Print this Article


සියල්ලටම මූලික වන මනෝ විඤ්ඤාණය

සියල්ලටම මූලික වන මනෝ විඤ්ඤාණය


වල්පොල ගෝතම හිමි

තථාගතයන් වහන්සේ විසින් වදාළ ජීවිතාවබෝධය පිණිස පවතින කාරණාවක් අද අප සාකච්ඡා කිරීමට සිතුවා. උන්වහන්සේ තමා තුළින් අවබෝධ කළහැකි ධර්මයක් දේශනා කළ බව අප දන්නවා. ඒ ධර්මය ඕපනයිකයි. තමා තුළින්මයි දකින්න තිබෙන්නේ. ඒ වගේම මේ ධර්මය ඒහිපස්සිකයි. එන්න, දකින්න, කියන්න පුලුවන් ධර්මයක්. එනිසා අප මේ ධර්මය අපේ ජීවිත අවබෝධය පිණිසම යි පරිහරණයට ගතයුත්තේ. එසේ නැතිව පොත්පත්වල පරිහරණයට හෝ තමාගේ දහම් දැනුම වැඩිදියුණු කර ගැනීමට පමණක් සීමා වියයුතු ධර්මයක් නොවේ.

ඒ සඳහා ඔබට උපමාවක් කියන්නම්. ඔබ දන්නවා කණ්ණාඩි දෙකක් පළඳින කෙනෙක් ඒ කණ්ණාඩි දෙක තමාගේ ඇස් දෙක ඉදිරියට ගෙන ඇස් දෙකේ පළඳිනවා. අප යම් දෙයක් ඇස් ඉදිරියට ගත්විට ඒ ඇස් ඉදිරියට ගත්ත දේ දිහා බලනවා. නමුත් කණ්ණාඩි දෙක ඇස් ඉදිරියට ගත්තා කියා අප කණ්ණාඩිය දෙස බල බලා ඉන්නේ නැහැ. අප කණ්ණාඩි දෙස නොබලා කණ්ණාඩිය තුළින් ලෝකය දෙස බලනවා. මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අප කළයුත්තේ ධර්මය දිහා බලා නොසිට ධර්මය තුළින් ලෝකය දෙස බැලීමයි.

බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ දේශනා වගේම ශ්‍රාවකයන් වහන්සේ විසින් වදාළ දේශනාත් ඔබට අසන්නට ලැබෙනවා. ඒ වගේම පසුකාලීනව රහතන් වහන්සේලා විසින් වදාළ කාරණා අප සාකච්ඡා කරනවා, විමසනවා, ප්‍රයෝජනයට ගන්නවා. ඔබට අද කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකත්වය තුළින් අරහත්වයට පත් වූ නාගසේන මහරහතන් වහන්සේ විසින් වදාළ කාරණාවක් පිළිබඳව යි.

මේ කාරණා මතුකළේ මිළිඳු රජතුමා යි. අප කවුරුත් ගෞරව කරන “මිළිඳු ප්‍රශ්නය” ග්‍රන්ථයේ තමා මෙය ඇතුළත් වෙන්නේ. නාගසේන මහරහතන් වහන්සේ පුදුමාකාර උපමා සහිතව කාරණාවක් තේරුම් කර දෙන්න දක්ෂ කෙනෙක්. එනිසා උන්වහන්සේ සමඟ ධර්මය සාකච්ඡා කළ මිළිඳු රජතුමාත් එය අසමින් ඒ ප්‍රශ්නවලට අපූරු උපමා සහිතව විස්තර ලබා ගත්තා. ඒ සාකච්ඡාවට ඇතුළත් වූ “විඤ්ඤාණය” පිළිබඳවයි අද අප සාකච්ඡා කරන්නේ.

