Print this Article


සීල විසුද්ධිය -13 පරිපූර්ණ වශයෙන් සීලය පිරිසුදුවීම

සීල විසුද්ධිය -13

පරිපූර්ණ වශයෙන් සීලය පිරිසුදුවීම

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ නො වුණ කාලයකත් ඇතැමුන් සිල් රකිනවා. ඒ ආකාරයට සිල්වත්ව වාසය කරන අය සමාධියත් උපදවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණායින් පස්සෙත් සීලය තිබෙනවා. මිනිසුන් සීලය සමාදන් වෙනවා. බොහෝ අය ඒ සීලය ආරක්ෂා කරනවා. ඒ සීලය මුල් කරගෙන සමාධිය ඇති කර ගන්නවා. ඒ දෙකේ වෙනස මොකක් ද? බුද්ධ ශාසනයක් මුල්කරගෙන සීලය ආරක්ෂා කරන පුද්ගලයාට ඒ සීලය මුල්කරගෙන සමාධිය දියුණුවෙන පුද්ගලයාට සංසාරයෙන් නිදහස් වීම පිණිස අවස්ථාව ලැබෙනවා. ඔහු සංසාරෙන් නිදහස් වීමේ මඟට එනවා. බුද්ධ ශාසනයක් නැති කාලෙක සීලය තිබෙනවා, සමාධියත් උපදවා ගන්නවා. නමුත් එතැන සංසාරෙන් නිදහස්වීමට ඉඩක් නැහැ. අවකාශයක් නැහැ. සංසාරෙන් නිදහස් වීමේ මඟට ඒමට අවස්ථාවක් නැහැ.

එහෙනම් අප ධර්මය ඇසුවා, ධර්මය ඉගෙන ගත්තා, ධර්මයේ හැසිරීමෙන් යුක්තව වාසය කරනවා. නමුත් අපටත් සංසාරයෙන් නිදහස්වීමේ භාග්‍යය අහිමිවෙන්නට බැරිද? ඒක වෙන්නට පුලුවන්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ යුගයක පවා සිල්වන්ත පුද්ගලයාට සමාධිය උපදවා ගත්ත පමණින් නිවන් මඟ මුණ නො ගැහී තිබෙන්නටත් පුළුවන්. එහෙනම් අප ලොකුª කල්පනාවකින් ලොකු වැටහීමකින් කටයුතු නො කළොත් අපට බුද්ධ ශාසනයේ ලැබුණ ලාභය අත්කර ගන්නට බැරිවෙනවා. අප සීලයට ආපු පමණින් සමාධියක් උපදවා ගත්ත පමණින් බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා වෙනවද? නැහැ. අප විසින් අන්න ඒ වෙනස හඳුනා ගත යුතුයි. මේ ලැබුණ අවස්ථාව අත්නොහැර සීලය සමාධිය තහවුරුකර ගැනීම පිණිස අප විසින් කළයුත්තේ මොකක් ද? ඒ සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදුකර ගැනීමට උත්සාහ කිරීමයි.

ඒ සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදු කර ගත් පුද්ගලයාට පමණයි නිවන් මඟට දොර විවර වෙන්නේ. නැත්නම් බුද්ධ ශාසනයෙන් එපිටත් සිල් රකින අය ඉන්නවා. ඒ සීලය පිහිට කොට සමාධියක් උපදවා ගන්නවා. නමුත් නිවන් මඟ වැඩීමක් නැහැ. අප විසින් සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදු කර ගන්න කල්පනා කළ යුතුයි. ඒ සඳහා අප ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් වැඩපිළිවෙල මනාකොට හඳුනාගෙන අනුගමනය කරන්නට ඕන. එයට කියනවා “සීල විසුද්ධිය” කියා. සීල විසුද්ධිය කියා කියන්නේ පරිපූර්ණ වශයෙන් සීලය පිරිසුදු කර ගැනීම යි.

