Print this Article


පූජාච පූජනීයානං

 

හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය දර්ශන චක්‍රවර්ති රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් අපවත් වී අගෝස්තු 01 වන දිනට වසර 33 ක් සපිරිණි.

දෝන ඇලිස් ජයසිංහ හාමිනේ,දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාලහාමිගේ තෙවෙනි පුත්‍ර රත්නය වශයෙන් 1909.12.18 දින ජන්මලාභ ලැබූ සමරවීර සකලසූරිය ලාබාළ වියේදීම මුඪගමුවෙ මාහිමියන් හට භාර කෙරිණි. අනතුරුව සාමණේර බණ දහම් සහ වත්පිළිවෙත් ආදිය පුරුදු පුහුණු කිරීම සඳහා බලගල්ලේ සරස්වතී පරිවේණාධිපති හිස්වැල්ලේ ශ්‍රී ඥානෝදය මාහිමියන් භාරයට පත් කරන ලදී.

එවකට තම නිවසට යාබදව පිහිටි හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටි සකලසූරිය කුමරා අධ්‍යාපන විෂයෙහි මහත් කුසලතා දැක්වූවෙකි.මේ කාලයේ දක්ෂතම ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනයට අත හිත දීමට පිහිටුවා තිබූ “බෙන්හැම්” ශිෂ්‍යත්වයට කොළඹ දිස්ත්‍රක්කයෙන් තේරුණු එකම ශිෂ්‍යයා වූයේ මොහුය. එහෙත් තමාට ලැබුණු එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයෙන් අවසන් වන එම ශිෂ්‍යත්වයට කැමැත්තක් නොදැක්වූ සමරවීර සකලසූරිය ශිෂ්‍යයා 1919.01.16 වන දින හේනේපිටගෙදර ඤාණසීහ නමින් පැවිදිවී බලගල්ලේ සරස්වතී පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූහ.උන්වහන්සේ තුළ සහජයෙන් පිහිටා තිබූ දක්ෂතා ඔප මට්ටම් කරමින් ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම පරික්ෂණවලදී විශිෂ්ටතා පළ කරමින්. 1939 අවසාන විභාගයේදී උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව සහිතව රාජකීය පණ්ඩිත උපාධිය දිනාගැනීමට සමත්විය.අනතුරුව බලගල්ල සරස්වතී පිරිවෙනෙහි අචාර්යවරයෙකු වශයෙන් සිටියදී තම මව්බිමේ උන්නතිය වෙනුවෙන් හා ශාසනයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාකළ ආකාරය බලගල්ලට පැමිණි භික්ෂූණ් වහන්සේලාගේ දෙනෙත්වලට ලක්විය.උන්වහන්සේගේ සේවය තම ප්‍රදේශ වලට ලබා ගැනීමට භික්ෂූන් වහන්සේලා අතර මහත් තරගයක් පැවතිණ, මේ අතරතුර සරස්වති පිරුවෙනෙහි ආදි ශිෂ්‍යයෙකු වූ රත්නපුර තිරිවානාකැටියේ මූල මහා විහාරාධිපති එළමල්දෙණියේ සුමේධාලංකාර හිමියන්ගේ ඉල්ලීමට පමණක් ලැබූ ප්‍රතිචාර නිසා 1934 දී හේන්පිටගෙදර නාහිමියෝ රත්නපුරයට වැඩම කළහ.

එදා මුද්දුවේ තිබූ අම්බලම හා කුඩා බිම්තීරුව 1934.08.26 දී රත්නපුර ශී‍්‍ර සුමන පිරිවෙන බවට පත්විය. ශී‍්‍ර සුමන මහා විද්‍යාලය,ශ්‍රී සුමනා බාලිකා විද්‍යාලය,ඇහැලියගොඩ බුළුගහපිටිය ශ්‍රී සුමන විද්‍යාලය, තෙප්පනාව ශ්‍රී සුමන විද්‍යාලය,තුම්මෝදර ශී‍්‍ර සුමන විද්‍යාලය,ඉඟිනියාගල විද්‍යාර්ථ පිරිවෙන, වතුපිටිය සාරිපුත්ත පිරිවෙන , මුවගම්කන්ද විද්‍යාලය ,පාතකඩ බෞද්ධ විද්‍යාලය,සර්වෝදය ප්‍රජා නායකත්ව භික්ෂු පුහුණු ආයතනය ආදී ගිහි පැවිදි අධ්‍යාපන ආයතන තවත් එවැනි ආයතන ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළහ. ශී‍්‍ර සුමන බාලිකා විද්‍යාලය දැනට ජාතික පාසලකි.

