Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය
මෙම පාඨය කියවන්න

එවං පියො පුථු අත්තාපරෙසං

තස්මා න හිංසෙ පරමත්ත කාමොති

’එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තෙ අනෙකකු නො පෙළෙන්නේය

ඛු.නි. රාජසූත්‍ර

බුදුරජාණන් වහන්සේ බෙහෙවින්ම සමීප තම යුවළකට දේශනා කළ උදානයකි. මෙම දායක, දායිකා දෙපළ කවුද? මෙයින් බුදු දහමෙහි දැක්වෙන සර්වකාලීන සද්ගුණය කුමක්ද?

පිළිතුර

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන අවදියෙහි කොසොල් මහරජතුමා සහ මල්ලිකා දේවිය අරමුණු කොට ගෙන දේශනා කළ ධර්ම පාඨයකි.

සබ්බාදිසා අනුපරිගම්ම චෙතසා
නෙවජ්ඣගා පියතර මත්තනා ක්වච්
එවං පියො පුථු අත්තා පරෙසං
තස්මා න හිංසෙ පරමත්ත කාමොති

සියලු දස දෙස බැලුවත් තමනට වඩා පි‍්‍රයතමයෙකු කිසි තැනෙක කිසි කලෙක නො දකින්නේය. එසේම සියලු සත්වයන්ට තමාට වඩා තවත් ප්‍රියමනාප වූ අයෙක් නැත්තේමය. එහෙයින් “අත්තුප නායික ධර්ම පරියාය තමා උපමානය වශයෙන් සලකා අනුනට හිංසා නො කළ යුත්තේය.

ප්‍රශ්නය
“නිබ්බාණං පරමං සුඛං” නිවන පරම සුවයකි. පරම සුවයක් වූ නිවන එහි ඇති ශාන්ත ප්‍රණීත ස්වභාවය විස්තර කළ නොහැකි ප්‍රඥාවෙන් පමණක් සාක්ෂාත් කරගත හැකි ලෝකෝත්තර ධර්මයකි. බුදුරජාණන් වහන්සේ සුවිශේෂී වූ වචන සමුදායකින් නිවනෙහි ස්වභාවය පැහැදිලි කළහ. එබඳු අවස්ථාවක් පෙළදහමෙහි එන අයුරු නිදසුන් කොට දක්වන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනා රාමයෙහි වැඩවාසය කළ අවස්ථාවකදී පඨම, දුතිය නිබ්බාණ සූත්‍ර දේශනා මඟින් නිවන පිළිබඳව මෙසේ පැහැදිලි කළහ.

“මහණෙනි, යමෙක්හි පඨවි, ආපෝ, තේජෝ, වායෝ නමැති සතර භූතයො නැද්ද?
ආකාසානඤ්චායතන විඤ්ඤා- ණංචායතන, ආකිංචංඤායතන
නෙවසඤ්ඤා නාසඤ්ඤායතන

සිත නැද්ද, මේ ස්කන්ධ ලෝකය නැද්ද, මෙයින් උපදනා අන්‍ය ස්කන්ධ ලෝකයකුත් නැද්ද (එහි අඳුරක් නැති බැවින්) සඳහිරු දෙදෙනෙක් නැද්ද. එසේවූ ආයතනය, මාර්ග ඵල සිතට අරමුණු වන නිවන ) ඇත. මහණෙනි එහිත් කිසිවෙකුගේ යෑමක් ඊමක් සිටීමක් මරණයක් මැරී ඉපැත්මක් නො කියමි. මෙය කිසිවෙකු නො පිහිටි ප්‍රත්‍යයන් ගෙන් නොපවත්නා කිසිම අරමුණෙක නො එල්බෙන දහමෙකි. මෙයම දුකෙහි කෙළවරය. (ඛු.නි.උදානපාලි –පාටලී ගාමිය වග්ග)

ප්‍රශ්නය
සිය පුතුගේ මිරිවැඩි සඟලේ පියවර සටහන් දුටු බරණැස් සිටුවරයා ඒ අනුසාරයෙන් ඉසිපතනයට පැමිණියේය.

මෙම පුවතට පාදක වූ සිදුවීම කුමක්ද?

