Print this Article


සුවසේ වෙසෙන මඟ

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුසුඛං වත ජීවාම – ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු – විහරාම අනාතුරා
ධම්මපදය සුඛවග්ගය

පින්වත්නි,

මේ ලෝකයෙහි ඇති බොහෝ ප්‍රශ්නවල මූලය හිත් තුළ ජනිතවන කෙලෙස් ධර්මතාවයන්ය. මානසිකව මෙන්ම බොහෝ කායික ව්‍යවසනයන් වන්නේද කෙලෙස් නිසා බව පැහැදිලිය. මානසික අසහනය, පසුතැවීම, කාංසාව, ආතතිය, වැනි තත්වයන්වලට මිනිසා ගොදුරු වන්නේ භෞතික දේ නිසා නොව මනස තේරුම් ගැනීමට නොහැකිවීම තුළිනි. මෙයට කදිම ධර්මාවාදා සමූහයක් ධම්මපදය සුඛවග්ගයේදී දේශනා කර ඇත. එහි අඩංගු ගාථා 12 න්ම සාකච්ඡා කරනුයේ මිනිසා සුඛය හෙවත් සැපය සකසා ගන්නේ කෙසේද? පරමාර්ථ සැපය කුමනාකාරද යන්නයි. ඉහත මාතෘකා කළ ගාථාවෙන් කියවෙනුයේ මෙම සමස්ත හරය හෙවත් යථාර්ථ ධර්මයයි.

කෙලෙස් වලින් ආතුර වූ මිනිසුන් අතර එසේ ආතුර (ලෙඩ) නොවී සිටිය හැකිනම් එතරම් සැපයක් නැති බව මෙහිදී අවධාරිතය. රෝග සූත්‍රයේදී පවා ඉහත කාරණාව බුදුරදුන් පැහැදිළි කර දුන්හ. එනම් කෙනෙකුට කායිකව ලෙඩ නොවී අවුරුදු 10 ක් 12 ක් වුවද සිටිය හැකිමුත් මානසිකව ලෙඩ නොවී එක මොහොතකුදු සිටිය නොහැකිය. කෙලෙස්වල ස්වභාවය එසේය. රෝගකාරක නිසා ගත රෝගී වන අතර කෙලෙස් නිසා මනස රෝගි බවට පත්වේ. අටුවාවට අනුව පුද්ගලයෙකු ගේ සිත ලෙඩ කරන කෙලෙස් 1500 ක් පමණ ඇත. ඒ ඒ අවස්ථාවන්ට අනුව පැමිණෙන කෙලෙස් නිසා මිනිසා දූෂණයට පත්වේ. උපකිලිට්ඨචිත්ත සූත්‍රයේ දී ඒ බව බුදුරදුන් දේශනා කර ඇත. එනම් උපතින් පිරිසුදු සිත ආගන්තුකව එන කෙලෙස් නිසා දූෂණය වන බවයි.

කෙනෙකු කෙලෙස්වලින් පීඩා විදින්නේ නම් එහි හානිය ඔහුටමය. ඒ අතර මේ ස්වභාවය නුවණින් හඳුනා ගනිමින් කෙලෙස් අවම කරගත හැකි නම් එතන සැපය පවතී. එකට එක කරන තරහව, රාගය,ද්වේෂය ,මෝහය, මානය ආදි දුර්ගුණ අතර එසේ නොවී සිටීම උතුම් සැපයකි. ධර්මයේදී එය හඳුන්වනු ලබන්නේ “සල්ලේඛ ප්‍රතිපදාව“ නමිනි. එකට එක කරන සමාජයේ එසේ නොකර, සිටීම උතුම් ගුණයකි. ද්‍රෝණ බමුණා අමතා බුදුරදුන් තමන් වහන්සේ මෙසේ හඳුන්වා දෙයි. බමුණා මාගේ ජීවිතය පද්මාකාරය එනම් නෙළුමක් මෙන් පිවිතුරුය. එයින් ගම්‍ය වනුයේ විෂම ගතිපැවතුම්වලින් යුතු පිරිස් අතර උන්වහන්සේ එසේ නොවී උතුම් ගුණයන්ගෙන් ආඪ්‍යව විසූ බවයි. බුදුන් සරණ යන බෞද්ධයා ඒ හා සමානව නොවුණත් යම් පමණකට හෝ උතුම්ගති ලක්ෂණ විදහා පෑ යුතුය.

ලෝකයේ බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වන්නේ බාහිර සාධක නිසා නොව මිනිස් සිතුවිලි නිසාවෙනි. සිතුවිලි පාලනය කරගන්නේ නම් එතන ප්‍රශ්න ගැටලු අවම කරගත හැකිය. ඒ බව සංයුත්ත නිකායෙහි ජටා සූත්‍රයේදීද බුදුරදුන් අවධාරණය කළහ. දෙවියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස උන්වහන්සේ දේශනා කරන්නේ සීලයෙහි පිහිටා චිත්ත සමාධියෙන් යුතුව ප්‍රඥාව වර්ධනය කරගන්න එවිට ප්‍රශ්න ගැටලු නැතිවී යන බවයි. සීලය තුළ කය, වචන දෙක සංවර වේ. එවිට කෙලෙස් ඇති වුවද එහි ක්‍රියාකාරිත්වයක් දැකිය නොහැකිය. එවිට ප්‍රශ්න තුරන්වී සැපය යහපත නිරායාසයෙන්ම ඇතිවේ.

