Print this Article


පූජාච පූජනීයානං

ගොම්බද්දල ශ්‍රී නන්දාරාම මහ නා හිමි

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, ත්‍රිපිටක විශාරද, මහෝපාධ්‍යාය ගොම්බද්දල ශ්‍රී නන්දාරාමාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනූදෙවැනි ජන්ම දිනය අගෝස්තු 30 වැනිදාට යෙදී තිබිණි.

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ සමාරම්භක අවස්ථාවේ සිටම ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක කාරක සභික හා ප්‍රධාන අධිකරණ සංඝනායක පදවි දැරූ ගොම්බද්දල මහනාහිමි පිළිවෙළින් අනුනායක මෙන්ම සංඝසභාවේ තෙවැනි මහානායක පදවියට පත්වූයේ විධායක කරක සංඝසභාවේ සමානච්ඡන්දයෙනි.

1922 අගෝස්තු 30 වැනිදා මාතර කන්දබඩ පත්තුවේ කෙළවර වූ ගොම්බද්දල ගම්පියසේ දී ජන්මලාභය ලැබූ මහනාහිමි 1933 මාර්තු 06 වැනි දා ප්‍රවෘජ්‍යා භූමියට පත් වූහ. 1941 ජූනි 25 වැනිදා මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ද ලැබීය. කඹුරුපිටියේ සපුගොඩ විද්‍යානිකේත විද්‍යායතන පිරිවෙනින් අධ්‍යාපනය ලද මහනාහිමි 1958 දී ප්‍රාචීන පණ්ඩිත උපාධිය සිංහල, පාලි හා සංස්කෘත යන භාෂාත්‍රයෙන් සමත්වූයේ පාලි විෂයට ශ්‍රී සුභූති ත්‍යාගය ද ලබමිනි. පසුව පරිවේණාචාර්යවරයෙකු ලෙස ස්වකීය අධ්‍යාපන සේවාවන් ඇරඹූ උන්වහන්සේ ඌරාපොළ සිරි රතනජෝති, ගෝනගල සුධර්මාකර, පැපිලියානේ සුනේත්‍රාදේවි, කුඩාඋඩුවේ නාලන්දා යන පරිවේණස්ථානයන්හි වසර 30 ක කාලයක් සේවය කළහ. ඒ අතර කුඩාඋඩුවේ නාලන්දා පරිවේණාධිපති ලෙස වසර 8 ක් සේවය කළහ.

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය පිහිටුවීමේ කාර්යයේ දී ගොම්බද්දල මහනාහිමියෝ ඒ වෙනුවෙන් ශ්‍රී රෝහණ උපසම්පදාව නම් ග්‍රන්ථයක්ද ලියා පළ කළහ.

ව්‍යවස්ථා හා කතිකාවත් සම්පාදනයේ පටන් සංඝසභාව මුහුණ පෑ ගැටලු පසිඳලීම ඇතුළුව අද දක්වාම සංඝසභාවේ කාර්යභාරයන් වෙනුවෙන් මහනාහිමි සිදු කරනුයේ අත්‍යුදාර යුග මෙහෙරවකි. සංඝසභාවේ නිල ප්‍රකාශය වන “ශ්‍රී රෝහණ” පුවත්පතේ සංස්කාරක ලෙස ද ක්‍රියා කළ මහනාහිමියෝ “බෞද්ධ සාහිත්‍යයේ රසකතා” නමින් හරවත් සාහිත්‍ය කෘතියක් ද ලියා පළ කළහ. සාම්ප්‍රදායික දැනුමේත් නූතන දැනුමේත් එක් හමුවීමක් උන්වහන්සේ තුළින් දැකගත හැකිය.

මෙම හැඳින්වීම අවසන් කිරීමට මත්තෙන් මීට 12 වසරකට පෙර ගොම්බද්දල මහනාහිමි වෙනුවෙන් පළ කළ “සිරි නඳරම් හිමි පබසර” නමැති ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය සඳහා මාහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනාහිමි සපයා ඇති ලිපියේ කොටසක් උපුටා දැක්වීම යෝග්‍ය යැයි හඟිමි.

“නන්දාරාම නාහිමියෝ දත් දෙය හොඳින් දත්හ. විෂය මතුපිටින් අත ගෑ කෙනෙක් නොවූහ. බාලාවතාරය, පාලි නිඝණ්ඩුව වැනි චිරන්තර පැවිදි අධ්‍යාපනයේ මුල් කෘති හෝ පාලි හෝ අට්ඨකතා සම්බන්ධයෙන් හෝ උන්වහන්සේ සතුව ඇත්තේ මහත් දැනුම් සම්භාරයකි. උන්වහන්සේ ගේ ස්මරණ ශක්තිය ද කටපාඩම් ද අර්ථාවබෝධය ද, විචාර බුද්ධිය ද, ඒ දැනුම වඩාත් ඔපවත් කෙළේ ය.”

