Print this Article


බුදුසසුන බැබළවූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

බුදුසසුන බැබළවූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

ලක්වැසි ජනතාවට ආවේණික ජීවන රටාවක්, චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් හා චින්තන ක්‍රමයක් උරුම වුණේ බුදුදහමෙනි. වසර දහස් ගණනක් බෞද්ධ සංස්කෘතික මූලධර්ම පදනම් කරගෙන සෞභාග්‍යවත් දේශයක, සාමකාමී ජනතාවක් ලෙස සිංහලයෝ ජීවත් වූහ. අනෙකුත් ජන වර්ග සිංහල ජාතිය තුළටත්, ඔවුන්ගේ ආගමික විශ්වාස බුදුදහම තුළටත් උරා ගැනුණ අතර, මහා සංස්කෘතියේ සෙවණ ලබමින් ලක්වැසි සියලු දෙනා සහජීවනයෙන් කටයුතු කළහ.

බටහිර ආක්‍රමණිකයන්ගේ හිරිහැරවලට ගොදුරු වුණ බුදුදහම හා සංස්කෘතික උරුමය රැකගන්නට අපේ මුතුන් මිත්තෝ ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළහ. පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි වැනි පැවිදි උතුමන් ශාස්ත්‍රීය සංවාද, දේශන හා ලිපි ලේඛන ඔස්සේ අපේ රටේ අතීතයේ පැවැති බෞද්ධ පරිසරය, සංස්කෘතිය හා අධ්‍යාපනය යළි ගොඩනැඟීමට වෙර දැරූහ. ඒ අතර බුද්ධ ශාසනය, මාතෘභූමිය හා සිංහල ජන සමාජය රැක ගැනීමේ අදිටනින් තම ජීවිතය කැපකරන්නට සුදානම් වූ උතුම් මිනිසෙක් දහනව වන සියවසේ අවසාන භාගයේදී ගිහි සමාජයෙන් මතු වුණි. එනම්, සිංහලයන්ගේ හදවත්වල සදාතනිකව ජීවත්වන අනගාරික ධර්මපාල ශ්‍රී මතාණෝය.

මාතර හිත්තැටියේ අත්ථදස්සී මහ තෙරණුවන්ගේ සොහොයුරු ඩිංගිරි අප්පුහාමි නමැති ගම්මුලාදෑනිවරයාට දොන් කරෝලිස් හේවාවිතාරණ නමින් පුතෙක් සිටියේය. බුද්ධිමත් තරුණයෙකු වූ ඔහුගේ දයාබර බිරිඳ බවට පත්වුණේ විද්‍යෝදය පිරිවෙන තැනීමට භූමිය පිදූ දොන් අන්ද්‍රියස් ධර්මවර්ධන මුහන්දිරම් තුමාගේ මල්ලිකා නමැති දියණියයි. බුදුසසුනට උරුමකම් ඇති මෙම යුවළට දාව 1864 සැප්තැම්බර් 17 වන දින පින්වත් පුත් රුවනක් උපන්නේය. ඔහුට නම තැබුවේ ඩේවිඩ් යනුවෙනි. එනම්, පසුකලෙක බුදුසසුනේ දියුණුවට හා සිංහල ජාතියේ යහපතට මහඟු සේවාවක් සිදුකළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාය. 2014 සැප්තැම්බර් 17 එතුමාගේ 150 වන ජන්ම දිනයයි. එකල දියුණු බෞද්ධ පාසල් නොතිබුණ බැවින් ඩේවිඩ් දරුවාට ඉගෙනුම ලබන්නට සිදුවුණේ ක්‍රිස්තියානි පාසල්වලිනි. “අවුරුදු දහයේදී මම කොටහේනේ බෙනඩික් පාඨශාලාවේ ශිෂ්‍යයකු වශයෙන් සිටියෙමි. ඒ කාලයේ සිට නිතරම නව ගුණ පාඨය සජ්ඣායනය කරන සිරිතක් මා සිත් තුළ පැවතුණේය. මම මගේ පියාණන්ගේ මේ චාරිත්‍රය ඉගෙන ගතිමි. පියාණන් වහන්සේ මා කැටිව රථයක යන විට රථයට නැඟුණු වේලාවේ සිට ම 'ඉතිපිසෝ භගවා 'යන නවගුණ පාඨය රථයෙන් බහින තෙක්ම සජ්ඣායනා කිරීම මපියාණන්ගේ චාරිත්‍රයකි”