විඤ්ඤාණය කියන්නේ යම් දෙයක් විශේෂ කොට දැන ගැනීමයි. විඤ්ඤාණය මේ ජීවිතය තුළ හට ගන්නවා. ඇසින් රූප බලනවා. ඇසින් රූප දැන ගැනීමට කියනවා චක්ඛු විඤ්ඤාණය කියා. කනෙන් ශබ්ද දැනගන්නවා. ඒක සෝත විඤ්ඤාණය යි. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, ඒක ඝාණ විඤ්ඤාණය යි. දිවෙන් රස දැනගන්නවා, එය ජිව්හා විඤ්ඤාණය යි. කයෙන් පහස දැනගන්නවා, එය කාය විඤ්ඤාණය යි. මනසින් අරමුණු දැනගන්නවා, එය මනෝ විඤ්ඤාණය යි. මේ කියන විඤ්ඤාණ සියල්ලම අපගේ ජීවිතය තුළ හැම මොහොතකම ඇසුරු කරන හැම මොහොතකම හට ගන්නා දෙයක්. ඔබ මේ ගෙවන සෑම තත්පරයක් තුළම ඇසෙන් රූපයක් බැලුවා. නැත්නම් මේ තත්පරය තුළ ඔබ ශබ්දයක් අහනවා. නැත්නම් මේ තත්පරය තුළ ගඳ සුවඳ විඳිනවා, නැත්නම් රසයක් විිඳිනවා, නැත්නම් පහසක් ලබනවා.එසේ නැත්නම් මේ තත්පරය තුළ යමක් සිතනවා. එහෙනම් අප ජීවත්වෙනවා කියන්නේ හැම මොහොතකම ඇසෙන යමක් දැන ගැනීම හෝ කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මනසින් යමක් දැන ගැනීම යි. ඒ දැන ගැනීම නම් හැම මොහොතේම හට ගන්නේ ජීවිතයේ හැම තිස්සේ ම සකස් වෙන්නේ විඤ්ඤාණය යි.

ඇසෙන් රූපයක් දැක ගන්නවිට ඇසේ විඤ්ඤාණය ඇතිවෙනවා. නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රජතුමාගෙන් අසනවා ස්වාමිනි, යම්කිසි තැනක චක්ඛු විඤ්ඤාණය හට ගනිද්දී මනෝ විඤ්ඤාණයත් එතැන හට ගන්නවා ද? අනික් ආයතන ගැනත් එසේම ඇසුවා. මේක හොඳින් තේරුම් ගන්න. අප යමක් ඇසින් දැක්කා. ඒ දැකගත්ත දේ පිළිබඳව සිත සිතා ඉන්නවා. උදාහරණයකට සිතන්න, අප පත්තරයක් බලනවා. එහි තිබෙනවා සියයට පනහකින් ගෑස් මිල බහිනවා කියා. ඒ ප්‍රවෘත්තිය දැක්කම ඔබේ සිතට යම් සතුටක් ඇතිවෙනවා. ඒ සමඟම ඔබේ සිතට ඒ සම්බන්ධව නොයෙක් සිතිවිලි එනවා. කොහොමද මෙතරම් ලොකු ගානක් අඩු කරන්නේ. ඇයි මෙතරම් අඩු කළේ ආදී සිතිවිලි සිතට එනවා. ඒ සිතුන දේ පත්තරේ තිබුණේ නැහැ. පත්තරේ තිබුණ දේ ඇසින් දැක්කා. දැනගත්තා. ඒ දැනගත් දේ මුල් කරගෙන මනසින් තව තව දේ දැන ගන්නවා. මනසින් දැනගත්ත දේට කියනවා ‘මනෝ විඤ්ඤාණය’. ඇසෙන් දැනගත්ත දේට කියනවා, ඇසේ විඤ්ඤාණය, කියල. අර පත්තරේ ප්‍රවෘත්තිය කියවන මොහොතේ ඔබ තුළ චක්ඛු විඤ්ඤාණය මනෝ විඤ්ඤාණයත් කියන විඤ්ඤාණ දෙකම හට ගත්තා. ඇසෙනුත් දැනගත්තා එය මුල් කරගෙන තව දේවල් මනසිනුත් දැන ගත්තා. මේ ආකාරයට හැම විඤ්ඤාණයක් සමඟම මනෝ විඤ්ඤාණයක් හට ගන්නවා කියන දේ ඔබට පැහැදිලියි. කන ගැන සිතුවොත් කෙනෙක් ඔබට ප්‍රශංසා කළා. ඒ ප්‍රශංසා කළ දේ මුල් කරගෙන ඔබ දිගින් දිගට මනසින් සිතනවා. සමහර විට ඔබට කෙනෙක් දොස් කියනවා. ඒ බැන්න දේ මුල් කරගෙනත් මනසින් සිත සිතා සිටිනවා. බැනපු ශබ්දය දැන ගත්තා. ඒ බැනපු ශබ්දය කනින් දැනගත් දේ සෝත විඤ්ඤාණය යි. ඒ සෝත විඤ්ඤාණය හට ගත්තෙත් ඒ මොහොත තුළ ඔබ මනසිනුත් තව තව දේ දැන ගත්තා. පිරිස මැද මට බැන්නා, මම වරදක් කරල නොවේ ආදී ඔබගේ සිතට බොහෝ දේ බැනපු ශබ්දය මුල්කරගෙන එනවා. ඒවා ඔබට කනින් ඇසුණේ නැහැ. එහෙනම් කනින් දැන ගත්තේ ස්වල්ප දෙයයි. නමුත් කනේ විඤා්ඤාණය සමඟ මනසේ රාශියක් දේ දැන ගත්තේ මනෝ විඤ්ඤාණය යි. එහෙනම් පැහැදිලියි චක්ඛු විඤ්ඤාණය හටගත් තැන මනෝ විඤ්ඤාණය හට ගන්නවා. සෝත විඤ්ඤාණය හටගත් තැන මනෝ විඤ්ඤාණය හට ගන්නවා. ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය හටගන්නා තැනත්, මනෝ විඤ්ඤාණය හට ගන්නවා. මනෝ විඤ්ඤාණය මේ සෑම දෙයක් සමඟම හට ගන්නවා.

