Print this Article


දම්පද මිහිර 6 සුබ ලෙසට අරමුණු ගත් අය දකිමු වැනසුණු

දම්පද මිහිර 6

සුබ ලෙසට අරමුණු ගත් අය දකිමු වැනසුණු

අපේ ඇසට ලෝකය පේනව, කනට ලෝකය ඇහෙනව. නාසයට ලෝකයේ ගඳ, සුවඳ දැනෙනව, දිවට ලෝකයේ රස දැනෙනව. කයෙන් ලෝකයේ පහස ලැබෙනව. ඔය බාහිර ඉන්ද්‍රිය පහෙන් එකතු කරගන්න දේවල් මනස විසින් ගබඩා කරගෙන නැවත නැවත මෙනෙහි කරනව.

ඊට සාපේක්ෂව අපට එක්කො මනාප සිත් හට ගන්නව. නැත්නම් අමනාප සිත් හට ගන්නව. මනාප සිත් නිසා ලෝකෙට ඇලෙන අප අමනාප සිත් නිසා ලෝකෙ එක්ක ගැටෙනව. ඔබත් එහෙමයි මාත් එහෙමයි. ලොව කොතැනක සිටියත් ඔබ සහ මා මියෙන තුරුම කරන්නෙ මනාප අමනාප සිත් හද හදා ඉන්න එක. මරණින් පස්සෙ අපට මොකද වෙන්නෙ? අත්දැකීමෙන් හෝ ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් ඒකට උත්තර දෙන්න මා දන්නෙත් නෑ. ඔබ දන්නෙත් නෑ.

මේ ප්‍රශ්නය ගැඹුරින් විමසල, අලුතෙන් හිතන්න පටන් ගත් අය අතර පිළිතුර හරියටම සොයාගත්තු උත්තමයන් වහන්සේ තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ භවයෙන් පස්සෙ අපට වෙන දේ වගේම උපතට පෙර අපට වුණ දේ ගැනත් සොයා ගත්ත. කෙළවරක් නැති අතීතය පුරාම අපට වී ඇති දේ ඉතාම භයානකයි. ඉමක් නොපෙනෙන අනාගතය පුරාම අපට වෙන්න තියෙන දේත් අති භයානකයි. ඒ සොයා ගැනීමත් සමඟම උන්වහන්සේට මනාප, අමනාප සිත් නැතුව ගියා. ඒ කියන්නෙ ලෝකය සමඟ මනසින් ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති සුන්දර මානසික තත්ත්වයකට පත් වුණා.

නිවන නමැති ඒ උත්තම සුවය ලැබීමට නම් මනාප අමනාප සිත් හැදෙන එක වළක්වන්න ඕන. මනාප අමනාප සිත් හැදෙන එක වළක්වන්න නම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරන් දෙන දේ එළඹ සිටි සිහිය නමැති පෙරනයෙන් පෙරා ඇතුළට ගන්න ඕන. ඒ කියන්නෙ මේක ශරීර අභ්‍යාසයක් නොවේ. චිත්තාභ්‍යාසයක්.

සේතව්‍ය නුවර සොහොයුරන් තිදෙනෙක් හිටිය චූලකාල, මජ්ම කාල, මහාකාල කියල. බාල සොහොයුරයි වැඩිමල් සොහොයුරයි දෙන්න වෙළෙඳාමෙ යනව. ගැල් පුරවා ගෙනෙන දේවල් සිය ගමේ වෙළෙඳ සැලක් පවත්වාගෙන යමින් වෙළෙඳාම් කළේ මජ්ක්‍ධිමකාල.