භාග්‍යතුන් වහන්සේ නමක් නැති කාලෙක ඒ බුද්ධ ශාසනයක් නො පවතින කාලයක සිල්වත් අය හිටියා. ඒ අය සීලය මුල්කරගෙන සුගති ලෝකවල ඉපදුණා. නමුත් ඒ පින අවසන් වූවට පස්සේ ඔවුන් නැවත වරක් දුගති ලෝකවල උපදින්නේ එසේ සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදුවෙලා නැති නිසයි. සීලය නැවත අපිරිසුදු නොවන ලෙස පිරිසුදුකර ගතහොත් නැවත දුගතියේ ඉපදීමක් නැහැ. ඔහුට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කිරීමේ අවස්ථාව උදාවෙනවා. එයයි නිවන් මඟේ ආරම්භය. ඒ නිසා අප සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදුකර ගන්නට වෑයම් කරන්නට ඕන. ඒ සඳහා ධර්මයේ පෙන්වා දී තිබෙන වැඩපිළිවෙල මනාකොට අනුගමනය කරන්නටත් ඕන. අප එසේ අනුගමනය කළා නම් ලොකු දෙයක් ජීවිතයට කර ගත්තා වෙනවා. අපේ මුළු ජීවිත කාලයේදීම හෝ මහන්සිවෙලා වෑයම් කරලා අප විසින් ඉටුකරගන්නට කැමැති විය යුත්තේ සීලය නො පිරිහෙන ලෙස පිරිසුදු කර ගැනීම යි. කොහොමද එය කරන්නේ? සේඛ බල පුරුදුකර ගැනීමෙන්, දියුණුකර ගැනීමෙන් පමණයි සීලය පිරිසුදු වෙන්නේ. සේඛබල පිරෙනවිට සීලය අපිරිසුදුවෙන්ට පටන් ගන්නවා. සේඛබල දියුණු වෙන්ට දියුණු වෙන්ට සීලය දියුණු වෙනවා. එවිට ඔහුගේ සීලය අපිරිසුදු නොවන දෙයක් බවට පත්වෙනවා.

සේඛබල කියන්නේ ශ්‍රද්ධාව, පවට ලජ්ජාව, පවට භය, වීර්යය, ප්‍රඥාව යි. මේ කාරණා පහ දියුණුකර ගතහොත් සීලය අපිරිසුදු නොවන මට්ටමට දියුණුකර ගන්නට පුළුවන්කම තිබෙනවා. එසේනම් සේඛබල දියුණුකර ගන්නට නම් සේඛබල අප තුළ උපදවා ගන්නට ඕනෑ. අපේ ජීවිතයට සේඛබල ඇති කර ගන්නේ කොහොම ද? සේඛබල ඇති කරගන්නට නම් පිරිසත් සමග සමගි සම්පන්නව වාසය කරමින් ඒ අය උදෙසා උපකාර කරමින්, වාසය කරන්නට ඕන. එවිට සේඛබල දියුණුවෙනවා. සංවරභාවය ඇතිවන අයුරින් එකිනෙකාට උපකාර කරමින් වාසය කරන්නට ඕන. ඒ සඳහා එකිනෙකාට ගරුසරු ඇතිව වාසය කරන්නට ඕන. ඒ ඇතිවන සේඛබල දියුණු කර ගන්න පුළුවන්කම තිබෙන්නේ ඒ ධර්මයේ සඳහන් ප්‍රතිපදාව පුරුදු කර ගැනීමෙන්.

