දහම් අසන්න පිළිපදින්න
ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි
“විහත ථිනමිද්ධො ඛො සාරිපුත්ත භික්ඛු සංඝො. පටිභාතු තං සාරිපුත්ත
භික්ඛූනං ධම්ම කථා. පිට්ඨි මේ ආගිලායති. තමහං ආයිමිස්සාමිති. එවං හන්තේ
ඛො ආයස්මා සාරිපුත්තො භගවතො පච් වස්සොසි”
“සාරිපුත්‍රය, මේ අවස්ථාවේ භික්ෂු සංඝයා ථීන මිද්ධයෙන් (සිතේ හා
චෛතසිකයන්ගේ අලසකමින්) තොරයි. ඔවුන්ගේ සිත හා චෛතසික ක්‍රියාත්මකයි.
සාරිපුත්‍රය, එහෙයින් භික්ෂූන්ට ධර්ම දේශනයක් කරන්න. මේ වේලාව
සුදුසුයි. මාගේ පිට රිදෙනව. එම රුදාව සමනය කරගන්න මා විවේක ගන්නව“
බුදුන් වහන්සේ ගේ කීම පිළිගත් සැරියුත් හාමුදුරුවෝ හොඳමයි ස්වාමිනී යි
කියා බුදුන් වහන්සේට පිළිතුරු දුන්හ. (ඉහත සඳහන් සූත්‍ර පාඨයෙන්
ප්‍රකාශ වන්නේ ඒ අදහසයි.
මේ පළමු නලකපාන සූත්‍රය සැරියුත් හිමියන් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ
නලපාන ගමැ වූ පළාස නම් වනයේ වැඩසිටි දවසක. එක්තරා පුරපෝ දිනක බුදුන්
වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන රාත්‍රී බොහෝ වේලාවක් ධර්ම දේශනා කළා. එම
ධර්මය පිළිපැදීමට භික්ෂූන් උත්සාහවත් කරල ඒ පිළිබඳ සතුටු කරවල දේශනාව
නිමකරල භික්ෂූන් දෙස බැලුවම උන්වහන්සේට හැඟුණ භික්ෂූන් තව තවත් ධර්මය
ඇසීමට කැමැත්තෙන් සිටින බව. ඒ බව තේරුම් ගත් බුදුන් වහන්සේ සැරියුත්
හිමියන් අමතල සාරිපුත්‍රය, භික්ෂු සංඝයා දැන් ථීන මිද්ධයෙන් තොරයි.
උන්වහන්සේට තවදුරටත් ධර්මය දේශනා කරන්න. මාගේ පිට රිදෙනව. මම ටිකක්
විවේක ගන්නම්. යහපති ස්වාමීනි යි පිළිතුරු දුන් සැරියුත් හිමියෝ
අනතුරුව සිය දේශනාව ආරම්භ කළහ.
අංගුත්තර නිකායේ දසවන නිපාතයේ යමක වර්ගයට අයත් මේ නළකපාන සූත්‍රය
දේශනාකරන ලද්දේ නළකපාන නම් ගමේ පලාස නමැති වනයේදී. බෝසතාණන් වහන්සේ
වඳුරුව උපන් එක් ආත්මයක වනගත ජලාශයකට අරක් ගත් අමනුෂ්‍යයකු මුළාකොට
බටදඬුවලින් දිය පානය කළ පුවත් මේ වානර ජාතකයෙහි සඳහන් වේ. මේ පුවත
මුල්කරගෙන ඒ ගම නළකපාන ගම යනුවෙන් හැඳින්වෙන බව අට්ඨ කථාව කියයි.
