Print this Article


රෝග නිවාරණය පරිසර පාරිශුද්ධත්වය හා බුදුවදන

රෝග නිවාරණය පරිසර පාරිශුද්ධත්වය හා බුදුවදන

සිත හා බැඳෙන දිවිය වඩාත් ආශ්වාදනයට යොමුවන්නේ ගෝචර වන අරමුණුවල ස්වභාවය මතය. පඤ්ච ආරම්මන හා පරිසරය අතර දුරස්ත බවක් නොපෙනේ. ඉන්ද්‍රියනට ගෝචරවන ආරම්මන මත සිත තුළ රාගික හා විරාගික හැඟීම් ජනනය වීමත් ක්‍රියා කිරීමත් මිනිසාගේ පොදු ලක්ෂණයෝ වෙති. කැමැති අරමුණු ලබා ගැනීමටත් අකැමැති අරමුණු දුරලීමටත් නිරතුරුව අරගලයක මිනිසා යෙදේ. ඒ නිසා මිනිසා හා පරිසරය අතර ඇති බැඳීම සමීපවන අතර පරිසරයෙන් තොරව මිනිසාගේ පැවැත්ම, ආස්වාදනය හෝ වීරාගය මෙන්ම නිරෝගීකම ගැන කතා කිරීමට ඇති ඉඩ සීමිත බව ද පැහැදිලි ය.

මිනිසාට ලෝකයේ ලැබෙන උතුම් ලාභය නිරෝගී බව යැයි දේශනා කළ බුදුරදුන් නීරෝගී බව නිරතුරුව රැක ගැනීම පිණිස අපගේ පැවැත්ම කෙසේ සකස් කර ගත යුතුද යන කරුණ සිය දේශනා මඟින් ලෝකයාට අවධාරණය කළ සේක. එබැවින් උන්වහන්සේ “මහාභිසක්ක” (මහා වෛද්‍යවරයා) යන අර්ථාන්විත විරුදනාමයෙන් ද උන්වහන්සේ හඳුන්වා දෙයි. ව්‍යාධිය වනාහි සත්වයා කෙරෙහි එළඹෙන දුක්ඛ මූලයක් බව පළමුවැනි ධර්ම දේශනාවේ දී ම බුදුරදුන් විසින් පැහැදිලි කළහ. ජීවිතය රෝගයනට ආකරයක් බඳුවේ යැයි දේශනා කරමින් ජීවිතය හා රෝගය අතර ඇති සමීප බව ලෝකයාට වටහා දුන් සේක. දිවියක පැවැත්මට අවශ්‍ය ප්‍රධාන ප්‍රත්‍ය හතර අතරට බෙහෙත් පරිෂ්කාරය ඇතුළත් කරමින් නීරෝගී බව රැක ගැනීම ගැන විශේෂ අවධානය නිරතුරුව තිබිය යුතු කරුණක් බව ද අනාවරණය කළ සේක. සෞඛ්‍ය රැක ගැනීම හා ඊට අදාළ දේශනා බොහෝ විට භික්ෂූන් වෙත දේශනා කළ බව විනය පිටකයෙන් පැහැදිලිය. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ සමීපයේ වැඩ විසූ ශ්‍රාවක පිරිස වූයේ භික්ෂු පිරිස වීමත් උන්වහන්සේලා හුදකලාව ජීවත්වීමත් මීට පසුබිම් විය. සිය සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීම හා කායික ස්ථතිකත්වය නිරතුරුව රැක ගැනීම සඳහා කුමක් කළ යුතුද යන්න විනය තුළ ප්‍රඥප්තීන් ලෙසින්ම පෙන්වා දී තිබේ. භික්ෂු පිරිස් මුල් කොට එම දේශනාවන් පවත්වා ඇති මුත් සියලු මානව වර්ගයාගේ නීරෝගී තත්ත්වයට හේතුවන පොදු ක්‍රමවේදයක් එහි අන්තර්ගත බව කිව යුතුව ඇත.

