Print this Article


ආදරණීය දුවේ පුතේ දෙමාපියන් ගැන සැලකිල්ල

ආදරණීය දුවේ පුතේ දෙමාපියන් ගැන සැලකිල්ල

පසුගිය දවසක ගොඩක් වයස්ගත ආච්චි කෙනෙකු කනත්තක් ළඟ දාලා ගිහින් තිබුණා. එය කර තිබුණේ ඇයගේ ම කුසින් බිහි කර කිරි පොවා හැදු වැඩු පුතුන් දෙදෙනෙක්. වාහනයකින් එම මහලු කාන්තාව රැගෙනවිත් තරුණයන් දෙදෙනෙකු ඇගේ දෙපැත්තෙන් ඔසවා කනත්ත ළඟින් තියලා ඉක්මනින් ම වාහනය පදවා ගෙන යන හැටි පාපාදියෙන් යමින් සිටි කෙනෙක් දැක තිබෙනවා.

ඇයි ඒ වගේ මහලු ,ඇවිදගන්න බැරි, සිහිකල්පනාව මදි අම්මා කෙනකු කනත්තක් ළඟට ගෙනත් දැම්මේ? නිශ්චිතවම දරුවන්ට ඒ මහලු අම්මා කරදරයක් හැටියට හිතිලා වෙන්න ඕන. මිය යන තෙක් අම්මා බලා ගන්න අකැමැති වෙලා වෙන්න ඕන. ඉතින් ඒ දරුවනුත් පුංචි කාලේ ඒ වගේ නේ හිටියේ. ඇවිදගන්න බැරි ව අපවිත්‍ර කරගෙන ඉන්දෙද්දී ඒ අම්මා කරදරයක් විදයට හිතුවේ නැහැ. සුද්ධ පවිත්‍ර කරලා ලස්සන ඇඳුම් අන්දවලා සුරතල් කරවමින් හිටියා.කොච්චර හයියෙන් ඇඬුවත් සනසවන්න බැලුවා. මිස සැරට වචනයක් වත් කිව්වේ නැහැ. හොඳටම නිදිමතේ ඉන්න මහ රෑ අවදි වෙලා ඇඩුවත් කිසි ගාණක් නැතිව අම්මා නැගිටලා කිරි පොවලා නිදි කරවලා තමයි දෙනෙත් පියා ගන්නේ, දරුවා අසනීප වෙච්ච දවසක නිදි නැතිව කොච්චර කැපවීමක් කරනවාද? එහෙම කරපු අම්මා කරදරයක් හැටියට හිතන්නේ කොහොමද?

සමහර අය කියනවා අපේ අම්මලා ,තාත්තලා අපට මොනවද කරලා තියෙන්නේ? අපට මොනවද දීලා තියෙන්නේ ? කියා. අම්මා කෙනකු දරුවකුට දීල තියෙනදේ මිල කරන්න බැහැ. ඒකට මං පුංචි කතාවක් කියන්නම්. පිරිවෙනක පුංචි හාමුදුරුවරුන් එක්ක පුංචි ළමයෙකුත් ඉගෙනගනිමින් සිටියා. දවසක් ඒ ළමයා යහළු හාමුදුරුවරුන්ට කිව්වා” මගේ අම්මා කිසි වැඩක් නෑ. මට මොනවත් දීලා නෑ. මට නම් පේන්න බෑ’ කියලා. ඒ ගැන පොඩි හාමුදුරුවරුන් ලොකු හාමුදුරුවන්ට කිව්වා. ලොකු හාමුදුරුවන් ඒ ළමයාට කතා කළා. “ඔයාගෙ අත් දෙක හොඳට තියෙනවා නේද?” ඇහුවා” එහෙමයි හොඳට හයියට තියෙනවා” උත්තර දුන්නා.’ වැඩක් කරන්න, කන්න, බොන්න,කවුුරු හරි ගහන්න ආවම පහර දෙන්න අත් දෙක ඕනමයි. කවුර හරි රුපියල් ලක්ෂයක් දෙන්නම්. ඔයාගෙ අතක් කපලා දෙනව ද කියලා ඇහුවොත් දෙනවා “ද? “අපෝ නෑ” “එහෙනම් ලක්ෂ දහයක් දෙන්නම් අතක් කපලා දෙන්න කියලා ඉල්ලුවොත් “? “ලක්ෂ දහයක් නෙවි කෝටියකට වත් මගේ අතක් දෙන්නේ නැහැ’ “ මට මගේ අතක් රුපියල් කෝටියකට වඩා වටිනවා” ළමයා ආඩම්බරයෙන් උත්තර දුන්නා. එතකොට ලොකු හාමුදුරුවන් ඇහුවා. ’අත්දෙක විතරක් නෙවි ඔය මුලු ඇඟ ම කෝට් කීපයක් වටිනවා. මේවා දුන්නේ කවුද”? “අපේ අම්මා” ළමයා එක වරටම කිව්වා. “එහෙනම් කොහොමද කියන්නේ අම්මා කිසි දෙයක් දීලා නැහැ කියලා?” ලොකු හාමුදුරුවන් විමසුවා.

අම්මා කෙනකු තරම් දරුවන්ට ආදරේ ඇති වෙන කිසි කෙනෙක් නැහැ. ඒත් ටිකක් ලොකු වුණාම වෙනත් අයත් එක්ක සම්බන්ධකම් ඇති වුණාම හිතනවා එයා තමා මට වැඩිය ආදරේ කියලා. ඉතාලියේ තියෙන ජනකතාවක්මම කියන්නම්. එක තරුණයකු සමඟ යහළු වුණු ගැණු ළමයෙක් හොඳට ආදරෙන් හිටියා. තරුණයාට ඇය නැතුව බැහැ. හැබැයි ගෑනු ළමයාට යහළුවාගේ අම්මා කොහොමවත් අල්ලන්නෙ නැහැ. ඇය දවසක් පෙම්වතාට කියනවා .ඔයාගේ අම්මාගේ හදවත ගෙනත් දුන්නොත් විතරයි ඔයත් එක්ක විවාහ වෙන්නෙ.

කරන්න දෙයක් නැති කමට තරුණයා අම්මා වේදනාවෙන් කෑගහද්දී පපුව පළලා හදවත එළියට ගන්නවා. අම්මා මැරෙනවා .ඒ වුණාට හදවතට පණ තියෙනවා. හදවතක් අරගෙන කාමරෙන් එළියට එද්දි ලිස්සලා වැටෙනවා. එතකොට අම්මගෙ හදවත කතා කරලා කියනවා පුතේ පරෙස්සමෙන්. බිම තියෙන ලේවලට ලිස්සනවා. මගේ පුතාට රිදුණා ද දන්නේ නෑ කියලා. අන්න එහෙමයි අම්මලා.

ගොඩක් දෙනෙක් කැමතියි පිං කරන්න. ඊළඟ ජීවිතේට පිහිට වෙනවයි කියලා නේ පිං කරන්නේ. ඉතින් පහසුවෙන්ම කරගන්න පුළුවන් පිං ගොඩක් තමයි වයස්ගත අම්මට තාත්තට සලකන එක. මැරුණාට පස්සේ අනුන්ට පේන්න අම්මා තාත්තා වෙනුවෙන් වියදම් කරනවට වඩා ජීවත්ව ඉන්දෙද්දී සලකන එක තමයි හොඳ.