Print this Article


ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

මේ වසරේ (2014) සැප්තැම්බර් මස 17 වැනිදාට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පළ වන විශේෂ ලිපි පෙළකි. අද පළවන්නේ එහි පස්වන කොටසයි.

19 සියවසේ අග භාගයේ දී ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ වෙනත් බෞද්ධ රටක බෞද්ධ නායකයෙකුට කළ නොහැකි වූ සුවිශේෂ කාර්යයක් ලෙසින් බුද්ධගයාව අන්‍යාගමිකයින්ගේ ග්‍රහණයෙන් බේරා ගෙන යළිත් බෞද්ධ උරුමය එහි ස්ථාපිත කර බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීමට හැකි අන්දමින් වාතාවරණය සැකසීමට එතුමා පදනම දැමුවේ ආත්ම පරිත්‍යාගයෙනි

තමා ජීවත් වූ සමාජයේ ඇතිවෙමින් තිබුණු විවිධ බලවේග නිසි ලෙස තේරුම්ගෙන ඒ කෙරෙහි තමන්ගෙන් ඉටුවිය යුතු කාර්යභාරය පිළිබඳ අවබෝධයෙන් යුතුව එදා සමාජයේ ජීවත් වූ සෑම දෙනා වෙනුවෙන් එම කටයුත්ත ඉටුකළ පුද්ගල බුද්ධිමත් නායකයින් ලෙස අපි පිළිගනිමු. දහනමවන සියවසේ අග භාගයේ සිට මෙරට සමාජය තුළ ඇතිවෙමින් පැවති ජාතික සමාජ හා ආගමික කැළඹීම් වල ස්වභාවය තේරුම් ගෙන ඊට මුහුණ දීමේ දී පෙරමුණ ගත් අයගෙන් අනගාරික ධර්මපාලතුමා ඉදිරියෙන්ම සිටි ජාතික නායකයෙකි.

කුඩා කාලයේ සිට යුක්තිය කෙරෙහි එතුමා තුළ පැවැති නැඹුරුව නිසා ජාතික ආගමික සංස්කෘතික සහ සමාජීය වශයෙන් ඒකාබද්ධ වූ චින්තන රටාවක් එතුමා තුළ වැඩුණි. ධර්මපාල ප්‍රතිරාවය නම් ග්‍රන්ථයෙහි සඳහන්වන පරිදි ත්‍රිපිටක ධර්මය ඇතුළු පාලි භාෂාවෙහි සුවිශේෂී විශාරදත්වයකුත් සිංහල හා ඉංගී‍්‍රසි භාෂාවන් හි පිරිපුන් දැනුමකුත් ලබාගත් එතුමා තුළ ගොඩනැගුණු දර්ශනය නිසා තමාට ආවේණික වූ අනන්‍යතාවයක් තුළින් එතුමා ශ්‍රේෂ්ඨත්වයට පත් විය. මේ අනන්‍යතාවය යම්කිසි උරුමයක් දායාදයක් මෙරටට හිමිකරදීමට සමත් වූ බව නොරහසකි.

අනගාරික ධර්මපාල අභියෝගය සහ අපි - එඩ්මන් රණසිංහ, ප්‍රකාශනය අනගාරික ධර්මපාල භාරය (2014 ග්‍රන්ථය සඳහා වූ හැඳින්වීම)

අනගාරික ධර්මපාලතුමා ජීවත් වූ එම යුගයේ සිටි වෙනත් ආගමික සංස්කෘතික හා දේශපාලන නායකයින්ට වඩා එතුමා කාලීන වශයෙන් මේ රටේ පමණක් නොව එවක නිදහස ලැබීමට පෙර ඉන්දියාව (පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල් ද ඊට අයත්විය.) තුළ බුද්ධශාසනය නගා සිටුවීම සඳහා සිදු කළ මෙහෙය විශේෂයෙන්ම සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ඒ ශ්‍රේෂ්ඨ පුදබිම වූ බුද්ධගයාව ඒ යුගයේ දී (අන්‍යාගමිකයින්ගේ උරුමයට යටත්ව තිබූ) නැවත බෞද්ධ ජනතාවට ලබාදීමට කළ ඒ මහා ව්‍යායාමය අදටත් ජනතාව විසින් අනුස්මරණය කරනුයේ අනගාරික ධර්මපාලතුමාට ශීර්ෂ ප්‍රණාමය කරමිනි.