බුදුරජාණන් වහන්සේගේ පිට රිදීම පිළිබඳ කරුණු කියන අට්ඨ කතාව උන්වහන්සේ
බුදුවීම සඳහා වනගතව සාවුරුද්දක් දුෂ්කරක්‍රියා කළ කාලය තුළ කායික
වශයෙන් විඳින්නට වූ දුක් හේතු කොට ගෙන වෘද්ධ වයසට පත් වූ පසු
පිටිකොන්දේ වාතයක් හටගත් බවත් තමාගේයයි පුහුදුන් අප සිතන තෘෂ්ණා මානාදි
වශයෙන් අප පිළිගත් උපාදින්නක ශරීරයෙහි ඉඳීමි, සිටීමි ආදී අවස්ථාවලදී
හටගත් ආබාධ සමනය කිරීමට අවකාශ නො ලැබුණ නිසා එම වේදනා දැන් ඉස්මතු වී
එන බැවින් ඒවා සංසිඳුවා ගැනීම සඳහා සිංහ සෙය්‍යාවෙන් (සිංහයා සයනය
කරන්නාක් මෙන්) මඳ වේලාවක් දකුණැළයෙන් සැතපෙන බවත් ඒ අනුව මේ
අවස්ථාවෙහි ද මෙසේ විවේක ගත් බවත් අට්ඨ කතාව කියයි.
(බුදුරජාණන් වහන්සේ ස්වකීය සඟළ සිවුර හතරට නමා සුදුසු ස්ථානයක එය අතුරා
දකුණැළයෙන් වම්පය දකුණු පාදයෙන් මඳක් පසුපසට මෑත් කොට පිබිදෙන වේලාව
සිතා සිහියෙන් හා සමප්‍රඥාවෙන් යුතුව සයනය කළ බව අට්ඨ කතාව කියයි.)
බුදුරදුන්ගේ ඉල්ලීම පිළිගත් සැරියුත් හිමියෝ භික්ෂූන් අමතා මෙසේ වදාළහ.
ඇවැත්නි, යමෙකුට කුශල ධර්ම පිළිබඳ ශ්‍රද්ධාවක් (විශ්වාසයක්) නැත්නම්
හිරි, ඔතප් (පවට ලජ්ජාව හා පවට බිය) නැත්නම් එසේම වීර්යය නැත්නම්
ප්‍රඥාව නැත්නම් ධර්මය ඇසීමට ඕනෑකමක් නැත්නම් ඇසූ ධර්මය සිතේ ධාරණයකර
ගැනීමට ඕනෑකමක් නැත්නම් එම ධර්මය පිළිබඳ අර්ථ පරීක්ෂා කර බැලීමේ
ඕනෑකමක් නැත්නම් එම ධර්මය හා ඊට අනුකූල වූ අනුධර්ම පිළිබඳ පිළිවෙත්
පිරීමක් නැත්නම් එසේම කුශල් දම් පිරීමෙහි උනන්දුවක් නැත්නම්
නොසැළකිලිමත් අන්දමින් ධර්මය ඇසීමෙන් පලක් නොවන බව පැහැදිලි කරමින්
සැරියුත් හිමියෝ උපමාවකින් මෙසේ ප්‍රකාශ කළහ. ඇවැත්නි, කළුවර පක්ෂයෙහි
චන්ද්‍රයාගේ යම් රැයක් හෝ දවාලක් ගත වේද? ඒ කාලය තුළ චන්ද්‍රයා
වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන්, හා ප්‍රමාණයෙන් පිරිහේ. එමෙන් යමකු තුළ
කුශල ධර්ම පිළිබඳ ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වීර්යය, ප්‍රඥාව
ශ්‍රෝත්‍රාවධානය (ඇසීමට කන්යොමු කිරීම) ධාරණය, අර්ථ පරීක්ෂාව,
පිළිපැදීම, කුශල් කිරීමට යුහුසුළු බව, යන මේ ගුණ නැත්නම් ඔහුට ගතවන හැම
රැයක් දවාලක් ම ඔහුගේ කුශල ධර්ම පිරිහීමට හේතු වේ. කුශල ධර්මවල
වර්ධනයක් නම් නොවේ. මෙසේ ප්‍රකාශ කළ සැරියුත් හිමියෝ තවදුරටත් මෙසේද
ප්‍රකාශ කළහ. ඇවැත්නි, (අස්සද්ධො පුරිස පුග්ගලො ති ආවුසො පරිහානිමෙතං)
ඇවැත්නි, නො සැදැහැවත් පුද්ගලයා කියන්නේ ඔහුගේ පිරිහීමයි. (අසිරිකො
පුරිස පුග්ගලො) පවට ලජ්ජා නැති පුද්ගලයාය කියන්නෙ පිරිහෙන පුද්ගලයාය
යන්නයි. එසේම පවට බිය නැත්තා ද කම්මැලි පුද්ගලයා ද අනුවණ පුද්ගලයා ද
ක්‍රෝධ කරන පුද්ගලයා ද බද්ධ වෛරී පුද්ගලයා ද පවට ලැදි පුද්ගලයා ද
පාපමිත්‍ර පුද්ගලයාද මිසදිටු පුද්ගලයා ද කියන මේ ලක්ෂණ ඇති පුද්ගලයෝ
හැම දෙනාම පිරිහෙන පුද්ගලයෝ වෙති. මෙබඳු පුද්ගලයෝ පවින් වැඩුණු කුශල්
දහම්වලින් නොවැඩුණු පාපී පුද්ගලයෝ යයි සැරියුත් හාමුදුරුවෝ ප්‍රකාශ
කළහ.
