දම්පද මිහිර 4
වෛරයේ ගිනිදැල්
නසති දිවියේ හසරැල්
කැලණිය, වේවැල්දූව,
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිපති
සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක
මොරවක සෝරත නා හිමි
අපේ සිතේ අකුසල මූල තුනක් තියෙනව. ඒව නම් කළේ ලෝභ,දෝස, මෝහ කියල.
අකුසල් සියල්ල උපදින්නේ ඉන් එකක් මුල් වෙලා. තේරුම් ගන්න හරිම ලේසියි.
ඒ වගේම සියලු කුසල් උපදින්නෙ කුසල් මූල තුනකින්. ඒව නම් කළේ අලෝභ,
අදෝස, අමෝහ කියල. යම් කෙනෙක් දස අකුසල් නොකර ඉන්න උත්සාහ ගන්නව නම් එයා
මෙහෙයවන්න මේ කුසල මූල තුන විසිනි. යහපත් කායකර්ම යහපත් වචීකර්ම යහපත්
මනෝකර්ම සිදුවෙන්නෙ ඒ පුද්ගලයා තුළ මේ කුසල මුල තියෙනව නම් පමණයි.
දැන් හිතා බලන්න, නිරායාසයෙන්ම අප තුළ හටගන්නේ අකුසල් ද කුසල් ද කියල.
ලෝභය ආයාසයෙන් වැඩිය යුත්තක් නොවෙයි. නිරායාසයෙන් වැඩෙන එකක්. ඒත්
අලෝභය, විරාගය, පරිත්‍යාගි සිත් නිරායාසයෙන් පහළ වෙන්නෙ නෑ.ආයාසයෙන්
වැඩිය යුතුමයි. කල් තියා සැලසුම් කරල ද අපි තරහ ගන්නෙ ? නැහැ.
නිරායාසයෙන් තරහ එනව. මෝහයත් එහෙමයි ප්‍රගුණ නොකරම වැඩෙන එකක්. ඒත්
අදෝස හෙවත් මෛත්‍රියත් අමෝහ හෙවත් ප්‍රඥාවත් නිරායාසයෙන් වැඩෙනවද?
නැහැ. ආයාසයෙන්මයි වැඩිය යුත්තෙ. එහෙනම් අපේ ජීවිතේ නිතරම වැඩෙන්නෙ
අකුසල්ම නේද. ඒ හැම අකුසලයකටම කර්ම විපාක හැදෙන හැටි බුදුරජාණන් වහන්සේ
දැක්ක. ඒ නිසාමයි අපට දේශනා කළේ සබ්බ පාපස්ස අකරණං සියලු පවින් වළකින
එකමයි හොඳ කියල.
යම් කෙනෙක් මේ තත්ත්වය අවබෝධ කරනව නම් ඔහු එළඹ සිටි සිහියෙන් සිටින
කෙනෙක්. හිතට එන සිතිවිලි ගැන අවබෝධයෙන් ඉඳල අකුසල් සිත් මෙල්ල කරනව.
ආයාසයෙන් අලෝභය අදෝෂය ,අමෝහය, වඩමින් දියුණුූ කරමින් යහපත් විපාක හැදෙන
කුසල් උපදවා ගන්නව.
එක දවසක් දෙව්රම් විහාරෙ දම් සභා මණ්ඩපය ළඟට දරුවෙකු වඩාගත් තරුණ අම්ම
කෙනෙක් දුවගෙන ආවා. මහා බියකින් වෙව්ලන ඇය බුදුරජාණන් වහන්සේගේ පාපුටුව
උඩින් දරුව තියල. වැඳගෙන ආයාචනයක් කළා. “අනේ ස්වාමිනි, මගේ දරුව ආරක්ෂා
කරල දෙන්න. අර අර යක්ෂණිය මගෙන් දරුව උදුරගන්න එනවා”
ඇගේ පස්සෙන් කාලි කියන යක්ෂණියයි එළවගෙන ආවෙ. ඒත් යක්ෂණියට ඇතුළට යන්න
සුමන දෙවියන් ඉඩ දුන්නෙ නෑ. බුදුහාමුදුරුවො මේ අම්ම දෙස අනුකම්පාවෙන්
බලා ඇගේ හිතේ බිය දුරු කලා. ආනන්ද හාමුදුරුවන්ට පැවරුව යක්ෂණිය
කැදවාගෙන එන්න, යක්ෂණිය කැඳවාගෙන එනකොට මේ අම්ම බයෙන් කෑගහන්න ගත්ත.