එකිනෙකාට උපකාර කිරීම මුල් කරගෙන අප තුළ සංවරකම ඇතිවෙන්නේ නැත්නම් සේඛබල ඇතිවෙන්නේ නැහැ. තමා තුළ සංවරකම ඇතිවෙන ආකාරයට අප එකිනෙකාට උපකාර කරන්නට ඕන. අප සංවර වන ආකාරයට අන් අයට උපකාර කරන්නේ කොහොම ද? මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඇති කරගන්න ඕන. ඒ ආකාරයට උපකාර කරන පුද්ගලයා සංවර වෙනවා. ඒ සඳහා මෙත්තා කරුණා, මුදිතා උපේක්ෂා කියන ඒ සතර බ්‍රහ්ම විහරණවලින් යුතුව වාසය කරන්නට ඕන. යම් කෙනෙකුට මෛත්‍රී සහගත සිතින් උදව් කළොත් ඒ නිසා තමන් සංවරවීමට පටන් ගන්නවා. ඒ වගේ ම කරුණාවෙන් යුක්තව මුදිතාවෙන් උපේක්ෂාවෙන් එකිනෙකාට උපකාර කරන කොට තමාව සංවර වීමට පටන් ගන්නවා.

අප වත්පිළිවෙත් කරනවා. මිදුල් අතුගානවා, වැසිකිළි සෝදනවා, නිවාස පිරිසුදු කරනවා. ඒ කටයුතු මුල්කරගෙන අන් අයට උපකාරයක් වෙනවා. ඒ උපකාරය අප තුළ සංවරවීම ඇතිවන ආකාරයට කරන්න පුළුවන්. එසේනම් කරුණාව, මෛත්‍රීය, උපදවාගෙන ඒ කටයුතු කළොත් අප සංවර වෙනවා. එසේ නැතිව අමනාපයෙන් අකැමැත්තෙන් අන් අයට උපකාර කළොත් සංවර වෙන්නේ නැහැ. එකට එක කරන ගතිය උපදිනවා. ගැටෙන හැඟීම් අකැමැති සිතිවිලි උපදිනවා. වංචා සහගත හැඟීම් උපදිනවා. අපට අකුසල් වැඩෙන ආකාරයට අන් අයට උපකාර කරන්න පුළුවන්. යම් යම් කටයුතු කරපු පමණින් ම කුසල් උපදින්නේ නැහැ. අප සමහර වෙලාවට ගොඩාක් වැඩ කරනවා. දවස පුරා වැඩ කරනවා. නමුත් කුසල් ඉපදිලා නැහැ. ඒ අකැමැති හිත ඉපදිලා තිබෙන්නේ. එක්කෝ ඔහු වැඩකට ඇලිලා ගිහිල්ලා, නැත්නම් පිරිසට ඇලිල ගිහිල්ලා එහෙම නැත්නම් ගැටුණු සිතින් වැඩ කරනවා. එහෙම කෙනෙක් තුළ කුසල් වැඩෙන්නේ නැහැ. ඔහු තුළ සංවරභාවය හට ගන්නේ නැහැ. සේඛබල උපන්නට තිබෙන ඉඩකඩ නැතිවෙලා යනවා. යම් පිරිසක් සංවර වෙන ආකාරයට කුසල් සිතින් වත් පිළිවෙත් කරනවානම් ඒ පිරිස එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කන්න ඕන. මෛත්‍රීය, කරුණාව, උපේක්ෂාව ආදී කුªසල් සිතිවිලි උපදවාගෙන එකිනෙකාට උපකාර කරන්නට එවිට පෙළඹෙනවා. එය ධර්මතාවයක්.

අප කල්‍යාණ මිත්‍ර ඇසුර අත්හැර ගන්නේත් නුවණින් කල්පනා නො කිරීම නිසාම යි. ඒ නුවණින් කල්පනා කිරීමේ හැකියාව වැහිලා යන්නේ රාගය, ද්වේශය, මෝහය මුල්වෙලා. කෙනෙකුට රාගය ඉපදිලා සිල් බිඳුනාම මගේ සිල් බිඳුනා කියා ඒක හඳුනා ගන්නවා. ද්වේශය ඉපදුණාම ඒකත් හඳුනා ගන්න පුළුන්කම තිබෙනවා. මට කේන්ති ආවා. මම බැන්නා කියලා. නමුත් මෝහය කියන්නේ කලක් ගිහිල්ලවත් හඳුනා ගන්න ඉතා ම අමාරු එකක්. මෝහය මුල්කරගෙන තමා මාන්නය කියන අකුසලය අපට ඇතිවෙන්නේ. මෝහයෙන් මුලා වුණොත් මාන්නයට හිත යට වුණොත් ඔහුට කල්‍යාණ මිත්‍ර ඇසුර නැතිවෙලා යනවා. ඒනිසයි කල්‍යාණ මිත්‍ර ඇසුර අපට අවශ්‍ය වෙන්නේ.