නාගසේන ස්වාමින් වහන්සේ මේ දෙකම එකට හට ගන්නා බව වදාළ විට උන්වහන්සේගෙන් මිළිඳු රජතුමා අසනවා ස්වාමිනි, එතැනදී චක්ඛු විඤ්ඤාණය හටගත්තට පස්සේද මනෝ විඤ්ඤාණය හට ගන්නේ? නැත්නම් මනෝ විඤ්ඤාණය හට ගත්තට පස්සේද චක්ඛු විඤ්ඤාණය හට ගන්නේ? මේ විඤ්ඤාණයන් ලෙස කථා කරපු මේ ප්‍රශ්නයේදී කවුද ඉස්සර වෙන්නේ කියා ඇසුවා. නාගසේන මහරහතන් වහන්සේ වදාළා, රජතුමනි, චක්ඛු විඤ්ඤාණය මුලින් හට ගන්නවා, මනෝ විඤ්ඤාණය ඊටපස්සේ හට ගන්නවා කිව්වා. රජතුමා නැවත අසනවා ස්වාමිනි, එහෙම වෙන්නේ මේ දෙදෙනා අතරේ කථාබහක් ඇවිල්ලා ද? අණදීමක් තිබෙනවා ද? කියා. ඒ කියන්නේ චක්ඛු විඤ්ඤාණය මනෝ විඤ්ඤාණයට අණක් දෙනවා මමයි මුලින් හට ගත්තේ කියා. එසේ නැත්නම් මනෝ විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණයට අණක් දෙනවා මම පස්සේ එන්නම් ඔබ මුලින් හට ගන්න කියලා. ඒ දෙන්නාට දෙන්නා අතරේ කෙනෙක් අණ දීමක් කරනවාද?