ජාතික ප්‍රශ්න වල දී අභීතව අදහස් ප්‍රකාශ කිරීම නිසා රටේම අවධානය උන්වහන්සේ වෙත යොමු විය. 1956 දේශපාලන පෙරලියේ අදෘෂ්‍යමාන බලවේගය වූයේ උන්වහන්සේ ලෙස ඉතිහාසයට එක්වී තිබේ. එබැවින් 1960 ගණන් වල පැවති එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ වසර 4 කට වැඩි කාලයක් සිරගත වී සිටින්නට සිදුවිය.

ග්‍රන්ථකරණයට පිවිසි උන්වහන්සේගේ මුල්ම කෘතිය වූයේ 1946 දී එළි දැක්වූ “දෙවියෝ” නම් කෘතියයි. පිළිවෙළින් සිංහල මේඝ දූතය, අභිධර්ම පරික්ෂණය,සද්ධර්ම ශතකම්, සිංහල රඝුවංශය, මහ රහතන් වහන්සේ, සියබස්ලකර විස්තර වර්ණනා, විඥප්තිමාත්‍රය, සිද්ධීවාදය,බෞද්ධ දර්ශනය, සාහිත්‍යග්‍රන්ථ ප්‍රකාශයට පත්කරන ලදී. බන්ධනාගාරගතව සිටිකාලය තුළ දී ගාමිනිගීත නාම,ජෙට්ඨගාමිනී චරිත” මහා පැරකුම්බා සිරිත’ මිනිසා සහ ජීවිත පරමාර්ථය ලෝකය , සසර, බන්දක විනය, කලාව කුමක් පිණිසද, ශූන්‍යතා දර්ශනය, සත්වයා පිරිසිදු වන්නේ කෙසේ ද? හැඩගැසෙන චරිතය, ගැටලු තැන්, බුද්ධ ධර්මය හා බෞද්ධ සභ්‍යත්වය,දර්ශනය, විද්‍යාව සහ බුද්ධාගම (ඥානප්‍රස්ථානය) උපාධියෙන් පසු, බුද්ධ ධර්මය,සත්වයා, අභිධර්මය ප්‍රශ්න හා පිළිතුරු බෞද්ධ සමාජවාදය සිරකූඩුවක් තුළදී ඇතුළු විශාල පොත් සංඛ්‍යාවක් ලියා අප රටට පමණක් නොව මානව වර්ගයා වෙනුවෙන් දායාද කළේය.

සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්ගේ හා තුත්තිරිපිටියේ ඤාණාරාම නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරි බුළුගහපිටියේ සුමංගල හිමියන් හා විහාරස්ථ දායක සභාව අගෝස්තු 01 වන දින සිට රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙන් විහාරස්ථානයේදී පැල්මඩුල්ලේ පාතකඩ භික්ෂු පුහුණු ආයතනයේදී පින්කම් මාලාවක් ද සංවිධානය කර තිබිණි.


34 වසරකට පෙර අපවත් වී වදාළ හාල්දඬුවන ධම්මරක්ඛිත නා හිමි

ඓතිහාසික පැල්මඩුලු පුරාණ රාජමහා විහාරාධිපති පදවිය දරමින් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ සබරගමුවේ මහා පදවිය සෝභාමත් කළ සාහිත්‍ය ශූරී අතිපූජ්‍ය හාල්දඬුවන ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකු යැයි සඳහන් කිරීම යුක්ති යුක්තය.

වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයාණන්වහන්සේගේ ශිෂ්‍ය වූ ශ්‍රී පාදස්ථානය සහිත පහත රට ප්‍රධාන සංඝනායක පදවියෙන් සම්මානිතවූ වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට අයත් ඉඳුරුවේ පියදස්සී, හාල්දඬුවන බුද්ධරක්ඛිත යන මහා තෙරපාණන්වහන්සේලා දෙනම ආචාර්ය කොට හාල්දඬුවන ධම්මරක්ඛිත යන ශාසනික නමින් ප්‍රවෘජ්ජා භූමියට පත් මෙම සාමණේර නමගේ උපාධ්‍යයයන් වහන්සේ වූයේ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්වහන්සේ ය.