“ස්වාමීනි , මෙන්න එනව ඒ යක්ෂණිය මෙන්න එනව“ කියල.
”එන්න දෙන්න,ඔබ බිය නොවී නිහඬව ඉන්න” කියල ඇයට අවවාද කළ බුදුහාමුදුරුවො
යක්ෂණියට කතා කළා.” කුමක්ද මේ විරසකය. බුදු කෙනෙක් හමු නොවුනා නම්
කපුටයි බකමූණයි වගේ වෛර පිරිමහමින් තවත් දුර යනවා. දැන් නතර වෙන්න.
වෛරය වෛරයෙන් සන්සිඳෙන්නෙ නෑ. අවෛරයෙන්මයි වෛරය සන්සිඳෙන්නෙ”
වෛරය හරියට මළ මුත්‍ර ,සෙම් සොටු, තියෙන අපවිත්‍ර තැනක් වගෙයි.
අපිරිසුදු ජලයෙන්ම සෝදා එතැන පිරිසිදු කළ නොහැකියි. නැවත නැවතත්
දුගඳමයි හමන්නෙ. සේදිය යුත්තේ. අපිරිසුදු ජලයෙන්මයි. එතකොටයි එතන
පිරිසුදු වෙන්නෙ. අවෛරය නැත්නම් මෛත්‍රිය හරියට පිරිසුදු ජලය වගේ.
යක්ෂණියගෙ සිත මෘදු වුනා. වෛරය සිඳී ගියා. සසර බිය දැනෙන්න ගත්ත. ඒ බව
නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ,දරුවගෙ මවට කිව්ව. ‘යක්ෂණියගෙ අතට දරුව
දෙන්න’ කියල.ඇය බියෙන් යක්ෂණිය දෙස බැලුව. දැන් යක්ෂණිය සතුව තියෙන්නෙ
සන්සුන් හැසිරීමක්. බුදුහාමුදුරුවන් තමා අබියසම වැඩ සිටිනව. ඒ නිසා
සැකය දුරු කරගෙන යක්ෂණියගේ දෝතට තම කිරි දරුව දිගු කළා. සෙනෙහසින්
යුතුව දරුව වැළඳ ගත් යක්ෂණිය සුළු වෙලාවකින් නැවතත් අම්මගෙ අතටම දරුව
භාරකළා. බුදුරජාණන් වහන්සේ,මේ දෙන්න වෛරයෙන් වෛරය පිරිමසමින් පැමිණි
ගමන් මගේ බිහිසුණුකම පෙන්වා දුන්න.
භව කිහිපයකට පෙර, පිය උරුමයෙන් ලද කෙත්වතු අස්වද්දමින්, කැපවීමෙන්
යුතුව තම මෑණියන්, පෝෂණය කරන,අනලස් තරුණයෙක් හිටිය. ඔහුගේ විඩාබර
දිවියට සහනයක් වෙන්න සහකාරියක් සොයා දීම පිණිස අම්ම කිහිපවිටක් ම
උත්සාහ කළා. ඒත් පුතා ඒකට කැමැත්ත පළ කළේ නෑ. ටික කලකට පස්සෙ අම්මගෙ
උනන්දුවෙන් පුතාගෙත් කැමැත්ත ඇති තැනකින් විවාහයක් කර දුන්න.තුන් දෙනාම
ටික කාලයක් ඉතා සතුටෙන් කල් ගෙව්ව. ඒත් ඒ දියණියට දරුඵල තිබුණෙ නැහැ. ඒ
නිසා නිවසේ සතුට ටිකෙන් ටික ගිලිහෙන්න පටන් ගත්ත.
අම්ම නිතර නිතර කතා කරල පුතාගෙන් ඇහුව. වෙනත් විවාහයක් කරගත්තෙ නැත්නම්
අපේ පරම්පරාව නැතිවෙනව නේද කියල. බිරිඳ මේ කතාව කිහිප වතාවක්ම අහගෙන
හිටිය. ඇයට මෙහෙම කල්පනා වුණා. අම්මගෙ වචන ඉක්මවා යන්න පුතෙකුට බැහැ. ඒ
නිසා ඔහු වෙනත් විවාහයකට යන්න එකඟ වෙයි. එහෙම වුනොත් ඇයට උපදින දරුවන්ට
දේපළ සියල්ල උරුම වෙයි. මට ඔහුගෙන් දැනට තියෙන ආදරය පවා අහිමිවෙලා
යාවි. මම මේ ගෙදර දාසියක් ගානට වැටේවි. ඊට කලින් මම ඉස්සර වෙන්න ඕන. මා
දන්න තැනකින් මගේ කැමැත්ත ඇතිව බිරිඳක් ගෙනාවොත් මට එහෙම වෙන්නෙ නෑ’
කියල
ඒ ආකාරයෙන්ම සියල්ල සිදුකරන්න ඇය සමත් වුනා. තවත් බිරිඳක ගෙදරට ආවා.
