Print this Article


ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

මේ වසරේ (2014) සැප්තැම්බර් මස 17 වැනිදාට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පළ වන විශේෂ ලිපි පෙළකි. අද පළවන්නේ එහි හතරවන කොටසයි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

කොළඹ ඉතාමත් දියුණු ව්‍යාපාරිකයෙකු වූද, සැදැහැවත් බෞද්ධයෙකු වූද දොන් කරෝලිස් හේවාවිතාරණ තරුණ මහතා ,කොටහේනේ සැදැහැවත් බෞද්ධ ප්‍රභූවරයෙකු වු දොන් අන්ද්‍රියස් ධර්ම ගුණවර්ධන මහතාගේ දියණිය වූ මල්ලිකා ධර්ම ගුණවර්ධන මැතිණියට ලැබුණූ කුළුදුල් දරුවා ඩේවිඩ් නමින් හැඳින්වූයේ උපත ප්‍රස්ථාරූඪ කළ පූජකවරයාගේ කැමැත්ත පරිදිය. මෙම දෙමහල්ලන්ට ඩේවිඩ් දරුවාට පසුව එඩ්මන් චාල්ස් සයිමන් යන නාමවලින් හැඳින්වුණු පුතුන් තිදෙනෙකු ද දියණියන් දෙදෙනෙකුද ලැබුණි.

ඩේවිඩ් දරුවා (පසුව ධර්මපාල නාමයෙන් හැඳින්වෙන) අකුරු ඉගෙනීමට මුලින්ම යවනු ලැබුවේ පිටකොටුවේ පිහිටි බාලිකා පාසලකටය. විසි හැවිරිදි ඩේවිඩ් හේවාවිතාරණ දරුවා වාසය කළේ කොටහේනේ පිහිටි නිවාසයේය. එය කොටහේනේ දීපදුත්තාරාමයට වැඩිදුරක් නොවීය.

වයස අට සහ දහය වන විට පෞද්ගලික සිංහල පාසලකින් එකල පන්සල්වල උගන්වන ලද ගණදෙවිහෑල්ල, සකස්කඩ බුද්ධගජ්ජ ආදි පොත් වලින් සිංහල භාෂාව ඉගෙනීමට ඩේවිඩ් දරුවාට අවස්ථාව ලැබුණි. ඒ පාසලේ අවුරුදු දෙකක්ම ඉගෙනීමට ඔහුට අවස්ථාව සැලසුණි. එහි සිංහල ගුරුවරයා ඊට අමතරව පිළිවෙළකට පොත පත තබා ගැනීම හා පිරිසුදුකම ගැන ද දරුවාට අවබෝධ කර දුන්නේය. ඒ අඩිතාලම පසුව අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතයට බෙහෙවින්ම බලපෑ බව එතුමා විසින්ම කීපවිටක්ම ප්‍රකාශ කර ඇත.

ඉන්පසුව කොටහේනේම සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළත්ව ඉහළ පන්තියකට යෑමෙන් පසුව පූජකවරයාගේද ඉල්ලීම අනුව කන්‍යාමරිය තුමියගේ ගුණ ගායනා කරන යාඥාවක්ද පැය භාගයකදී කිරීමටත් බයිබලය ඉගෙනීමටත් ඩේවිඩ් දරුවාට සිදු වුයේය.

ඉගෙනීමේ යෙදුණු ඩේවිඩ් දරුවා අබෞද්ධයෙකු නොවීම ගැන ඒ පාසලේ ගුරුවරුන්ටද බරපතල ගැටලුවක් වූයේය. ඊට හේතුව වූයේ ඩේවිඩ් දරුවාගේ ගෙදර පරිසරය, බුද්ධාගම හා බැඳී තිබුණු නිසාය. නව හැවිරිදි ඩේවිඩ් පුතු සිය මෑණියන් සමඟ පුන් පොහෝදින වලදී සිල් සමාදන් වීමටද ගියේය. ඒ සමඟම තම මුත්තනුවන් විසින් හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නාහිමියන්ට පූජා කරන ලද භූමියෙහි විද්‍යෝදය පිරිවෙන පටන් ගැනීමත් සමගම ඒ නාහිමියන්ගේ ඇසුර ලැබීමටත් ඩේවිඩ් දරුවාට අවස්ථාව ලැබුණි. එපමණක්ද නොවේ හෙයියන් තුඩුවේ දේවමිත්ත හිමියන්ගෙන් සිංහල සහ පාලි භාෂා ඉගෙනීමට අවස්ථාව සැලසුනේ ඒ හිමියන්ද ඒ පිරිවෙනේම සිටි නිසාය. මේ නිසා ඩේවිඩ් හේවාවිතාරණ දරුවාට බෞද්ධ පරිසරය සිය ජීවිතය හා අවියෝජනීය ලෙසට සම්බන්ධ වූ බව මෙයින් පැහැදිලි වේ.

