Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 2

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 2

මහාමායා දේවිය, තමා පෙර දින දුටු මේ සිහිනය පිළිබඳව සුද්ධෝදන රජතුමාට දැන්වීය. මහ රජතුමා විසින් බමුණු පඬිවරුන් කැඳවා සිහිනයේ විස්තර විමසන ලදී. බෝධි සත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගෙන දසමසක් පිරෙන්නට වූ කල්හි දෙව්දහනුවරට යාමට අවශ්‍ය බව මහාමායා දේවිය සුද්ධෝදන රජතුමාට දැන්වීය.ඇයගේ ඉල්ලීම පරිදි දේවියගේ පියාණන් වන අංජන රජතුමාට දන්වා ඇමැතිවරුන් හා පිරිවර ජනයා සමග වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී පිටත් කරන ලදී. පිරිස සමග රෝහිණී නදියෙන් එතෙර වු මහා මායා දේවියට ලුම්බිණිය නැරඹීමට අවශ්‍ය බව දැන්වීය. මහාමායා දේවිය සල් උයනේ සුන්දරත්වය විඳිමින් සල් උයනේ සිසිල විඳ ගන්නාලදී.

ලුම්බිණි සල් උයන පුරා ඇවිදිමින් සිට මහාමායා දේවිය මුල සිට අග දක්වා මලින් පිරි සල් අත්තක් අල්ලා ගත් අතර පිරිවර කාන්තාවන් ප්‍රසව අවස්ථාව බව දැන පරිවාර ස්ත්‍රීන් වට තිර ඇද යහනාවක් පනවා ඊට සුදුසු පරිසරය සකස් කර දෙන ලදී. දේවිය කුමරා බිහි කළාය.

මහ බෝධි සත්වයන් වහන්සේ මව් කුසින් බිහි වු පසු මහත් ගෞරවයකින් කුමරු පිළිගත් අතර කුමාරයා මහ පොළොව මත ඇවිද යන්නට පටන් ගත් අතර මේ මහ පොළොව එදා උන් වහන්සේ පිළිගනු ලැබුවේ නෙළුම් මලින්ය. නෙළුම් මල් හතක් මතින් ඇවිද අවසන් නෙළුම් මල උඩ සිටිමින් එදා ලොව සිංහ නාද කරන ලදී.

අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්ති මා ජාති නත්ථි දානි පුනබ්භවො

(මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මාගේ මේ අන්තිම ඉපදීමයි නැවත ඉපදීමක් නැත)

ඉන් පසු කපිල වස්තු හා දෙව්දහ නුවර වැසියන් සියලු දෙනා මහා පෙරහරින් කුමාරයා ද සමග පිටත් විය.

ලුම්බිණි පුදබිමෙන් සොයා ගනු ලැබූ ඉතා වැදගත් ඓතිහාසික හා පුරාවිද්‍යා සාධක අතර අශෝක අධිරාජයා විසින් පිහිටුවන ලද ස්ථම්භය ද වේ.

රාජාභිෂේකයෙන් විසි වසරකට පසු අශෝක අධිරාජයා මෙම පුදබිමට පැමිණ පූජෝපහාර දක්වා ඇත්තේ උප ගුප්ත මහ රහතන් වහන්සේ සමගය. බුදුන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ ස්ථානය බැවින් ලුම්බිණි ග්‍රාමය අනෙකුත් සියලුම බදුවලින් නිදහස් කිරීමටත්, අස්වැන්නෙන් 1/8ක කොටසක් පමණක් ගෙවීමටත් අශෝක අධිරාජයා නියම කළ බව එතුමා විසින් පිහිටුවන ලද ස්ථම්භයේ ඇති සෙල්ලිපියේ සඳහන් වේ.

සෙං සායි, පාහියන් සහ හියුංසාන් සහ චීන භික්ෂූන් වහන්සේලා ලුම්බිණියට පැමිණ ඇති අතර, අශෝක වාර්තාවල සිදුහත් උපත සිදුවූ ස්ථානයේ තිබූ සල් ගස අශෝක කුලුන සහ මහාමායා දේවිය ස්නානය කළ පොකුණ පිළිබඳව සටහන් තබා ඇත.

සැලකිය යුතු කාලයක් වල් බිහිව තිබී ඇති ලුම්බිණිය සහ අශෝක ස්ථම්භය ක්‍රි.ව. 1896 ආචාර්ය ෆියුගර් මහතා විසින් සොයා ගන්නා ලදී. ඉන් අනතුරුව නේපාල පුරාවිද්‍යාඥයන්ගේ මෙහෙයවීමෙන් 1972 වර්ෂයේ සිට කැනීම් කටයුතු සිදුවී ඇති අතර 1985 දී ලුම්බිණි සංවර්ධන අධිකාරිය පිහිටුවීමෙන් පසු අද පවතින තත්වයට ලුම්බිණි උද්‍යානය ක්‍රමවත් ලෙස සංරක්ෂණය කර ඇත. ලුම්බිණි සංවර්ධන සැලැස්ම 1978 දී ජපන් ජාතික මහාචාර්යන්ගේ විසින් පිළියෙල කර ඇති අතර එය නේපාල රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කර ඇත. එම සැලැස්ම අනුව පූජනීය උද්‍යානය විහාර කලාපය ලුම්බිණි ග්‍රාමය වෙන් වෙන් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

මයාදේවි පන්සල

වර්තමානයේ ලුම්බිණිය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන්ට අශෝක ස්ථම්භයේ ඉදිරිපසින් නේපාල සංස්කෘතික ආකෘතියකින් ගොඩනගන ලද විශාල විහාරයක් දකින්නට ලැබේ. මෙය මායාදේවි පන්සල වශයෙන් හැඳින්වේ.


