Print this Article


රටට ආදරය කරන සෑම පුරවැසියකුම “අනගාරික ධර්මපාල” චිත්‍රපටය නරඹන්න

රටට ආදරය කරන සෑම පුරවැසියකුම “අනගාරික ධර්මපාල” චිත්‍රපටය නරඹන්න

රටට ආදරය කරන සෑම පුරවැසියකුම අනගාරික ධර්මපාල චිත්‍රපටය නැරඹිය යුතු යැයි දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක කිරම විමලජෝති නාහිමියෝ පවසති.

අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ චිත්‍රපටය පිළිබඳ උන්වහන්සේ දැක්වූ අදහස් මෙසේ ය.අතීතයේ දී විදේශීය පාලකයන් අප රට පාලනය කිරීම නිසා, එදා අපේ රටේ විසූ ජනතාව තුළ තිබුණේ වහල් මානසිකත්වයකි. ඔවුන්ට රටේත්, ජාතියේත්, ආගමේත් උන්නතිය උදෙසා යමක් සිතන්නට අවස්ථාව උදාකරමින් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ ජීවිත පරිත්‍යාගයෙන් කළ කැප කිරීම සදා අනුස්මරණය කළ යුතු යි.

අපේකම, අපේ දේ, ස්වදේශීයත්වය අගය කිරීමට එදා ඔවුන් වෙසෙසින්ම ගමින් ගමට ගොස් ගිහි පැවිදි දෙපක්ෂයම සඳහා ඉතා වැරෙන් කතා කර රටත්, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර ගැනීමට නැඟු කාහල නාදය සදා අමතක කළ නොහැකිය.

එදා දඹදිව බුද්ධගයාව, සාරානාත් ආදී බෞද්ධ පූජනීය කේන්ද්‍රස්ථානයන්හි තිබූ පාලනය ගැන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් බලවත් ලෙස කම්පාවට පත්වීමෙන් එතුමා නැවත ලංකාවට පැමිණ 'බුද්ධගයාව බේරා ගනිව්' හඬ නඟා ඉතා දුක් මහන්සියෙන් ඊට මුදල් සොයාගෙන දඹදිව සිට බුද්ධගයාව නැවත නීති මඟින් ලබා ගනිමින් බෞද්ධ උරුමයට නැවත ලබා දුන්නේ ය.

ඒ නිසා බුද්ධගයාව සහ සාරානාත් ගැන දන්නා ලෝකවාසී බෞද්ධ ජනතාව ලොව කොතැනක සිටිය ද එතුමන් කෙරෙහි දක්වනුයේ මහත් වූ ගෞරවයකි.

19 වන සියවසේ ඉංගී‍්‍රසි ආධිපත්‍යය යටතේ මිෂනාරී බලපෑම මත සිංහල බෞද්ධයන් ලක්ව සිටි අසරණ තත්ත්වයෙන් මුදා එඩිතර ප්‍රෞඪ ගතිගුණ සිංහලයන් කෙරේ ඇති කරලීමට ඉමහත් වෙහෙසක් ගත් අභීත සිංහල පුත්‍රයෙකු ලෙස ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හැඳින්විය හැකිය. එතුමන්ගේ 150 වන ජන්ම සමරුව යෙදී ඇත්තේ මෙම වසරේදීය.

1864 සැප්තැම්බර් 17 වනදා කොළඹ දී ජන්මලාභය ලැබූ එතුමන්ගේ පියාණන් වූයේ දකුණු ලක මාතර ඉපිද ව්‍යාපාරික කටයුතු සඳහා කොළඹට පැමිණි දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමාය. මල්ලිකා ධර්ම ගුණවර්ධන මැතිනිය මව වූයේ ය. එතුමාගේ ගිහි නාමය දොන් ඩේවිඩ් හේවාවිතාරණ විය. පවුලේ වැඩිමල් වූ මොහු මූලික අධ්‍යාපනය ලැබුවේ පිටකොටුව ශාන්ත මේරි විදුහලෙනි.

