Print this Article


කර්ම විපාකය යි 01 කුස පිරීමට ආහාර නොලත් ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ පෙරභවය යි

කර්ම විපාකය යි 01

කුස පිරීමට ආහාර නොලත් ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ පෙරභවය යි

පෙරභවයයි, කර්ම විපාකයයි මැයෙන් පළවන ලිපි මාලාවේ පළමුවැනි ලිපියයි මේ. මහ රහතන් වහන්සේලාටත්, ජීවමාන බුදුරදුන් දවස බොහෝ දෙනෙකුටත් පළ දුන් කර්ම විපාක යටතේ, කුස පිරීමට ආහාර නොලත් ලෝසකතිස්ස මහ රහතන් වහන්සේගේ චරිත කතාව පිළිබඳව අද සිහිපත් කරමු.

ලෝසකතිස්ස හිමියන් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුසසුනෙහි වැඩසිටි මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේගේ විශේෂත්වය වන්නේ කිසිම දිනක කුස පිරීමට තරම් පිණ්ඩපාතයක් නොලැබීමයි.

ලෝසකතිස්ස හිමියන් මව්කුස පිළිසිඳ ගත් දා පටන් උන් වහන්සේගේ මව ජීවත් වූ ගමේ වැසියන්ට විවිධ දුක් කරදරයන්ට මෙන්ම විශේෂයෙන් ආහාරපාන අහේනියන්ට මුහුණ පාන්නට සිදුවිය. නිවස මෙන්ම ගම ද දුකින් දුකට පත් විය. සත්වසක් එම ගමෙහි භෝගයන් ගින්නෙන් විනාශවන ලදී. සත් වසක් රජු විසින් දඩ ගසන ලදී. මේ පිළිබඳ විමසිලිමත් වූ පවුල් දහසකින් සමන්විත වූ ගම්වැසියන් පවුල් පන්සියය බැගින් දෙකට බෙදීය. ඉන් පසු එක් කොටසක් භාග්‍යවන්තව නැවතත් කිසිදු අහේනියකින් තොර විය. එහෙත් අනෙක් පන්සියයට එසේම අභාග්‍ය සම්පන්න විය. ඒ ලෝසකතිස්ස හිමියන් ගේ මව අයත් වූ කොටසයි. මෙසේ නැවතත් එම පවුල් පන්සියයට දෙසිය පනහ බැගින් ආදී වශයෙන් කොටස් කරමින් අභාග්‍ය සම්පන්න පුද්ගලයා සොයා ගත්තේය. වෙන කවුරුත් නොව ලෝසක හිමියන්ගේ මව විය. ගම්වැසියන් මෙවැනි අහේනියකට හා රාජ උදහසට ලක්වීමට හේතු වූයේ ලෝසකතිස්ස හිමියන් මව්කුස පිළිසිඳ ගත්දා පටන් බව දැන මව හා පුතු ගමින් පන්නා දමන ලදී.

මේ අභාග්‍ය සම්පන්න පුතාත් සමඟ මහ පාරට වැටුණ මවටද ආහාරපාන වලට වඩා හිමි වූයේ අන්‍යයන්ගේ ඇනුම් බැනුම්වලට තාඩන පීඩනයන්ට ලක්වීමටය. මෙසේ දුකින් දුකට පත් වූ මව අවුරුදු හතක් පමණ වන තෙක් තම අවාසනාවන්ත පුතු ඉතා දුකසේ රැකබලා අවසානයේ ඔහුගේ අතට කබලක් දී සිඟා කා ජීවත්වීමට කියා දී වෙන් කරන ලදී. මෙසේ ගෙයින් ගෙට සිඟමනේ යන දරුවාට කුස පිරීමට තබා තොලකට ගෑමටද අහරක් ලැබුණේ ඉතාම කලාතුරකිනි.