මේ අතර කතෝලික පාසලේ ඉගෙනීමෙන් පසුව නැවතත් කෝට්ටේ අබෞද්ධ පාසලක නේවාසිකව ශිෂ්‍ය නිවාසයේ නැවති ඉගෙනීමට ඩේවිඩ් හේවාවිතරණ දරුවාට සිදුවිය. ඉන් පසුව වැඩිදුර ඉගෙනීම සඳහා ඔහු සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කළේය. එහෙත් ඒ විද්‍යාලයෙන් මැට්‍රිකිව්ලේෂණ විභාගයට පෙනී සිටීමටත් පෙර ඩේවිඩ් දරුවාට ඒ පාසල තුළ සිදු වූ සිදුවීම ඩේවිඩ් දරුවාගේ සිත තුළට ඉතා තදින්ම දැනුණ කාරණයක් විය. ඒ සිදුවීම මෙසේය.

කොටහේනේ දීපදුත්තාරාමයේ පින්කම්වලට නිතරම මේ දරුවා දෙමාපියන් සමඟ යන සිරිතක් තිබුණි. දවසක් දා කොටහේනේ දීපදුත්තාරාමයේ පින්කමක දී පූජා භාණ්ඩද රැගත් මහා පෙරහරක් ගමන් කරන අවස්ථාවේදී වෙනත් පිරිසක් විසින් ඒ පෙරහරේ ගිය බෞද්ධයන්ට පහරදී ඇත. මේ සිද්ධියෙන් කම්පාවට පත්වූ ඩේවිඩ් ශිෂ්‍යයාගේ පියා වූ හේවාවිතාරණ මහතා ඒ පාසලෙන් දරුවා ඉවත් කර ගත්තේය.

(අනගාරික ධර්මපාල තුමාට ) (ඩේවිඩ් දරුවාට ) බලපෑ පානදුරා වාදය

1873 දි සිදු වු පානදුරාවාදය ඩේවිඩ් දරුවාගේ ජීවිතයට බලපෑ අනෙක් විශේෂිත වූ ඓතිහාසික සිදුවීමක් ලෙසින් සැලකේ. කතෝලික හා බෞද්ධ යන දෙපක්ෂය අතර පැවැති මෙම වාදය ලොව පුරා ප්‍රචලිත වූවේය. මේ පානදුරාවාදයේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ වූයේ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. එම පානදුරාවාදය පිළිබඳ වාර්තා දුටු එක්තරා විදේශිකයෙකු මේ රටේ බුද්ධාගම සහ ධර්ම දේශකයන් වහන්සේ නමක් වු (විවාදයට සම්බන්ධ වූ) මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සමග ඒ විදේශික විද්වතාණන් වූයේ ඇමරිකාවේ සෙන්පති ස්ටීල් ඕල්කට් තුමාය. එතුමා රුසියානු ජාතික කාන්තාවක් වූ බ්ලැවැට්ස්කි මැතිනිය සමග ලංකාවට පැමිණියේය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සමග ඒ මහා වාදය ගැන ලිපි පවා හුවමාරු කර ගැනීමෙන් පසුව ඕල්කට්තුමා මේ ගමන පැමිණි බව ඉතා ප්‍රකට කරුණකි.

ඒ දෙදෙනා බෞද්ධ ජනතාව විසින් ඉමහත් ගෞරවයෙන් පිළිගන්නා ලදී. ඕල්කට් තුමා ගිහි පැවිදි බෞද්ධ පිරිසක්ද සමග පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ගන්නා ලදී. ඉන් පසුව ඒ බෞද්ධ ප්‍රබෝධය සඳහා සරසවි සඳරැස නම් වූ පුවත්පතක්ද ඇරඹූවේය.

මේ කාලය වන විට ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා පෞද්ගලිකව සිය පාඩම් කටයුතුවල යෙදී සිටියේය. ඕල්කට්තුමාගේ දේශන ඇසීමෙන් හා එතුමාගේ දක්ෂතා හා ක්‍රියාශීලිත්වය ගැන පැහැදුණු ඩේවිඩ් තරුණයා හා ඒ බෞද්ධ සමාගමට බැඳී පුවත් පතෙහි දියුණුවට පමණක් නොව බුද්ධ ශාසනයෙහි දියුණුවටද ඇප කැපවී කටයුතු කිරීමට අදිටන් කරගත්තේය. 1884 දි එම සමාගමේ සාමාජිකයෙකු ලෙසටද බැඳුණු ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා බෞද්ධ ආරක්ෂක කමිටුවේ සහකාර ලේකම් ලෙසත් සරසවි සඳරැස පත්‍රයේ කළමනාකරු ලෙසත් සේවය කළේය.

