Print this Article


උතුම් තපස ඉවසීමයි

මංගල සූත්‍රයෙහි විසිහත්වෙනි මංගල කරුණ ලෙස දක්වන්නේ ඛන්ති හෙවත් ඉවසීමයි. “ඛන්ති පරමං තපෝ තිතික්ඛා” යනුවෙන් බුදුරජාණන් වහන්සේලා දේශනා කරති. ඉවසීම පාරමිතාවකි. බෞද්ධ දර්ශනයට අනුව, තෘෂ්ණාව ප්‍රහාණය කිරීමෙන් ලබන අමා සුවය වූ නිවන පිණිස ඉවසීම විශේෂයෙන් පුරුදු කළ යුතු ගුණයකි. ක්ෂාන්තිවාදී ජාතක කතාවේදී, නපුරු වූ කලාබු නම් රජ විසින් බෝසතාණන්ට කසපහර දෙවමින් අත්පා කපා දමමින් අපරාධ කරන විටත් ඉවසීම පුරුදු කළ අයුරු ඉගෙන ගත හැකි ය. මහා කපි ජාතකයේ දී වානරයෙක්ව ඉපිදි වළෙක වැටී සිටි මිනිසෙකුට එම වළෙන් ගොඩ එන්නට උදව් කළේ ය. මෙම නපුරු මිනිසා මරා කන්නට සිතා වඳුරාගේ හිසට ගලෙකින් ගැසීය. ලේ ගලන හිසද එක අතකින් අල්ලාගෙන කැලයේ අතරමංවූ එම පාපී මිනිසාට අත්තෙන් අත්තට පනිමින් ගමකට යාමට පාර පෙන්වීය. එම ඉවසීම නම් උතුම් මනුෂ්‍යත්වයේ නාමයෙන් කෙසේ විස්තර කරන්නේද?

තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදු සිරිතෙන් එම ඉවසීම මැනවින් දැකගත හැකිය. ගිහිකල තම එකම පුතු වූ රාහුලටත් තමන් වහන්සේට අපමණ කරදර පීඩා කරමින් මරන්නට පවා උත්සාහ කළ දේවදත්ත තෙරුන්ට ද තමන් වහන්සේ මරණයට පත්කිරීමට තම පිටුපසින් එළවා පැමිණි අංගුලිමාලයන්ට ද තමන් වහන්සේ නැසීමට පැමිණි ධනපාල නම් හස්ති රාජයාට ද එකහා සමානව කරුණාව සහ මෛත්‍රිය දැක්වූහ. “අපි තවම බුදුවෙලා, රහත්වෙලා නැතයි” නොපවසමින් ඔබට ද ඔබගේ පරිසරයට මහත් සේ අපමණ ලෙස හිතවන්ත වන මෙම ඉවසීමේ ගුණයෙහි ඇති මානුෂික ශ්‍රේෂ්ඨත්වය නුවණින් සහ සමාධියෙන් යුතුව විමසා බලන්න. මජ්ම නිකායේ කකචුපම සූත්‍රයේදී තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ පැහැදිලි කරති. “පහත් හැසිරීම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීරයේ අවයව කපන්නේ ද, එවිට යම් කෙනෙක් තරහවෙන් සිත දූෂිත කරගන්නේ නම් හෙතෙම මාගේ අනුශාසනය අනුගමනය කරන්නෙක් නොවේ. මහණෙනි, එහිදී ඔබ විසින් මෙසේ සිත හික්මවා ගන්නා. අපේ සිත වෙනස් නොවන්නේ ය. ලාමක වචන නොකියන්නෙමු. හිතානුකම්පීව මෙත්සිත් ඇතිව දෝසයෙන් යුතු සිතින් තොරව වසන්නෙමු. එම පුද්ගලයා කෙරේ මෛතී‍්‍ර සහගත සිත් පතුරුවා වසන්නෙමු. ඒ මෙත් සිතට අරමුණු වූ හැමදේ ඇති ලෝකයේ ශ්‍රේෂ්ඨ වූ, අප්‍රමාණ වූ වෛර නැති, තරහ නැති මෘදු සිත පතුරුවා වසන්නෙමු” කියාය. මහණෙනි ඔබ විසින් මෙසේ හික්මීම අවශ්‍යය. මෙම කකචූපම අවවාදය නිතර මෙනෙහි කරන්න. ඉවසීමේ ශ්‍රේෂ්ඨ බව ස්වාමීන් වහන්සේලා මුල්කරගෙන සියලු දෙනා කෙරේ ධර්ම අවවාදය ලබා දුන්නේ එම ආකාරයෙනි. මෙය මෛත්‍රියේ සහ ඉවසීමේ අති ගම්භීර වූ අවස්ථාවකි. මා ඔබට ආරාධනා කරන්නේ ඉවසීම, තරහවෙන් තොරව සිතෙන්, වචනයෙන් සහ ක්‍රියාවෙන් ටිකෙන් ටික හෙවත් අනුක්‍රමයෙන් පුරුදු කරන ලෙසය. ඉවසීම නොමැති බව නිසා මෙලොව ජීවිතයේ සියලුම විනාශයන්ද මරණින් මතු දුගතිගාමී බවට ද පත්වන්නා වූ බොහෝ පිරිසක් සිටිති.

