Print this Article


සතුට මත ධනයෙහි වටිනාකම

ශ්‍රද්ධාව හෙවත් රත්නත්‍රය කෙරෙහි පවතින විශ්වාසය වගේම අන්‍යෝන්‍ය ප්‍රසාද පුර්වක බව තිබිය යුතුයි. අප සියලු දෙනා කෙරෙහිම සතුටින් බැලිය යුතුය. ශ්‍රද්ධාව සඳහා අන්‍යෝන්‍ය විශ්වාසය තිබිය යුතුය. එසේ නැතහොත් ඔවුනොවුන් කෙරෙහි බියෙන් සැකයෙන් බැලීමට සිදුවෙනු ඇත. ශ්‍රද්ධාවත්, විශ්වාසයත්, අන්‍යෝන්‍ය පිළිගැනීමත් නොමැති විට වෛරයෙන් ද්වේශයෙන් එකිනෙකා දෙස බලයි.

ධනයෙහි වටිනාකම රඳාපවතින්නේ සතුටට සාපේක්ෂවයි. මනසෙහි සතුටක් නොමැතිව ලැබෙන ධනයෙන් පලයක් නොමැත. නූතන ලෝකයේ සතුට තීරණය කරනු ලබන්නේ ධනයෙහි ප්‍රමාණය මතයි. දියුණු රටවල් ලෙස සළකනු ලබන්නේ ආර්ථිකය දියුණු තත්ත්වයක් පවතින රටවල වුවද, බෞද්ධ මතයට අනුව දියුණුව සතුට මත තීරණය කරනු ලබයි. දියුණු රටවල මිනිසුන් තුළ මානසික සතුට නොමැති බව එහි ප්‍රධාන ලක්ෂණයක් වන අතරම ආර්ථිකය දියුණු මට්ටමක පවතී.

“සංසාර විෂ වෘක්ස්‍ය
ද්වේහ රසවත් පලේ

සංසාරය නමැති විෂ ගසෙහි රසවත් ගෙඩි දෙකක් තිබෙන බවය.සෞන්දර්යාත්මකව අප සිත්වල සතුට තබාගත හැකි නම් එය එක රසවත් ගෙඩියකි. යහපත් මිනිසුන් ඇසුරු කිරීම ලැබීමත් සිතෙහි සතුට රඳවාගැනීමේ එක ඵලයකි. සංසාර නමැති විෂ ගසෙහි තිබෙන හොඳම ගෙඩි දෙක එයයි. සිත සතුටින් තබාගැනීමට නම් යහපත් මිනිසුන් ඇසුරට ගත යුතුය. යහපත් මිනිසුන් ඇසුරට නොලැබීමෙන් විවිධ ආකාරයේ මානසික, සමාජයීය ගැටලුවලට මුහුණදීමට සිදුවීම නිසා සිතෙහි සතුටට බාධා පැමිණෙයි. එම නිසා අප ඇසුරු කිරීමට පුද්ගලයන් තෝරා ගැනීමේදී ගුණවත් යහපත් ගැටුම්කාරි ස්වභාවයෙන් තොර පරිසරය ක වෙසෙන පුද්ගලයන් සමීප කරගත යුතුය. එසේ නොවුන අවස්ථාවක මානසිකව වේදනා විඳිනවා මිස සතුට අසලකටවත් පැමිණෙන්නේ නැත.

අප ධනය ලෙස හඳුන්වනු ලබන්නේ ද්‍රව්‍යමය භෞතික ධනයටයි. “සබ්බේ සත්තා ආහාරට්ඨිකා” ද්‍රව්‍ය ධනය අවශ්‍ය බව බුදුදහම පිළිගනු ලැබුවද, එම ආහාරය ගෙන සතුටු වුවද? දුක්වූවා ද? යන්න තීරණය මත සතුට තීරණය කරනු ලබයි. ඉතා රසවත්දෑ ආහාරයට ගෙන කුසට අපහසුතාවයක් දැනුන හොත් ඒ තුළ සතුටක් නැත. කුසට අපහසුවක් නොදැනෙන යමක් ආහාරයට ගැනීමෙන් දැනෙන සතුට රාජභෝජන ආහාරයට ගැනීමෙන් නොලැබිය හැකිය. එනිසා බුදුපියාණන් වහන්සේ පුද්ගලයා පොහොසත් පුද්ගලයකු ලෙස හඳුන්වනු ලබන්නේ සප්ත ආර්යය ධන හත සතුව තිබෙන පුද්ගලයන්ය.

