Print this Article


පූජාච පූජනීයානං

වලස්ගල පුණ්ණජි මයුරවංස ලොකු හාමුදුරුවෝ

මාතර වල්පල සිරිමංගල මහා විහාරය උගත් වියත් සංඝ පීතෘන් වහන්සේලා කිහිපනමක් බිහිකළ පෞරාණික පුදබිමකි. අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශාභිධාන මහා ස්වාමීන් වහන්සේ, මැද උයන්ගොඩ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ හා රාජකීය පණ්ඩිත බටුවිට නන්දාරාම අනුනා හිමිපාණන් වහන්සේ ඇතුළු උගත් භික්ෂු පරපුරක් එම පුදබිමේ වැඩ වාසය කළහ. මයුරවංස හිමිපාණන් වහන්සේ ද මෙහි වැඩ වසන ස්වාමීන් වහන්සේ නමකි.

දික්වැල්ලේ දෙමටපිටිය ගම් පියසේ 1918 අගෝස්තු 20 වන දින ජන්ම ලාභය ලැබූ මෙම වාසනාවන්ත කුමරුවා දික්වැල්ල මොග්ගලීපුත්ත තිස්ස බෞද්ධ මිශ්‍ර පාසලෙන් හයවන පෙළ දක්වා අකුරු කරමින් සිටින අවදියේ 1932 සැප්තැම්බර් 12 වන දින රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ මහා නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වශයෙන් පැවිදි බිමට පත්ව 1940 මැයි 04 වන දින උපසම්පදාව ලැබූහ.

මයුරවංස හාමුදුරුවෝ තම තරුණ කාලය අපතේ නොයවමින් එදා පැවති සමාජයේ ගැටලු හඳුනාගනිමින් තමන් වහන්සේ උගත් සද්ධර්මය බෞද්ධ ජනයා අතර බෙදාදීමට විශාල වෙහෙසක් දරන ලදී.

මේ අතර මාතර මඩිහ ප්‍රදේශයේ සිසු සිසුවියන් සුළු පිරිසක් සහභාගී කරගනිමින් ප්‍රදේශයේ මව් දෙමාපියන්ගේ සහයෝගයෙන් ශ්‍රී ධර්මවංශ දහම් පාසල ආරම්භකර කාලයක් ගතවෙත්ම වල්පල සිරිමංගල පිරිවෙන හේතු කර ගනිමින් ශ්‍රී මංගල දහම් පාසලද ආරම්භ කිරීමට මයුරවංශ හිමියෝ සමත්විය. මහරගම අභ්‍යාස මධ්‍යස්ථානයේ ආචාර්යවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ මයුරවංශ හිමිපාණෝ අගනුවර ප්‍රදේශයේ දානපතින්ද සම්බන්ධ කර ගනිමින් මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා ගිලන් සංග්‍රහ පැවැත්වූ අතර රෝහලේ දර්ශනීය බුදු මැදුරක් ද ඉදිකිරීමට සමත් විය.

එමෙන්ම 1962 වර්ෂයේ මාතර පුරවරයේ සුප්‍රසිද්ධ දානපති සී.ඒ. හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ප්‍රභූ දානපතියන්ගේ පූර්ණ දායකත්වය ඇතිව මාතර ආරෝග්‍ය සේවා සංගමය ආරම්භ කරන ලදී. එකල නවතා දමා තිබූ මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ගේ බත් පත නැවත ආරම්භ කිරීමට සමත්ව අප හිමිපාණෝ සෑම වාට්ටුවකම උදේ සවස පිරිත් ශ්‍රවණය කිරීම සඳහා ශබ්ද විකාශන සේවාවක්ද ආරම්භ කර රෝහල තුළ දර්ශනීය බුදුමැදුරක්ද ඉදි කළේ ය. අදටත් නේවාසික රෝගීන් වැඳුම් පිදුම් කරන්නේ එම බුදු මැදුර තුළය. එදා නේවාසික රෝගීන් වෙනුවෙන් ආරම්භ කළ ගිලන් සංග්‍රහය අදටත් සෑම පසළොස්වක පොහෝ දිනකම සිදුකරගෙන යයි.

රට පුරා විසිරී සිටින පින්වතුන්ගේ ආධාර උපකාර ලබමින් ආරම්භ කළ මෙම ආරෝග්‍ය සේවා සමිතිය 1968 වර්ෂයේ පාර්ලිමේන්තුවේ ගැසට් පත්‍රයක් මගින් රජය පිළිගත් පුණ්‍යායතනයක් බවට පත් කර ගත්තා පමණක් නොව පසු කලෙකදී එම සංගමය සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව යටතේ සී/ස මාතර ආරෝග්‍ය සේවා සමිතිය නමින් ලියාපදිංචි කරවීය. සී/ස මාතර ආරෝග්‍ය සේවා සමිතිය මඟින් ඉටු කෙරෙන සමාජ සේවාවන් අතර මාතර කීර්ති කුමාර නිවාසය, සුවසෙවණ වැඩිහිටි නිවාසය, මාතර යෝගාශ්‍රමය, ශ්‍රී මංගල සීල සංවිධානය, සිත්සුව සහන උපදේශන සේවා, ශ්‍රී මංගල දහම් පාසල, ශ්‍රී මංගල ළදරු උයන හා පෙර පාසල, මාතර රෝහල් බුදු මැදුර හා ගිලන් සංග්‍රහය ඒ අතර විශේෂ තැනක් ගනී.