ඉවසීම නැති තැන වෛරය, ක්‍රෝධය සහ තරහව මතුවෙන්නට පටන් ගනී. ක්‍රෝධයට පත්වන තැනත්තා හොඳ නරකක් තේරුම් නොගනී. යහපත හා අයහපත තේරුම් නොගනී. “කුද්ධෝ අත්ථං න ඡානාති” යයි පැවසුවේ එබැවිනි. කිපුනු සහ තරහවෙන් යුතු තැනැත්තේ ධර්මය අධර්මය නොදනී. “කුද්ධෝ ධම්මං න පස්සති” යනුවෙන් එය පැහැදිලි කරයි. ඉවසීමෙන් බැහැරව කිපී, තම ස්වාමිදියණිය, දෙමාපියන්, දරුවන්, අසරණ මනුෂ්‍යයන් මරණයට පත් කළ පුද්ගලයන් ලෝකයේත් අපේ රටේත් බොහොමයකි. සමහර පවුල්වල සියලු දෙනාම වද දී විනාශ කළ අයුරු ඔබ දන්නවා ඇත. එම අපරාධයන් කරනු ලැබුවේ කුමක් වෙනුවෙන්ද? අනිත්‍යය වූ ලෝකයේ අපට කෙදිනක හෝ අත්හැර යන්නට සිදුවන ඉඩම් කඩම් වෙනුවෙනි. මිල මුදල් වෙනුවෙනි. ගේ දොර වෙනුවෙනි. සිතු පැතූ දෙයක් නොලද බැවිනි. අහෝ ඉවසීම නැති තැන හටගත් පාපී සිතක විනාශකාරී බලය සහ ශක්තිය ගැන නුවණින් සිතා බලන්න.

කාකෝ රත්තිං න පස්සති
ලුද්ධෝ දුට්ඨෝච මුද්ධෝච
අහෝරත්තං න පස්සති,

“බකමුණාට දවල් කාලයෙහි නොපෙනේ. කපුටාට රාත්‍රී කාලයෙහි නොපෙනේ. ලෝභය, ද්වේෂය, මෝහයෙන් යුතු තැනත්තාට රාත්‍රී දවාල දෙකම නොපෙනේ. මෙවැනි පුද්ගලයෙක් කෙරේ කෙසේ නම් සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩෙන්නේද? සාමාන්‍ය ලෝකයා පවසන්නේ” එලොවටත් මොලොවටත් නැති මහා පව්කාරයෝ, යනුවෙනි.

ඉවසීමට පුරුදු තැනත්තා වෛරී මිනිසුන් අතර අවෛරීව වාසය කරයි. සිත පිරිසුදු නිසා සුවසේ ජීවත් වෙයි. මෙම අදහස ධම්මපදයෙහි මෙසේ සඳහන් කරයි.

“සුසුඛං වත ජීවාම - වේරිනේසු අවේරිනෝ
වේරිනේසු මනුස්සේසු - විහරාම අවේරිනෝ”