ගෙදර කටයුතු හොඳින් සිදු කෙරුනත් පළමු බිරිඳගෙ හිත ඇතුළෙ ඊර්ෂ්‍යාවක්
වැඩෙමින් තිබුණ, ඒත් සෙසු අයට ඒක දැනුනෙ නෑ. බිරින්දෑවරුන් යෙහෙළියන්
වගේ කල් ගෙව්වත්, මේ ගෙදරට දරුවෙකු ගේන්න නම් මා ඉඩ තියෙන්නෙ නෑ කියල
පළමු බිරිඳ තරයේ හිතාගත්ත.
දෙවන බිරිඳ ගැබ්බර වුනා. පළමු බිරිඳට ඒ බව කීවේ ලෙන්ගතුකම නිසාමයි. ඒත්
මිනිස් සිත මොන තරම් රුදුරුද? මිතුරු වෙසින් සිටිමින්, දරු ගැබ දිය
වෙන්න බෙහෙත් දුන්න.අම්මා කෙනෙකුගෙ සුන්දර සිහිනයක් වැනසී ගියා. උපතකට
පෙර ඇය කළ විපත හැමෝටම රහසක්. ඒ නිසාම ඇය ගැන සැකයක් අන් අයට ඇති වුනේ
නෑ.
දෙවන බිරිඳගේ දෙවන දරු ගැබත් ඒ විදියටත් විනාශ කළාට පස්සෙ තමයි.
යෙහෙළියන් ඇයට පළමු බිරිඳ පිළිබඳ සැකය ඇති කළේ. ඒ නිසා තෙවන දරුවාගෙ
පිළිසිඳ ගැනීම ගැන ඇයට කියන්න ගියේ නැහැ. ඒත් මෝරන කුසක රහසක් කොහොමද
රකින්නෙ. පළමු බිරිඳ උපායශීලි විදියට මේරු දරුවත් ඇයට අහිමි කළා.
මියැදුණූ දරුවෙක් කුසින් දරාගෙන මරණාසන්නව සිටි කාන්තාව අන් ගැහැණියට
වෛර කළා. “තීම මා මෙහි ගෙනවුත් මගේ දරුවන් තිදෙනෙක් විනාශ කර දැමුවා.
දැන් මාවත් විනාශ වෙනව. යකින්නක් වෙලා හරි මමත් තී හොයගෙන එනව“
කියාගෙනයි ඇය අවසන් හුස්ම හෙලුවෙ. මිය ගිය ඇය ඒ ගෙදරම බැළලියක වෙලා
ඉපදුනා. තම දරුවන් තිදෙනෙකුත් දෙවන බිරිඳටත් මරු කැඳ වූ ගැහැනිය ගැන
ස්වාමියාට ඇති වුනේ දරාගත නොහැකි කෝපයක්. අතට හසු වු මුගුරින් ඇගේ
අස්ථි බිඳෙන තුරු පහර දුන්න. පහරකෑම නිසාම කෙටි කලකින් ඇය මිය ගිහින් ඒ
ගෙදරම කිකිළියකව උපන්නා.
කිකිළි තෙවරක්ම බිත්තර දැම්මත් බැළලිය ඒවා කා දැම්ම,අන්තිමට කිකිළියත්
වෛර සිත් ඇතිව මිය ගිහින් දිවි දෙනක් වෙලා ඉපදුනා. බැළලියක් කෙටි
කලකින්ම මියගොස් මුව දෙනකව උපන්නා.
මුවදෙන විසින් බිහි කළ පැටව් තිදෙනෙක්ම දිවි දෙන විසින් කා දැම්ම.
අන්තිමට මුව දෙනත් වෛර සිත් ඇතිව මිය යන්නෙ දිවි දෙදනගෙම ගොදුරක් වෙල.
දිවි දෙන නැවත මිනිස් ලොවේ ඉපදුනා. ඇය තමයි සැවැත් නුවර කුල දුවක්ව
ඉපදිල. දරුවන් දෙදෙනෙක්ම අහිමි වෙල, තුන්වන දරුවත් වඩාගෙන බියෙන්
වෙව්ලමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මාසනේ ළඟට දුවගෙන ආවෙ. පැටවුන්
තිදෙනෙකුත් අහිමි වෙලා මිය ගිය මුවදෙන තමයි යකින්නක් වෙලා ඈ පසුපස
හඹාගෙන ආවෙ.