නාගසේනයන් වහන්සේ වදාළා රජතුමනි, චක්ඛු විඤ්ඤාණය මනෝ විඤ්ඤාණයට අණක් දීලත් නැහැ. මනෝ විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණයට අණක් දීලත් නැහැ ඔබ මුලින් එන්න මම පස්සේ එන්නම් කියා. ඒ දෙන්නාට දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් අණ දීමක් කථා බහක් හුවමාරුවක් නැහැ. ඒ දෙන්නා ඒ ආකාරයට සකස් වෙන්නේ හේතුවක් නිසා. මොකක්ද මේ හේතුව? කුමක් නිසාද එහෙම සිදුවෙන්නේ කියා උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ විස්තර කරනවා ක්‍රම හතරකට.

රජතුමනි, ඒ ක්‍රම හතර 1) මනෝ විඤ්ඤාණය නිරන්තරයෙන්ම චක්ඛු විඤ්ඤාණයට නැඹුරුවෙලා තිබෙන්නේ. 2) මනෝ විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණයේ දොරටුවක් වෙලා තිබෙන්නේ, 3) මනෝ විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණයේ පුරුදු වෙලා තිබෙන්නේ, 4) මනෝ විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාාණය සමඟ එකට හැසිරිලා තිබෙන්නේ. මේ හතර නිසා තමා මේක මෙසේ වෙන්නේ. අප ඇසින් රූපයක් දැක්කාම ඒ දැක්ක දේ ගැන හිත හිත යන්නේ ඇසින් නොවේ. දෙයක් ඇසුණාම ඇසුණ දේ ගැන හිතන්නේ කනින් නොවේ. නාසයට දැනුන දේ ගැන හිතන්නේ නාසයෙන් නොවේ. මේ සියල්ල කරන්නේ මනසින්. දිවට දැනුන රසයක් නම්, ඒ කඩේ කෑම හොඳයි. ඒ කෑම තව දවසක කමු කියා හිතන්නේ දිවෙන් නොවේ. දිවට දැනුන රසය දිවේ විඤ්ඤාණය යි. ඒ රසය මුල් කරමින් ඒ රසය හිතමින් යාම මනසේ විඤ්ඤාණය යි. එහෙනම් මේ දෙක එකටම හට ගන්නවා. එහෙම හටගන්නේ අර කාරණ හතර නිසා. එය හට ගන්නේ දෙන්නට දෙන්නා අණක් දීලා නොවේ. හැම තිස්සේම මනෝ විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණය හෝ සෝත විඤ්ඤාණය හෝ ඝාණ විඤ්ඤාණය හෝ, ජිව්හා විඤ්ඤාණය හෝ කාය විඤ්ඤාණයට හෝ නැඹුරුවෙලා තිබෙනවා. පුරුදුවෙලා තිබෙනවා. එකට හැසිරිලා තිබෙනවා. මේ නිසා මේ ජීවිතයේ ක්‍රියාවලිය මෙහෙම පවත්වාගෙන යද්දී අප බොහෝ විට අවශ්‍යදේත් අනවශ්‍ය දේත් පවත්වාගෙන යනවා. ඔබ ධර්මයක් ශ්‍රවණය කරන විට එය දැනගන්නේ සෝත විඤ්ඤාණය තුළින්. සෝත විඤ්ඤාණය ඔබ දැන ගත් ධර්ම කාරණා එතැනින් අවසන් වෙනවා. කනෙන් නැවත නැවත දැනගන්න බැහැ. එය නැවත නැවත දැන ගැනීමට නැවත අසන්න ඕන. කොතරම් ඇසුවත් එය මතකයට ගන්න පුලුවන් වෙන්නේ මනසින්. එසේ නම් සෝත විඤ්ඤාණය මනෝ විඤ්ඤාණයට නැඹුරුවෙලා තිබෙන නිසා මනසිනුත් දැන ගන්න නිසා තමා ඒ ධර්මය මතක හිටියේ.

ඉතිරි කොටස බිනර අව අටවක පෝදා (සැප්තැම්බර් 16) පත්‍රයේ.