දවසක් සැවැත් නුවර දෙව්රම් වෙහෙරට නුදුරු තැනක විවේකය පිණිස මේ දෙදෙන ගැල් මුදා හැර තිබුණා. ඒ වෙලාවෙ, සුවඳ මලින් දෑත් පුරවගෙන දහම් ඇසීමට දෙව්රම් වෙහෙරට යන මහ පිරිසක් දකින්න ලැබුණ. බුදු සමිඳු තම ඇසින් දැක නොතිබුණත්, පෙර පින් තිබූ මහාකාලටත් හිතුණ පන්සල් යන්න. ටික වේලාවකට ගැල් සාත්තුව බලාගැනීම මල්ලිට පවරල ඔහු පිරිසට එකතු වුණා. පන්සලට ගිහින් ශ්‍රාවක පිරිස කෙළවරේ ඉඳගත්ත.

පරසිත් දකිනා නුවණ ඇති මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඔහුගේ සිත හඳුනා ගත්ත. ඔහුගේ සැනසීම ඉලක්ක කරගෙන පිළිවෙළ කතාවෙන් ධර්ම දේශනාව සිදු කළා. පංචකාම ගුණික තත්ත්වයන් එක්ක බැඳී සිටිමින් මිනිසා රැස් කරන දේ මෙන්ම ඇසුරු කරන දේ ගැනත් ලස්සනයි. මිහිරියි. රසයි, සුවඳයි කියන සුබ සඤ්ඤාවෙන් ඒවා ගැනීම නිසාම දුක සෝක හටගන්න හැටිත් ඒ දේශනාවෙන් කියා දුන්න.මහාකාලට නිස්සරණයේ වැදගත්කම අවබෝධ වුණේ සංසාර ගත ජීවිතයේ අනතුර දැකීමත් එක්ක. ධර්ම දේශනය අවසන් වුණා. පිරිස පිටවී ගියා. මහාකාල බුදුරජාණන් වහන්සේ වෙත සමීප වුණා.

“ස්වාමීනි, මා පැවිදි කරන්න.”

“මහාකාල, ඔබ පැවිදි කරන්නම්. ඊට පෙර දැන්විය යුතු කෙනෙක් සිටීනම් දන්වා එන්න.”

“එහෙමයි, දෙව්රම් විහාරෙට, නුදුරින් මගේ මළණුවන් රැඳී සිටිනව. මා ඔහුට දන්වා එන්නම්” බුදු පා පියුම් වැඳ ඔහු පිටත්ව ගියා. මහාකාල ගත් තීරණයට මළණුවන් අකැමැති වූවත් වැඩිමහල් සොහොයුරාගෙ අදහස වෙනස් කරන්න ඔහුට බැරි වුණා. ගැල් සමග වස්තුව රැගෙන ගමට යාම මල්ලිට පැවරුණා. අවබෝධයෙන් හා සැහැල්ලුවෙන් දෙව්රමට ගිය මහාකාලට කහවතක් පෙරවුණා.

එහෙත් චූලකාලට තම සොහොයුරා හැරදමා ගෙදර යාමට සිත ඉඩ දුන්නෙ නෑ. ‘මමත් මහණ වෙනව. අයියගෙ ළඟම ඉඳල කොහොමහරි සිවුරු හරවගෙන ගෙදර එක්කරගෙන යනව. චූලකාල පැවිදි වුණේ ඒ අදහසින්.

කෙටි කලක් ගත වුණා. මහාකාල ස්වාමීන් වහන්සේ ග්‍රන්ථ ධුරය වඩමින් සිටීමට වඩා හුදෙකලාව ගෙවන පූර්ණකාලීන විදසුන් දිවිය අගේ කළා. බුදුරජාණන් වහන්සේගෙන් රහත් භාවය දක්වාම කමටහන් අසාගෙන ‘සොහොනෙහිම විසීම’ නම් වූ සෝසානික ධුතාංගය සමාදන් වුණා. සියල්ලන් නිදිගත් පසුව සොහොනට ගියා. පිබිදෙන්නට පෙර එතැනින් පිට වුණා.