අශෝක ස්ථම්භය

මෙම විහාරය ගොඩනඟා ඇත්තේ එම ස්ථානයේ කලින් පස් කන්දක් ලෙස පැවැති ගරා වැටුණු සුන්බුන් ඉවත් කරමිනි.

1996 දී සිදුකළ කැණීම් කටයුතුවලදී විශේෂයෙන් ගුප්ත අධිරාජ්‍ය සමයේ පැවැති විහාරස්ථානයක නටබුන් හමුවී ඇති අතර එම ස්ථානයේ පතුලේ පැවැති කුඩා පාෂාණ පා සටහන් අනුව සිදුහත් කුමරු උපත ලත් ස්ථානය මෙය බව නේපාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. නව විහාර මන්දිරයේ අභ්‍යන්තර වේදිකාවක් ඔස්සේ ගමන්කර එම ස්ථානය වැඳපුදා ගැනීමට පහසුකම් සලසා ඇත.

නේපාල වාසී හින්දුන් “රූපාදේඊ” (රූපා දේවී) “රූම්මින දේවී” නම් වලින් දෙවඟනක් ලෙස මහාමායා දේවියට වැඳුම් පිදුම් කරනු ලැබේ’. සිදුහත් කුමරුගේ උප්පත්තිය පිළිබද ගලෙන් කැටයම් කරන ලද කැටයමක් මෙම ස්ථානයේ තිබූ අතර, ගැබිනි මව්වරුන් නිරෝගිමත් දරු සම්පත්තියක් බලාපොරොත්තුවෙන් හා දරුවන් නොමැති කාන්තාවන් දරු සම්පත් අපේක්ෂාවෙන් එය උරගා පිරිසුදු ජලය සමඟ පානය කිරීමෙන් දරු සම්පත්තිය ලැබෙන බව විශ්වාස කරමින් අනාදිමත් කාලයක සිට සිදුකරන ලද කාර්යයකි. වර්තමානයේ නේපාල රජය ඔවුන්ගෙන් එම ගල් කැටයම ආරක්ෂා කිරිම සඳහා සිද්ධාර්ථ මහබෝධි සත්වයන්ගේ පා සටහනට ඉහළින් ආරක්ෂාව පිණිස තබා ඇත.

අශෝක ස්ථම්භයට සහ මායාදේවී පන්සලට පසෙකින් සංරක්ෂණය කර ඇති පොකුණක් දක්නට ලැබෙන අතර, එය නිසැකයෙන්ම මහාමායා දේවිය ප්‍රසවයෙන් පසුව ස්නානය කළ පොකුණ බව පිළිගනු ලැබේ. හියුං සාංගේ දේශාටක වාර්තාවලින් ද එය තහවුරු වී ඇත. අනෙකුත් ස්මාරක අතර මථුරා ශෛලියට අයත් තිත් සහිත වැලිගලෙන් කළ බුදුරජාණන් වහන්සේගේ සිරස ක්‍රි.ව. 9,10 සියවස වලට අයත් මංජු ශ්‍රී මෛත්‍රිය අවලෝකිතේශ්වර සහ බුදුහිමියන්ගේ යමක මහා ප්‍රාතිහාර්යය විදහා දැක්වෙන ප්‍රතිමා ප්‍රධාන තැනක් ගනී. මුළු ලුම්බිණි පුදබිම පුරාම කුඩා චෛත්‍යය රාශියක් ඇති අතර ඒවා නේපාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මනාව සංවර්ධනය කර ඇත.

ලුම්බිණි සංවර්ධන අධිකාරිය

ලුම්බිණිය අද ලෝක උරුමයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. අද ලුම්බිණි උද්‍යානය මැනවින් සංවර්ධනය කරනු ලැබූ දර්ශනීය බිම් පෙදෙසකි. මහායාන සහ ථේරවාද සියලු බෞද්ධ රටවල්හි සිද්ධස්ථාන පිහිටුවීම සඳහා ස්ථාන වෙන්කර ඇත. ඒ අනුව ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පාලනය යටතේ පවතින ඉන්දීය මහාබෝධි සමාගමට සහ ශ්‍රී ලංකා රජයට වෙන් වශයෙන් ස්ථාන වෙන් කරනු ලැබ ඇත.

ලුම්බිණි සංවර්ධන අධිකාරියේ කටයුතු සිදුවීමට ප්‍රථම පූජා පරිශ්‍රයේද විහාර දෙකක් පැවතුණු අතර, අදටත් එම විහාර දෙක ඒ අයුරින්ම පවත්වා ගෙන යාමට ඉඩ සලසා ඇත. 1956 දී ආරම්භ කරන ලද ලුම්බිණි ධර්මෝදය සමිති ධර්මපාල විහාරය ඉන් එකකි.

අනෙක් විහාරය මහායාන පිළිවෙත් අනුව දෛනික පුද පූජා පවත්වන එසේම දෙසැම්බර් මාසයේදී මහා සාම පූජාවක්ද මෙහෙයවන ධර්මස්වාමි මහාරාජ බුද්ධ විහාරය නමින් හැඳින්වෙන ටිබෙට් පන්සලයි.

මතු සම්බන්ධයි


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව - 1