(1912 අපේ‍්‍රල් 20 සිංහල බෞද්ධයා)

අබෞද්ධ පාසලක ඉගෙනුම ලැබුවත් ඩේවිඩ් පුතණුවන්ට දෙමව්පියන්ගෙන් නිවැරැදි මඟ පෙන්වීමක් ලැබුණි. එදිනෙදා ජීවිතයේ අවිවේකී තත්වයන් යටතේ වුවද , තම දරුවාට යහපත් දේවල් කියා දෙන්නට ධර්මපාල තුමාගේ පියාණන් වෑයම් කළ බව පෙනේ.

බුදුදහම තම එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගෙන තම දරුවන්ද ඒ සඳහා යොමු කිරීමට බෞද්ධ දෙමව්පියන් ආදර්ශවත් විය යුතුයි. ළමා වියේදී ජීවිතයට හුරුවන යහපත් සිරිත් විරිත් හා ළමා මනසට කා වැදෙන යහපත් සිතිවිලි හේතුවෙන් සමාජයට වැඩදායක උතුම් මිනිසකු බිහිවන බවට ධර්මපාල චරිතය හොඳ නිදසුනකි. එතුමා ළමා වියේ සිට ම අටසිල් සමාදන් වූ කෙනෙකි.

“ළදරු කාලයේදී මා ඇති දැඩි කළේ ධර්මගුණවර්ධන මුහන්දිරම් මහත්මයායි. (මෑණියන්ගේ පියා) පසළොස්වක පොහොය දිනවල උපාසක පිරිස කැලණියට සිල් සමාදන් වීමට යාම චාරිත්‍රයක් ව පැවතුණේය. වයස අවුරුදු අට නවයේදී මා අටසිල් සමාදන් වීමෙහි යොදවන ලද්දේය. කොර්නේලිස් කුරේ අප්පුහාමි මට අටසිල් පද ඉගැන්නුවේය.” (1911 දෙසැම්බර් 02 සිංහල බෞද්ධයා) යහපත් පුද්ගලයන්ගේ ඇසුර සහ පරිසරය දරුවකුගේ ජීවිතය හැඩගැසීමට වැදගත් වන බව ධර්මපාලතුමා තම ජීවිතය ඇසුරෙන් පෙන්වා දී ඇත.

“ළදරු කාලයේ සිට පූර්ව හේතු බලයෙන් වයෝවෘද්ධ සද් පුරුෂයන් ආශ්‍රය කිරීමට මට ලැබුණේය. සිල්වත් උපාසක පිරිසක් ආශ්‍රය කිරීමටද, ධර්මශ්‍රවනය කිරීමටද, යහපත මෙය,අයහපත මෙය විභාග කිරීමටද බාලකාලයේ පටන් ඥානයක් මට ඇතිවිය.මේ කරණකොට ගෙන පවින් වැළකී කුසල් කිරීමටද හිත පිරිසුදුව තබාගැනීමටද පුළුවන් විය. වර්ෂ 14 පමණ කාලයේදි බ්‍රහ්මචර්ය ධර්මය උතුම් බව මගේ සිතට වැටහුණේය. “ (1912 අපේ‍්‍රල් 20 සිංහල බෞද්ධයා)