රෝග හා රෝග ප්‍රතිකාර ක්‍රම දැන ගැනීම මෙන්ම රෝග උද්පාදනයට බඳුන්වන පාරිසරිකත්වයේ සැකැස්ම හා පවිත්‍රත්වය ගැන සැලකිලිමත්වීම ද රෝග නිවාරණයේ දී අතිශයින් වැදගත් වේ. තමා ජීවත්වන පරිසරය නිසි කළමනාකාරීත්වයක් යටතේ නොපවත් වන්නේ නම් එම පසුබිම රෝගකාරකයනට මෙන්ම රෝගවාහකයනට සුදුසු භූමියක්වීම නොවැළැක්විය හැකි ය. තමා ජීවත්වන පරිසරයේ පිරිසුදු බව රෝග නිවාරණයට උපකාරීවන අතර නීරෝගි දිවියකට අදාළ පසුබිම ද ඒ තුළින් නිර්මාණය වේ.

තමා ජීවත්වන පරිසර රටාව පවත්වාගෙන යා යුතුවනුයේ කෙසේ ද යන්න බුදුරදුන් විසින් පැහැදිලිව දේශනා කොට ඇත. එසේම පරිසරය සංරක්ෂණය කර ගත යුතුය යන මූල ධර්මය මත බුද්ධ අනුශාසනය පිහිටා ඇති බව පනවා ඇති විනය ශික්ෂාපදවලින් මෙන්ම දේශනාවන් ගෙන් ද එළිවන කරුණකි.

පරිසරය තුළ ඇති අගනාම සම්පත ජලය වේ. නීරොගී දිවියක් උදෙසා පිරිසුදු ජලය හැකි පමණ පානය කිරීම අවශ්‍ය කරුණකි. ලෝකයේ සුවසෙත සඳහා ජලය අත්‍යවශ්‍ය සම්පතක් වන බැවින් එය අපවිත්‍ර කිරීම විනය විරෝධී ක්‍රියාවක් ලෙසින් බුදුදහමින් අවධාරිතය. අපවිත්‍ර ජලය රෝග කාරකයනට තෝතැන්නකි. එමෙන්ම රෝග වාහකයෙක් බවට ද ජලය පත් වේ. එනිසා ජල පරිභෝජනය කෙසේ කළ යුතු ද ජලයේ පවිත්‍රත්වය කෙසේ තබා ගත යුතු ද යන්න පිළිබඳව බුදුරදුන් විසින් කරුණු ගෙන හැර දක්වා තිබේ. පොළොවේ වෙසෙන සියලු සත්වයෝ වැස්ස නිසාම ජීවත් වෙති. (වුට්ඨිං භුතුපජීවන්ති යෙ පාණා පඨවිංසිතා ති) එසේ නම් වැස්සෙන් ගම්‍ය කරන්නේ ජලයයි. ජලය හා සත්වයා අතර ඇති සම්බන්ධය බුදුරදුන් මෙහි දී ඉතාමත් දැඩිව අවධාරණය කොට ඇති බව පැහැදිලි ය. දිනක් ජබ්බග්ගි භික්ෂූන් ජලයට කෙළ ගැසීම මළ මුත්‍රා කිරීමාදිය කළ බව දත් බුදුරජාණන් වහන්සේ එම තත්ත්වය වැළැක්වීම අරමුණු කොට විනය ශික්ෂාපදයක් ද පැන වූහ. නොගිලන්ව ජලයෙහි මළ මුත්‍රා හෝ කෙළ ගැසීම හෝ නොකරන්නෙමියි හික්මිය යුතුය (න උදකෙ අගිලානො උච්චාරං වා පස්සාවා ඛෙලං වා කරිස්සාප ති සික්ඛා කරණියාති) යන්න එම ශික්ෂාපදය වේ. එමෙන්ම භික්ෂූන් ආහාර අනුභවයෙන් පසු ඉතිරි ආහාර ජීවීන් නැති ජලයේ දැමිය යුතු බව කියයි. (අප්පානකෙ උදකෙ ඔපිලාපෙසී) කසිභාරද්වාජ බ්‍රාහ්මණයාට ද මෙම උපදේශය ම දී ඇත. මින් අදහස් කරනුයේ ජලයේ ඇති සත්වයනට ද ඇතැම් විට හානියක් වේ නම් එම ආහාර සතුන් ඇති ජලයට නොදැමිය යුතුය යන්නයි.

