙලා ඉටු කොට ජීවිතය සාර්ථක කර ගන්න. පරත්ථං පටි පජ්ජථ

(සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා)