Print this Article


දුක හට ගන්නේ කෙසේද?

දුක හට ගන්නේ කෙසේද?

ලොව සුන්දරත්වය ඇත්තේ බාහිරව නොවේ. යථාර්ථය දැකීමෙන් පමණකි සිතේ නිවීම ඇතිවන්නේ. සිත යනුද එක මොහොතක් වත් පවතින දෙයක්ද නොවේ. එයද හටගෙන නැසෙන සුළු වෙයි. එහි මම ද නැත. අනෙකෙක්ද නැත.

දිනක් එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාකොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය.

භවත් ගෞතමයෙනි, කිමෙක්ද? හෙතෙම කෙරේද? හෙතෙමේ විඳීද? බමුණ, “හෙතෙමේ කෙරෙයි, හෙතෙමේ විඳියි” යනු එක් අන්තයෙකි. භවත් ගෞතමයෙනි, කිමෙක්ද? අනෙකෙක් කෙරේද ,අනෙකෙක් විඳීද? බමුණ,”අනෙකෙක් කෙරෙයි අනෙකෙක් විඳී යනු දෙවන අන්තයයි.

බමුණ, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ “අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. සංස්කර ප්‍රත්‍යයෙන් විඥානය වේ.මෙසේ හුදු දුක් රැසේ හට ගැනීම වේ. අවිද්‍යාවේම නිරවශේෂ විරාගයෙන් නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ. මෙසේ දුක් රැසේ නිරෝධය වේ “ යැයි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි. මෙසේ පිළිතුරු දුන් කල්හි ඒ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි “භවත් ගෞතම යෙනි, ඉතා මැනවි. වහන්ස , යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේද වැසුණු දෙයක් හෝ වැසුම් හරින්නේද, මං මුළාවූවකුට මඟ කියා දෙන්නේද ඇස් ඇත්තෝ රූ දක්නාහයි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේද එසෙයින්ම භාග්‍යවතුන් වහන්සේ දහම් පවසන ලදී.අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වායි සැළ කෙළේය.

මෙයින් අදහස් වන්නේ තමා දරා සිටි වැරැදි මත (මිථ්‍යා අදහස්) දුරුවී නිවැරදි දර්ශනයට පත්වූ ආකාරයයි. දුක හට ගන්නා ආකාරයත්, දුක දුරුවෙන අන්දමත් තමා තුළින් අවබෝධ කරගත් බව බමුණා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළ බව තේරුම් ගන්න. යමෙක් තෘෂ්ණාවට දාස වනතෙක් ඔහු දුක් රැස භාරගත්තේ වෙයි. යමෙක් තෘෂ්ණාවට දාස නොවන්නේ නම් දුක් දුරු කළ අයෙක් වෙයි.

හටගත් යමක් ඇත්ද? ඒ හැම මොහොතක්වත් ස්ථිර නොවී ශේෂයක්වත් ඉතිරිනොවී නිරුද්ධ වන්නේය. නමුත් අශ්‍රැතවත් පුහුදුන් සත්ත්ව තෙම හටගෙන නැසෙනදේ තමාකොට ගනියි. එයම දුක් රැසේ හටගැනීම වේ. දුක යනු පංච උපාදානස්කන්ධයම වන්නේය. පස්කඳ මම මගේය, මගේ ආත්මයකොට ගැනීමයි. එසේ ගැනීමම ජාති, ජරා, ව්‍යාධි, මරණය මතු මතු සකස්වන බවත්, සසරින් නිදහස් නොවන, අයෙකු ද වෙන බව තේරුම් ගන්න. දිනක් ආනන්ද තෙරුන් වහන්සේ සහ වංගීස තෙරුන් වහන්සේ මහ මඟ ගමන් කරන විට ඉදිරියෙන් ස්ත්‍රියක එන බව දක්නට විය. ආනන්ද තෙරුන් වහන්සේ නිහඬව වැඩම කරන ලදී. එහෙත් වංගීස ස්වාමින් වහන්සේ ආපසු හැරී ස්ත්‍රිය නොපෙනෙන තෙක් බලා සිටියේය. එවිට ආනන්ද තෙරුන් වහන්සේ බොහෝ දුර වැඩම කොට ඇත.වංගීස ස්වාමින් වහන්සේ ඉතා වේගයෙන් ගමන්කොට ආනන්ද ස්වාමින් වහන්සේ වෙත සමීප වී මෙසේ ප්‍රකාශ කෙළේය.ආනන්දයෙනි මාගේ සිත වික්ෂිප්ත විය.අසමාහිත විය. දැවෙන්නට විය. හාත් පසින් ගිනිගන්නට විය. එවිට ආනන්ද තෙරුන් වහන්සේ වංගීස ස්වාමින් වහන්සේට මෙසේ ආමන්ත්‍රණය කළහ.ඇවැත්නි, වංගීසයෙහි ගිය බර ඇයි සිතට ගත්තේ. හටගෙන තැවෙන සියල්ල නිත්‍ය වශයෙන් ගැනීම දුක් හට ගැනීම වේ. ගිය දෙය මෙතැනට අරගෙන ආපු නිසයි හිත දැවෙන්නේ. සිහිනුවණ පිහිටුවා අත්හරින්න. එවිට සන්සිඳීම ඇතිවන්නේ වෙයි. එම උපදේශය නුවණින් මෙනෙහි කොට දැවෙන සැලෙන සිත සනසා ගත්තේය. ගිය අතීතයද නොපැමිණියා වූ අනාගතයද බර නොකර ගන්න. මේ මොහොත අත්හැරීම පුරුදු කරන්න. එවිට ඔබටත් නිවුණු සිතකින් ජීවත් වීමේ භාග්‍ය උදාකරගැනීමට හැකියාව සැලසෙන්නේය. මැදුම් මාවත නිරතුරුව ජීවිතයට සමීප කරගෙන සියලු කටයුතු කරන්න. මඟ සොඳුරුය. උත්සාහවත් වන්න. කෙළවර දකින්න. යම් වස්තුවක් නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේද එහි දුක්රැස හටගත්තේ වෙයි. යම් වස්තුවක් අනිත්‍ය,දුක්ඛ ,අනාන්ම, අසුබ කොට නුවණින් මෙනෙහි කරන්නේ නම් එසේ නිවීම ඒ මොහොතේ සිදුවන්නේය.

