Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 3

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 3

ලුම්බිණිය ආසන්න වැදගත් ස්ථාන මෑතකදී කරන ලද කැණීම් වලදී ලුම්බිණි පුදබිම අවට වැදගත් ස්ථාන කීපයක් හඳුනා ගෙන ඇත. ලුම්බිණියට කි.මී. 27 ක් බටහිරින් ඇති නිලාර්කොට් ප්‍රදේශය පැරැණි කපිලවස්තු රාජධානියේම කොටසක් ලෙස තහවුරු වී ඇත. මෙහි ආරක්ෂිත පවුරුවලින් සහ දොරටුවලින් වටවුණු මාලිගයක නටබුන් හමුවී ඇත.

නිලිගාවා යන ප්‍රදේශයෙන් හමුවී ඇති අශෝක කුලුනක නටබුන් අනුව එම ස්ථානය කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය ලෙස සැලකේ. මහාමායා දේවියගේ , ප්‍රජාපතී දෙවියගේ සහ යශෝධරා දේවියගේ නිජබිම වන දෙව්දහ නුවර කෝලිය රාජධානියට අයත් වන අතර, එය ලුම්බිණියට කි.මී.57 ක් ඊසාන දිගින් පිහිටා ඇත.

ජරාහි යන නමින් හැඳින්වෙන ගංතෙර ගඩොලින් කරන ලද ස්ථූපයක නටබුන් හමුවී ඇති අතර,එය ගෞතම බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ මව්පස ඥාතීන් වෙනුවෙන් මෙම ප්‍රදේශයේ (දෙව්දහ) රාම ග්‍රාම රජු වෙත ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා අටෙන් පංගුව නිධන් කළ ස්ථූපය බවට විශ්වාස කෙරේ.

ලුම්බිණි ගමන් මඟ

ඉන්දු නේපාල දේශ සීමාවේ ඉන්දීය පැත්තේ ඇති නගරය සොනොලී නමින් හැඳින්වේ. එහි සිට ලුම්බිණියට දුර කි.මී.25 කි.

නේපාලය තුළ දේශ සීමාව ආසන්නයේ ඇති නගරය බයිරාවා (සිද්ධාර්ථ නගර්) වන අතර නේපාලයට ආසන්න ඉන්දීය ප්‍රධාන නගරය ගොරක්පූර් නමින් හැඳින්වේ. මෙම නගරය දුම්රිය සහ බස් සේවාවලින් ඉන්දියාවේ චෙන්නායි නගරයට පවා ශීඝ්‍රගාමී දුම්රිය සේවා ක්‍රියාත්මක වේ. යුද ගුවන් තොටුපළක්ද ඇත. ගොරොක්පූර් සිට ලුම්බිණියට ඇති දුර කි.මී. 123 කි. ලුම්බිණියේ සිට කපිලවස්තු වලට දුර කි.මී. 88

මායා දේවිය සිය පුත් කුමරා සමඟ පෙරහරෙන් කිඹුල්වත් පුරයට වැඩම කරවූහ. යැයි පසුගිය කළාපයේ සඳහන් කැරිණි. අද එතැන් සිට ...

එදා සවස සුදෙවුන් මහ රජතුමාගේ ගුරුවරයකු වු අසිත තවුසා මේ කුමරු දකිනු රිසියෙන් රජ මාලිගයට පැමිණියේය. රජතුමා ද මොහු දැක පිළිගෙන මාලිගය තුළට කැඳවා අස්නෙක හිඳුවා පසෙක සිටියේ ය. එසේ සිටි රජතුමා වෙත අසිත තවුසා විසින් “මහරජ පුතෙක් උපන්නේලු අප ද ඒ කුමරු දක්නා රිස්සම්හ” යි කීය. ඒ ඇසූ රජතුමා මාලිගය තුළට ගොස් කුමරු වඩාගෙනවුත් “පුත, තාපසයන් වහන්සේ වැඳ පින්සිදු කර ගන්නැ” යි කියා තවුසා දෙසට කුමරු යොමු කළේ ය. ඒ මොහොතේ කුමරුගේ දෙපතුල් පෙරැළී ගොස් තවුස්තුමාගේ හිස මත්තෙහි පිහිටියේ ය.

අසිත තාපසතුමා දහන් වඩා සෘද්ධි බල උපදවාගත් පෙරත්, මතුත් කාලය බොහෝ දුර දැකිය හැකි කෙනෙක් විය. එතුමා සිය නුවණින් අනාගතය බැලීය. අසිත තාපසතුමා වහා හුනස්නෙන් නැගිට දොහොත් මුදුන් තබා කුමරු වැන්දේ ය. එය දුටු සුදොවුන් රජතුමා පුදුමයට පැමිණ මහත් ප්‍රේමයෙන් කුමරුගේ දෙපතුල් සිය නළල මත්තෙහි තබාගෙන වැන්දේ ය.

අනතුරුව අසිත තාපසතුමා සිනාසී හැඬුයේ ය. එසේ කළේ කවර හෙයින්දැයි විමසූ විට “ මේ කුමරා මතු බුදුවෙයි” වහන්ස, පළමු මා සතුටු වූයේ එබැවිනි, එහෙත් බුදු වන අසිරිය දැකීමට පෙර මා මරණයට පත් වන්නේ ය එය සලකා හැඩිමියි කීය.