ආහාර හෙවත් කෑම බීම නිදාගැනීම, භය හෙවත් බියට පත්වීමේදී ආරක්ෂාව සොයා ගැනීම, මෛථූන සේවනය හෙවත් දරුවන් බිහිකිරීම යන කාරණා හතර නිසා පමණක් මිනිසකු මිනිසකු වන්නේ නැත. සතුන්ද මේ කාරණා හතරම ඉටුකරනු ලබයි. ආහාර කටට ගෙන විනාඩි දෙකක් හැපීමෙන් එම ආහාරය අපි‍්‍රය සහගත වනවා නම් ආහාරයෙන් එතරම් පලක් නැත. කොතරම් කෑම බීම තිබුණත් පුද්ගලයකු ආහාරයෙන් උසස් වන්නේ නැත.

සතුන් හා මිනිසුන් අතර නිදාගැනීමට පෙර නිදාගන්නා ආකාරය අනුව වෙනස්කම් තිබුණත් නින්ද ගියාට පසුව මිනිසාත් සතාත් ඔවුන් සිටිනා ස්ථානය නොදනී. මේ දෙදෙනාම නිදාගැනීමෙන් පසු මිනිස්සු හා තිරිසනුන් අතර වැඩි වෙනසක් නැත. භයට පත්වීමේදි ආරක්ෂාව සපයා ගැනීමට යාමේදි සතුන් සපාගැනීමට හෝ දිවීමට පෙළඹෙයි. භයක් ඇතිවීමේදී ආරක්ෂාව සපයා ගැනීමට යාමේදී මිනිසාත් සතුන් අතරත් විශාල වෙනසක් නැත.

දරුවන් හැදීමේදී මිනිසාත් සතුන් අතරත් විශාල වෙනසක් නැතත් වර්තමානයේ මිනිසුන් දරුවන්ට ආදරය, කරනවාට වඩා වැඩියෙන් සතුන් ඔවුන්ගේ දරු පැටවුන්ව ආදරයෙන් රැක බලා ගනී. සතුන් තමන්ගේ දරුවන්ට උපරිම ආරක්ෂාව සලසනු ලබයි.

ඒ අනුව ආහාර, නිදාගැනීම, භය, මෛථූන යන කාරණා හතරෙන් මිනිසුන් ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. සතුන් හා මිනිසුන් අතර විශාල වෙනසක්ද නැත.

එනිසා බුදුදහමේදී සඳහන් උතුම් ධන හත හෙවත් අර්යය ධන හත මාර්ගයෙන් සංවර්ධනය මනිනු ලබයි.

සප්ත ආර්ය ධනය හෙවත් උතුම් ධන හතක් තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. එම ආර්ය ධන හත තිබේනම් පමණක් පුද්ගලයා පොහොසත් පුද්ගලයකු ලෙස පිළිගත හැකි බවට බුදුපියාණන් වහන්සේ වදාරනවා.

ශ්‍රද්ධාව හෙවත් රත්නත්‍රය කෙරෙහි පවතින විශ්වාසය වගේම අන්‍යෝන්‍ය ප්‍රසාද පුර්වක බව තිබිය යුතුයි. අප සියලු දෙනා කෙරෙහිම සතුටින් බැලිය යුතුය. ශ්‍රද්ධාව සඳහා අන්‍යෝන්‍ය විශ්වාසය තිබිය යුතුය. එසේ නැතහොත් ඔවුනොවුන් කෙරෙහි බියෙන් සැකයෙන් බැලීමට සිදුවෙනු ඇත. ශ්‍රද්ධාවත්, විශ්වාසයත්, අන්‍යෝන්‍ය පිළිගැනීමත් නොමැති විට වෛරයෙන් ද්වේශයෙන් එකිනෙකා දෙස බලයි.