ඒ කාලයේ දී 19 සියවසේ අග භාගයේ දී ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ වෙනත් බෞද්ධ රටක බෞද්ධ නායකයෙකු කළ නොහැකි වූ සුවිශේෂ කාර්යයක් ලෙසින් බුද්ධගයාව අන්‍යාගමිකයින්ගේ ග්‍රහණයෙන් බේරා ගෙන යළිත් බෞද්ධ උරුමය එහි ස්ථාපිත කර බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීමට හැකි අන්දමින් වාතාවරණය සැකසීමට එතුමා පදනම දැමුවේ ආත්ම පරිත්‍යාගයෙනි. සිදුහත් කුමරු උපන් මායාදේවි විහාරය (සිදුහත් කුමරු උපන් මායාදේවී විහාරයේ පුරාවිද්‍යා කැණීම ආශි‍්‍රත ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ගවේෂණයකි. සිරිසමන් විජේතුංග පි. 114 (2014)

අනගාරික ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමය වනාහි බුද්ධගයාව බෞද්ධයන්ට ලබාදීම සඳහා ගත් ප්‍රයත්නයයි. සිංහලයිනි අවදිවව් බුද්ධගයාව බේරාගනිව් යන පාඨයෙන් ලංකාව ඇතුළු සකළ ලෝකවාසී බෞද්ධ ජනතාවගේද නායකයන්ගේද සිත් ඒ කෙරෙහි යොමු කළ ඒ මහා බෞද්ධ හඬනැගුවේ අනගාරික ධර්මපාලතුමාගෙන් හා එතුමා 1891 දී බිහි කළ මහාබෝධි සමාගමෙනි. දඹදිව නැවත බුදුසමය ව්‍යාප්ත කිරීමට එතුමා ගත් උත්සාහය එතුමාගේ ජීවිතයේ අතිශයින්ම සාර්ථක වූ වැදගත් කාර්යයකි. අසෝක රාජසමයේ දී සිට ලංකාව ඉන්දියාවට ණය ගැතිව සිටියේ බුදුසමය සහ බෞද්ධ සංස්කෘතිය මේ රටට එවන ලද නිසාය. ඒ ණය ගෙවා දැමීමට සිංහලයනට අවස්ථාව සැලසුනේ අනගාරික ධර්මපාලතුමා විසින් ඉන්දියාවේ බුද්ධගයාව හා අනෙකුත් පුදබිම් ද බෞද්ධ ජනතාවගේ අයිතියට ලබා දීම නිසා ය. සාරානාත්හි පිහිටුවන ලද නව මූලගන්ධ කුටි විහාරය දඹදිව බුදුසසුන යළි ස්ථාපිත කිරීමට ගත් උත්සාහයේ තවත් විශිෂ්ටතම පියවරකි.

අනගාරික ධර්මපාලතුමාගේ සේවය මැනවින් අගය කළ හැක්කේ අවුරුදු හතළිස් හතක් මුළුල්ලේ ලියන ලද පොත් පත් පරීක්ෂා කිරීමෙනි. දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන නාමය අත්හැර ධර්මපාල හේවාවිතාරණ වීමටත් එයත් පසු කලෙක එච්. ධර්මපාල යන්නට වෙනස් කර ගැනීමටත් අනතුරුව බ්‍රහ්මචාරී වෘතය සමාදන් වී අනගාරික ධර්මපාල ලෙස පෙනී සිටීමටත් ජීවිතයේ අවසාන භාගයේ දී බොදු දිවියක මුදුන් මල්කඩ සේ ගිනිය යුතු වූ ශ්‍රමණ භූමියට පිවිස සිරිදේවමිත්ත ධර්මපාල ස්වාමීන්වහන්සේ වීමටත් මෙතුමාණන් පෙළඹවූ ජාතිකාභිමානයත් බුද්ධ භක්තියත්, බුද්ධ ධර්මාවබෝධයත් කෙතරම් උසස්වී දැයි වටහා ගත හැක්කේ මෙම ලිපි කියවූ විටය.

අනගාරික ධර්මපාලතුමාගේ ආගමික හා සමාජ සේවාව භාරත දේශයේ හා ලංකාවේ සිදුකළ බව ඉතා ප්‍රකටය. එසේ වුවද භාරත දේශයේ සිදුකළ ආගමික සමාජ සේවා ලොව පුරා යළිත් වරක් ඇති වූ ප්‍රබෝධයේ නිර්මාතෘවරයාණන් ලෙසින් සැලකිය යුත්තේ අනගාරික ධර්මපාල තුමාණන්ය.

සංසාරගත පුරුද්ද නිසා අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව අන්‍ය ආගමික ග්‍රහණයෙන් බේරා ගැනීමට ගෙන ගිය ඒ මහා සටන කිසිඳු පෞද්ගලික ලාභාපේක්ෂාවක් උදෙසා කළ දෙයක් නොවන බව ලොවම පිළිගනී.

(දඹදිවසිව් මහ පුද බිම් - සිරිසමන් විජේතුංග පි. 114 (2011)