අනතුරුව 1870 සිට 1874 දක්වා කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලැබීය. 1878 සිට 1883 දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. තවත් පාසල් රැසකම උගත් අතර කෝට්ටේ ක්‍රිස්තියානි පාසල හා රාජකීය විදුහල ද ඒවා අතර වේ.

අනතුරුව එතුමා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළු විය. එහිදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ඇසුර ද කොටහේනේ දීපදුත්තාරාමාධිපති මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමියන්ගේ ඇසුරද එතුමාගේ ජාතික හැඟීම් වර්ධනයට හේතුව වූ අතර විද්‍යෝදය පිරිවෙනෙහි වැඩ සිටි හෙයියන්තුඩුවේ ශ්‍රී දේවමිත්ත හිමියන් වෙතින් සිංහල, පාලි ආදී ප්‍රාචීන භාෂාවන්ද එතුමා ඉගෙන ගත්තේ ය.

එකල එම කාලසීමාවේ දී ක්‍රිස්තියානි ධර්මය හා බුද්ධාගම අතර වාද විවාද පැවැති අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති පානදුරා වාදය ප්‍රමුඛත්වයක් ගත්තේ ය.

එම කාල සීමායේදී හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මෙරටට පැමිණ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීය. එම සමාගම බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා බෞද්ධ පාසල් පිහිටුවීමත් සමග බොදු පුබුදුවක් ඇතිවිය. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව එතුමන්ගේ පළමු රැකියාව වූයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකාර තනතුරයි.

ඕල්කට්තුමා පැමිණීමෙන් පසු රැකියාවෙන් ඉවත්ව 1884 දී පරම විඥානාර්ථ සමාගමේ සේවයට එක්විය. අනතුරුව බෞද්ධ පුනරුදයේ පුරෝගාමීන් සමඟ එකතුවී “සිංහලයිනි නැඟිටිව්, බුද්ධගයාව බේරා ගනිව්” යන පාඨය යටතේ දඹදිව බුද්ධගයාවට වැඩම කරන ලද්දේ 1896 දීය.

1885 බෞද්ධ පාසල්වල සාමාන්‍යාධිකාරී වූ අතර 1880 – 1890 සරසවි සඳරැස් පත්‍රයේ කළමනාකරු විය. එම වර්ෂයේම බෞද්ධාරක්ෂක සභාවේ සහකාර ලේකම් තනතුර හෙබවිය.

එසේ තනතුරුවල යෙදෙන අතර ඉන් සෑහීමකට පත්නොවී 1886 අනගාරික ධර්මපාල නාමය ගැනීම එතුමන්ගේ ජීවිතය ලෝක ශාසන සේවාවේ යෙදීමට දමන ලද අඩිතාලමක් විය. (පරම විඥානාර්ථ සමාගමේ එක් ප්‍රතිපත්තියකට අනුව එතුමා දොන් ඩේවිඩ් යන ඉංග්‍රීසි නම අතහැර ධර්මපාල නාමය වැළඳගත්තේ ය.) ඒ අනුව 1889 ජනවාරි 10 වනදා සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සමඟ බෞද්ධ ධර්මදූත සේවාව සඳහා ජපානයට වැඩම කිරීමට සිදුවිය. එම කාලය තුළදී ජපානයට ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය හඳුන්වාදීම සිදු කරන ලදී. 1892 දී මහා බෝධි සඟරාව ආරම්භ කරන ලද අතර එමඟින් බෞද්ධ කටයුතු රටපුරා ප්‍රචලිත කිරීමට පියවර ගන්නා ලදී. 1892 දී මහාබෝධි ඉංගී‍්‍රසි සඟරාව ආරම්භ කිරීමත් සමඟ මෙරට පුරා බුද්ධාගම ප්‍රචලිත කිරීමට එය මහෝපකාරී විය. ඒ සමඟම එතුමා විසින් 1896 මැයි මස 05 වන දා අරඹන ලද “සිංහල බෞද්ධයා” පත්‍රය සිංහල බෞද්ධයන්ගේ අයිතිය සුරැකීමට ඇති එකම පත්‍රය බවටද පත් වූයේ ය.

