දම්පද මහිර - 3
දොස් කළත් තමහට
නොබඳිනු වෛර කිසිවිට
කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිපති
සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක
මොරවක සෝරත නාහිමි
කවුරු හරි තමාට බැණපු සිදුවීමක් හෝ ගහපු සිදුවීමක් හෝ මතක් වූ විට
කෙනෙකුගේ පුහුදුන් සිතක හටගන්නේ තරහක් නේද? සමහර විට ඒක වෛරයක් බවට
පත්වෙන්නත් බැරි නෑ. ඒ වෛර සිත මොන තරම් භයානකද කියල ඔබ දන්නවද?
තව කෙනෙකුට බණින ගහන අයට විපාක දෙන කර්ම සකස් වෙන බව ඇත්ත. ඒත් එක්කම
බැණුම් අහපු කෙනාටත් තමාගෙ සිතේ ඇතිවන වෛරය තමාටම හානි කරන්න පටන්
ගන්නව. මතක්වෙන වාරයක් පාසා තමාගෙ සතුට පිරිහිල යනව. අකුසල්මයි
රැස්වෙන්නෙ, පරලොව උරුමයත් දුගතියමයි. ඒ නිසාම සසර ගමනට භව කීයක් තවත්
එකතු වෙයිද?
මේ පිළිබඳ බුදුහාමුදුරුවො දවසක් ථුල්ලතිස්ස හාමුදුරුවන්ටයි තවත් තරුණ
හාමුදුරුවරු පිරිසකටයි වටින බණක් දේශනා කළා. සුදොවුන් රජුගේ සොයුරියකට
තිස්ස නමින් පුතෙක් හිටිය. වැඩිහිටි වියෙහිදී පැවිදි වූ ඔහු තරමක් උඩඟු
සිත් ඇතිවයි කල් ගෙව්වෙ. බුදුහාමුදුරුවන්ට ලැබෙන ලාභසත්කාරයෙන්ම පෝෂණය
වන නිසා ස්ථුල සිරුරක් උන්වහන්සේට තිබුණ. ඒ නිසා ථුල්ලතිස්ස නමින්
ප්‍රචලිත වුනා.
වෙහෙර මැද පිහිටි උපස්ථාන ශාලාව තමයි ඔහු වැඩි වේලාවක් ගතකරන තැන,
ආගන්තුක, උපසපන් භික්ෂූන් වහන්සේලා නිතරම එහි වැඩම කරනව. මහතෙර නමක්
වගේ සිටින ඔහුට වැඩිහිටි ස්වාමීන්වහන්සේ පවා වස් ගැන විමසීමක් නැතුවම
ගරුසරු දක්වනව. උන්වහන්සේත් කිසිවක් කියන්නේ නෑ. එක දවසක් තරුණ
භික්ෂුවක් උන්වහන්සේට ළඟට ඇවිත් වඳින්න කලින් ‘වස් කීයද?’ කියල ඇහුව.
‘මට වස් නැහැ’ කියල ඔහු උත්තර දුන්න. ථුල්ලතිස්ස තෙරුන්ගේ අතීත
හැසිරීම් දැකල තිබූ මේ තරුණ භික්ෂුව ‘තමා කරන වරද ගැන කුකුසක් වත්
නැද්ද?’ කියල දොස් නැඟුව.
බුදුන් වහන්සේගේ ඤාතිත්වය සිහි කරගෙන මාන්නාධිකව සිටි ඔහු ඒ තරුණ
භික්ෂුව දෙස රවා බලා ‘ මා කවුද කියා තොප නොදන්නෙහිද? තා සමූල ඝාතනය
කරමි” කියල කඳුළු පෙරමින් බැණ වඳිමින් බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන
ගියා. ‘ස්වාමීනි අසවල් භික්ෂු පිරිස මට නින්දා පරිභව කරනව ‘ කියල වෛර
සිතින් උන්වහන්සේට පැමිණිලි කළා. සෙසු ස්වාමින් වහන්සේලත් එතැනට වැඩම
කළා.
බුදුරජාණන් වහන්සේ ථුල්ලතිස්ස තෙරුන් දෙස බලලා “තිස්ස ,ඔබ සිටි තැනට මේ
භික්ෂූන් එන විට ඔබ පෙර ගමන් කළාද? පා සිවුරු ගැනීමට විමසුවද? අවශ්‍ය
වතාවත් හෝ පැන් ගැන හෝ විමසුවද? අසුන් පනවා පා මැඩීම් ආදිය ඉටු කළාද?
කියල ශාන්ත ස්වරයෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුව.
ඔහු ඒ කිසිවක් කරල නැති නිසා පිළිතුරු දීමට සිදු වුණේ ‘නැහැ’ කියල. ඊට
පස්සෙ බුදුහාමුදුරුවො මෙහෙම අවවාද කළා.
“තිස්ස , වැඩිමහලු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඒ වතාවත් ටික කළ යුතුයි.