ඕල්කට්තුමාගේ භාෂා පරිවර්තකයා

ඕල්කට්තුමා රට පුරා සංචාරය කරමින් කළ දේශන සිංහල භාෂාවට පරිවර්තනය කළේද ඩේවිඩ් තරුණයාය. එම බෞද්ධ සමාගමට සහාය දෙන අතරේදී 1885 වර්ෂයේදි ෙඩිව්ඩ් යන නාමය අතහැර ධර්මපාල යන නාමය ගෙන අනගාරික වෘතයටද පිවිසි මේ තරුණයා සිංහල බෞද්ධ ජනතාව නඟාසිටුවීම සඳහා ඉතා ප්‍රබල සංවිධානයක් ගොඩනැඟිය යුතු බවට අධිෂ්ඨානයක් ඇති කර ගත්තේය.මේ අතරේ 1890 ගණන් වලදි ඉන්දියාවේ බුද්ධගයාව ඉතාමත් දරුණු අන්දමින් විනාශයට පත්වන බව සියැසින්ම දුටු එඩ්වින් ආනල්ඩ් මහතා විසින් ටෙලිග්‍රාෆ් නමැති සඟරාවකට ලියන ලද ලිපිය අනගාරික ධර්මපාලතුමාට කියැවීමට ලැබුණි. ඉන් පසුව අනගාරික ධර්මපාලතුමා මේ තත්ත්වය සියැසින්ම දැක ගැනීමට 1891 දී බුද්ධගයාවට ගියේය. යළි ලංකාවට පැමිණි අනගාරික ධර්මපාලතුමා 1891 මැයි මස 31 වැනිදා ඉරිදා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේදී මහාබෝධි සමාගම පිහිටුවන ලදී. මහාබෝධි සමාගමේ පළමුවන සභාපති වූයේ මෙරට බෞද්ධ පුනරුදයේ ප්‍රකට පඬිරුවනක් වූ පූජ්‍ය හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නා හිමියෝය. (දඹදිව සිව් මහ පුදබිම් – සිරිසමන් විජේතුංග (පි. 11) (2011)

මහාබෝධි සමාගමේ ප්‍රථම පරමාර්ථයන් අතරේ බුද්ධගයාව හින්දු බලපෑමෙන් බේරා ගැනීම සහ ඊට සහායවීම සහ බුද්ධගයාවේ භික්ෂූන් වහන්සේලා නැවැත්වීමද බුද්ධ ධර්මය ඉන්දියාවේ සහ ලෝකයේ රටවල ප්‍රචාරය කිරිමද අඩංගු වෙයි. ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන අතර බුද්ධගයාව මහන්තාගෙන් බේරා ගැනීමට අනගාරික ධර්මපාලතුමාට සහ එතුමාගේ සගයන්ට අනවරත සටනක් කිරීමට සිදුවිය. මහන්තාගේ නියොජිතයෝ බුද්ධගයාවේ නවතා සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේට හිරිහැර කළහ. අනගාරික ධර්මපාලතුමා මේ පිළිබඳව කොතරම් කම්පාවට පත්වුයේද යත් එතුමා විසින් ගන්නා ලද ක්‍රියා මාර්ගය හා අධිෂ්ඨානය පිළිබද මෙසේ සඳහන් වේ.

1890 දෙසැම්බර් මස 20 වැනි දින මාලිගාකන්දේ ධර්මවිනය ඉගෙන ගනිමින් සිටි ජපන් ජාතික කොජෙන් ගුණරතන උන්නාන්සේ බෝමැඩ වැඳීමට යන බව මට ආරංචි වී උන්නාන්සේ සමග බෝමැඩට යාමට මසිත උපන්හ. උන්නාන්සේද මොකුසාවා ජපන් ශිෂ්‍යයාද මමද කොළඹින් පිටත්ව මදුරාසියට පැමිණ තියො සොපිකල් සමාගමේ සංවත්සර සභාවේ කෘත්‍යය කොට 1891 ජනවාරි මස 22 දා බෝමැඩට අපගේ පැමිණීම විය.

මතු සම්බන්ධයි


ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා තන්වන කොටස