මෙම ලෝකයේ දෙදෙනෙක් කිසිවිටෙකත් සමාන නොවෙති. යම්වරෙක පෙනුමෙන් එකහා සමාන විය හැකි ය. එනමුත් අදහස්වලින් සහ චරිත ලක්ෂණවලින් වෙනස් ය. එකම අම්මාගේ කුසින් බිහිවූ දරුවන් අතර පවා විවිධ චරිත වෙනස්කම් පවතී. “නානත්ත කායා නානත්ත සඤ්ඤා” යනුවෙන්, විවිධ පෙනුමෙන් සහ විවිධ හැඟීම්වලින් යුතු පිරිස් ලෝකයේ වෙසෙන බව පැහැදිලි කෙරිණි. විවිධ හැඟීම් සහ අදහස් තිබෙන අය අතර වෙසෙන විට සියලු දෙයම එක ආකාරයට නොපවතී. එනම් සිතිවිලිවලින්, කතා කරන ආකාරයෙන් සහ හැසිරීමෙන් විවිධ විය හැකි ය. මෙය තම පවුලෙන්ම හඳුනාගත හැකි ය. ස්වාමියා සහ බිරිඳ අතරද දෙමාපියන් සහ දරුවන් අතරද, සොහොයුරු සොහොයුරියන් අතර ද ආදී වශයෙනි. මේ ලෙසින් සිතන විට ඔබ ජීවත්වන පරිසරයේ ද විවිධ වෙනස්කම්වලින් යුතු පිරිස් සිටිති. එය මඟතොට, කාර්යාලය, වැඩපොළ, පාසල හෝ පූජ්‍ය ස්ථානය ද විය හැකි ය. මෙම විවිධ සිතුම් පැතුම් සහ චරිත ලක්ෂණ නිසා නොගැළපීම් සහ කැමති අකැමැති දෙයට මුහුණ දීමට සෑම කෙනෙකුටම සිදුවේ. මෙම අකමැත්ත සහ නොගැළපීම ඉදිරියේ තරහවට පත්නොවී ක්‍රෝධ හෝ වෛර නොකොට ඉවසීම පුරුදු කිරීම උතුම් ගුණයකි. එය එම පුද්ගලයාටම යහපතකි. මෙය කියවන ඔබ මෙසේ සිතින් ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේද? ඔය කියන විදියට ඉවසුවොත් අද කාලයේ සිටින මිනිස්සු අපේ ඔළුවටත් අත සෝදලා යයි” ඔය කියන විදියට ඉවසගෙන සිටියොත් අද නම් මේ පොළොවේ පය ගහලා නම් ජීවත්වෙන්න බැරිවෙයි” යනුවෙනි. ඉවසීමේ උතුම් ස්වභාවය වූ ජීවිත පරිත්‍යාගයෙන් ඉවසීම බෝධිසත්ව උතුමෝ පුරුදු කළ අයුරු මෙම ලිපියේ මුලදී පැහැදිලි කෙරිණ. මෙහි ඔබට ආරාධනා කරන්නේ “ගැහුවොත් ගහනවා” හෝ “බැන්නොත් බනිනවා” කියනවාට වඩා ඉවසීමෙන් තමාට, තම දරු පවුලට, දෙමාපියන්ට, තම ස්වභාවයට, තමා මෙතෙක් රැකගෙන පැමිණි ගුණයට මනුස්සකමට ඇතිවන යහපත ගැන සිතා බලන්න කියා ය.

මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ දී අධිවාසනා පහාතබ්බා” යනුවෙන් ආශ්‍රවයක් හෙවත් ක්ශේෂයක් වූ නොඉවසීම බැහැර කළ යුතු බව දැක්වෙයි. එහි පැහැදිලි කරන්නේ බඩගින්න, සාපිපාසාව, රුදුරු කායික, මානසික පීඩා, නපුරු වචන, ඇනුම් බැනුම්, සීතල, උෂ්ණය, මැසි මදුරු සර්ප පීඩා පවා ඉවසීමට තරම් ශක්තියක් ඇතිකර ගත යුතු බවයි. මෙසේ ස්වභාවික පරිසරයෙන් පවා ඇතිවන පීඩාවලදී ඉවසීම පුරුදු කිරීම යනු ඒවා මගින් තමාට සිදුවන හානියෙන් ආරක්ෂා වී සිත සන්සුන්ව පවත්වා ගැනීමයි. වැස්ස, අව්ව, පින්න, සීතල සමග හැප්පීමෙන් හෝ කේන්ති ගැනීමෙන් තේරුමක් තිබේදැයි ඔබට සිතා බලන්න. වැස්ස පින්නට ද බනිමින් සහ දොස් කියමින් තම ශරීරයේ ලේ ධාතුව අපිරිසුදුකර ගන්නා අය ද අප අතර දුර්ලභ නොවෙති.

ඉවසීමේ අනුසස් පහක් බුදු සමිඳාණෝ පෙන්වා දෙති.

1. බොහෝ අයට පි‍්‍රයශීලී කෙනෙක් වෙයි. 2. හිත මිතුරන් බොහෝ ඇති වෙයි. 3. වැරැදි, අඩු පාඩු අඩු අයෙක් වෙයි, 4. සිහිනුවණින් යුතුව මරණයට පත්වීමට හැකිවෙයි, 5. මරණින් මතු සුගතිගාමී වෙයි, නොඉවසීමට වඩා කවර නම් වෙලාවකදී, අවස්ථාවකදී ඉවසීමෙන් ඔබ ලද සැනසීමක් වේ නම් සිතා බලන්න. නැවත නැවතත් එය පුරුදු කරන්න.