Print this Article


කහවත්ත රජමහා විහාරය

කහවත්ත රජමහා විහාරය


අභිනවයෙන් ඉදි වූ චෛත්‍යය

ඉපැරැණි බෝධීන් වහන්සේ.

අභිනවයෙන් ඉදි වූ බෝධිඝරය

අභිනව දානශාලාව

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණ ගිරුවාපත්තුවේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීරකැටිය මාර්ගයේ පිහිටි කහවත්ත රජමහා විහාරය දක්ෂිණ ලංකාවේ පිහිටි අති පෞරාණික විහාරස්ථානයකි.

මෙය කාවන්තිස්ස රජ සමයේ ඉදිවූවකි. පෘතිගීසි, ලන්දේසි හා ඉංගී‍්‍රසි ආක්‍රමණවලින් අනතුරුව දක්ෂිණ ලංකාව ඔවුන්ගේ අනසකට යටත්වීම නිසා බෞද්ධ සිද්ධස්ථාන පාළුවට ගොස් තිබිණි.

මේ සමයේ උතුරුමැද (රජරට) ප්‍රදේශයේ පැවැති බැමිණිටියා නියං සමය නිසා ඒ ප්‍රදේශවල සිටි මහා සංඝරත්නය දකුණු පළාතට ඒම නිසා මෙම ප්‍රදේශය කසාවතින් බැබළුණු හෙයින් කසාවත නිසා කහවත්ත ලෙසින් ප්‍රචලිත වී ඇතැයි ජනප්‍රවාදයේ එයි.

මෙහි ඇති පෞරාණික බෝධිය කාවන්තිස්ස රජු සමයේ රෝපණය කර ඇතැයි පැවැසේ.

නටබුන්, වෙමින් පැවැති මෙම විහාරස්ථානය වත්මන් ප්‍රගතියේ නියමුවාවූ ඌරුගමුවේ ධම්මාලෝක හිමියන් ඉපැරැණි විහාරගෙය ප්‍රතිනිර්මාණය කර ඇති බවත් දානශාලාවක් හා සීමා ගෙයක්ද ඉදිකර ඇත.උන්වහන්සේගේ ශිෂ්‍ය වටරක්ගොඩ ගුණසිරි හිමියන් සහ නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙන් ආයතනයේ නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත්‍රපති ඕමාරේ පුණ්‍යසිරි යන හිමිවරුන් නව චෛත්‍යයක් හා බෝධි ප්‍රාකාරයක් ඉදිකරවා ඇත.

විහාරස්ථානයේ අතීතය පැවසෙන විහාර භූමියේ ඇති නෂ්ඨාවශේෂ, පෙති උළු විවිධ ගල් කැටයම් දක්නට ඇත.

විදේශ ආක්‍රමණ සිදුවූ යුගයේ සුගල රැජිණ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට රුහුණට පළාගොස් එහි ආරක්ෂාවට මෙම බෝධියයට සැඟවී සිටි බව පැවැසේ.

කාවන්තිස්ස රජ සමයේ මුල්ගිරිකල මහා විහාරයට සමකාලීනව මෙම විහාරය ඉදිවී ඇති බවට සාක්ෂි ලැබී ඇත.


වටරක්ගොඩ ඥානසිරි හිමි

ඕමාරේ පුණ්‍යසිරි හිමි

අතීතයේ පන්සල දේශීය වෙදකමේ මධ්‍යස්ථානව පැවැති බවට පෞරාණික පුස්කොළ රාශියක ඇතිබව විහාරාධිකාරී ශාස්ත්‍රපති ඕමාරේ පුණ්‍යසිරි හිමියෝ පැවසූහ.

විහාරය ආශි‍්‍රතව කරන ලද කැණීම්වලදී හමුවූ බොහෝ නටබුන් අනුරාධපුර යුගයට අයත් බව නිරීක්ෂණ වලින් එළිදරව්වී ඇත.

දක්ෂිණ ලංකාවේ විහාරස්ථාන අතරින් වඩාත් ස්වාභාවික අලංකාර බුදු පිළිම වහන්සේ මෙහි පිහිටා ඇති බවට ප්‍රචලිතය. රහතුන් වැඩ සිටි පින්බිමක් ලෙස කහවත්ත රජමහ විහාරය ප්‍රචලිතය.