පිළිතුර
සිදුහත් තවුසාණන් බුදුවීමට කිරිපිඬු දානය පිළිගැන්වූ සුජාතා නම් සිටු දේවියගේ පුත් යස නම් සිටු පුත්‍රයා ගිහිගෙයින් නික්ම ඉසිපතන මිගදායට ගොස් බුදුරදුන් හමුව ඒහි භික්ෂුභාවයෙන් පැවිදි විය. යසකුල පුතු ගිහි ගෙයින් නික්ම ගිය බව නොදැන සුජාතා උඩු මහලේ පුතු නොදැක බරණැස් සිටුතුමාට ඒ බව සැළ කළෙන් පුතු සොයා ගිය සිටුවරයා මිරිවැඩි සඟල පියවර ඔස්සේ ඉසිපතනයට ගොස් බුදුරජාණන් වහන්සේ හමුව පුතු පැවිදි බව අසා සොම්නසට පත්ව මපුතුට මහත් ලාභයක් වූයේ යැයි සිතා සිය පුතු හාබුදු පාමොක් මහ සඟනට දනට වඩිනා ලෙස ආරාධනා කළේය.

ප්‍රශ්නය
බෞද්ධ පිළිවෙතට අනුව ගිහි හෝ පැවිදි පුද්ගලයෙකු යහමඟ තෝරා ගැනීම සඳහා (සම්‍යග්මාර්ය) සංකල්පනා ත්‍රයක් පෙළ දහමෙහි සඳහන් වෙයි .පැහැදිලි කරන්න.

පිළිතුර
සංකල්පනා තුනකි. එනම්

1.අත්තාධි පතෙය්‍ය
2.ලොකාධි පතය්‍යෙ

3.ධම්මාධි පතෙය්‍ය

අත්තාධි පතෙය්‍ය ක්‍රමයෙහිදී තමා මුල් කරගෙන සිත සදාචාරයෙහි පිහිටුවීම සිදුවෙයි.

ලොකාධිපතෙය්‍ය ක්‍රමවේදයට අනුව ලෝකපවාදයට යොමුවන ක්‍රියාවලින් වැළකී ආත්ම දමනයෙන් ප්‍රධන් වීර්ය වඩා දිවිමග සරුකර ගැනීමයි. ධර්මයෙහි ස්වාක්ඛාතාදී ගුණ මෙනෙහි කරමින් ඒ අනුව දැහැමි සිතිවිලි වඩා ධර්මානුකූල පැවැත්මට නැඹුරු වීම ධම්මාධි පතෙය්‍ය නම් වෙයි.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් දේශනා කළ සමස්ත දේශනා සමුච්චය නියෝජනය වන්නේ පාලි ත්‍රිපිටකයෙහි ප්‍රථම සංගීතියෙහි දී එය එක්කොට සංග්‍රහ කරන ලදී. පාලි ත්‍රිපිටකය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත්ව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ නමුත් උන්වහන්සේගේ දීර්ඝ හා ඵලදායි ලෝකාර්ථ චර්යාව මගින් මානව වර්ගයා වෙත නො සඟවා දායාද කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අද ද නිර්මලව පවතී.බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු අජාසත් රජුගේ රාජ්‍යෝදයෙන් අටවන වසරෙහිද ධර්මයෙහි පිරිසුදු බව උදෙසා රජගහනුවර ධර්ම සංගායනාවක් පවත්වන ලදී. පිවිතුරු බුද්ධ දේශනාව වියවුලකින් විනාශ නොවී පවත්වාගෙන යාම සඳහා නැවත බුද්ධ වර්ෂ 100 දී හා 236 දී රහතන් වහන්සේලාට සංගීති දෙකක් පවත්වන්නට සිදුවිය. ක්‍රි.පූර්ව 83 දී පමණ දැහැමි සිංහල නරේන්ද්‍රයෙකුවූ වට්ටගාමිණී අභය (වළගම්බා) රාජ සමයේ මාතලේ අලු විහාරයෙහි දී සංගායනාවක් පවත්වන ලද අතර බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලදී.

ත්‍රිපිටකය යන වචනයේ තේරුම “මඤ්ජුසාතුන” යන්නයි. (පාලියෙන් ත්‍රිපිටක) මංජුසා පෙට්ටිය කූඩය –මල්ල) පිටක තුන නම් විනය පිටකය (පැවිදි ජීවිතයට අදාළ නීතිරීති ඇතුළත් සංග්‍රහය) සූත්‍ර පිටකය (බුදු දේශනා එක්කළ සංග්‍රහය සහ අභිධර්ම පිටකය (ගැඹුරු දේශනා ඇතුළත් සංග්‍රහය)

ප්‍රශ්නය –
බුදුරජාණන් වහන්සේ මහානාරද කස්සප ජාතකය දේශනාව අසා රජකෙනෙක් සහ තම දූත පිරිස සෝවාන් ඵලයට පත්වූහ. සෝවාන් වූ රජ බුදුරදුන් වෙත පැමිණ තමා ප්‍රාර්ථනා පසක් ඇතිව සිටි බව කීය. මෙම රජතුමා කවුද? රජුගේ එම ප්‍රාර්ථනා පස කුමක්ද?

