සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 5
- නාරංවත්තේ
ධම්මසිරි හිමි
සිදුහත් කුමරා ගිහිගෙයින් නික්මීම පිළිබඳ ගිය සතියේ සටහන් කළෙමු. අද
එතැන් සිට...
සිදුහත් මහ බෝධිසත්වයන් වහන්සේ අනෝමා නදී තීරයෙන් නික්ම අනුපිය නුවර අඹ
වනයෙහි පැවිදි සුවයෙන් සතියක් කල් ගත කළහ. අනතුරුව ගංගා නදියෙන් එතෙරව
පෙරවරුවේම රජගහනුවරට පැමිණියහ. එහිදී පිඬුසිඟා හැසිරුණේය. මහ
බෝධිසත්වයන් වහන්සේගේ රූ සිරිදුටු එනුවර වැසියෝ නොයෙක් අදහස් දක්වන්නට
විය. එහෙත් නුවණැතියන් මේ “අන් කිසිවෙක් නොව ලොවට වැඩ ඇති උතුමෙක්
යැ”යි කීහ.
මහ බෝධිසත්වයන් වහන්සේ පිඬු සිඟා වඩින අයුරු බිම්බිසාර මහ රජතුමා රජ
මැදුරේ සී මැදුරු කවුළුවෙන් දැක ඇමැතියන් ගෙන්වා “වහා ගොස් එතුමා ගැන
තොරතුරු සොයා බලා දැන එන්නැ”යි යැවීය.
මහ බෝසතාණෝද පිඬු සිඟා ගෙන, එනුවරට පැමිණෙන පැවිද්දන් ලැගුම් ගන්නා
තැන් මිනිසුන්ගෙන් අසා දැන පාණ්ඩව පර්වතයෙහි නැගෙනහිර, බලා වැඩියහ. එහි
වැඩ හිඳිමින් දන් වැළදූහ. දූතයන් වෙතින් බෝසතාණෝ එහි වැඩ සිටින පුවත
අසා බිම්බිසාර රජතුමාද සපිරිවරින් එතුමන් දක්නට ගියේය. එසේ දැක කතාබස්
කොට “මේ තම මිත්‍ර සිදුහත් ගෞතමයන් වහන්සේයැයි හැඳිනගෙන ඔබ වහන්සේ
සතරපෙර නිමිති දැක පැවිදිව බුදුවෙතියි කලකට පෙර මා අසා තිබේ.
බුදුවීමෙන් වැඩිකල් නොයා මාගේ නුවරට වඩින්නැ”යි ආරාධනා කොට බිම්බිසාර
රජතුමා ආපසු ගියේය.
බෝධි සත්වයන් වහන්සේ “භාර්ගව” නම් තවුස්තුමාගේ අසපුවකට ගොස් ඔහු වෙතින්
දහම් ඉගෙන පිරිසිඳ බලා එය නිවනට මගක් නොවන බව දැන ඉන් නික්ම ගියහ.
අනතුරුව නොබෝ දිනකින් විසල්පුර වෙත පැමිණ එහි අසපුවක වසන ආළාර නම්
තවුස්වරයෙකු සිටිනා බව අසා එහි ගොස් ඔහු වෙතින් දහම් ඉගෙන ගත්හ.
එහිදී කසින භාවනාදිය වඩා ලබන පළමුවන, දෙවන, තෙවන , සිව්වන, යන රූපාවචර
ධ්‍යාන සතරත් රූප විරාග භාවනා වඩා ලබන ආකාසානංචායතන විඤ්ඤාණංචායතන
ආකිංචඤ්ඤායතන යන අරූපාවචර ධ්‍යාන තුනද යන සත් සමාපත්තීන් ලැබූහ.
අනතුරුව එහි තවදුරටත් වැඩ සිටීමෙන් ඉන් එහා පලක් නැතැයි දැන එතැනින්ද
නික්ම ගියහ.
අනතුරුව මගධ රට වසන “උදාක නම් තවුස්වරයා ගැන දැන එහිද ගොස් ඔහු දත්
දහම් ඉගෙන පිළිපැද අටවන සමවත නම් වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන
සමාපත්තිය ලදහ. අනතුරුව එහි විසීමෙන් ඉන් එහා යමක් දත නොහැකියැයි දැන
එයින් නික්ම ගියහ. මෙසේ සැරිසරන මහ බෝධිසත්වයන් වහන්සේ උරුවෙල් දනව්වට
වැඩ එහි නේරංජරා නදිය අද්දර වනය දැක, එය තවුසන්ට යෝග්‍යම තැනකැයි සිතා
එහි නතරවූහ.
එතුමන් වහන්සේ උදෙසා පැවිදිව සිටි කොණ්ඩඤ්ඤ ,භද්දිය, වප්ප, මහානාම
,අස්සජි යන පස්දෙනා එ සමයෙහි එහි අවුත් එතුමන්ට උවැටන් කරමින් උන්හ. මහ
බෝසතාණන් වහන්සේ උරුවෙල් දනව්වෙහි වසමින් පළමුවෙන් මෛත්‍රී භාවනාවෙන්
කල් යැවූහ. අනතුරුව වන වැසි තවුසනට බිය ඇති වන්නට හේතු විමසා බැලූහ. ඒ
හැම බියට කරුණු වන්නේ ඔවුන් තුළම වූ අශුද්ධ ගති ගුණයැයි දුටුහ. තමන්
තුළ එවැනි අශුද්ධ පැවැත්මක් නැති බැවින් බිය වන්නට කරුණු නැතැයිද
සැලකූහ.