කෙලෙස් ධර්මතා නිසාවෙන් මානසිකව පුද්ගලයා රෝගියෙකු බවට පත්වේ. එවිට ලේ ධාතුව අපිරිසුදුව ශරීරය පවා අවලස්සන ස්වභාවයට පත්වේ. වරෙක එක් බමුණෙකු බුදුරදුන්ගෙන් විමසුයේ ඔබ වහන්සේගේ රූපය බොහෝ සෙයින් ලස්සන බවත් එසේ වීමට හේතුවක් ඇද්ද යනුවෙනි. බුදුරදුන් දේශනා කරනුයේ එම හේතුව කෙලෙස්වලින් පීඩාවට පත්නොවීම බවයි. තමන් වහන්සේ අතීතය ගැන ශෝක නොකරන බවත් අනාගතය පිළිබඳ අසීමාන්තික ආශාවන් දුරු කරන ලද නිසාත් වර්තමානයේ ඉතා නිවැරදිව ජීවත්වන නිසා මෙසේ තම වර්ණය පැහැපත්ව දිදුලන බවයි.

මිනිසුන් තුළ පවතින අසීමාන්තික ආශාව, නොනිමි තරඟය එකිනෙකා පරයා යාම සඳහා බොහෝ සෙයින් සිත මුල්වී අයහපත පැතිරවීම, පුහු ආටෝප සාටෝප ජීවිතවලට හුරුවීම බද්ධ වෛරය ආදි චෛතසික ක්‍රියා කාරකම් මිනිස් සැපයට බාධාවකි.අයහපත් ක්‍රියාකාරකම් තුළින් තාවකාලික වින්දනයක් ලැබුවද සදාකාලික පසුතැවීම් පමණක් ඉතිරි කරයි.

අත්තදණ්ඩ සූත්‍රයේදී මේ බව බුදුරදුන් උදාහරණ සහිතව පැහැදිලි කරයි. එනම් මිනිසුන් එකිනෙකා පරයන්නට කටයුතු කිරීම දැක තමන් වහන්සේට සංසාර ජීවිතය පිළිබඳ කලකිරුණු බවයි. මේ සඳහා උන්වහස්සේ ප්‍රායෝගික උපමාවක් පවාගෙන හැර දක්වයි. එනම් වතුර මද වලක සිටින මාළු එම වතුර ටික තුළ තම හුස්ම රැක ගැනීමට එකිනෙකා පරයමින් මහත් වෙහෙසක් ගනී. මිනිස් ලෝකයේ මනුෂ්‍යයාගේ තත්වයද ඊට නොදෙවෙනිය. සාමාන්‍ය පෘථග්ජන මිනිසා ස්වභාව දහම නිසාද තම මානසික සතුට නැති කොටගෙන කෙලෙස් තුළින් ආතුර වේ. තම වත්තෙ මල් පිපීම ඉවසන්නා අනෙක් වත්තක මල් පිපීම, ගෙඩි හැදීම නො ඉවසති. මෙහිදී පැන නඟින ගැටලුව වන්නේ මල් දැකීම නිසා තරහා ඒම මගේ වැරැද්දක්ද? යන්නයි. මෙහි වරද ඇත්තේ පුද්ගල මනස තුළ මිස වස්තුව තුළ නොවේ.

කෙලෙස් නිසා පුද්ගලයා පරිහානියට පත්වීමේදී වඩාම සැලකිලිමත්විය යුත්තේ තෘෂ්ණාව නැමති චෛතසික ධර්මයටය. උපතින්ම මිනිසා අසීමිත ආශාවන්ගෙන් පීඩාවට පත්වේ. එහෙත් ලෝකයෙහි සම්පත් සීමිතය. එම සීමිත සම්පත් අසීමිත ආශාවන් ඇත්තන්වුන් අතර බෙදීමේ දී ගැටුම් ඇතිවීම සාමාන්‍යයය.

රාගය ගින්නක් ලෙසත් ද්වේෂය අපරාධයක් ලෙසත් බුදුදහම දක්වතත් බොහෝ කෙනෙකු මෙහි ආදීනව අවබෝධ කර නොගනී. රාගය නැමති කෙලෙස් ගින්නට හොඳ නරක දෙකම පිලිස්සී යයි.

ද්වේෂය නමැති ක්ලේෂයෙන් ආවරණය වූ සිත ඕනෑම කෲර ක්‍රියාවක් කිරීමට දෙවරක් නොසිතයි රෙදිකපන කතුර , වී කොටන මෝල්ගහ, දර පලන පොරොව කෙනෙකුට මරණය ළං කරනුයේ පුද්ගල හිත ද්වේෂයෙන් වෙලීම නිසාම මිස එම භාණ්ඩයන්හි ඇති කෲරත්වය නිසා නොවේ.

පංචස්කන්ධය දුකකි. වෙනස් වන රූපය නිසා භවයෙන් භවයට ගමන්කරන චිත්ත පරම්පරාව දූෂණය කර ගැනීම යහපත් නොවේ. මේ භවයේ සිටින කාලයට වඩා සංසාරයේ පවතින කාලසීමාව අතිශය දීර්ඝය එහෙයින් සිත කෙලෙස් වලින් ආතුර කර නොගෙන විසීම මෙලොවට පමණක් නොව සසරටද සුඛය සැපය ඇතිකර දෙන බව පැහැදිළිය.