Print this Article


කෙලෙස් ගිනි නිවන කරණීය මෙත්ත සූත්‍රය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
කුම්භූපමං කාය මිමං විදිත්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යෝධෙථ මාරං පඤ්ඤාවුධේන
ජීතංච රක්ඛේ අනිවේස නෝසියා

ධම්මපදය බෞද්ධ අත්පොතේ චිත්ත වග්ගයට අයත් මෙම ගාථා රත්නයේ සරල අදහස වන්නේ මෙය කය බිඳෙන මැටි බඳුනක් මෙන් සිතන්න. මෙම චිත්ත සන්තානය ධනයෙන් පිරුණ නගරයක් මෙන් සිතා එය ආරක්ෂා කර ගන්න. විදර්ශනා ප්‍රඥා ආයුධයෙන් කෙලෙස් මරුට පහර දෙන්න. එසේ උපදවාගත් විදර්ශනාව රැක ගන්න. ලෞකික සම්පත්තිය අතහරින්න.

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ භික්ෂූන් වහන්සේ කණ්ඩායම් වශයෙන් වස් වාසය කිරීම සඳහා සුදුසු ස්ථාන සොයා යනව. භික්ෂූන් වහන්සේලා පන්සියයක් පමණ සැවැත්නුවර සිට යොදුන් 120 ක් පමණ දුර ආරණ්‍යයකට භාවනා සඳහා වැඩියා.

එම ගම් ප්‍රදේශයේ දායකයින් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න පොරොන්දු වුනා. භික්ෂූන් වහන්සේලා භාවනා කරන්න පටන් ගත්තා. උන්වහන්සේලාගේ සීල තේජස නිසා වෘක්ෂ දේවතාවන්ට ඉහළ ඉන්න බැරිව ගියා. වස් කාලය අවසන් වනතුරු භික්ෂූන් වහන්සේලා පිටත් නොවන බව තේරුම්ගත් වෘක්ෂ දේවතාවෝ නපුරු රූප මවමින්, දුර්ගන්ධය, වහනය කරමින්, නපුරු ශබ්ද කරමින් භික්ෂූන් වහන්සේලා බියට පත් කරන්න පටන් ගත්තා. භික්ෂූන් වහන්සේලාට භාවනා කරන්න බැරිව ගියා. උන්වහන්සේලා රෝගාතුර වුනා. සියලුම භික්ෂූන් වහන්සේලා ආපසු දෙව්රම් වෙහෙරට වැඩියා. බුදුරජාණන් වහන්සේට මෙම ප්‍රවෘත්තිය සැලකර සිටියා. බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් මෙය විමසා බැලුවා. භික්ෂූන් වහන්සේලාට භාවනාකිරීමට සුදුසුම ස්ථානය මෙම ස්ථානය බව බුදුරජාණන් වහන්සේ දුටුවා. එම භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව සඳහා කරණීයමෙත්ත සූත්‍රය දේශනා කර එය නිතර නිතර සිහිපත් කරන ලෙස දන්වා නැවත එම ස්ථානයටම පිටත්වන ලෙස දන්වා වදාළා. භික්ෂූන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරමින් ආරණ්‍යයට වැඩියා. මෙම කරණීයමෙත්ත සූත්‍රයේ මෛත්‍රි ආනුභාවයෙන් වෘක්ෂදේවතාවෝ, වනදේවතාවෝ, විමාන දේවතාවෝ ,මනුෂ්‍ය වේශයෙන් පැමිණ භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න පටන් ගත්තා. භික්ෂූන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය තුළින් මෛත්‍රි ධ්‍යාන තුනක් ලැබුවා. එම මෛත්‍රි ධ්‍යාන තුළින් විදර්ශනාවට හැරුනා. විදර්ශනාව තුළින් උදව්‍යඥාන දර්ශනය පහළවුනා. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර සිට මෙය බුදුනුවණින් දුටුවා. උන්වහන්සේ බුදුරැස් මාලාවක් ආරණ්‍යයට යැව්වා. ඒ තුළින් ජීවමාන බුදුරුවක් මවා මාතෘකා කළ ගාථාව දේශනා කළ සේක. එම ගාථාව ශ්‍රවණය කළ සියලුම භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයට පත් වූ සේක.

අප කරණීය මෙත්ත සූත්‍රය ආරක්ෂක පිරිතක් වශයෙන් භාවිතා කරනව. මෙම සූත්‍ර දේශනාව තුළ ඇත්තේ මෛත්‍රී වැඩීමයි. මෛත්‍රිය වඩනවිට දෙවියන්ට පි‍්‍රය වෙනව.අන්තරාවන් නිවාරණය වෙනව. එමෙන්ම මෙය භාවනා මාර්ගයක් වෙනව.

කරණීය මෙත්ත සූත්‍රය තුළ ඇත්තේ මෛත්‍රී භාවනා කමටහන්ය. ජීවන අවබෝධය සඳහා පිළිපැදිය යුතු කරුණු පහළොවක් මෙම සූත්‍රයේ මුල් ගාථා දෙකහමාරකින් දේශනාකර තිබෙනව. එහි කරණීයධර්ම දාහතරක් සහ අකරණීය ධර්ම එකක් තියනව.

කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච

ශාන්ත පදය නම්වූ නිවනට පැමිණීමට යමක් කළ යුතුනම් එයට අවශ්‍ය දෙය කළ යුතුය යනුවෙන් මුලින්ම උපදේශයක් වශයෙන් දේශනා කළා.

ජාති,ජරා, මරණ,සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස, මේ කිසිවක් නිවනේ නැහැ. එනිසා මෙම නිවන ශාන්තයි. මෙම ශාන්ත පදයට පැමිණීම සඳහා බුදුරජාණන් වහන්සේ කරණීය ධර්ම දේශනා කළා. “සක්කෝ” යන්න මෙහි පළමුවැන්නයි. සක්කෝ යනු සමර්ථයෙක් විය යුතුය යන්නයි. සමර්ථයෙක් නොවුවහොත් මෙම කරණීය ධර්ම ඔහුට පිළිපැදිය නොහැක.

“උජු” යනු ඍජු භාවයයි. නිවන් මගට යාම සඳහා දැඩි අධිෂ්ඨානයක් තිබිය යුතුය. චංචල සිතට එම ගමන යා නොහැක. “සුජූ” වඩාත්ම එය ඍජු විය යුතුය. මෙසේ බුදුරජාණන් වහන්සේ දෙවරක්ම දේශනා කර ඇත්තේ ස්ථිර අඩිතාලමකම සිත තැන්පත් විය යුතු බැවිනි. “සුවචෝ” සුවචව යා යුතුය. “මුදු” මෘදු කෙනෙක් විය යුතුය. “අනතිමානි” එම ගමන යාමට නිහතමානි විය යුතුය.

”සන්තුස්සකෝච, සුභරෝච, අප්ප කිච්චෝච , සල්ලහුකවුත්ති, සන්ත්‍රින්ද්‍රියෝච, නිපකෝච,අප්පගබ්බෝ, කුලේසු අනනුගිද්ධෝ”

ලද පමණින් සතුටුවෙමින් නිවන්මගට යායුතුය. ලදදෙයින් සෑහීමකට පත්විය යුතුය. තමන්ට පාලනය කළ හැකි පරිදි කෘත්‍ය ඇතිවිය යුතුය. සැහැල්ලු ගති පැවතුම් ඇතිවිය යුතුය. සන්සුන් ඉඳුරන්ගෙන් යුක්ත විය යුතුය. ප්‍රඥාව ඇතිකරගත යුතුය. කය වචන සංවර විය යුතුය. ඇලීම් ඇතිකර නොගත යුතුය.

මෙසේ නිවනට පැමිණීම සඳහා අවශ්‍යවූ කරණීය ධර්ම 14 ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. “නච බුද්ධං සමාචරේ කිංචියේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං” බුදු,පසේබුදු, මහරහතන් වහන්සේලා වැනි උතුමන් විසින් පෙන්වාදී ඇති කුමන වරදක් හෝ නොකර නිවන්මග සඳහා අවතීර්ණ විය යුතුය. “සුඛිනෝවා ඛේමිනෝ හොන්තු සබ්බේසත්ථා භවන්තු සුඛිතත්තා”

මෙම වදන් තුළ ඇත්තේ මෛත්‍රි කර්මස්ථානයයි. සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා. මානසික සුවයෙන් සුවපත් වෙත්වා. කායික මානසික සුවයෙන් සැම කල්හිම සුවපත් වෙත්වා.

මෛත්‍රී කළ යුතු කොටස් විස්සක් බුදුරජාණන් වහන්සේ මෙතැන් සිට දේශනා කළ සේක.