”සංඛාර පරමා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චාති යන්නෙන් වදාළේ එම නිසාවෙනි.

”යස්ස පුරෙ ච පච්ඡා ච
මජෙක්ඨ ච නත්ථි කිඤ්චනං
අකිඤ්චනං අනාදානං
තමහං බ්‍රෑම් බ්‍රාහ්මණාං “

’පෙර මතු වත්මන් (වර්තමාන) පස්කඳ කෙරෙහි මමය, මාගේයයි ගැනීමක් නැද්ද , තෘෂ්ණාවෙන් යුතු ගැහැට කරදර පීඩා රහිත වාසය කරයිද, හෙතෙම බ්‍රාහ්මණ (නිවුණු) යයි කියමි”

බාහිර අරමුණෙහි ඇලීම් ගැටීම් දුරු කිරීම සන්සිඳීමට හේතු වන්නේය.ධර්මයෙහි අකාලික ගුණය දකිමින් ජීවත්වීම ශාන්තිකර වන්නේය.

තවදුරටත් දුක සහ දුක නිරුද්ධ වීම ගැන කරුණු කාරණා විග්‍රහ කර බලමු.

ඇසට බාහිර අරමුණ වන රූපය නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. (ඇසෙහි පහලවන සිත) මේ තුනෙහි එක්වීම ස්පර්ශයයි. ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව වේ. (සැප,වේදනා, දුක්ඛ,වේදනා, මැදිහත් වේදනා වේ) වේදනාව ප්‍රත්‍ය යේ තෘෂ්ණාව වේ. හටගෙන නැසෙන වේදනාත්‍රය මමය මගේ කොට ගැනීම තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොට ගෙන උපාදානය වේ. උපාදාන ප්‍රත්‍යයෝ භවය වේ. භවය ප්‍රත්‍යයෙන් ජාතිය වේ.ජාති ප්‍රත්‍යයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛදෝමනස්ස හට ගනිත්. උපායාස යෝ හට ගනියි. මෙය ලෝකයේ හට ගැනීම හෙවත් දුක් රැස්වෙයි. මෙලෙස කනේ ශබ්දයත්, නාසයත් ගන්ධාරමයත්, දිවත් රසයත් කයත් පහසත් සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. මෙය ලෝකයේ දුක්රැස් කිරීම නම් වේ. ස්පර්ශ ප්‍රත්‍යයෝ හටගන්නා වේදනාව ඔබ අනිච්ච වශයෙන් දකින්නේ නම් කර්ම සකස් නොවේ. එය ලෝකයේ නිවීම වන්නේය. එය කෙසේද වන්නේ.

ඇසත් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. මේ තුනෙහි එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේම නිරවශේෂ විරාග නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. මෙසේ පුහුදුන් රැසේ නිරෝධය වේ.

තෙල් සහ වැටිය නිසා පහන යම් සේ දැල්වේද, පුරුෂයෙකු නැවත නැවත තෙල් දමන්නේ වේද වැටිය සකස් කරන්නේද,මෙසේ තෙල් පහනක ඒ ආහාර හේතුවෙන් , ඒ උපාදාන නිසා බොහෝ වේලාවක් දැල්වෙන්නේය. (දිලෙන්නේය) අශ්‍රැතවත් පුහුදුන් සත්ත්වයෝ ඇසට අරමුණු වන රූපයන්හි, කනට අරමුණ වන ශබ්දයන්හි, නාසයට අරමුණු වන ගන්ධයන්හි, දිවට අරමුණු වන රසයන්හි, කයට අරමුණු වන පහසයන්හි, සිතට අරමුණු වන ධර්මයන්හි ආස්වාදය නැවත නැවත සිතමින් සංයෝජනය වීමෙන් තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණාව ප්‍රත්‍යයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. මෙසේ දුක් රැස හටගන්නේ වෙයි.

තෙලත්, වැටියත් නිසා පහන දැලවෙන්නේ වේද, පුුරුෂයෙක් කලින් කලට එහි තෙල් නොදමන්නේ වේද, වැටිය සකස් නොකරන්නේ වේද, එවිට පළමුතෙල් දහනය වීමෙන්, නැවත තෙල් මිශ්‍ර නොකිරීමෙන්, ප්‍රත්‍යය රහිත වූයේ පහන නිවීයන්නේ වෙයි. මෙලෙස ශ්‍රැතවත් ශ්‍රාවකයා දෝෂය දකිමින් (ආස්වාසය, ආදීනවය, නිස්සරණය) සංයෝජනය නොවන්නේ නුවණින් වාසය කරන්නේ තෘෂ්ණාව ප්‍රහීණ වන්නේය. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. මෙසේ දුක් රැසේ නිරෝධය වේ. ඔබත් යථාර්ථය දැක කෙලෙස් ගිනි වලින් දහනය නොවී සිත නිවාගැනීමට උත්සාහවත් වන්න.