මෙසේ වීදි ඔස්සේ සිඟමනේ යන දරුවා දිනක් ධර්ම සේනාධිපති සැරියුත් හිමියන් විසින් දැක ඔහු කෙරෙහි අනුකම්පාවෙන් රැගෙන ගොස් මහණ උපසම්පදාව දෙන ලදී. මහණ වීමෙන් අනතුරුව පිණ්ඩපාතේ වැඩියද කිසි දිනක උන්වහන්සේගේ පාත්‍රයට සෑහෙන තරම් ආහාරයක් නොලැබිණි. උන් වහන්සේගේ පාත්‍රයට ආහාර බෙදීමට එන සියලු දෙනාට පාත්‍රය පෙනෙනුයේ පිරී ඇති ලෙසය. එම නිසා එම ආහාරය වෙනත් හිමි නමකගේ පාත්‍රයකට බෙදයි. ඉදින් කිසි දිනක ලෝසක හිමියන්ගේ පාත්‍රයට ප්‍රමාණවත් ආහාර නොලැබෙයි. එහෙත් මෙම අපහුසතාවයන් මායිමකට නොගත් ලෝසකතිස්ස හිමියන් බවුන් වඩා මේ ඝෝර සසර කෙළවර කර ගැනීමට හෙවත් රහත් වන්නට තරම් භාග්‍යවන්ත වූහ.

නිසි ආහාර නොලැබීම නිසාම විවිධ රෝගාබාධයන්ට ලක් වූ ලෝසකතිස්ස මහරහතන් වහන්සේ පිරිනිවන්පාන සමය ලංවිය.මේ බව දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ ලෝසකතිස්ස මහරහතන් වහන්සේ පිළිබද අනුකම්පාවෙන් විශේෂ චතුමධූරක් සූදානම් කොට තමන් වහන්සේගේ අතේ තිබිය දී වළඳන ලෙස දැනුම් දුන්හ. එසේ තමන් වහන්සේගේ අතේ තිබියදී වැළඳවීමට සැලැස් වූයේ ඉදින් ලෝසකතිස්ස හිමියන්ගේ අතට දුන්නේ නම් එය වැළඳීමට පෙර විනාශවන නිසාය. ලෝසකතිස්ස මහරහතන් වහන්සේ ජීවිත කාලය පුරාවටම කුස පිරීමට ආහාරයක් වැළඳුයේ එදිනය. එය උන්වහන්සේගේ ජීවිතයේ අවසන් ආහාරය ද විය.

ලෝසකතිස්ස මහරහතන් වහන්සේ රහත්වීමට තරම් භාග්‍යවන්ත වුවද කුස පිරීමට තරම් ආහාර නොලැබී මෙවන් අභාග්‍ය සම්පන්න තත්වයකට මුහුණ දීමට සිදුවීම පිළිබඳව එදින දම්සභා මණ්ඩපයේ කතාබහට ලක්විය. මෙය දිවකනෙන් දැනගත් බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කොට ලෝසක තිස්ස මහා රහතන් වහන්සේගේ මෙම අල්පලාභී බවට හෙවත් අභාග්‍යයට හේතු දක්වමින් අතීත කතාව මෙසේ ගෙනහැර දැක්වූහ.

පෙර එක් අත් බවක භික්ෂූන් වහන්සේ නමක්ව සිටි ලෝසකතිස්ස හිමියන්ට උපස්ථාන කරන කුළුපග දායකයෙක් විය.

දිනක් රහතන් වහන්සේ නමක් මේ ප්‍රදේශයට වැඩම කළ අතර එම දායකයා උන්වහන්සේ කෙරෙහි පැහැදී දානය පූජාකොට අර භික්ෂුන් වහන්සේ සිටි අරමට වැඩම කොට එහි වාසය කරවන ලෙස දැන්වීය. රහතන් වහන්සේ ද එසේ කළේය. එම දායකයා සවස් කාලයේ විහාරයට ගොස් භික්ෂූන් වහන්සේලා දෙනම සමග පිළිසඳර කතාකොට පසු දින දෙනමටම තමාගේ නිවසෙහි දවල් දානයට වඩින ලෙස ආරාධනා කොට තම නිවෙස බලා ගියේය. තමාට ලැබෙන ප්‍රත්‍ය අඩුවේ යැයි සිතු එම ආරාමයේ දිගටම වැඩසිටි භික්ෂුව,රහතන් වහන්සේ කෙරෙහි ද්වේෂයක් ඇතිකර ගත්තේය.