දුෂ්කර කි‍්‍රයා පිරීම
පවත්තඵල භෝජන නම් වූ කෙනෙකු නොවැවූ, ස්වභාවයෙන් වැවුණු ගස්වැල්වල පල
වැල වළඳමින් දිවි ගෙවූහ. අනතුරුව එයද හැරදමා තමන් වහන්සේ උන් ගස මුලට
කෙනකු විසින් කඩන ලද නොව ස්වයංපතිත වූ ගෙඩි හෝ කොළ පමණෙකින් දිවි
ගෙවූහ. මෙසේ මහ බෝධිසත්වයන් වහන්සේ තවුසන් විසින් පුරුදු කරන විවිධ වූ
දුෂ්කර තපස් ව්‍රත වඩමින් ටිකින් ටික ආහාරද අඩු කෙරෙමින් ගොස්
අන්තිමේදී කොල්ලු හෝ කඩල තැම්බූ දිය ස්වල්පයක් පමණක් ආහාරකොට ගත්හ. එම
අල්ප ආහාර හේතුවෙන් එතුමන්ගේ සිරුර ඇට සැකිල්ලක් මෙන් කෙට්ටු විය. එසේ
සිදුහත් මහ බෝසතාණන් වීර්යය නොහැර හින්දු ජෛන යෝගීහු පුරුදු කරන හුස්ම
නතර කිරීමේ යෝග ක්‍රමයක් වූ අප්‍රාණක ධ්‍යානය වැඩූහ.
දිනක් මහ බෝසතාණෝ කය දුබල බැවින් මුසපත්ව වැටුණහ.මඳ වේලාවකින් සිහි ලබා
නැගී සිටියහ. තමන් වහන්සේ එතෙක් කල් පිරූ තවුස් දම් විමසා බැලූහ. තමන්
වහන්සේ කලක් බොහෝ වෙහෙස විඳිමින් දුෂ්කර ව්‍රත පුරමින් සිටියද ඉන් වූ
පලක් නැති බව දුටහ.
රජ මැදුරේදී වින්ද රජ සැපතත් ඊළඟට මෙතෙක් කයට දුන් දැඩි දුක් පීඩාත් යන
දෙකම නිසි මග නොවේයැයි ද එහෙයින් එය හැර දමා මැදු මග ගත යුතුයැයි ද
සිතූහ.
නැවත අතීතයට සිත යොමා බලා කුඩා කල වප් මගුල් දා තමන් වැඩූ ආනාපාන සතිය
සිහිකොට එය වඩන්නට ඉටා ගත්හ. සිරුරෙහි බලයක් නැතිව එය වඩනු නොහැක්කේය.
එබැවින් උරුවෙල් දනව්වෙහි පිඬු පිණිස හැසිර වළඳා ශරීර ශක්තිය උපදවා
ගත්හ.
මහ බෝධි සත්වයන් වහන්සේ පිඬු සිඟා වළඳා කය සතප්වනු දුටු පස්වග තවුසෝ “
බුදුවිය නොහී, වැර වැඩුම , හැර දමා සැප පහසු ගන්නටය, වන්හයි කලකිරී
එතුමා තනි කොට හැර එයින් නික්ම බරණැස බලා ගියහ.
ශරීර ශක්තිය ලත් පසු බෝසත්තුමා ආනාපානසතිය වඩන්නට පටන් ගත්හ. මෙසේ
බවුන් වඩන බෝසතාණන් වහන්සේගේ නුවණ මුහුකුරා යන්නට වන්හ.
කෙසේ හෝ බුද්ධත්වය ලබා ගැනීම අරමුණු කර ගනිමින් වීර්ය වඩන ලද බෝසතාණන්
වහන්සේගේ දුෂ්කර ජීවිතයට හයවන වර්ෂයේ අවසාන භාගයට පැමිණි තිබූ අතර
උන්වහන්සේ දුංගේශ්වරී කඳු වැටියේ සිට සේනානි නියම් ගමට වැඩමවන ලදී.
මහාබෝධි සත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන ලද ප්‍රාග්බෝධි කඳුවැටිය
වෙත යාම ඉතා දුෂ්කර කාර්යයකි. නමුත් ඔබ පැමිණි දඹදිව වන්දනා ගමනේදී අප
සැමට ධර්මය අවබෝධ කරදීමට අපගේ මෝහය දුරු කරදීමට අප සැමට මාර්ගය පෙන්වා
දුන් මහබෝධි සත්වයන් වහන්සේ වසර හයක දුෂ්කර ව්‍රත අනුගමනය කරන ලද ඒ
බිමට මොහොතකට හෝ ගොඩවී එහි ඇති ටිබෙට් ලාමාවරුන් විසින් වෙහෙස නිවා
ගැනීම සඳහා ලබාදෙන බෙලිමල් කෝප්පයකද රස විඳ ගතේ වෙහෙස නිවා ගනිමින් අප
මහාබෝධි සත්වයන් වහන්සේ දුෂ්කර ජීවිතය ගත කර අයුරු දැක්වෙන පිළිම
වහන්සේ වන්දනා කර මදක් නිහඬව සිට අනන්ත බුදුගුණ මොහොතකට හදවතින්
සිහිපත් කරන්න.
දුංගේශ්වරී යාම සඳහා බුද්ධගයාවේ සිට බුද්ධගයාවට යන ප්‍රධාන පාරේ ටික
දුරක් ගිය විට නේරංජරා ගඟේ වම් ඉවුර හරහා කි.මී. 15 ක් පමණ ගිය විට
දුංගේශ්වරී කඳුවැටිය දැකගත හැකිය.
සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 4 |