යළිත් භික්ෂූන් ඇමතූ සැරියුත් හාමුදුරුවෝ ඇවැත්නි, යමෙකු තුළ ඉහත කී
ශ්‍රද්ධාදී ගුණ දහම් තිබේ නම් ඔහුට ගත වන හැම රෑ දවාලක් කුශල
ධර්මයන්ගෙන් හේ වැඩෙන බවත් කුශල ධර්මයන්ගේ පිරිහීමක් නම් නොවන බවත්
ප්‍රකාශ කළහ. තවදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කරනව ඇවැත්නි, නොසැදැහැ බව,
හිරි ඔතප් නැති බව පටන් ගන්නා ලද වීර්යය නැති බව කිපෙනසුළු බව බද්ධ
වෛරී නොවන බව පවට ලැදි බව, පාපී මිතුරන් ඇති බව මිසදිටු බව යන කරුණු
පුද්ගලයාගේ පරිහානියට හේතුවන ලක්ෂණ බව.
සැරියුත් හිමියන්ගේ දේශනාව අවසන් වත්ම සයනයෙන් නැගී සිටි බුදුරජාණන්
වහන්සේ සැරියුත් හිමියන් අමතා මෙසේ වදාළහ. සාරිපුත්තයෙනි, ඉතා හොඳයි
ඉතා හොඳයි. යමෙකු තුළ කුශල ධර්ම කිරීමට ශ්‍රද්ධාව (තුණුරුවන් කෙරෙහි
ගුණ දැනගෙන විශ්වාස කිරීම) හෝ පවට ලැජ්ජාවක් හෝ පවට බියක් යනාදී ඉහත කී
ගුණ නැත්නම් ඔහුට ගතවන හැම රෑ දාවල පින්ම සේ කුශල ධර්මවලින් පිරිහෙනව.
කුශල ධර්ම පිළිබඳ වර්ධනයක් නම් නොවේ. සාරිපුත්‍රය, එය හරියට කළුවර
පක්ෂයෙහි දී චන්ද්‍රයාගේ කිසියම් රාත්‍රියක් හෝ දවාලක් හෝ ගත වේ නම්
චන්ද්‍රයා වර්ණයෙන් මණ්ඩලයෙන් ආලෝකයෙන් දිගු පුළුලින් පිරිහෙන්නාක්
මෙනියි වදාළ (සැරියුත් හාමුදුරුවන් ප්‍රකාශ කළ කරුණු ම යළිත් එම දේශනාව
තහවුරු කරනු වස් එයම බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කොට සැරියුත්
හිමියන්ගේ දේශනාව බුද්ධ භාෂිතයක් බවට පත් කරමින් සැරියුත් හිමියන්ගේ
ධර්ම ඥානය පැසසුමට භාවිතා කළහ.