අනූ දෙවැනි වියට සැපත් ගොම්බද්දල ශ්‍රී නන්දාරාමාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික සේවාවන් හි නිරතවීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ශක්තිය හා ධෛර්යය ලැබේවායි, ප්‍රාර්ථනා කරමි.


වහුමුවේ විජයවංස නාහිමි

අසූව දශකයේ වන විට සන්නිවේදන ලෝකයේ ප්‍රබල ලකුණක් සනිටුහන් කිරීමට ගුවන් විදුලිසේවය සමත්ව සිටියා යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

අසූව දශකයේ ඒ යුගයට නැවත මා මනස අතීත ආවර්ජනය ඔස්සේ ගමන් කරයි.

ඒ මතක චාරිකාවේ සෙනසුරාදා දිනය විශේෂ සන්ධිස්ථානයකි.

කුඩා ගුවන් විදුලි යන්ත්‍රයේ ස්වීචය කරකවා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සෙනසුරාදා 08 ට විකාශනය වන ගුවන් විදුලිය දහම් පාසල හඬ ඇසෙන විට නිබඳ සිත යොමු කිරීමට එවකට තරුණයකු වශයෙන් සිටි මා පෙළඹුණේ ආසන්න උණුසුම් ශිෂ්‍ය ජීවිතය මතකයෙන් නොගිලිහී පැවති බැවිනි.

එදා ස්වදේශීය සේවයේ 8 කණිසමේ හඬ දැනුදු මනසේ සියුම් තැන් අවුලවන සුලුය.

සම්බුදු හිමිගේ සඳහම් සිහිලෙන්
සැනහෙන අප සිරි ලක් දරුවෝ
දහම් පාසලේ සෙවණෙහි වැඩෙමින්
උදාර ගුණ දම්සිත දරුවෝ

ඉරිදා පාන්දරින් අවදිවී සුදු වතින් සැරසී දහම් පාසල වෙතට පිය මනින පා යුගලට දැනෙන සැහැල්ලුව සිසිලස මේ ගීතය හරහා සිතට දැනෙනා සෙයකි.

මේ බිමේ සතර දිග් භාගය සුවඳවත් කළ කැකුළු පුෂ්පයන් පිළිවෙළකට එකිනෙක තබා සැකසූ මල් වට්ටියක් සේ ඒ ගුවන් විදුලි මැදුර බෝසත් ළමා ළපැටියන්ගෙන් පිරී තිරී තිබෙනා සෙයකි. ඒ අතර අපිද කලබලයකින් තොරව වාඩිවී සිටිමු.

ප්‍රශ්න අංක 01,02 වශයෙන් අපූරු රිද්මයකට හද බැඳි ස්වරයෙන් ප්‍රශ්න ඇසෙයි.

හුරතල් දරුවෝ පිළිතුරු දෙති.අපිද ගෙදර සිට උත්තර සපයමු. ප්‍රශ්න අසන නිවේදකයාගේ ස්වරය අපට සමීපය. කිසිඳු ආගන්තුක බවක් නොමැත. ඇත්තෙන්ම එය ළෙන්ගතු ගුරු පියෙකුගේ හඬය. ඒ ගුරුපියා වහුමුවේ විජයවංස අපේ හාමුදුරුවන්ය.මෙම වැඩසටහන මෙහෙය වූයේ උන් වහන්සේය .

විජයවංස හිමියන්ට අපේ හාමුදුරුවන් යැයි ආමන්ත්‍රණය කරන්නට සිත පෙළඹෙන්නේ එදා සෑම සෙනසුරාදාවකම ආලින්දේදී, මැද සාලයේදී වටේ තබාගෙන අපට දහම් පාසල ගැන කියා දෙන බැවිනි. සද් පුරුෂ සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් අපව කැදවාගෙන යාමට නිබඳ වෙහෙසුණු බැවිනි. ඒ වෙනුවෙන් ගුරුහරුකම් ලබාදුන් බැවිනි.

මෙය ලියවෙන්නේ එක් සන්ධිස්ථානයකදී සටහනක් තැබීම යුතුකමක් යැයි හැඟුණු බැවිනි. වහුමුවේ නා හිමියන්ගේ භික්ෂු ජීවිතයට 2014 ජූලි 18 වන දිනට වසර 65 ක් සපිරිණි.