අප මේ ධර්මය පුරුදුකරගෙන යනවිට අපට සතුට සොම්නස පී‍්‍රතිය ඇතිවෙනවා. එවිට ඒ සතුට සොම්නස ඉපදුණේ කුමක් මුල්කරගෙන ද? අප ධර්මය කියන විට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවිට ධර්මය කතාකරන විට අපට සතුටක් උපදිනවා. ඒ වගේ ම භාවනාවක් කරන විට සැපයක් ඇතිවෙනවා. ඇයි ඒ? කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන්නේ සැප උපදවන කරුණු හතරක්.

මේ සෝතාපත්ති අංග හතර හඳුනාගන්න බැරි කෙනාට ධර්ම මාර්ගයේ ඉදිරියට යාමක් සිදුවෙන්නේ නැහැ. ඔහු කෙලෙස්මයි වඩන්නේ. මාන්නයම වඩනවා. ඔහු නුවණින් විමසල කරුණු තේරුම් ගන්නේ නැති නිසා ශ්‍රද්ධාවට එන්න අපහසුයි. ශ්‍රද්ධාව උපදවා ගන්න බැරිවෙනවා. එනිසා ඔහුට හිරි ඔතප්, ලජ්ජා, භය උපදින්නේ නැහැ. වීර්යය උපදින්නේ නැහැ. ප්‍රඥාව උපදින්නේ නැහැ. ඔහුට සේඛධර්ම උපදවා ගන්න බැරිව යනවා.

ඒනිසා අප කල්‍යාණ මිත්‍ර ඇසුර අතනොහැරෙන ආකාරයට ජීවිතයට සමීප කර ගැනීමට කල්පනා කළ යුතුයි. නුවණ පාවිච්චි කළ යුතුයි. කැමැත්ත උපදවාගෙන වාසය කළ යුතුයි. මේක අමාරු වැඩක්. තව කෙනෙකුගෙන් අසා වැඩ කරනවා කියන එක අමාරුයි. විමසනවා කියන එක අමාරුයි. මේ වගේ මාන්නයක් අපේ හිත් තුළ තියෙනවා. එනිසයි කලක් තිස්සේ අප සසරේ ගියේ. මේක කොහොමද කරන්නේ කියා අහන්න කෙනෙකුට අමාරුයි. එතරම්ම මේ හිත ජඩයි. තව කෙනෙකුගෙන් විමසන්නට අහන්නට කැමැති නැහැ. මේක තමා ඉස්මතු කර “මම දන්න කෙනා” කියන අදහස. ඒ අදහසේම වැජඹෙන්නට තමා මේ හිත කල්පනා කරන්නේ. ඒ නිසා අප එය අඳුනාගෙන කල්‍යාණ මිත්‍රයා අඳුනා-ගෙන ඔහුට නැඹුරු වූ සිතින් වාසය කරන්නට පුරුදු වුණොත් අපට මේ ධර්මය පුරුදු කරනවිට උපදින සැප සොම්නස ඒ ආකාරයට ලැබුණේ කියා කල්පනා කරන කොට විතරයි. එතනැම කළගුණ සැලකීම උපදිනවා. ඔහු ක්‍රමක ක්‍රමයෙන් දියුණුවට යනවා.

නයනා නිල්මිණි


සීල විසුද්ධිය -12 භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පැනවූයේ ඇයි?