කාලී කියන සොහොන් පාලිකාව තමයි මෙහි මිනී පුලුස්සන වගකීම දරන්නෙ. රාත්‍රියේ සොහොනට ඇවිත් බවුන් වඩන මහාකාල ස්වාමීන් වහන්සේ හමුවීමට රැක සිටි ඇය උන්වහන්සේ හමුවුණා. සොහොන් පාලිකාවක් ලෙස සොසානික ධුතාංගය පිළිබඳ අවබෝධයක් ඇති ඇය මෙහෙම කීව.

“ස්වාමිනී, ඔබ වහන්සේගෙ උතුම් අරමුණ වෙනුවෙන් සොහොනේ රාත්‍රී ගත කිරීම වරදක් නැහැ. ඒත් අවංකව වීර්යයෙන් ඒ සඳහා කටයුතු කරන්න. මේ සොහොන්වල හැංගෙන්න හොරු, මංකොල්ලකරුවන් වැනි අය එන්න පුළුවන්. ඔවුන් සතු සොරබඩු කිසිවක් මෙහි දමා ගොස් තිබී අයිතිකරුවන්ට හමු වුනොත් ඔබ වහන්සේත් සැක කටයුතු කෙනෙක් වේවි. ඒ නිසා පන්සලේ ප්‍රධාන ස්වාමීන් වහන්සේටත් සොහොන් පල්ලන්ටත් ග්‍රාමභෝජකටත් ඒ බව දන්වන්න. එය ඔබ වහන්සේගෙ ආරක්ෂාවට පිණිසයි”

“හොඳයි ගණිය, ඔබත් මට එක් උදව්වක් කරන්න. පිලිස්සීමට පැවරෙන මළ සිරුරු අතර රූපාරම්මණයක් ගත හැකි සිරුරක් දුටු විට ඒ බව මට දැනුම් දෙන්න”

දවසක් ලස්සන තරුණ කාන්තාවක් හදිසියේ මියගොස් තිබුණා. එදිනම මළ සිරුර පිලිස්සීම සඳහා සොහොන් පාලිකාවට භාර වුණා. නිදා සිටින සුන්දර යුවතියක් වැනි ඒ මළ සිරුර විදසුන් වඩන උතුමෙකුට රූප අරමුණක් බව තේරුම් ගත් ඇය මහාකාල හිමියන්ට ඒ බව දැනුම් දුන්න. උන්වහන්සේ සොහොනට වැඩම කළා. තුරුණු සුන්දර සිනිඳු යුවතියකගේ ගත අබියස කාමාවචර සිත් ඇත්තන්ට සුබ අරමුණු ගෙන දුන්නත්, එළඹ සිටි සිහියෙන් යුතුව යථා තත්ත්වය දැකීමේ වුවමනාව ඇතිව වීර්යය වඩන යෝගාවචර භික්ෂුවකට තත්වාවබෝධය පිණිස එය අසුබ අරමුණක් වුණා. ටිකෙන් ටික පිලිස්සෙන සිරුරෙන් ගිලිහී යන සුන්දරත්වය අබියස අනිත්‍යයේ යථාර්ථය දකින්න උන්වහන්සේට පුළුවන් වුණා. දේහය පිලිස්සී අවසන් වීමටත් පෙර උන්වහන්සේ අරහත්වයට පත් වුණා.

මහ සඟුන් පිරිවරා චාරිකාවෙහි වඩින බුදුරජාණන් වහන්සේ සේතව්‍ය නුවර සිංසපා වනයට ඇතුළු වුණා. චූලකාල පැවිදි වන්නට පෙර සිටි බිරින්දෑවරු හතර දෙනා මේ ආරංචියෙන් සතුටට පත්වෙල තම ස්වාමියා ගෙදර ගෙන්වාගන්න උපායක් ගැන සාකච්ඡා කළා. පහුවදා ගෙදර දානයක් සූදානම් කරල බුදුපාමොක් මහා සංඝයාට දානයට ආරාධනා කළා. උන්වහන්සේ ආරාධනාව පිළිගත්ත. ආගන්තුක නිවසක දානයක් සූදානම් කරන විට එක් හිමිනමක් වේලාසන වැඩම කරල, ආසන පිළියෙල කිරීමට උපදෙස් දීම සිරිතක්. මහාකාල රහතන් වහන්සේගෙ උපදෙස් මත චූලකාල හිමියන් තමයි ඒ සඳහා වැඩම කළේ.