මයුරවංස නා හිමිපාණන් වහන්සේගේ මූලික සංකල්පය වූයේ කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා සුචරිතයෙහි පිහිටුවීමත් අසරණයින්හට පිහිටවීමත් යන මූලික සංකල්පයි. එම උතුම් අදිටන මල්පල ගන්වමින් සමාජ රැකවරණය හා මාපිය රැකවරණය අහිමි කුඩා දරුවන් වෙනුවෙන් මාතර කීර්ති කුමාර නිවාසය 1968 වර්ෂයේ ආරම්භ කළ අතර සමාජයේ අසරණ වූ මහලු වැඩිහිටියන් වෙනුවෙන් සුවසෙවණ වැඩිහිටි නිවාසය 2008 වර්ෂයේ ආරම්භ කරන ලදී. විහාරස්ථානයට යාබද ඉඩම මිලයට ගත් මයුරවංස නා හිමිපාණෝ එහි එකවර භාවනා යෝගීන් 56 දෙනෙකුට භාවනා කිරීමට සුවපහසු භාවනා කුටි 56 කින් යුතු දර්ශනීය භාවනා මධ්‍යස්ථානයක් ඉදිකළ අතර එහි තුළ සක්මන් මලු, ළිං පොකුණු, තුරුලතා ආදියෙන් සමන්විත නිසංසල පරිසරයක් වූ අතර එම ගොඩනැගිල්ලේ උඩුමහලේ වළාපහුරකින් ආවරණය වූ පරිවාර චෛත්‍ය 04 ක් සහිත වූ වටදාගෙයකින් යුත් සිව්මුණි සෑයකින් ද යුක්තය.පළාත්වාසී බෞද්ධ දරුවන්ගේ ජාතික ආගමික සිරිත් විරිත් පුහුණු කරවීමේ අරමුණෙන් ආරම්භ කරන ලද ශ්‍රී මංගල ළදරු පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය ද ප්‍රදේශයේ කාගෙත් සිත් ගත් ස්ථානයකි. කුඩා දරු දැරියන්ට මානසික සුවය ගෙන දෙමින් බොදු දහමට නැඹුරු ගුරු මහත්මින් පිරිසකගේ දැඩි උනන්දුව හා කැපකිරීම මධ්‍යයේ දැන් පවත්වාගෙන යනු ලබයි. මේ සියලු සමාජ සද්කාරයන් උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ මනා කළමනාකාරීත්වයක් ඇතිව දක්ෂ පාලනයක් යටතේ පවත්වාගෙන යාම සඳහා සේවයට කැප වූ සේවක මඩුල්ලක් සිටීම උන්වහන්සේට පහසුවූවක් බව අමුතුවෙන් කිව යුතු නැති අතර ඒ සඳහාම කැපවුනු ආරෝග්‍ය සමිතියේ නිලධාරීන්ගේ සහයෝගය ලැබුණු බව අමුතුවෙන් කිවයුතු නැත.

මාතර ප්‍රදේශයේ ප්‍රකට ධර්ම දේශකවරයෙකු වන මාතර රාහුල මහා විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය මාතර කඩවත් සතර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී පණ්ඩිත වලස්ගල පඤ්ඤාසිරි හිමිපාණෝ හා දෙනගම මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමිපාණෝ මයුරවංස ලොකු හාමුදුරුවන් වහන්සේගේ දීප්තිමත් ශිෂ්‍යවරයන් වහන්සේලා විය.

උන්වහන්සේගේ 90 වැනි ජන්ම දිනය සමරන දිනයේ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්දර අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නායක හිමිපාණන්ගේ සුරතින් සිරි ධම්මවංස වංශාලංකාර සම්පත්ති ශාසන රෝහණ කම්මට්ඨාන විශාරද ගරුනාමයෙන් පුදන ලද අතර 97 වියට පා තබන මොහොතේ අතිපූජ්‍ය මහෝපාධ්‍යාය කම්මට්ඨාන විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ධර්ම ශිරෝමණී යන සම්මානෝපාධිය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වත්මන් මහා නායක අග්ගමහා පණ්ඩිත විනයාචාර්ය රාජකීය පණ්ඩිත නාපානේ පේමසිරි මහා නායක හිමිපාණන් වහන්සේගේ පින්වත් සුරතින් පසුගිය දින ප්‍රදානය කරන ලදී.


ගොඩඋඩ අරියධම්ම හිමි

මාලිගාවත්තේ ශ්‍රී සුධර්මාරාමාධිපති, බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති ගොඩඋඩ අරියධම්ම නාහිමියන්ගේ පැවිදි දිවියට අගෝස්තු 24 දා වසර 50 ක් සපිරිනි. දනට ළමා කතා විශාල සංඛ්‍යාවක්, කවි පොත්, ගීත පොත් හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් ලියා පළ කර ඇති උන්වහන්සේ හැට එක් වන වියේ පසුවෙති.