බත්තුළු සහිත පාත්‍රය සේදූ ජලය ඇතුළ් ගමෙහි හෝ ඇතුළ් ගෙහි නොදැමිය යුතු යැයි ද ශික්ෂාපදයක් පනවමින් උන්වහන්සේ විසින් ජල දූෂණය හා පරිසර දූෂණය අවම කරලීමට කටයුතු කර තිබේ. (යොපන භික්ෂු පානං සප්පානකං උදකං තිණඩො මත්තිකං වා සිඤ්චෙය්‍ය පාවිත්තියං) ජලය අපිරිසුදු කිරීම සත්වයන් පවා අනුමත නොකළ ඝසත හා තීර්ථ ජාතකවලින් ද එළි වේ. ජලය සැමට අයත් දායාදයකි. සැමට එම ජලය භුක්ති විඳීමේ අයිතියක් ඇති බව බුදුරදුන් විසින් පෙන්වා දෙනු ලැබීය. සිහිල් දිය පිරුණ පොකුණක් රකුසන් අරක්ගත් විට එය මසුරාගේ ධනය මෙනැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මසුරාගේ ධනයෙන් අන් අයට යහපතක් ඇති නොවන්නේ යම් සේ ද එමෙන්ම රකුසන්වන් පුද්ගලයන් සතු වූ විලේ ජලය ද අන් අයට ප්‍රයෝජන නැති බවය. සද්පුරුෂයන් ධනය සැමගේ සුබ සිද්ධියට වැය කරන්නේ යම් සේ ද විලේ ජලය සැමගේ සුබසිද්ධිය සඳහා ම විය යුතුය යන්න පෙන්නා දෙමින් ජලය පිළිබඳ සුබවාදී ආකල්පයක් ඇති කරලීමට උන්වහන්සේ ක්‍රියා කළ සේක.

තමා ජීවත්වන අවට පරිසරය පිරිසුදු බව නිතර ආරක්ෂා කළ යුතු බවට බුදුරදුන් විසින් උපදේශයන් ලබා දී ඇත. හිතකර ස්වභාවික පරිසරය ගත ද සිත ද සැහැල්ලු කරයි. විවිධ තුරුලතාවන්ගෙන් ගැවසිගත් ශාන්ත නිසසල පරිසරය හා මුසු වූ පිරිසුදු වාතය සැම විටෙකම කායික මානසික රෝගයනට ඔසුවක් බව නොකිවමනාය. සිය අසපුවේ හෝ නිවස්නයේ පිරිසුදු බව රැක ගැනීම අරභයා මකුළුදැල් කඩා දූවිලි පිස, ගෙබිම ඇති දූවිලි ඉවත් කිරීම පිණිස වතුර ඉස එහි පවිත්‍රත්වය රැක ගත යුතුවන අතර මෙට්ට කොට්ට ඇතිරිලි ආදිය වේලා දුවිලි ඉවත් කළ යුතු බව ද එම ඉවත් කිරීම ද ජලය ඇති ස්ථානවල නොකළ යුතු බව ද දොර ජනෙල් ඇර තබන ආකාරයත්, උපස්ථාන ශාලා, ගබඩා ශාලා, ගිනිහල් ගෙවල්, වැසිකිළි කැසිකිළි පිරිසුදු කරගත යුතු ආකාරයත් පැහැදිලිව චුල්ලවග්ගයේ දක්වා තිබේ. මේ මඟින් ජීවත්වන පරිසරයේ පවිත්‍ර බවත් ඒ තුළින් ලැබෙන නීරෝගී බවත් ජීවිත පැවැත්මට අත්‍යවශ්‍ය බව මෙම ප්‍රඥප්ති තුළින් ඉස්මතු කෙරේ. සුව දිවියක් සකස් කරගන්නා ආකාරය ගැන උපදේශයන් රැසක් මහාවග්ගපාලියේ සේනාසනාස්ඛන්ධයෙන් ලබාදෙයි. ඉවතලද දෑ ප්‍රතිචක්‍රිකරණය සිය දිවියට හානියක් නොවන පරිද්දෙන් හා සුවසෙත සැලසෙන අයුරින් කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ පළමු සංකල්පය ද අන්තර්ගත වනුයේ බුදුදහම තුළ ය.