පසු දින දානය වේලාව පැමිණි කල්හි එම භික්ෂුව දානයට සංඥා කරන ගෙඩියට හා රහතන් වහන්සේ වැඩසිටි කුටියෙහි දොරට නියපිටින් තට්ටුකොට දානයට වැඩියේය.තනිවම වැඩි සුපුරුදු භික්ෂූන් වහන්සේ දුටු දායකයා “පෙර දින වැඩිය භික්ෂූන් වහන්සේ දානයට නො වැඩියේ මන්දැයි” ඇසු කළ එම භික්ෂූන් වහන්සේ කෙරෙහි දායකයා කලකිරවන අදහසින් භික්ෂුවගේ පිළිතුර වූයේ “තමා දානයට සංඥාකරන ගෙඩිය ගසා ටික වේලාවක් බලා සිටියද එම භික්ෂුව නොවැඩි නිසා දොරට ගසා බලා සිටියත් නොවැඩියේ පෙර දින එම දායකයාගේ නිවසෙහි ප්‍රණීත දානය වළඳා දිරවා ගැනීමට නොහැකිව තවම නිදිබැවින් බව පැවසීය.

දායකයා ද තම නිවසට වැඩි භික්ෂුවට මනාව සංග්‍රහ කොට ආගන්තුක භික්ෂුන් වහන්සේටද දානය කොටසක් ගෙන ගොස් දෙන ලෙස පාත්‍රය පුරවා කිරි ආහාරයක් මිශ්‍ර ප්‍රණීත ලෙස දුන්නේය. එය පිළිගත් භික්ෂුන් වහන්සේද අතරමගට පැමිණ මෙසේ සිතීය.ඉදින් මෙම භෝජනය වෙනත් අයෙකුට ලබාදුන්නොත් එසේ නැතිනම් කපුටන්ට හෝ දුනහොත් එය දායකයා දැන තමා කෙරෙහි කලකිරේ යැයි සිතා අතර මගදී දියෙහි ද නොදමා එක් ගිනි ගොඩක් දැක අ¼ගුරු ඈත් මෑත්කොට කිසිවෙකුට සොයාගත නොහැකි පරිදි රහතන් වහන්සේ වෙනුවෙන් වූ එම ආහාරය එහි දමා ගියේය. මෙම භික්ෂුවගේ ද්වේෂ සහගත ස්වභාවය හා අකටයුත්ත දැනගත් රහතන් වහන්සේද වෙනත් ගොදුරු ගමක් බලා වැඩියහ.

මෙසේ එම භික්ෂුව රහතන් වහන්සේ කෙරෙහි දායකයා කලකරවීමේ අදහසින් ද්වේෂයෙන් කටයුතු කිරීමෙන් මහරහතන් වහන්සේට පිළිගැන්වීමට ලබාදුන් භෝජනය අඟුරු වලෙහි දැමීමේ විපාක වශයෙන් ආත්ම ගණනාවක් නොයෙක් ජාතිවල ඉපිද ආහාර නොලැබෙමින් කටුක දුක්විඳ අවසන් ආත්ම භවයෙහිදී නොයෙක් දුක් ගැහැටයන්ට මුහුණ දෙමින් රහතන් වහන්සේ නමක් වුවද අකුශල කර්මයෙහි විපාක වශයෙන් මෙසේ අභාග්‍ය සම්පන්නව නිසි ආහාර නොලබා දුක්විඳ ඇත.