පැල්මඩුලු මහා වෙහෙරෙහි සිය ඇදුරුපාණන් වෙත රැඳී හෙරණ බණ දහම් උගෙන පසු කල්හි කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙනෙහි නේවාසික වූහ. පණ්ඩිත ශිරෝමණී මහගොඩ ඤාණේස්සර, කහවේ රතනසාර යන සංඝනේතෘවරුන් වෙතින් අධ්‍යාපනය ලබා ධර්ම විනය සහිත වර්ග පිළිවෙළින් පිරිවෙන් විභාග සියල්ලක්ම ත්‍යාග සහිතව සහතික ලබා ගනිමින් පියවරෙන් පියවර ඉදිරියට ම ගමන් කළහ. 1915 දී ඓතිහාසික සෙංකඩගල පුරවර රාජ පූජිත උපෝෂිත පුෂ්පාරාම මහා විහාරානුබද්ධ මංගල උපෝෂථගාරයේ දී උපසම්පදා භූමියට පත්වී වදාළ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ 1918 පැල්මඩුලු පුරාණ රාජ මහා වෙහෙරෙහි ආධිපත්‍යයට පත්වූහ.

පිරිවෙන් අධ්‍යාපනය නංවාලීමට උත්සුක වූ උන්වහන්සේ නැවතත් පැල්මඩුලු පුරාණ රාජමහා විහාරයෙහි රූප අරුණ පිරිවෙන සවිමත් කරමින් වැඩ ආරම්භ කළහ. ඊට අමතරව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය, කාමරංග පිටිය විද්‍යාලය, පාතකඩ බෞද්ධ විද්‍යාලය, පනාවැන්න විද්‍යාලය ආරම්භ කිරීමට අනුශාසනා කළහ.

ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසුව එහි බාහිර කථිකාචාර්ය ධූරයක් පිළිගෙන ස්වකීය වගකීම් සම්භාරය මැනවින් ඉටු කළහ. එහි සනාථන සභාවේ ද, සාමාජිකයෙකු වූ ධම්මරක්ඛිත නාහිමියන් “සාහිත්‍යශූරී” සම්මානයෙන් ද පුද ලැබූහ.

දෙදහස් පන්සිය වන බුද්ධ ජයන්තිය නිමිතිකොට ශ්‍රී ලංකා රජය විසින් පිහිටුවන ලද ත්‍රිපිටක ධර්ම පරිවර්තන හා සංස්කාරක මණ්ඩලයේ සාමාජිකව චුල්ලවග්ගපාලි නම් වූ විනය මහා ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කළහ. බුද්ධ ජයන්ති මහෝත්සවය නිමිත්තෙන් බුරුම රජය විසින් ආරම්භ කරන ලද ධර්මසංගායනාව පිණිස ද උන්වහන්සේ බුරුම රටට ද වැඩම කළහ. දෙවන වරට ද බුරුමය බලා වැඩියේ අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලොගේ ධාතුන් වහන්සේලා රැගෙනය. දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා විසින් පත්කරන ලද බුද්ධ ශාසන කොමිෂන් සභාවේ සාමාජිකයන් වහන්සේ නමක් වශයෙන් පැවරුණු සියලු වගකීම් මැනවින් ඉටු කළහ.

1940 දී මහනුවර මල්වතු මහා විහාරීය අතිගරු මහානායක සානුනායක කාරක මහා සංඝ සභාව විසින් “කීර්ති ශ්‍රී සුමංගල බුද්ධ රක්ඛිත” යන ගෞරව උපාධිය සහිත සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක (මහා පදවිය) පුද කළහ.

විසිවන සියවසේ පහළ වූ දුර්ලභ ගණයෙහිලා ගැනෙන ධර්ම විනයධර බහුශ්‍රැත ශික්ෂාකාමී හාල්දඬුවන ධම්මරක්ඛිත ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඓතිහාසික පැල්මඩුලු මහ වෙහෙරෙහි වැඩවෙසෙමින් පළාතට දුන් ශ්‍රේෂ්ඨ නායකත්වය සියවස් ගණනාවක් පුරාවට සිහිකරමින් අනාගත ගිහි පැවිදි සාධුසද්පුරුෂයින්ට සිහිගන්වාලීම වර්තමාන යුගයේ කාර්යයක් බව සිහිපත් කළ යුතු ය.

උන්වහන්සේ වෙතින් දුටු තපෝගුණය අතීත මහරහතන් වහන්සේලා සිහිගන්වන සුළුය. නිරහංකාර චාම් අල්පේච්ඡ ධර්මයටම අනුගත නාහිමියෝ පළාතේ සැමට නායක වූහ. උන්වහන්සේ අපවත් වීමෙන් වසර 34 ක් සපිරීම නිමිතිකොට අගෝස්තු මස 30 වන දින පැල්මඩුලු පුරාණ රාජමහා විහාරස්ථානයේ දී දහස්නමක් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිනාවක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. වර්තමාන පැල්මඩුලු පුරාණ රාජමහා විහාරාධිපති කරංගොඩ පොත්ගුල් රාජමහා විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රී පාදස්ථානාධිපති ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත අතිගරු බෙන්ගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම මහා පින්කම පැවැත්වේ.