අනගාරික ජීවිතයක් ගත කිරීම පරාර්ථ සේවයට හා ධර්ම ප්‍රචාරයට පහසුවක් බව ඩේවිඩ් තරුණයාට හැඟුණි. ගිහිගෙය දුක තේරුම් ගෙන අනගාරික ජීවිතයකට යොමුවීමට තමා පෙළඹුණ, සිද්ධියක් ගැනද ධර්මපාල තුමා සඳහන් කර තිබේ. එනම්, අවුරද්දක් වයසැති එතුමාගේ බාල නැඟනිය මියයාමෙන් පසු මෑණියන් දුක් වන අයුරු දැකීමයි. විසි දෙවන වියේදී, එනම්, 1886 වසරේදී ගිහිගෙයින් වෙන්ව බ්‍රහ්මචාරි ජීවිතයට යොමුවුණ ඩේවිඩ් තරුණයා තමාගේ නම දේශීය චින්තනයට නොගැළපෙන බව පවසමින් ධර්මපාල යන නම භාවිතයට ගත්තේය. පරම විඥානාර්ථ සමාගම මගින් බෞද්ධ පාසල් පිහිටුවීමේදී සමාගමේ පාඨශාලා සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය ලේඛකාධිකාරි වශයෙන් එතුමා අගනා සේවයක නිරත වුණි. ඕල්කොට් තුමාගේ ඉංගී‍්‍රසි කථා සිංහලයට පරිවර්තනය කළ බැවින් ඔහු දක්ෂ කථිකයකු බවට පත්විය.

අනගාරික ධර්මපාල තුමා 1891 වසරේදී දඹදිව බෞද්ධ සිද්ධස්ථාන වැඳීමට ගිය ගමන බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයකට මුල පිරුවේය. බුද්ධගයාව හින්දු මහන්තා සන්තකව තිබෙන බව දැකීමෙන් එතුමාගේ හදවත කම්පා විය. එදා එතුමා තම සිතෙහි ඇතිකරගත් දැඩි අදිටන එම වසරේ මාර්තු 12 වන දින සටහනෙහි දැක්වෙන්නේ, “ලංකාවේ හෝ සෙසු කිසියම් බෞද්ධ රටක භික්ෂූන් මෙහි වැඩ වෙසෙමින් මේ ශුද්ධ භූමියේ ශාසන කර්මය කරන තෙක් මාගේ පරිශ්‍රමය අත් නොහරින්නෙමි” යනුවෙනි. එතුමා එහි මුල් පියවරක් ලෙස ගාල්ලේ ගුණරත්න මුදලින්දාරාමයේ පැවිදිවි සිටි ජපන් ජාතික කෝසන් ගුණරතන හිමියන් බුද්ධගයාවට වැඩමවීය. බුදුසසුන සුරැකීම , බුදුදහම ලොව පැතිරවීම, ධර්මදූත පුහුණුව, බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීම වැනි අරමුණු මුල්කරගෙන අනගාරික ධර්මපාල තුමා 1891 වසරේදී මහාබෝධි සමාගම ඇරඹුවේය.

ඇමරිකාවේ චිකාගෝ නගරයේ 1893 වසරේ පැවැති ලෝක දෘෂ්ටි සම්මේලනයට සහභාගි වෙමින් ධර්මපාල තුමා පැවැත්වූ දේශනය නිසා ලෝක විද්වතුන්ගේ අවධානය බුදුදහම වෙත යොමු විය.”බෞද්ධයින් නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්” යන්න ධර්මපාල තුමාගේ මුවගෙහි රැඳුන සටන් පාඨය විය. විශාල කැපවීමකින් අධිකරණය මාර්ගයෙන් බුද්ධගයාවේ අයිතිය ලෝකවාසි බෞද්ධ ජනතාවට උරුමකර දීම වීර ක්‍රියාවකි. භාරත දේශයෙන් ලක්දිවට බුදුදහම ලබාගැනීම හේතුවෙන් සිංහලයන් භාරත දේශයට ණයකාරයන් වූවා නම්, එම ණය බරින් සිංහල ජාතිය නිදහස් කරනු ලැබුවේ අනගාරික ධර්මපාල තුමා විසිනි. භාරතයේ වර්තමාන ශාසනික පුනරුදය එතුමා නිසා සිදු වූවකි. ලෝකවාසි බෞද්ධයන්ගෙන් ගරු බුහුමන් ලබන ලාංකිකයකු වෙයි නම්, ඒ ධර්මපාල තුමාය. නටබුන් බොදු පුදබිම් පිළිසකර කරවා, ලාංකික භික්ෂූන් පදිංචිකරවා වැඳුම් පිදුම් සිදුකෙරෙන ජීවමාන තත්ත්වයට ඒවා පත්කරන ලද්දේ එතුමා විසිනි. ධර්මපාල තුමා 1892 වසරේ බරණැස ඉසිපතනයට යන විට එහි පැවැතුණේ ශෝචනීය තත්ත්වයකි. ඒ අසලින් ඉඩමක් මිලට ලත් එතුමා විවිධ බාධක මැද බරණැස මූලගන්ධ කුටි විහාරය ඉදිකොට 1931 නොවැම්බර් 11 වන දින බෞද්ධ ලෝකයාට පැවරුවේය.