එමෙන් ම සේඛියාවලදී ද සිය ශාරීරික පාරිශුද්ධත්වය රැක ගත යුත්තේ කෙසේද යන්න උන්වහන්සේ පෙන්වා දෙති. නිදසුන් ලෙසින් දත් මැදීම කෙසේ කළ යුතු ද ඉන් ශරීර සෞඛ්‍ය රැක ගැනීමට ලැබෙන ප්‍රතිලාභ කවරේද යන්න දක්වා තිබීම මුඛ ශුද්ධත්වයට හා මුඛය ආශි‍්‍රත රෝග නිවාරණයට මහඟු උපදේශයක් වන්නේ ය. එනම් දැහැටි කා දත් මැදීම ගුණදායකය, මුඛයේ දුර්ගන්ධය නැති වේ. රසනහර පිරිසුදු වේ. පිත හා සෙම නිසා ආහාර දිරවීම වැළකීම අඩුවීම මෙමඟින් පාලනය වන අතර ආහාර රුචිය වැඩි කෙරේ ආදි වශයෙන් එහි ඵල විපාක දක්වා තිබීම ශාරීරික ස්වස්ථතාවය රැක ගැනීමේ දී වැදගත් ය.

එමෙන්ම වැසිකිළිය ද රෝගකාරකයනගේ වර්ධනයට උපකාරීවන තැනකි. වැසිකිළියක් අප කෙසේ පාවිච්චි කළ යුතු ද යන්න ගැන විනයේ ඉතාමත් පැහැදිලිව තොරතුරු දක්වා ඇත. මළ මුත්‍ර කසල පලතුරු ලෙලි හා ඇටවර්ග ආදිය තැන තැන නොදැමිය යුතු බවත් පාචිත්තිය පාලිය පැහැදිලිව අවධාරණය කරයි. තණ නිල්ලක හිඳ වළදා ඉතිරිය මළ මුත්‍ර හෝ කෙළ ගැසීම පවා නොකළ යුතු යැයි විනයේ සඳහන්ය. තම මුව පිරිසුදු කරන දැහැටි දඩු තැන තැන නොදැමිය යුතු ය. කුණු කසල තැන තැන නොදැමිය යුතු ය. මළ මුත්‍ර තැන තැන නොදැමිය යුතු ය. කෙළ ගැසීමාදිය තැන තැන නොකළ යුතුය යනුවෙන් විනය පිටකයේ දී බුදුරදුන් විසින් දේශනා කිරීමෙන් ඉන් පැහැදිලිවනුයේ භික්ෂුව පමණක් නොව පොළොවේ ජීවත්වන සෑම කෙනෙකුන් විසින්ම පරිසරය පිරිසුදුව තබා ගන්නට නම් මෙවැනි අපවිත්‍ර දෑ පරිසරයට එකතු නොකළ යුතු බවය. මෙම අපද්‍රව්‍ය පැහැදිලිව රෝගකාරක මෙන්ම රෝගවාහකයන් ද වේ. එසේනම් එම රෝගකාරකයනට මෙන්ම රෝගවාහකයනට ද සුදුසු වාසස්ථාන නැති කිරීම තුළින් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට හැකි සමාජයක් බිහි කිරීමට හැකි බව බුදු දහමින් අවධාරිතය.

පරිසරය හා සබැඳි ජීවිතය උදාර පුරුෂාර්ථ සිය දිවියට ළඟා කරගන්නා අතර කායික මානසික සුවය සදා ගන්නකුද වේ. සිය නිරෝගී බව හා රෝගී බව තමා සතුවන්නාක් මෙන්ම ඉන් නිවාරණයක් ලබාගෙන කායික මානසික වේදනාවන්ගෙන් මිඳීමට කටයුතු කිරීම ද තමා සතුවන්නකි. අද්භූත බලවේගයන් මත යැපෙන නිරෝගී බවක් බුදුදහමින් අවධාරණය නොකරන අතර පුද්ගල පැවැත්ම හා සිතුවිලි මෙන්ම පවිත්‍ර පරිසරයත් පුද්ගල නිරෝගී බවට ප්‍රමුඛ හේතුවක් ලෙසින් අවධාරණය කර තිබේ.