බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
අෂ්ටාංගික මාර්ගයෙහි සතරවැන්න සම්මා කම්මන්ත නමින් දැක්වෙයි. කම්මන්ත
නමින් අදහස් කොට ඇත්තේ අපගේ කායසමාචාරයයි. එනම් කායික ක්‍රියාවලියයි.
මෙහිදී දෙපැත්තක් තිබේ. එය ගෙය ද උපාදේය ද වෙයි. ගෙය වන්නේ මිච්ඡා
කම්මන්තයයි. උපාදේය වන්නේ සම්මා කම්මන්තයයි. බැහැර කළ යුතු මිච්ඡා
කම්මන්ත හෙවත් කායසමාචාර එසේත් නැත්නම් කායික ක්‍රියාවලියට කරුණු තුනක්
අයත් වෙයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය ඒ තුනයි. ඒ තුන්තරා
කාය කර්මයන්ගෙන් බැහැර වීමම සම්මාකම්මන්ත සමාදානයයි. බවදුක් නසන්නට
නිවන් දකින්නට තරම් ප්‍රබල සම්මා කම්මන්තය අනිකක් නොව මිච්ඡා කම්මන්තය
පිටුදැකීම නම් මිච්ඡා කම්මන්තය කෙතරම් ප්‍රබල සාපරාධි එකක්දැයි
ගැඹුරින් සිතා බැලිය යුතු ය.
බුදුදහමේ සාරය කේන්ද්‍ර කොට ඇත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයෙහිය. එහි
සතරවැන්න දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරියසච්ච නමින් ප්‍රකටය. එයම ආර්ය
අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව යන නම්වලින් ද ප්‍රකාශිතය. නමින්ම
අර්ථ කථනය වන පරිදි මෙය ඓහලෞකික, පාරලෞකික වශයෙන් විද්‍යාමාන සකලවිධ
ලෝක දුක් සංසිඳුවීමට ඇති එකම මාර්ගයයි. සසර පරතෙරට පමුණුවන නිසාත්, ඒ
සඳහා මෙයට වෙනස් අන් මගක් නොවන නිසාත් ඒකායන මාර්ගය වශයෙන්ද හඳුන්වා දී
ඇත. එසේම එය බෞද්ධයන්ගේ හෝ අනෙකුත් කිසියම් ජන කොටසකගේ සංවෘත මාර්ගයක්
ද නොවේ. විවෘත සාර්වජනිත ප්‍රතිඥා මාර්ගයකි. කිං සච්චගවේසි සියල්ලවුන්
සඳහා විවෘත වූවකි. දුක් පීඩා අස්තංගත කිරීමට ශාන්තිපද ලාභයටත්
අවශ්‍යතාවය ඇති කොයි කවුරුන් නමුත් මෙයට අන්තර්ගත අට වැදෑරුම් සාර
ධර්මය සාක්ෂාත් කළ යුතු ය. අෂ්ටාංග සමන්නාගත මාර්ග ප්‍රතිපදාවේ කරුණු
අතර අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවක් පවත්නා හෙයින් එකකට පසුව අනෙක
වශයෙන් ලැබිය යුතුය යන හැඟීමකට ඉඩක් නැත. ප්‍රතිපදාව අනුගමනයේ දී ගෙය
ධර්ම ප්‍රතික්ෂේප කිරීමත් උපදේශය ධර්ම සමාදානයත් එක හා සමාන වගකීමකින්
සපුරාලිය යුතු ය.
මේ අෂ්ටාංගික මාර්ගයෙහි සතරවැන්න සම්මා කම්මන්ත නමින් දැක්වෙයි.
කම්මන්ත නමින් අදහස් කොට ඇත්තේ අපගේ කායසමාචාරයයි. එනම් කායික
ක්‍රියාවලියයි. මෙහිදී දෙපැත්තක් තිබේ. එය ගෙය ද උපාදේය ද වෙයි. ගෙය
වන්නේ මිච්ඡා කම්මන්තයයි. උපාදේය වන්නේ සම්මා කම්මන්තයයි. බැහැර කළ
යුතු මිච්ඡා කම්මන්ත හෙවත් කායසමාචාර එසේත් නැත්නම් කායික ක්‍රියාවලියට
කරුණු තුනක් අයත් වෙයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය ඒ
තුනයි. ඒ තුන්තරා කාය කර්මයන්ගෙන් බැහැර වීමම සම්මාකම්මන්ත සමාදානයයි.