මේ යක්ෂණිය එදා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අවසානෙ සෝවාන් ඵලයට පත්
වුනා. ඒත් එතැන් සිට ඇයට ජීවත් වීමේ මගක් නැති නිසා දෑස්වල කඳුළු
පිරුණ, එයටත් මග උපදෙසක් බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ, සැතිරියක ලෙස භව
ගණනාවක් පැමිණි ගැහැනියම එතැන් සිට මිතුරියක වී කැඳ බතින් ඇය පෝෂණය
කරන්න පටන් ගත්තෙ ඒ උපදෙස්වලට අනුවයි. තම නිවස අබියස රඳවාගෙන සැලකීමට
උත්සාහ කළත්, මිනිස් වාසය තුළ ඇයට සිටිය නොහැකි වුනා. විවිධ පීඩාවන්
දැනෙන්නට වු නිසා ගමෙන් බැහැර විවේකස්ථානයක නවතා සැලකිළි කරන්න පටන්
ගත්ත
මේ යක්ෂණියට කල් වැසි අකල් වැසි ගැන ඉවක් තියෙනව. ඒ නිසා ඇයට පුළුවන්
වුනා වගා කළ යුතු වෙලාව නොකළ යුතු වෙලාව වගේම ඒ ඒ අවස්ථාවල වගා කළ
යුත්තේ කවර ස්ථානවලද කියල හරියටම කියන්න.ගොඩ මඩ දෙකෙහිම ගොවිතැනට
උපදෙස් දෙන්නෙ ඇය. ඒ නිසා වැස්සෙන් හා අව්වෙන් ඒ කෙත්වතුවලට හානියක්
වුනේ නෑ. හැම කන්නයේම අස්වැන්න ඉතාම සරුයි. මේ පවුලට ඇයගෙන් ලැබුණ
විශාල ප්‍රතිලාභයක් ඒක.
අන් අයගෙ කෙත්වතු වරෙක පාලු වී යනව. තවත් වරෙක සේදී යනව. නියමිත
අස්වැන්න නෙලාගන්නෙ කලාතුරකින්. ඔවුන් ඒ පිළිබඳව මේ පවුලෙන් තොරතුරු
විමසන්න ගත්ත.නොසඟවා තොරතුරු හෙළිකලාට පස්සෙ ඔවුන්ගේ සැලකිල්ලත් ඒ
යක්ෂණියට ලැබුණ,ඇයත් මෙත් සිතින් යුතුව තම උපකාරය හැමෝටම එකවගේ ලබා
දුන්නා. සියල්ලන්ටම ඇය මහා පිළිසරණක් වුනේ එහෙමයි.
බුදුරජාණන් වහන්සේ මුණනොගැසුනා නම් අදත් එකිනෙකා මරා ගනිමින් මේ සසරෙ
කොහේ හරි බියෙන් වෙව්ල වෙව්ල ඉන්න වෙනව. වෛරයේ මේ ගමන් මග සාමාන්‍ය
කෙනෙකුට පේනවද? නැහැ. එහෙනම් අපි අතරෙන් එකිනෙකාගෙන් පළිගන්න පතාගෙන
ආපු අය තව කොපමණ ඇත්ද? සමහරවිට මවක් පියෙක් වෙල එන්නත් පුළුවන්. සහෝදර
සහෝ්දරියන් වෙල එන්නත් පුළුවන්, ස්වාමි බිරින්දෑවරුන් වෙලා ඉන්නත්
පුළුවන්. අල්ලපු ගෙදර වෙන්නත් පුළුවන්. සතා සිව්පාවා වෙල ඔබේ ළඟට
එන්නත් පුළුවන්. එතකොට අපි කළ යුත්තේ කුමක්ද? අද්වේශයේ අපිරිසුදු
ජලයෙන් සෝදනව වෙනුවට මෛත්‍රියේ පිරිසුදු සුවඳ පැනින් වෛරය සෝදාහරින එක.
එවිට අද තියෙන අනතුර හෙට යලිඇති වෙන්නෙ නෑ අපට.
අපේ මසැසට නොපෙනෙන ඒ බුද්ධ භාෂිත යථාර්ථය දකින්න ප්‍රඥාවේ ඇස පෑදේවා
දම්පද මහිර - 3 දොස් කළත් තමහට නොබඳිනු වෛර කිසිවිට
|