නිවසට වැඩම කළ උන්වහන්සේට ඒ කාර්යය කරන්න ගිහි කළ සිටි බිරින්ඳෑවරු දෙදෙනා ඉඩ දුන්නෙ නෑ. කෙළි කවට කියමින් ආසන වෙනස් කරමින් සිවුරෙනුත් අදින්න ගත්ත. ‘කවුද කිව්වෙ මහණ වෙන්න. ඇයි අපි අමතක වුණාද? මේ සිවුර ලස්සනද ගිහි ඇඳුමට වඩා’ කියමින් සිවුර ගලවල සුදු ඇඳුම් ඇන්දුව. මල් වට්ටියක් හිසේ තියල කිව්ව ‘අපි ආසන හදන්නං ගිහිල්ල බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන එන්න’ කියල. පැවිදි දිවියේ සාරඵල නොලද ඒ භික්ෂුවට සිවුරු හැරයාම ඒ තරම් ලජ්ජාවට කරුණක් වුණේ නෑ. කිව්ව විදියටම ගිහිල්ල බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වැඩම කරගෙන ආව. දානය පිළිගැන්වීමේ කටයුතු හොඳින් සිදු වුණා.

මහාකාලට ගිහි කාලෙ බිරින්දෑවරුන් අට දෙනෙක් හිටිය. ඒ අය කල්පනා කළා අපිත් අපේ මනුස්සයව මේ විදියට නතර කරගන්න ඕන කියල. ඊළඟ දවසටත් දානයට ආරාධනා කළේ ඒ නිසා. එදා ආසන පිළියෙල කරන්න ආවෙ වෙනත් භික්ෂුවක්. දානෙන් පස්සෙ ඒ අය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිය ස්වාමීනි, ඔබ වහන්සේලා වඩින්න. මහාකාල හාමුදුරුවන්ට බණ ටිකක් කියල එන්න අවසර දෙන්න කියල. ඒ ඉල්ලීම පිළිගත් බුදුරජාණන් වහන්සේ මහාකාල රහතන් වහන්සේ නතර කරල සෙසු සංඝයා පිරිවරාගෙන ‘සිංසපා’ වනයටම වැඩම කළා.

කලින් දවසෙ චූලකාලට සිදුවූ දේ දැන දැනත් බුදුරජාණන් වහන්සේ මහාකාල හිමියන් තනියම ගෙදර නතර කරල ආවේ ඇයි? කියල අනෙක් ස්වාමීන් වහන්සේල සාකච්ඡා කරන්න පටන් ගත්ත. ඒ බව දැනගත් බුදුරජාණන් වහන්සේ එය පැහැදිලි කර දුන්නෙ මෙහෙමයි.

“මහණෙනි, අරමුණු සුබ ලෙසින්ම බලන, ඉන්ද්‍රිය දමනය නොවූ, ආහාරයේ පමණ නොදත්, වීර්ය නැති මිනිසා මරුවගෙ වසඟයටමයි දුවන්නෙ. එයා පුංචි සුළඟටත් පෙරළෙන දුබල ගහක් වගේ. ඒත් අරමුණු අසුබ ලෙස දකින, ඉන්ද්‍රිය දමනය කළ, ආහාරයේ පමණ දන්න, සැදැහැති, වීර්යවන්ත පුද්ගලයා මරු වසඟයෙන් බේරෙනව. ඔහු හරියට ශෛලමය පර්වතයක් වගේ”


දම්පද මිහිර 5 - කලහයෙන් බිහිසුණු වැනසෙති ඔවුහු නොදියුණු