බුදුදහම හා සිරිත් විරිත් පිළිබඳවත් සිංහල ජනතාව පිරිහීමේ හේතු කාරණා පිළිබඳවත් දැනුවත් කිරීමට 1906 වසරේදි ධර්මපාල තුමා” සිංහල බෞද්ධයා” පත්‍රය ඇරඹුවේය. “දැනගත යුතු කරුණු” නමින් එහි පළ කෙරුණ ලිපි පෙළෙන් සිංහලයන් අවදි කළේය. බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිදුවන පීඩාවන්ගෙන් මිඳීම සඳහා ස්වරාජ්‍යයක් පිහිටුවා ගත යුතුය. සිංහල රට සිංහලයන් විසින් පාලනය කළ යුතුයැයි ධර්මපාල තුමා පැවැසීය. “අප ඉදිරියේ මාර්ග දෙකක් ඇත. එක්කෝ අප වහලුන් වී ජාතික පැවැත්මෙන් අතුගාගෙන යාමට ඉඩ දිය යුතුය. නැතිනම්,පිරිහීගෙන යන සදාචාරයෙන් අපගේ ජාතිය ගලවා ගැනීමට අරගලයක් කළ යුතුය.ක්‍රිස්තියානිහුද, බෞද්ධයෝ ද එකමුතුව සිංහල ජනතාව නඟා සිටුවීමට පියවර ගත යුත්තාහ. අපගේ දේශපේ‍්‍රමී කටයුතුවලට ආගම බාධාවක් කරගත යුතු නැත. අපට අවශ්‍ය දැන් මැරීගෙන ජීවිතයක් ගතකරමින් නින්දෙන් පසුවන ලංකා ජනතාව අවදිකරවීමට උද්‍යෝගයෙන් වැඩ කළ හැකි මිනිසුන් කණ්ඩායමකි. ලෝක ඉතිහාසයේ අපට නැති වූ තැන අප ලබාගත යුතුය.” (ලංකාවේ තරුණයන්ට වචනයක් – 1922)

අනගාරික ධර්මපාල තුමාගේ අදහස් වැරැදි ලෙස සමාජ ගතකරන ඇතැම්හු එතුමා ජාතිවාදියෙක් යැයි හඳුන්වති. එතුමා සිදුකළේ අන්‍ය ජාතිකයන්ට දොස් කීමක් නොව ඔවුන්ගේ එක මුතුකම හා උත්සාහය නිසා ඔවුන් දියුණුවට පත්වන ආකාරයත්, සිංහලයන්ගේ අලසකම, අසමගිය නිසා ඔවුන් දිනපතා පිරිහෙන අයුරුත් පෙන්වාදීමයි. පවතින සැබෑ තත්ත්වය පැහැදිලි කරදීමකි. මේ වදන් එයට නිදසුනකි. ”සමගි ධර්ම වර්ධනයට හේතු ධර්මයන් බහුල වශයෙන් භාවිතා නොකරන බැවින් සිංහලයන්ට ඒකීය භාවයෙන් ක්‍රියා කිරීමට නොහැකි වී තිබේ. සිංහලයා අලසකමින් කල් ගත කරයි... සියලු ජාතිවලට අයත් මනුෂ්‍ය වර්ගයා ඔවුනොවුන්ගේ කුල ධර්මවලට අනුව ක්‍රියා කරති. අහෝ අන්ධ බාල සිංහලයෝ පමණක් උම්මත්තකයෝ මෙන්ද,ගද්‍රභවයන් මෙන්ද ඇට්හෝම්, හනිමූන් පවත්වමින් ධනය නැතිකරගෙන දාසයන් මෙන් ජීවත්වෙති.”