අසිත තාපසතුමා රජමැදුරෙන් නික්ම සිය නැගණියගේ නිවසට ගොස් ඇයගේ පුත්‍රයා වූ නාලක කුමරා කැඳවා “සුදෙවුන් රජතුමාගේ පුත් කුමරු ගිහි ගෙයින් නික්ම පැවිදිව බුදුවෙයි. එබැවින් ඔබ වහා ගිහි ගෙය හැර එතුමා නමින් පැවිදි වන්නැයි කීය. ඒ කුමරා බුදුවීමෙන් පසුව ඒ අනුශාසනා ලබා සසර දුකෙන් නිදහස් වන්නැයි නාලක කුමරුට කීය. එය ඇසූ නාලක කුමරාද හිමවතට ගොස් තවුස් දම් වඩමින් විසීය.

සිදුහත් කුමරා උපන් දවසින් පස්වන දා සුදෙවුන් රජතුමා විසින් බමුණන් එකසිය අටදෙනෙකු කැඳවා සංග්‍රහ කළේ ය. අනතුරුව කුමරා පෙන්වා කුමරාට නමක් තබන ලෙස කීය. ඔවුනතුරෙන් අන් හැමට වඩා උගත් බමුණෝ අට දෙනෙකු විය. රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත එම අට දෙනාය. ඒ අට දෙනා අතරින් රාම, ධජ, ලක්ඛණ යන තිදෙනා මේ කුමරා ගිහිව සිටියොත් සත්විති රජවෙති. පැවිදි වුවොත් බුදුවෙතියි කීය. ඉතිරි පස් දෙනා මේ කුමරා පැවිදිව බුදුවන බව කීය. මේ කුමරා ලොවට අර්ථ (යහපත) ඇත්තෝ වන බැවින් “සිද්ධාර්ථ” (සිදුහත්) නම් වෙතියි නම් තැබූහ.

තම පුතනුවන් කුමක් දැක කලකිරී පැවිදි වන්නේදැයි සුදොවුන් රජතුමා විමසීය. මහල්ලකු, ලෙඩකු, මළ සිරුරක් සහ පැවිද්දකු යන පෙර නිමිති සතර දැක පැවිදි වන බව බමුණෝ කීහ.

සිය පුතු පැවිදි වනවාට වඩා සක්විති රජවනු දැකීමට කැමැති පිය රජතුමා පෙර නිමිති සතර හමු නොවන සේ සලසන්නට ඉටා ගත්තේ ය.

සිදුහත් කුමරා උපන් සත්වන දින මායාදේවිය කළුරිය කර තුසිත දෙව් ලොව උපත ලැබුවා ය. අනතුරුව ප්‍රජාපතී ගෞතමී දේවි සුදොවුන් රජතුමාට අග මෙහෙසිය වූවා ය. ප්‍රජාපතී ගෝතමී දේවිය සිදුහත් කුමරා දරු තන්හි තබා වඩා ගත්තී ය.

සිදුහත් කුමරු පස්මැසි සමයෙහි සුදොවුන් පිය මහරජතුමාගේ වප් මඟුල් උළෙලක් විය. රජතුමා ඒ සඳහා කෙතට යන විට කුමරාද රන්සිව් ගෙයකින් ගෙන්වා ගත්තේ ය. එහි වූ දඹ ගසක් යට යහනක් පනවා උඩු වියන් හා වට තිර ඇද කුමරා එහි සතපවා බලා ගන්නට කිරි මව්වරුන් රඳවා රජු උළෙලට ගියේ ය. ටික වේලාවකින් පසු මහ පිරිසක් සමඟ පවත්වන උළෙල බලන්නට කිරි මවුද තිරයෙන් පිටත අවුත් සිටියහ.

ඒ අතරතුර කුමරු වට පිට බලා කිසිවකුත් නොදැක වහා නැගිට යහනෙහිම පළක් බැඳ ගෙන ආනාපානාසති භාවනාව වඩා පළමු දහනට සමවැද හුන්නේ ය. ටික වේලාවකට පසු තිරය ඔසොවා ඇතුළු වූ විට කුමරු උන්සැටි දැක මවිතව රජතුමාට ඒ බව දැන්වීය. රජු පැමිණ එය දැක දරාගත නොහැකි සෙනෙහසින් දොහොත් එක්කොට නඟා “පුත මා ඔබට මේ කරන දෙවන වැඳුමයැයි කියා දොහොත් මුදුන් තබා වැන්දේ ය.

සිප් සතර උගන්වන්නට සුදුසු වයස පැමිණි කළ සුදොවුන් රජතුමා ඊට සුදුසු ගුරුවරයකු විමසා “සර්වමිත්‍ර” නම් බමුණු පඬිතුමා රජ මැදුරට ගෙන්වා ගෙන ඉගැන්වීය. පඬිවරයා දත් හැම කුමරා ද ටික කලකින් දැන නිම කළේ ය.

මතු සම්බන්ධයි


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 2