පිළිතුර
මගධාධිපති සේනිය බිම්බිසාර මහ රජතුමා මහානාරද කස්සප ජාතක දේශනාව අසා සෝවාන් වූහ.බිම්සර මහ රජුගේ ප්‍රාර්ථනා පස නම්

රජවීම
තමන්ගේ රටට බුදුන් වහන්සේ සැපත් වීම
බුදුරදුන්ගෙන් බණ ඇසීම
බුදුන් වහන්සේ ඇසුරු කිරීම
ධර්මය අවබෝධ කරගැනීම යන පසයි.

ප්‍රශ්නය
මෙම බුද්ධ දේශනාවට පාදක වූ සිදුවීම පැහැදිලි කරන්න.

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්ම චාරි සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්භිච
නොමැළිව පිඬුසිඟව
නොපමාව දම් හැසිරෙව
දම් සැරි පුඟුල් තෙම
සුවසේ වෙසෙයි දෙලොවැම

පිළිතුර
බුදුරදුන් කිඹුල්වත වැඩි ගමනෙහිදී කිඹුල්වත ශාක්‍යයෝ දහම් ඇසීමෙන් සොම්නස්ව බුදුරඳුන්ට දනට ඇරැයුම් නො කොට සිය මැදුරු බලා ගියහ. පසුදා බුදුහු මහ සඟන පිරිවරා පෙර බුදු සිරිත අනුව යමින් පිඬුසිඟා වැඩියහ. යශෝධරා දේවිය “නරසීහ ගාථා අටකින් “ බුදු ගුණ වනා සිය මහරජු වෙත පැමිණ මහ රජ ඔබ පුතු සිඟා වඩිති” කීවාය.

සුදොවුන් රජු බුදුරදුන් වෙත පැමිණ හිමියනි, ශාක්‍ය වංශයෙහි වූවෝ සිඟා නොගියහ. මෙසේ සිඟීමෙන් අප වංශයට අවමන් නොකරනු මැනැවැයි ඇයැද සිටියේය. එවිට බුදුරදහු මහරජ ඒ ඔබගේ වංශයේ සිරිතය .මාගේ වංශය බුද්ධ වංශයයි වදාළහ. මහරජ එය අසා සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඉහත සඳහන් ගාථාව එම අවස්ථාවෙහිදී බුදුරදුන් විසින් සුදොවුන් මහ රජුන් වෙත දෙසා වදාළහ.

ප්‍රශ්නය
මෙම පාඨයෙන් සඳහන් වෙන දෙදෙනා කවුරුන්ද?

පැවිදි වෙස්ගත් ඔහු දෙදෙනා උඩු මහලින් බිම් මහලට බැස මඟට බටහ. මඟ යන ඔවුන් අතර මෙබඳු කථාවක් ඇතිවිය. “පැවිදි විත් මොහු දෙදෙනා වෙන් විය නොහෙතියි” මිනිස්සු කිළිටි සිත් පහළ කොටගෙන පව් පුරවා ගනිති. එහෙයින් ඉදිරි දෙමං සන්ධියේදී “අපි දෙදෙන වෙන්ව යමු” යැයි දෙදෙනෙම එකඟ වූහ. මානවකයා වටා තෙවරක් ප්‍රදක්ෂිණාකොට වැඳ අවසර ගෙන වම් මඟින් හුදකලාව ඇය නික්ම ගියාය. මානවකයා දකුණු මං බලා ගමන් ගති. ඔවුන් දෙදෙනා වෙන්ව ගිය කල්හි මහ පොළොව ගුගුරමින් කම්පා විය.

පිළිතුර
මගධ රට මහාතීර්ථ නම් බමුණු ගම කපිල නම් බමුණාට දාව උපන් පිප්ඵලී නම් දරුවා තාරුණ්‍යයට පත්ව මදුරට සාගල පුරයෙහි භද්‍රකාපිලානී නම් දියණියට විවාහයෙන් පසුව දෙදෙනා සිය කැමැත්තෙන් ගිහිගෙය අතැර පැවිදි වීම සඳහා පිටත්ව ගිය අවස්ථාව මෙම පාඨයෙන් කියැවෙයි. සම්බුද්ධ ශාසන යෙහි තෙවන ශ්‍රාවක වශයෙන් සඳහන් වන ධූතාංගධාරි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නමින් පසුව ඉහත සඳහන් පිප්ඵලී මානවකයා ප්‍රකට විය.