ඉලිප්පදෙණියේ සීවලී නා හිමි

කුලියාපිටිය මහනගර ශාලාවේ දී මෙම මස 31 වැනි දා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අතිපූජ්‍ය මහානායක නාපාන පේමසිරි මහා නාහිමියන් අතින් අක්තපත්‍ර ලබන ඉලිප්පදෙණියේ සීවලී මහෝපාධ්‍ය මාහිමිපාණන් වහන්සේගේ ශාසනික තොරතුරු හා උන්වහන්සේගේ ජීවන ගමන් මගෙහි බිඳකි.

සත්කෝරළේ දීප්තිමත්ම භික්ෂු පුහුණු ආයතනයක් වූ නැදලගමුව භික්ෂු පරපුරේ සුවිශේෂී පුරුකකි. මුන්වහන්සේගේ සුජාත ග්‍රාමය වූයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත ඉලිප්පදෙණියයි. ඉලිප්පදෙණියේ දී උපන් ජයසේකර නම් වූ මේ දරුවාට සිප්සතර ලබාදුන්නේ කතෝලික බැතිමතෙකු වූ එම්.ඩී. පෙරේරා නම් විදුහල්පතිතුමා විසිනි. එතුමා රකුපොල ආනන්ද හිමියන්ගේ කළණ මිතුරෙකි. ඒ නිසාම මේ දක්ෂ සිසුවා පැවිදි කිරීමට ආනන්ද හිමියන්ට භාරකෙරිණ. ඒ අනුව 1955 වර්ෂයෙහි එවකට කනදුල්ල ධර්මරාජ විහාරස්ථානයෙහි වැඩසිටි ශ්‍රී ඤාණුක්ඛන්ස හා ආනන්ද යන හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මෙකී දරුවා සසුන්ගත විය.

අනතුරුව උන්වහන්සේ නැදලගමුව ධර්මරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනයත්, පෑලියගොඩ විදුලකර සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධියත් ලැබූහ. උන්වහන්සේගේ අත් අකුරු මුතුකැට වන්ය. ඉතා ලස්සනය. සුපසන්නය. අද දින මහෝපාධ්‍යාය ධූරයෙන් පිදුම් ලබන නායක සමිඳාණෝ 1962 පමණ කනදුල්ල ධර්මරාජ විහාරස්ථානයෙහි ආධිපත්‍යයට පැමිණියහ. මෙකී විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත්වීමත් සමගම කුලියාපිටිය ප්‍රදේශයට සිදු වූ අධ්‍යාපන, ආගමික, සාමාජික සේවාව වචනාතික්‍රාන්තය, 1976 අගභාගයේ පමණ පාසල් ගුරු සේවයට පැමිණි උන්වහන්සේ තම සේවාව තවදුරටත් පුළුල් පරාසයකට විහිදුවාලමින් තම ගුරු පියාණන් අපවත් වී විසි වසරක් සපිරෙන 1982 ජූනි 17 දින කනදුල්ල ධර්මරාජ විද්‍යස්ථානය ආරම්භ කෙරිණි.