”යේකේචිපාන භූතත්ථි ,තසාවා ථාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මක්‍ධිමාරස්ස කානුකථූලා දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සන්තා භවන්තු සුඛිතත්තා”

කෙලෙස් සහිත සත්වයෝද, නිකෙලෙස් රහතන් වහන්සේලාද දිග් ශරීර ඇති සත්වයෝද, මහත් ශරීර ඇති සත්වයෝද, මධ්‍යම ශරීර ඇති සත්වයෝද, කුඩා සත්වයෝද, වටකුරු සත්වයෝද, දුර සිටින සත්වයෝද, ලඟ සිටින සත්වයෝද,ඇසට පෙනෙන සත්වයෝද ඇසට නොපෙනෙන සත්වයෝද, ඉපදුන සත්වයෝද, ඉපදීමට සිටින සත්වයෝද යනුවෙන් මෙම සියලු සත්වයින්ටම නිදුක්වේවා, නිරෝගිවේවා, සුවපත්වේවා, ආදි වශයෙන් මෛත්‍රි වැඩීමට මෛත්‍රි කර්මස්ථාන වදාළ සේක.

මෙත්වැඩීම තුළින් නිවන් අවබෝධය ලැබීමට උපදෙස් මාලාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

”නපරෝ පරං නිකුබ්බේථ නාති මඤ්ඥේථ කත්ථ චිනං කඤ්චි ඛ්‍යාරෝසනා පටිඝ සඤ්ඤා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ජ්‍යෙය”

කිසිම කෙනෙක් කිසිවකුට වංචා නොකෙරේවා, අවමන් නොකෙරේවා, කයින් වචනයෙන් ගැටුම් ඇතිකර නොගනීවා. කිසිවකුට දුකක් නොසිතාවා යනුවෙන් තම සිත හසුරුවා මෛත්‍රී වඩන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

“මාතායථා නියං පුත්තං ආයුෂා ඒකපුත්ත මනු රක්ඛේ, ඒවංපි සබ්බ භූතේසු මානසම්භාවයේ අපරිමානං”

එකම දරුවෙක් ඇති මවක් තම දිවිනොතකා දරුවා ආරක්ෂා කරනවා මෙන් සියලු සත්වයෝ තමන්ගේම දරුවන් මෙන් සලකා මෛත්‍රි සිත පැතිරවීමට වදාළ සේක.

”මෙත්තංච සබ්බ ලෝකස්මිං මාන සම්භාවයේ අපරිමානං උද්ධං අධෝච තිරියංච අසංභාධං අවේරං අසපත්තං” කිසිම ගැටීමක් නැතිව වෛරයක් නැතිව, සතුරු සිතක් නැතිව උඩ යට සතර දස දිසාවේම සියලු සතුන්ට අප්‍රමාණවූ මෛත්‍රිය පතුරවන ලෙස වදාළ සේක.

”තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධෝ ඒතං සතිං අදිට්ඨය්‍යෙ බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු”

සිට ගන සිටිද්දි ඇවිදිමින් සිටිද්දී වාඩිවී සිටිද්දී සයනය කරද්දි සිහියෙන් යුතුව මෛත්‍රි සිත පැතිරවීම බ්‍රහ්ම විහාරයක් බවට පත්වන බව වදාළ සේක.

දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහිජාතු ගබ්භ සෙය්‍යං පුනරේති” ති.

මෙම ගාථාව තුළ ඇත්තේ විදර්ශනා භාවනා මාර්ගයයි. දිට්ඨිංච අනුපගම්ම මෙසේ මෛත්‍රි වැඩීම තුළ සම්‍යක් දෘෂ්ඨියට පත්වේ. මම කියන සක්කාය දිට්ඨිය නැතිවේ. ආත්ම දෘෂ්ඨිය බිඳ වැටේ’. මම කියා කෙනෙක් නැත. ඇත්තේ නාම රූප දෙකක් පමණි.ඇත්තේ ස්කන්ධ ධාතු,ආයතන පමණයි. සත්වයයෙක්, පුද්ගලයෙක් නැත. මම කියා කෙනෙක් නැත යනුවෙන් අවබෝධ වේ. සීලයෙන් පරිපූර්ණ වේ. උදව්‍ය ඤාණය ආදි ඤාණ පරම්පරාව උපදවාගන සම්මාදිට්ඨිය තුළින් දස්සන සම්පන්න භාවයට පත්වේ.

මෙම දස්සන සම්පන්න භාවයට පැමිණෙනවිට සෝවාන්, සකදාගාමී, අනාගාමී මාර්ග ඵල වලට පැමිණේ. එකොළොස් කාම භූමිවල ආශාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වේ. නැවත මව්කුසකට නොපැමිණ සුද්ධාවාස බඹලොව ඉපිද අර්හත් ඵලයට පත්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

ඔබ සැමට තෙරුවන් සරණයි