එකල අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ පෙර ගමන්කරුවකු ලෙස පත් වූ මෙතුමා දේශීය කර්මාන්ත නඟා සිටුවීමට මෙන්ම අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන්ද සුවිසල් හඬක් ගෙන ගියේ ය. මේවා නිසා අවසානයේ දී කල්කටාවේදී ( 1915 – 1920 ) සිරගතවීමට ද සිදුවිය. ලෝක ශාසනික සේවයේ යෙදෙමින් එතුමා විසින් ඉදි කරන ලද විහාරාරාම අතර එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය, කල්කටාවේ ධර්මරාජික විහාරය, 1931 දී බරණැස මූලගන්ධකුටි මහා විහාරය, බුද්ධගයාව හා සිංහල බෞද්ධ වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා තැනවූ මදුරාසියේ බෞද්ධ විශ්‍රාම ශාලාව සහිත විහාරය ප්‍රධාන තැනක් ගනී. 1931 දී ශ්‍රී දේවමිත්ත නමින් පැවිදි දිවියට පා තැබූ අතර එය එතුමාගේ ජීවිතයේ ප්‍රමුඛ අරමුණක් ඉටුවීමක් විය.

ඒ සමඟ 1931 ජූලි 13 වන දා බුද්ධගයාව සිංහල බෞද්ධයාට අයිතිවීමද විශාල භාග්‍යයකි. එවන් බෞද්ධ අයිතීන් සුරැකීම මෙන්ම තවත් ඒවා වර්ධනය කිරීම වෙනුවෙන් අනගාරික ධර්මපාලතුමාගෙන් ඉටුවූයේ නොමද සේවයකි. 1933 ජනවාරි 16 වන දා මූලගන්ධකුටි විහාරයේ දී උපසම්පදාව ලබා ලෝක ශාසන සේවාවේ නිරතව සිට බෞද්ධ ලෝවැසියන්ගේ නෙතට කඳුළක් එක්කරමින් 1933 අප්‍රේල් 29 වැනිදා අපවත් වී වදාළහ.

බ්‍රිතාන්‍ය පාලන සමය තුළ මහත් දුක් දරා රට දැය සමය ගොඩනැඟීමට ජීවිත පරදුවට තබා ක්‍රියා කළ අපේ නායකයින් පිළිබඳ හැදෙන වැඩෙන දරුපරපුර දැනුම්වත් කිරීම අපේ වගකීම සහ යුතුකම වේ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වන ජන්ම සමරුව නිමිත්තෙන් විශේෂයෙන් චිත්‍රපටයක් නිර්මාණය කළේ මුදල් ඉපයීමෙන් හෝ පෞද්ගලික යමක් අපේක්ෂාවෙන් නොවේ.

එතුමන්ට උපහාර වශයෙන් පිදෙන එම චිත්‍රපටය මෙරට සිනමාහල් රැසක ප්‍රදර්ශනය කෙරෙන අතර මෙම 12 වන දා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පෙරවරුවේ 08.30 සහ 10.30 පාසල් සිසුන් සඳහා ද පස්වරුවේ වැඩිහිටියන් සඳහා ද එය ප්‍රදර්ශනය කෙරේ. එසේ එන කණ්ඩායමක් ලෙස පැමිණෙන්නේ නම් කල් ඇතිව 011 2559607 දුරකථනය වෙත දැනුම් දිය යුතු වේ. එහි ආසන පහසුකම් 400 කට පමණ සීමා වන බැවිනි.

මෙම චිත්‍රපටය සාර්ථක කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන් සහාය ඉතා අගය කරන අතර එම සිනමා පටයේ අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතා වෙයි.

සටහන සීසර් සුදුසිංහ