මෙකී ධර්මරාජ විද්‍යාස්ථානයෙන් සිප්සතර හදාරා ලක් දෙරණේ විවිධ ප්‍රදේශවල, විවිධ ක්ෂේත්‍රයන්හි නියැළී ශාසනික අධ්‍යාපනික අමිල මෙහෙයක් සිදුකරනු ලබන පැවිදි ගිහි උතුමෝ සුවිශාල පිරිසක් වෙති. එය අනු නා හිමියන්ගේ ශාසනික අධ්‍යාපනික සේවාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව කිව හැකි ය. කනදුල්ල ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙන් ආයතනය මූලස්ථානය වශයෙන් තබා ගෙන නාහිමියෝ විහාරස්ථාන 10ට පමණ නායකත්වය සපයමින් එම විහාර සංවර්ධනය උදෙසා අර්ථයෙන් ධර්මයෙන් සපයනු ලබන ඔවදන් මිණිමුතුවලට වඩා අගනේ ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායෙහි ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් ලෙස කනදුල්ල ධර්මරාජ මහ පිරිවෙන කේන්ද්‍ර කරගෙන නිකායෙහි සංඝ සභා රැස්වීම්, සාකච්ඡා ශිෂ්‍ය භික්ෂූන්ට පුහුණු වැඩමුළු සම්මන්ත්‍රණ හා විභාග ආදිය පැවැත්වීමට කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය ප්‍රත්‍යය පහසුකම් සැපයීමට නා හිමියන් නිතැතින්ම දොරගුළු විවර කර තිබීම ප්‍රසංසනීයය. වයඹ පළාතේ නිකවැරටිය, කුලියාපිටිය, හලාවත යන අධ්‍යාපන කලාප නියෝජනය කරමින් වාර්ෂිකව පැවැත්වෙන අන්තර් පාරිවේණික භාෂා කුසලතා පරීක්ෂණයනට ද දම්රද විදු බිම තෝතැන්නකි. මීට අමතරව කුලියාපිටිය මහ නගර සභා බල ප්‍රදේශය තුළ ජාතික, ආගමික, අධ්‍යාපනික සියලු කටයුතුවලට මධ්‍යස්ථානයක් වශයෙන් නිතැතින්ම තෝරාගනු ලබන්නේ අප පිරිවෙන් ආයතනයයි. ඒ සඳහා අප නාහිමියන් සිනහ මුසු මුහුණින් යුතුව තම එකඟතාව පලකරනවා විනා කිසි දිනක අකමැති වී නොමැති බව මා ඉතා හොඳින්ම දන්නා වූ කාරණයකි. නා හිමියන්ගේ මෙම ශාසනමාමක, පරාර්ථ සේවාව පිළිබඳ දිගුකලක් සැලකිල්ලෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක මාහිමිපාණන් ඇතුළු, පාලක, කාරක සංඝ සභාව මඟින් උන්වහන්සේ වෙත “ ශ්‍රී ඤාණුක්කන්ස ඤණවිමල වංසාවතන්ස ආනන්ද වංසාලංකාර සද්ධම්ම කීර්ති ශ්‍රී” යන ගෞරව නාම සම්මුතියෙන් ද පුදනු ලැබූහ.

අද දින මහොපාධ්‍යය ධූරයෙන් පිදුම් ලබන ඉලිප්පදෙණියේ සීවලී මාහිමියන් වහන්සේගේ චරිතයෙහි විද්‍යාමානවන විශේෂ ලක්ෂණයක් මෙහි ලා සඳහන් නොකළ හොත් එය ඌණතාවයක් හැටියට හැඟේ. ඒ අනුව අප නා හිමියෝ පළාතෙහි නිකායත්‍රයෙහිම සියලු විහාරාධිපති, නා හිමිවරුන් සමඟ අත්ත්‍යන්ත සහයෝගයෙන් ක්‍රියා කිරීම මෙම චරිතයෙහි කැපී පෙනෙන සුවිශේෂී ලක්ෂණයකි. ඒ බව කනදුල්ල ධර්මරාජ පිරිවෙන් ආචාර්ය මණ්ඩලයෙන් හා ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් තුළින්ම මනාව සනාථ වෙති. පළාතේ තෛ‍්‍රනිකායික මහ සඟරුවනගේම නිබඳ ප්‍රසාදයට ලක් වන නා හිමියෝ වයෝවෘද්ධ, ගුණවෘද්ධ, සෘජුපටිපන්න භික්ෂු ආකල්පයන්ගෙන් සමලංකෘත සංඝ පිතෘන් වහන්සේ නමකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි දිගු කලක් කාරක සභික ධුරයක් හෙබවූ අප නාහිමියන් වෙත ස්වනිකාය මඟින් අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පදවිය පිරිනැමීමම රාමඤ්ඤ නිකායට මහත් ගෞරවයක් ගෙන දෙන්නකි.

ඒ අනුව අද දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි මහානායක මාහිමියන් ප්‍රමුඛ නිකායේ බලධාරී, නිලධාරී මාහිමිවරුන් ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සහ මැති ඇමැතිතුමන්ලාගේ සහ සුවිශාල සැදැහැවත් පිරිසකගේ සහභාගීත්වයෙන් කුලියාපිටිය මහ නගර සභා ශාලාවේ සිදුකෙරෙන අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේ දී අතිපූජ්‍ය මහෝපාධ්‍යය පදවියෙන් පිදුම් ලබන කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ මහ පිරිවෙන්පති ඉලිප්පදෙණියේ සීවලී නායක හිමිපාණන් වහන්සේට තව චිරාත් කාලයක් සසුන් කෙත බබළවන්නට දිගාසිරි ලැබේවා.