යළිත් බුදුහාමුදුරුවෝ දේශනා කරනව සාරිපුත්‍රය, යමකු තුළ කුශල ධර්ම
පිළිබඳ ශ්‍රද්ධාව නැතිකම, හිරි ඔතප් නැතිකම, වීර්ය නොකිරීම, ප්‍රඥාව
නැතිකම, ඇසීම සඳහා කන් යොමු නොකිරීම, ඇසූ ධර්මය සිතින් දරා නොගැනීම,
ඇසූ ධර්මයෙහි අර්ථ යළි යළිත් පරීකා කොට නොබැලීම, නොපිළිපැදීම, කුසල්
කිරීමට යුහුසුළුු නොගැනීම, ඇසූ ධර්මයෙහි අර්ථ යළි යළිත් පරීක්ෂාකොට
නොබැලීම, නොපිළිපැදීම, කුසල් කිරීමට යුහුසුළු නොවීම යන සියලු ලක්ෂණ
පුද්ගලයාගේ පිරිහීමේ ලක්ෂණයි. එමෙන්ම සාරිපුත්‍රය, යමකු තුළ කුශල ධර්ම
පුරණය සඳහා ශ්‍රද්ධා, හිරි ඔතප් ආදිය තිබේ නම් ඔහුට ගතවන හැම
රාත්‍රියක්ම දවාලක් ම ඔහුගේ දියුණුවට හේතුවෙනව. හරියට පුර පක්ෂයෙහි
චන්ද්‍රයාගේ ගතවන හැම රාත්‍රියක් ම හැම දාවලක් ම ඔහු වර්ණයෙන්,
මණ්ඩලයෙන්, ආලෝකයෙන් දිග පළලින් වැඩීමට හේතු වන්නාක් මෙනියි වදාළහ.
මෙසේ සැරියුත් හිමියන් දෙසූ නළකපාන සූත්‍රදේශනාව අනුමත කළ බුදුරජාණන්
වහන්සේ එම දේශනා සර්වඥ භාෂීතයක් බවට පත්කළහ. මේ සූත්‍රයට අමතරව දෙවන
නළකපාන සූත්‍රයක්ද මෙහි තිබේ. පළමු සූත්‍රයෙහි ම සඳහන් කරුණු මෙහි ද
විස්තර කෙරෙන අතර සැදැහැවත් බෞද්ධයා තුළ ධර්මය පිළිබඳ ශ්‍රද්ධාව, හිරි,
ඔතප්, වීර්යය, ප්‍රඥාව යන ලක්ෂණවලට අමතරව සෝතාවධානය (ඇසීමට කන්යොමු
කිරීම, ධම්මධාරණය (අසන ධර්මය සිතේ තැන්පත් කර ගැනීම, අත්ථුපරක්ඛා
(ධර්මයෙහි ඇතුළත් අර්ථය නැවත නැවත පිරික්සා බැලීම) ධම්මානුධම්ම
පටිපත්ති (ඇසූ ධර්මයට හා අනුධර්මවල අනුව පිළිවෙත් පිරීම) අප්පමාදය
(කුශල් කිරීමට පමා නොවීම, අද අද එයි මරු පින් කරගන්නේ) යන ගුණ වර්ධනය
කර ගැනීම දියුණුවට හේතු වනබවත් එම ගුණ විනාශ කර ගැනීම පරිහානියට හේතු
වන බවක් දක්වා තිබේ. එහෙයින් පින්වත, ඔබ කෙතරම් ධර්මය ඇසූවත් ඔබ හිටපු
තැනින් දසමසක් වත් ගුණධර්ම අතින් දියුණුවට ගිය බවක් ඔබට මෙන්ම
අන්‍යයාටද නොපෙනෙන්නේ ධර්මයේ අඩුපාඩුවක් වත් ධර්මයේ වරදක්වත් නොවේ. ඔබේ
වරදයි. ධර්මය ඇසුවට මදි, සැරියුත් හිමියන් හා බුදුරජාණන් වහන්සේ මෙහි
කියපු පරිදි එම ධර්මය අනුගමනය කොට නොපිළි පැදීම නිසා ප්‍රතිඵල නැති බව
ඔබම පිළිගන්නවා ඇති. ඒ නිසා මෙම සූත්‍රය කියවා ධර්මය අසන හැටි, එය සිතේ
ධාරණය කරගන්නා හැටි, එහි සඳහන් පරිදි ඒ ගුණ ධර්ම ධාරණය කරගෙන පිළිපදින
හැටි, ප්‍රායෝගික කරගන්න.
ධර්මය අසන්න, ධාරණය කරගන්න, පිළිපදින්න යන බුද්ධා අවවාදයෙහි පිහිටා බණ
අසා දරා පිළිවෙත් පුරා නිවනින් සැනසෙන්න උත්සාහ කරන්න. |