ළමයින් අතර ඉතා ජනපි‍්‍රය වී ඇති පුල්ලියා, වැවේ කතාව, මිගදාය, සැරියුත් හාමුදුරුවෝ, අන්දරේගේ කතා, ගමරාළගේ කතා ආදී ළමා කතා පොත් ද දහම් පද කවි, මඝමානවක ගීත නාටකය, බැති ගී සරණිය ආදිය අරියධම්ම නාහිමියන්ගේ කාව්‍ය නිර්මාණ හා ගීත රචනයේ කුසලතාව මැනවින් පෙන්නුම් කරයි. සත්වයාගේ සම්භවය, අධ්‍යාපනයේ දී දඬුවම, අන්දරේ සහ ඔහුගේ කතා ආදිය හරවත් ශාස්ත්‍රීය ග්‍රන්ථ අතර වෙයි. නාහිමියන් විසින් රචිත ගීත සංයුක්ත තැටි දෙකක් දැනට එළිදක්වා ඇත. සංසාරෙ පිරූ පාරමි හා කැකුළු ගී ඒ දෙකයි. ඒ හැමටම වඩා වටිනා නිර්මාණයක් ලෙස භාවනා සංයුත්ත තැටිය හඳුන්වා දිය හැකි ය.

ශාස්ත්‍රීය සේවය වගේ ම නාහිමියන්ගේ අධ්‍යාපනික සේවයත් ඇගයිය යුතු ය. පිරිවෙන් ගුරුවරයකු ලෙස වසර විසි හතක් හා දහම් පාසල් ගුරුවරයකු ලෙස වසර හතළිහකට වැඩිය අමිල සේවාවක් කර ඇත. එපමණක් නොව ඉංගී‍්‍රසි උගන්වන ගුරුවරයකු ලෙස නොමිලයේ දරුවන්ට දීර්ඝ කාලයක් ඉංගී‍්‍රසි උගන්වා ඇත. මාතර තුඩාවේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දහම් පාසල් දරුවන්ටත් මාලිගාවත්තේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දහම් පාසල් දරුවන්ටත් ඒ වාසනාව උදා වී තිබේ. පොදු සමාජ සේවා කටයුතුවල ද කැපවීමෙන් ක්‍රියා කරන අරියධම්ම නායක හාමුදුරුවන් ඉතා පරිත්‍යාගශීලීව එය කරන බව පෙනේ. තම දහම් පාසලේ සියලු දරුවන්ට තමාගේ ම වියදමින් ළමයින්ගේ පින්තූරත් යොදා කොපිපොත් මොනිටර් පොත් ගුණාත්මක ව පිළියෙල කොට සෑම දෙසැම්බර් මසකම, ඉදිරි වර්ෂයේ පාසලට, දහම් පාසලට හා පෞද්ගලික පන්තිවලට ප්‍රමාණවත් එම අභ්‍යාස පොත් හා පෑන් පැන්සල් බෙදා දෙති. ඒ කාර්ය තුඩාවේ සිරි අරියවංශ දහම් පාසලේ වසර 13 ක් ද මාලිගාවත්තේ ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ වසර 20 ක් ද කර ඇත.

දිගු කලක් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන නිලයක් දරමින් කැපවීමෙන් කටයුතු කර ඇති උන්වහන්සේ මහා මහින්ද භික්ෂු පදනමේ ලේකම් ලෙස මුල් අවධියේ විශිෂ්ට සේවාවක් කළ බව ප්‍රදේශයේ මහා සංඝරත්නය ගෞරවයෙන් සඳහන් කරති. මාතර තුඩාවේ ශ්‍රී සුධර්මාරාමයේ දී අග්ග මහා පණ්ඩිත තුඩාවේ අරියවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා සද්ධර්ම කීර්ති ශ්‍රී පණ්ඩිත අත්තුඩාවේ ඤාණෝදය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1964 අගෝ. 24 දා අරියධම්ම හාමුදුරුවන් පැවිදි බිමට පත්ව ඇත. ඉන් පසු මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පා සෙවනේ වසර 6ක් පමණ ධර්ම විනය දැනුම හා පුහුණුව ලබාගෙන ඇත. ප්‍රාචීන මධ්‍ය, විනයාචාර්ය, ජාතික ඉංගී‍්‍රසි ඩිප්ලෝමා, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා, විදේශ ධර්මදූත සේවා පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදී විභාග හොඳින් සමත් ව ඇති අරියධම්ම නාහිමියන් යුරෝපයේ බොහෝ රටවලටත් ජපානය, මියන්මාරය, තායිලන්තය, මැලේසියාව වැනි පෙරදිග රටවලත් සංචාරය කරමින් දේශන පැවැත්වීම් භාවනා වැඩසටහන් මෙහෙයවීම් ආදිය සිදු කර ඇත්තේ ය.