එසේ නොකරන භික්ෂුවක් වෙහෙර මැද සිටිය යුතු නැහැ. වරද ඔබ අතමයි. මේ
භික්ෂූන් වහන්සේලාට වැඳල සමාව ගන්න”
ඒ අවවාදය පිළිනොගත් ථුල්ලතිස්ස “ස්වාමීනි , මට ආක්‍රෝස පරිභව කළ මේ
භික්ෂූන්ගෙන් සමාවක් ගන්න මට බෑ “ ඉවත බලාගෙන කීව.
“ මේ අකීකරුකම ඔබට අහිත පිණිසමයි හේතු වෙන්නෙ. අද විතරක් නෙවෙයි මේ
තිස්ස අතීතෙත් එහෙමයි” කියල පෙර භවයක කතාවකුත් ඒ භික්ෂු පිරිසට කියල
දුන්න.
හිමාලෙ හිටිය දේවල කියල තවුසෙක්. ඔහු ලුණු ඇඹුල් සොයාගෙන ගමට ආපු දවසක
කුඹල්කරුගෙ අවසර ඇතිව කුඹල් හලේ නවාතැන් ගත්ත. ඒ ශාලාවෙ රාත්‍රී කාලේ
වැඩක් නොකෙරෙන නිසා මෙවැනි අයට රාත්‍රී නවාතැන් ගන්න පුළුවන් වුණා.
ටික වෙලාවක් යනකොට නාරද කියල තවත් තවුසෙක් එතනට නවාතැන් ගන්න ආව.
කුඹල්කරු කීවෙ දැනට ඉන්න තවුස්තුමා කැමතිනම් මගේ කිසිම අකමැත්තක් නෑ.
කියල. නාරද තවුසත් දේවල තවුසගෙන් අහල එතැන නතර වුණා. දෙන්න රාත්‍රී
කාලයේ සතුටු සාමීචි කතාවේ යෙදිල නින්දට ගියා.
නාරද කියන්නෙ දේවලට වඩා ආධ්‍යාත්මික බලයක් තියෙන කෙනෙක් දෙන්න නින්දට
සූදානම් වෙද්දි නාරද හොඳින් විමසිලිමත් උණා දේවල නිදාගන්න තැන ගැනත්
දොරටුව තියෙන තැන ගැනත්. මොකද පහන නිවා දැම්මට පස්සෙ කලුවර නිසා. කුමක්
හෝ හේතුවක් නිසා දේවල තවුසා නිදා සිටි තැනින් නැගිටල දොරටුව අබියස හරහට
නිදාගන්න පටන් ගත්ත. නාරද ඒ බව දැන සිටියෙ නැහැ.
නාරද තවුසා මැදියම් රැයේදී එළියට යන්න ගියා. දොරටුව ළඟින් යනකොට දේවලගෙ
ජටාව නාරදට පෑගුනා. දේවල කෝපයට පත්වෙලා කෑගැහුව ‘කවුද මගේ ජටාව පෑගුවේ
කියල. නාරද බොහොම ගරු සරු ඇතිව කිව්ව ‘ආචාර්යයෙනි, මම නාරද’ කියල.
ඒත් දේවල නිහඬ උනේ නෑ. ‘කැලේ ඉඳල ආ ජටිලය , තා මගේ ජටාව පෑගුවෙ ඇයි
කියල නැවත ඇහුව. ‘මෙතන ඔබතුමා සිටි බව නොදැනයි මම එළියට යන්න ආවෙ. මට
සමාවෙන්න කියල නැවතත් ඔහු යටහත් පහත්ව කිව්ව. දේවල බණිද්දීම නාරද එළියට
ගියා.
ඒ අතරෙ ‘එනකොටත් මේ ජටිලය මගේ ඔළුව පාගයි’ කියල හිතපු දේවල නිදාගත්ත
පැත්ත මාරු කළා. නාරදත් නැවත එන ගමන් කල්පනා කළා. ‘කෝකටත් හිස පැත්තෙන්
යනවට වඩා පා තිබූ පැත්තෙන් යන එක හොඳයි” කියල. දෙවන වරට පෑගුනේ දේවලගෙ
බෙල්ල. දේවලට පාලනය කරගත නොහැකි තරම් තරහක් ආවා. නාරද සමාව ඉල්ලද්දිත්
කෑගසමින් බැණ වැදුණ. අන්තිමට දේවල නාරදට සාප කළා.
‘දහසක් රැස් කිරණවලින් සියයක් තේජෝ බලයෙන්
අඳුර නසන හිරු දෙවියන් ලොවට උදාවනු සමගම
තාගේ හිස් මුදුන පැලි සත් කඩකට වෙන්වේවා’ කියල
‘ආචාරිනී, මගේ දොසක් නෑ. ඒත් ඔබ මට ශාප කළා. මමත් ශාප කරනව දෝෂය ඇති
කෙනාගෙ හිසම සත් කඩකට පැලේවා’ කියල නාරදත් ශාප කළා.
මහානුභාව සම්පන්න බලයක් තියෙන නාරදට අතීතය හා අනාගතය බලන්න පුළුවන්.