එදා කුලියාපිටිය කිරින්දව පාසලේ ඉගෙනමින් සිටි අවුරුදු 10 ක් පමණ වූ ළමා වයසට දැගලිලි හිතුවක්කාරකම් කළද, නිතර පාසලට පැමිණෙන හීනටියන ධම්මාලෝක, හෙන්ඩියගල සීලරතන, හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි, රකුපොල ආනන්ද වැනි සද්ධර්මය ආකර්ෂණීය ලෙස බෙදා හල කීර්තිමත් භික්ෂූන් වහන්සේගේ දේශනා වලට කැමැත්තෙන් සවන් දීමට තරම් මේ කුඩා සිත සංයමයට පත්කර ගැනීමට පුළුවන්කම තිබුණි.

ඒ බැදීමම පසු කලෙක සංඝ සමාජය ඔපවත් කිරීම වෙනුවෙන් චීවරය දැරීමේ භාග්‍ය උදාකර ගත්තේය.

එසේ ධර්මදේශනා ඇසූ දරුවන්ගෙන් දහදෙනෙකු තෝරාගෙන ඔවුන් සසුන්ගත කරන ලදී. ඒ අතරවූ මේ පුංචි දරුවා ශාසනයට පූජා වූයේ වහුමුවේ විජයවංස යන නමිනි.

පාසලේ පුරුදු පරිසරයෙන් වෙන්ව එකවරටම පිරිවෙනේ පාලි සංස්කෘත ඉගෙනීමට සිදුවීම මදක් නුහුරු මෙන්ම, වෙහෙසකර කටයුත්තක් විය. එහෙත් උත්සාහය අත්නොහැර බොහෝ විට එම විෂයයන් ඉගෙන ගත්තේ ගුරු උපදේශකත්වය මද වශයෙන්ද සම උත්සාහයට ඊට වඩා වැඩි බරක තැබීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ අනුව, විජයවංස හාමුදුරුවන් නැදලගමුවේ ධර්මරාජ පිරිවෙනින්ද, කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලයෙන්ද ප්‍රාචීන අධ්‍යාපනය ලබාගන්නේ අපහසුතාවයන් මධ්‍යයේය.

ඒ අතර තවත් කඩ ඉමක් පසු කරමින් බුරුම අභිධර්ම විභාගයෙන් 1957 වසරේදී එවකට වසර 18 ක් පමණ වූ මේ තරුණ භික්ෂූන් වහන්සේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබාගැනීමට තරම් දක්ෂ වූහ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විජයවංස හිමියන් ශාස්ත්‍රවේදි උපාධිය ලබා ගන්නා ලදී.

1961 වසරේදී හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි නා හිමියන්ගේ උපාධ්‍යායෙන් උපසම්පදාව ලබා ගන්නා ලදී.

විජයවංස හිමියන්ගේ භික්ෂු ජීවිතය ස්ථාවර කරන්නේද කලකිරුණු සිත සන්සුන් කරවන්නේද ගුවන් විදුලි සංස්ථාවට පින්සිදු වන්නටය.

එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළමු සේවයෙන් ආරම්භ කළ දහම් පාසල්, දහම් දැනුම ප්‍රශ්නෝත්තර වැඩසටහන මෙහෙයවීම සඳහා බහුතරයක් භික්ෂූන් වහන්සේ අතරින් තෝරා ගැනෙන්නේ වහුමුවේ විජයවංස භික්ෂූන් වහන්සේ වීම භාග්‍යයකි.

ඈත හද්දා පිටිසර සිට ගම් දනව් නගර සිසාරා හමන සිසිලස රැඳි ගුවන් විදුලි තරංග ඔස්සේ හද හද රැඳුණු වහුමුවේ විජයවංස නාමය මුද්‍රාගත වන්නේ මෙවන් වූ පසුබිමක් යටතේය. ඒ සවිමත් පදනම මත වසර 22 ක් වැනි දිගු කලක් දහම් දැනුම තරගයේ ප්‍රශ්න විචාරක සුහද හඬ පෞරුෂය අදත් මතකයෙන් නොගිලිහී පවතින්නේ උන්වහන්සේ පල කළ ප්‍රතිභා ශක්තියේ දක්ෂතාවය නිසාය.

එතැනින් පිරිවෙන් ගුරු සේවයට සම්බන්ධ වන අපේ හාමුදුරුවන්ට පළමු පත්වීම ලැබෙන්නේ මාතර මහාමන්තින්ද පිරිවෙනටය.

විශාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සමූහයකට මැදිව ආධුනික තරුණ ගුරුවරයකු වශයෙන් කටයුතු කිරීම නුහුරු අත්දැකීමක් වුවද, එම අලුත් වෙනසට උන්වහන්සේ සාර්ථකව මුහුණ දෙති. එදා පසළොස්වක පොහොයට ජාතක පොත දිග හැර එහි කතා හද බැදි ස්වරයෙන් කියැවීමේදී කාගේත් අවධානය යොමු වුණේ ගුවන් විදුලියෙන් පදම් කරගත් හඬ පෞරුෂයේ බලපෑම නිසා විය හැකිය. විජයවංස හිමියන්ගේ අනුශාසකත්වයෙන් එහිදී සුජාතා නමින් කුලඟන සමිතියක් ආරම්භ වන අතර අදත් එය සවිමත්ව පිරිවෙනෙහි නඩත්තුව වෙනුවෙන් විශාල මෙහෙවරක නියැලී සිටියි.

මෙම පිරිවෙනෙහි ප්‍රථම වරට බැදිගම ශ්‍රී රතනපාල නමින් දහම් පාසලක් 1971 වර්ෂයේ බිහි වන්නේද අපේ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙනි.

එමෙන්ම, කොටුව මිගදාය ධර්මායතනයද ආරම්භ වූයේ විජයවංස නා හිමියන්ගේ ප්‍රමුඛත්වයෙනි.

මේ ගමනේදී උන්වහන්සේ 1979 වසරේදී කොළඹ හුණුපිටියේ ඥානිස්සර පිරිවෙනට ගුරු තනතුරකට පැමිණි පසු එතනින් “යුනිසෙෆ්” ආයතනයට අනුබද්ධ විෂය මාලා සංවර්ධන ජලාශි‍්‍රත අධ්‍යාපන ඒකකයෙන් “කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට” අනුයුක්තව 1980 සිට 1994 දක්වා මහවැලි සංවර්ධන වැඩ පිළිවෙළට සම්බන්ධවී කටයුතු කිරීමට අවස්ථාව ලැබුණි.

එපමණක් නොව 80 දශකයේ මුල් භාගයේ සිට එවකට මහවැලි සංවර්ධන අමාත්‍යව සිටි ගාමිණි දිසානායක මහතා යටතේ එවකට පැවති පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස මේ දක්වා කටයුතු කරනු ලබයි.

උන්වහන්සේ මහවැලි සංවර්ධනයට සම්බන්ධ වන විට ගොඩ නැගී තිබුයේ මහවැලි එච් කලාපය පමණි. එහි ජනපදිකයන් 250 ක් පමණ පදිංචිකර තිබුණි.

නව ජනපද ඇතිවන විට විවිධ තලවල මිනිසුන් එම කලාපවල පදිංචියට පැමිණෙන්නේ තම උපන් ගම් බිම් අතහැර දැමීමට සිදු වීමෙනි. එසේ වන්නේ තම උපන් ගම කඩිනම් මහවැලි ව්‍යපාරයේ අවශ්‍යතාවයන්ට හෝ මහා ජලාශ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සිදුවන නිසාය.

මෙවන් පසුබිමක නුහුරු පරිසරයකට ඇද වැටෙන මිනිසාගේ මානසික ව්‍යාකූලත්වයට උත්තර සෙවිය යුතුය. ගැටලු නිරාකරණය කර සිත් සමනය කර අපේක්ෂා සහගත ප්‍රබෝධවත් නව සවිමත් මිනිසෙකු ගොඩනැගිය යුතුය.

එය භාරධුර කාර්යයකි. මොනතරම් ව්‍යාකූලත්වයක පැටලී සිටියත් ගමේ මනුෂ්‍යයා කහ චීවරයක් දුටු පමණින් තාවකාලිකව හෝ සංයමයට පත්වීම සිරිතය. ඒ වෙනුවෙන් වහුමුවේ විජයවංස හිමියන් දිනෙන් දින දියුණු වූ කලාප 08 ම ආවරණය කළේ වෙලාවද අවේලාවද නොබලාය.

ඒ අනුව, කලාප 08 තුළ විහාරස්ථාන 400 ක් පමණ ගොඩනැගුණේ වහුමුවේ විජයවංස නම් සැමරුම් සිහිවටන ඵලකයත් සමගය. එසේම,ගොවි දරු දැරියන් වෙනුවෙන් දහම් පාසල් 487 ක් පමණ බිහි විය.