බවදුක් නසන්නට නිවන් දකින්නට තරම් ප්‍රබල සම්මා කම්මන්තය අනිකක් නොව
මිච්ඡා කම්මන්තය පිටුදැකීම නම් මිච්ඡා කම්මන්තය කෙතරම් ප්‍රබල සාපරාධි
එකක්දැයි ගැඹුරින් සිතා බැලිය යුතු ය.
සාවද්‍ය කායසමාචාරයේ මුල් තැනට එන්නේ හිංසාවයි. තමන් ගැන පමණක් සිතා තම
අභිමතාර්ථයන් සපුරා ගැනීමට සිතන මිනිසා අනුන් ගැන නොසිතයි. නොතකයි.
අනුන්ගේ සුවය, පහසුව, අයිතිය, නිදහස අගය නොකරයි. අවශ්‍ය වන්නේ හොඳින්
හෝ නරකින් සිතැඟි ඉටුකර ගැනීමයි. අනුන් හා ගැටෙයි. වෛර බඳියි. රිදවීම්,
බියවැද්දවීම්, තර්ජනය කිරීම්, ම්ලේච්ඡවූත් සාහසික වූත් වද හිරිහැර
ආදියෙන් හිංසකව හැසිරෙයි. ආත්මකාමයෙන් හා වෛරයෙන් පිරුණ මිනිසා කෙතරම්
අන්ධදැයි කියතොත් අන්තරික්ෂයක් හෝ සමුද්‍රයක් හෝ නොමැති බව නොසිතයි.
ඔහු ද කිසිදාක කිසි ලෙසකින් කුරිරු ගොරබිමේ වද වේදනා වලට හසුව මරණයට හෝ
මරණමාත්‍ර දුකට පත්වීම නියත බව නොසලකයි.
හිංසාව නිසා පුද්ගලයා ලබන විනාශයටත් වඩා භයානක වන්නේ සමාජයට වන මහත්
අනර්ථයයි. හිංසාව පිරි සමාජයක සාමය, සමගිය, නිදහස හා සංවරය පිහිරී යයි.
ගැටුම්, අරගල වලින් පිරීයයි. මෙය ඉතා ගැඹුරින් පුළුල්ව අප තේරුම් ගත
යුත්තකි. තමන් හිංසාව අකැමැති තරමින්ම අනුන් හිංසාවට අකැමැති බවත්,
තමන් සැප කැමැතිවන තරමින්ම අනුන් සැප කැමැති බවත් තේරුම් ගැනීමෙන් අපට
අවිහිංසක විය හැකි ය. උනුනුන් දෙස සිනාසී බැලිය හැක්කේ අහිංසකයනට පමණය.
දණ්ඩනය, බන්ධනය පසෙකලා දයානුකම්පා සහිතව ජීවත්වීම සම්මාකම්මන්තයේ
ලක්ෂණයකි. වාද භේද, ගැටුම්, සටන් නැති මිහිරි ලොවක සාමයෙන් සමගියෙන්
නිදහසේ ජීවත්වීමට මිනිසා ඔසවා තබන සාරධර්මයක් ලෙසත් සම්මාකම්මන්තය
හඳුන්වා දිය හැකි ය.
සාවද්‍ය කාය සමාචාරයෙහි ඊළඟ අංගය අදත්තාදානයයි. එනම් සොරකමයි.
අතෘප්තිකර ආශාවලින් පිරුණු මිනිසා තාවකාලික ආත්මීය තෘප්තිය පිණිස
සොරකමකට පෙළඹෙයි. ගෙවල්බිඳීම, කොල්ලකෑම, මංපැහැරීම, අල්ලස් ගැනීම,
බොරුවෙන්, වංචාවෙන්, සටකපටකම් වලින් ආදී විවිධ ක්‍රමෝපායයන් මගින්
අනුන් සතු දේ සොරකම් කිරීම පුද්ගල දූෂණයක් මෙන්ම බරපතළ සමාජ දූෂණයක් ද
වෙයි. මෙයින් සමාජයක සුරක්ෂිත විය යුතු විශ්වාසය, ගරුත්වය, පිළිගැනීම
තහවුරු වෙනවා වෙනුවට අවිශ්වාසය, නිගරුව, පිළිකුල පැතිර යයි. “අසල් ගෙයක
සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක”යි කියැවෙන පරිදි
මිනිසුන්ට නිස්කලංකව ජීවත්වීමට ඇති අයිතිය පවා වනසාලන සමාජ දූෂණයකි.
හොරකම්වල යෙදෙන්නා කුමන බල මහිමයකින් රැකී වැසී සිටියත් සාරධර්ම අගයන
මිනිසුන්ගේ සිත් තුළ හොරකු වශයෙන් මිස මහත්මයකු වශයෙන් තැනක් කිසිදා
නොලබයි. කවර නමකින් හඳුන්වනු ලැබුවත් පරස්වහරණය වන්දි ගෙවිය යුතු
සාපරාධී ක්ෂය සමාචාරයක්ම වෙයි.
අත්ථිසුඛය, භෝගසුඛය, ලෞකික සැපතකි. එය අපට අවශ්‍යය. එය ලබාගත යුතු ය.
නමුත් එය ලබාගත යුත්තේ සොරකමෙන්, ගසාකෑමෙන් නොවේ. මිනිසා දහඩිය
මහන්සියෙන් ගතේ සිතේ වීර්යයෙන් අවශ්‍යතා සපුරාගත යුතු ය. එයින්
තෘප්තියක් ඇතිවෙයි. සමාජයත් චාම්බවට, සරලබවට පත්කොට සන්තෘප්තියෙන්
ජීවත් කරවීම සඳහා සම්මා කම්මන්තය මොනතරම් පිහිටක්දැයි මෙයින් වටහා ගත
හැකි ය.
සම්මා කම්මන්ත සමාදානයට ප්‍රතික්ෂේප කළ යුතු තුන්වන කරුණ
කාමමිථ්‍යාචාරයයි. පරස්ත්‍රීන් පරපුරුෂයන් වෙත යාමේ පටන් නානා
තරාතිරමින් ඇති ස්ත්‍රී දූෂණ, කාමාපරාධ, බලහත්කාරකම්, සියල්ල එහිම
අංගෝපාංග කොට සැළකිය හැකිය. මේ විෂමාචාරයේ බිහිසුණුකම සිතා ගැනීමට
හුඟක් කරුණු නොකිවත්, පිළියම් රහිත රෝගකාරකයන්ගෙන් ලොවම වනසාලන සද්දන්ත
උවදුරක් ඇති වූයේත් මේ නිසා බව සිතිය යුතු ය. අනාචාරයෙහි යෙදෙන්නා,
පිළිකුලට ද්වේෂයට ලක්වෙයි. අන්‍යයන්ගේ තබා මව්පිය, සොහොයුරන්ගේ
පිළිකුලට ද පත්වෙයි. මේ තත්ත්වය සවිස්තරව ඇඟවීම සඳහා පැරැන්නන් ප්‍රකාශ
කළේ කාමාතුරයන් ඔවුන්ගේ සාවද්‍ය කායසමාචාරය හේතුවෙන් ධිග්දණ්ඩ, ධකදණ්ඩ,
වටදණ්ඩ යන තුන් වැදෑරුම් දණ්ඩනයටම ගොදුරුවන බවයි. එහි තේරුම ඔහු තමාත්,
දේපලත්, ජීවිතයත් නැතිකර ගන්නා අයකු වන බවයි.
කාමාතුරයන්ගේ අධම චර්යාවන් නිසා සමාජය මුහුණ පාන්නේ මහත්ම අනතුරකටය.
මෙයින් පවුල් ඒකකය තුළ තහවුරු විය යුතු විශ්වාසය සමගිය සහ සහජීවනය
බිඳවැටෙන අතර ගැටුම්, අඬදබර, භේදභින්නතා වර්ධනය වෙයි. සමාජ සීමාවන්
ඉක්ම ගොස් එහි සංවරය හා සදාචාරය පිරිහී මනුෂ්‍යත්වයේ උත්තරීතර භාවය වසං
වෙයි. ලෙඩ රෝග මෙන්ම දරිද්‍රතාව පැතිරීමට පවා විෂමාචාරය මුල් වෙයි. ඒ
අනුව සංවරයෙන් හා සදාචාරයෙන් බැහැරව ආත්මාර්ථකාමී අයුරින් පුද්ගල
මනෝරථයන් සපුරා ගැනීමේ අභිප්‍රායෙන් මිච්ඡාකම්මන්තයෙහි යෙදෙන මිනිසා
තමාත් විපතට පත්වී සමාජය අපායක් බවට පත් කරයි.
එබැවින් දයානුකම්පා පිරි අහිංසක ලෝකයක් තැනීමට, සරල චාම් අල්පේච්ඡ
සමාජයක් බිහිකිරීමට, බෙහෙතුත් නැති කාමරෝගයන් පවා නිවාරණය කරන
සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමට හොඳම සාධකය සම්මා කම්මන්තයයි. |