ඔහුට පෙනුන ඇත්තටම හිරු උදාවන විට දේවලගෙ හිස සත් කඩකට පැලෙන බව. ඔහුට
ලොකු අනුකම්පාවක් ඇති වුණා. තම ආධ්‍යාත්මික බලය යොදල හිරුපායන එක නතර
කළා.
අඳුර නිසා මුළු රටම අක්‍රිය වෙලා. සමහරු හිතුවෙ රජතුමාගෙ පාලනයෙ වරදක්
නිසා ඇති වූ ශාපයක් කියල. රජතුමත් තමා ගැන ස්වයං විමසීමක යෙදුණ. තමාගෙ
වරදක් තිබෙන බවක් පෙනුනෙ නෑ. කරන්න වෙන කිසිඳු දෙයක් නැහැ. ආධ්‍යාත්මික
බලයක් ඇති ශ්‍රමණ කෙනෙක් සිටීනම් මේ ගැන විමසමු’යි රජතුමා යෝජනා කළා.
ආලෝක පන්දම් දල්වාගෙන සෝදිසි කරද්දි කුඹල් හලේ තවුසන් දෙදෙනෙක් සිටින
බව දැනගන්න ලැබුණ. රජතුමා පරිවාර පිරිස් සමග ඔවුන් හමුවෙන්න ගියා.
‘හිරු නොපායන මේ අඳුරට හේතුවක් දැනගන්න පුළුවන් ද’ කියල එතුමා
දෙදෙනාගෙන්ම විමසුව. දේවලට ඒ ගැන වැටහීමක් නෑ. නාරද විසින් සියල්ල
පැහැදිලි කළා. ‘නාරද තවුසාණෙනි, දේවල තවුසත් බේරගෙන රටත් එළිය කරන්න
ක්‍රමයක් නැද්ද? රජතුමා විමසුව.
“මහරජතුමනි, මොහු මගෙන් සමාව ගතහොත් ශාපය ක්‍රියාත්මක වෙන්නෙ නෑ”
නාරදතුමා කීව. රජතුමා දේවලට සමාව ගන්නකීවත්, “මගේ ජටාවත් බෙල්ලත් පාගපු
මේ ජටිලයගෙන් මම සමාව ගන්නෙ නෑ කියල දේවල තදින්ම කියා සිටිය. රජතුමාටත්
ටිකක් තරහ ආව. රාජපුරුෂයන් ලවා බලෙන් වන්දවන්න හැදුවත් නාරද ඒකට කැමති
උනේ නෑ. හේතුව ඒක සිතට එකඟව සමාව ගැනීමක් නොවන නිසා ඒත් නාරද ඒකට වෙනත්
පිළිවෙළක් කියා දුන්න.
“මැටි ගුලියක් හදල දේවලගෙ හිස මත තියන්න. කරවටක් දියේ ගිල්වන්න. එතකොට
මම ඍද්ධිය අතහැර විසුරුවන විට හිරු රැස් විහිදේවි. මැටිගුලිය සත්කඩකට
පැලී යාවි. ඒ එක්කම වතුර යටට කිමිදිල වෙන තැනකින් මතුවෙන්නෙ කියන්න”
රාජ නියෝගය අනුව ඒ අයුරින් සියල්ල සිදු වුණා. මැටි ගුලිය සත් කඩකට
පැලීයද්දී දේවල දිය යටට කිමිදුනා. වෙන තැනකින් මතු වෙලා කිසිවෙකුගෙවත්
මුහුණ නොබලාම ඔහු යන්න ගියා.
“එදා දේවල තවුස වෙල හිටියෙ අදත් අකීකරු ථුල්ලතිස්ස මයි. මහරජතුමා තමයි
ආනන්ද, නාරද වෙලා තවුස්දම් පිරුවෙ බුදු වූ මම යි” කියල තරුණ භික්ෂු
පිරිසට මේ අතීත සිදුවීම පැහැදිලි කළා. ඒ සියල්ලන්ටම අවසානෙ දුන් දහම්
අවවාදය අපටත් බොහොම වැදගත්?
“අසුවලා මට බැණ්නේය. මට ගැසුවේය. මාව පරදවා මා සතු දේ පැහැර ගත්තේය.
කියල වෛර සිත් ඇති කරගන්න එපා. ඒ වෛරය කවදාවත් සංසිඳෙන්නේ නෑ”
බැණී ඔහු මට අද
දැනී මටදුන් පහර ද
ඔහු දිනී මපැරද
කාලෙ ගෙව්වොත් සිතේ වෙර මැද
තම සිතේ ඇතුළත
තව තව වැඩී යනු ඇත
සන්සිඳෙන්නේ නැත
ඔවුන්ගේ ඒ වෛර පිරි සිත
බැන්ණේය මා හට
ගැසුවේය ඔහු මගතට
මා පැරද දිනුවට
වෛර සිත් නොපැසිනිද කිසිවිට
ඒ වෛරයේ ගිනි
ටික ටික නිවෙයි පෙනි පෙනී
මෙත් සිසිල සපැමිණි
සැලසීම ළං කෙරේ සුහදිනි
|