සීල ධනය , යනු හික්මීමක් තිබිය යුතුය. සීලය ජීවිතයක තිබිය යුතුමය. හිරිඔත්තප්ප හෙවත් ලජ්ජා භය තිබිය යුතුය. ලජ්ජා භය නොමැති තැනක ලෝක පාලනයක් ද නැත. ලජ්ජා භය යනු ලෝක පාලන ධර්මතා යි. “ලජ්ජාව“ යනු ඌරා අසූචි වලට යෑමේදී කිසිම ලජ්ජාවක් හිරිකිතයක් නැතිව යන්නා සේ යනුවෙන් පැහැදිළි කරනු ලබයි.

ලජ්ජාව නැති පුද්ගලයා එම ඌරා අසූචි වලට හිරිකිතයකින් තොරව යන්නාසේ ඕනෑම පහත් කි‍්‍රයාවක යෙදෙයි. “භය” යනු පළඟැටියා පහන් තිරයට ගොස් පිච්චෙන්නා සේ පැහැදිලි කරනු ලබයි. මෙම ලජ්ජා භය දෙක වන ලෝක පාලක ධර්මතා පුද්ගලයකුට තිබිය යුතුයි.

ශ්‍රැත ධනය හෙවත් බොහෝ ඇසූ පිරූ තැන් තිබිය යුතුය. පොත්පත් කියවමින් ඉගෙනීමට වඩා සමාජ අවබෝධය තිබිය යුතුය. සමාජයේ සෑම දෙයටම පිළිතුරක් තිබිය යුතු වන්නාසේම විඳ දරාගැනීමේ හැකියාවක් තිබිය යුතුය. එනිසා දරුවන් තුළ දරාගැනීමේ ශක්තිය ගොඩනැඟිය යුතුය. තමාට ගැටලුවක් පැමිණි විට එය විසඳා ගැනීමේ හැකියාවත් ,උපේක්ෂාවත් දරාගැනීමේ හැකියාවත්, නිවැරැදි තීරණයක් ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. ඕනෑම ප්‍රශ්නයකදී එය විසඳා ගැනීම සඳහා සමාජීය වශයෙන් ඇසූ පිරූ තැන් තිබිය යුතුය.

පරිත්‍යාගශීලි විය යුතුය. බොහෝ අවස්ථාවල ප්‍රශ්න හටගනු ලබන්නේම පරිත්‍යාගශීලි බව නොමැතිකම නිසාමය. පරිත්‍යාගශීලි වීම තුළින්ම තණ්හාව ක්ෂය වී යයි. පුද්ගලයකුට අවශ්‍ය වන වේලාවකදී වචනයෙන් හෝ උපකාරයක් කළ හැකි නම් පරිත්‍යාගයක් කළ හැකි නම් බොහෝ ගැටුම් නිර්මාණය නොවනු ඇත. ප්‍රඥාව තිබිය යුතුය ප්‍රඥාව යනු ජීවිත අවබෝධය මිස විභාග සමත්වීම නොවේ. මම ඉපදෙනවා. මම ලෙඩවෙනවා, මම වයසට යනවා, මම මැරෙනවා යන ජීවිත යථාර්ථය වටහා ගත යුතුයි. ජීවිතයේ යථාර්ථය තේරුම් ගත් පුද්ගලයා කවදාවත් වරදකට පෙළඹෙන්නේ නැත. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට මේ ධන හත තිබෙනවා නම්, ඔහුගේ හෝ ඇයගේ ජීවිතය කවදාවත් හිස් වන්නේ නැත.

අප තුළ සප්ත ආර්ය ධනය ඇති කර ගත යුතුය. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් බේත්හේත් තිබුණත් එහි සීමාවන් නැහැ. සීමාවක් නොමැතිව කොතරම් තිබුණත් තෘප්තිමත් නොවන දේ අඩුකරමින් සප්ත ආර්ය ධනයත් යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය තුළ ගොඩ නඟා ගන්නවා නම්, ඔහු සතුටින් ජීවත්වේ. සතුට මත ධනයෙහි වටිනාකම තීරණය වනු ඇත. මිලියන ගණන් තබාගෙන අසතුටෙන් ජීවත්වනවාට වඩා රුපියල් සියයක් තබාගෙන සතුටෙන් ජීවත්වීම ජීවිතයට වටිනා බව තේරුම් ගත යුතුය.

සටහන හේමමාලා රන්දුනු