(සිංහල බෞද්ධයා 1911 ඔක්තෝබර් 07)

විශේෂ රථයකින් රට වටා යමින් බුදුදහම හා සදාචාරය ගැන දේශනා පැවැත්වීම ධර්මපාල තුමාගේ ජීවන චරියාවේ එක් අංගයක් විය. ඇතැම් භික්ෂූන්ගේ ජීවන චර්යාව ධර්මය නොදැනීම, දහම්නොදෙසීම පන්සල්වල අපිරිසිදුකම , සාමණේරවරුන් නිසි මගට යොමුනොකිරීම වැනි කාරණාවලට ද ධර්මපාල තුමා දොස් කීවේය. එතුමා නිරතුරුව අවධාරණය කළේ, ස්වාධීන ජාතියක් හා රටක් ගොඩ නැඟීමට නම් දේශීය නිෂ්පාදනය පදනම් කරගත් ආර්ථිකයක් අවශ්‍ය බවයි. පරිභෝජනයට අවශ්‍ය සෑම දෙයක්ම රට තුළ නිපදවා ගන්නට වෑයම් කළ යුතුයි. ධනවතුන් සිංහල දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කළ යුතුය. අපට ජාතියක් වශයෙන් සැප විඳින්නට හැකිවන්නේ සමගියෙන් එකමුතුව රට දියුණු කරගතහොත් පමණි. සිංහලයන් ශිල්පීය දැනුම ලබාගත යුතු බව පැවැසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුවීම සඳහා පුද්ගලයන් විදේශයන්ට ද යැව්වේය. තම පවුලේ ධනය වැය කරමින් පේෂකර්මාන්ත ශාලා පිහිටුවිය. ලංකාවේ ජීවත්වීම අත්හැරිය ධර්මපාල තුමා දඹදිවට ගොස් 1931 ජූලි 13 වන දින සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි විය. 1933 දී උන්වහන්සේ දැඩි සේ ගිලන් වූහ. “නිකරුණේ බෙහෙත්වලට මුදල් නාස්ති නොකර ඒවා බෞද්ධ කටයුතුවලට යොදවන්න. මතු ආත්ම භාවයේදි බරණැස බ්‍රාහ්මණ කුලයක ඉපදී දඹදිව සම්බුද්ධ ශාසනය දියුණු කරන්නෙමි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පතළ කරනු පිණිස තව පස් විසි වතාවක් වුවද, උපදින්නෙමි” යැයි පැවසූ උන්වහන්සේ 1933 අපේ‍්‍රල් 29 වන දින සවස 3.00 ට පමණ අපවත් වූහ.

මගේ බස, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම යන උතුම් වස්තු රැකගන්නට සෑම සිංහලයකුම උත්සාහ කළ යුතුය. යන අනගාරික ධර්මපාල තුමා නිතර පැවසූ උපදේශයකි. එතුමාගේ 150 වන ජන්ම දිනය නිමිති කරගෙන එතුමාට දක්වන උසස්ම ගෞරවය වන්නේ සදාචාරවත් සමාජයක් බිහිකිරීම හා සම්බුද්ධ ශාසනයේ දියුණුව සඳහා එතුමා බලාපොරොත්තු අරමුණූ ඉටුකිරීමයි. ඒ අනුව මෙම සැප්තැම්බර් 17 වන දින සිට ඉදිරි වර්ෂය ධර්මපාල වර්ෂය ලෙස නම් කොට ජාතියේ, දේශයේ හා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත.