Print this Article


යෞවනය සුවඳවත් කරන්න නිසි ගුණ දහම් අවශ්‍යය යි

තුරුණු සිතේ ආධ්‍යාත්මික සංවර්ධනය හා ත්‍රිවිධ චෛත්‍යය සම්බන්ධව වඩාත් අර්ථානුකූලව කතා කළ යුතු කාලය එළඹ තිබෙනවා. මීට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ තුරුණු මනස ශ්‍රද්ධාවට හේතු සාධක වන අංගයන්ගෙන් ඈත් කරන බවට සාධක තිබීමයි. ධර්මාවබෝධයට චෛත්‍යය පූජා අවශ්‍ය නැහැ. බෝධි පූජා වුවමනා නැහැ. බුද්ධ පූජාව තැබීම ඵල රහිතයි. බුදු පිළිම අවශ්‍ය නැහැ. චෛත්‍යය ඉදිකිරීම නිශ්ඵල වියදමක් ,බෝධි වන්දනා මල් පූජා අවශ්‍ය නැහැ. ආදී මෙවැනි වදන් තුරුණු සිත් තුළට කාවැද්දීමට ඇතැම් පිරිස් අද උත්සාහ දරනවා.

එමෙන්ම අතීතයේ සිට අපේ පැවති පුද සිරිත් ජනතාවගෙන් ඈත් කර ඔවුන්ට නිසි දහම් අවබෝධය ලැබීම වළක්වන සේයාවක් පෙනෙන්නට තිබෙනවා. නිසි වන්දනාව ඔවුන්ගෙන් ඈත් කරලා.

අතීතයේ පටන් අපේ වන්දනා ක්‍රම ඉතා අර්ථාන්විතව සිත් ගන්නා අයුරින් පවත්වාගෙන ආවා. මල් පූජා කරන්න මලසුන් නැත්නම් මල් ආසන තැනුවා. අද දක්වාම චෛත්‍යය ඉදි කිරීමේදි මේ ක්‍රමවේදය සම්ප්‍රදාය අනුගමනය කරනවා.

මලසුන ඒ අයුරින්ම අද මල් පූජා කිරීම සදහා යොදා ගත්තත් ඇතැම් අය ඒ ගැන කිසිදු තැකීමක් නැහැ.

ඕනෑම තැනක් අසල අද මල් පූජා කරන්නට ඔවුන් තෝරා ගන්නවා. මල් පූජාවට තිබුණු ගරුත්වය විනාශ කරලා. කැලයෙහි තිබෙන ඕනෑම ගසක් යට මල් පූජා කරන තත්ත්වයටම ඔවුන් පිරිහිලා. මෙයින් සිදුවන්නේ මලෙහි තිබෙන ගරුත්වය පූජනීයත්වය මුළුමනින්ම වනසා දැමීමයි. තරුණයන් මේ සියල්ල දකිනවා. එමඟින් ඔවුන් තුළ මල් පූජාව කෙරෙහි කිසිදු ගරුත්වයක් හට ගන්නේ නැහැ. සම්පූර්ණයෙන් වැරැදි අවබෝධයක් කරා ඔවුන්ගේ සිත් යොමුවෙනවා.

මේ නිසා පූජනීය වස්තු මෙන්ම පූජනීය දේ සඳහාත් තරුණ සිත නිසි පරිදි යොමු විය යුතුවෙනවා. එසේ නොමැතිව කිසිදිනක ආධ්‍යාත්මික සංවර්ධනයක් කරා යාමට බැහැ.

ගසක අරටුව පමණක් තිබීමෙන් ඵලක් නැහැ. එහි කොළ, මල්,දලු, ආදිය තිබීමෙන් පමණයි අලංකාරත්වය වැඩිවන්නේ, අපට ඒ ගැන ආසාවක් උපදින්නේ. මේ නිසා ශ්‍රද්ධාව ඇතිවීමට හේතුවන මූලිකාංග මොනවාදැයි යන්න ගැන අපට මනා අවබෝධයක් තිබිය යුතුවෙනවා. අතීතයේ රහතන් වහන්සේගෙන් ලද ආභාසය මත වර්තමාන පුද සත්කාර වන්දනා මාන බිහිවුණා.

ඒ ගැන තරුණ පරපුරට විශාල වගකීමක් තිබෙනවා. ඔවුන් නිවැරැදි දේ නිසි පරිදි තෝරා බේරාගෙන ඉදිරියට ගමන් කළ යුතු වෙනවා. අපට ලෝකෝත්තර සැපතට නිවැරැදි මාවත සකස් කර ගත හැක්කේ එවිටයි.

“බණ පදයක් අසන්නට හැකියාවක් නැති ශ්‍රවණාබාධ දරුවා පවා දෝතට මල් රැගෙන ගොස් කෙතරම් ප්‍රසාදයකින් බුද්ධ ප්‍රතිමා වහන්සේට වැඳුම් පිදුම් කරනවාද”

අපට යමක් කරන්න පුළුවන් කියන අදහස ඕනෑම තරුණ දූ, පුතකු තුළ පවතිනවා. එය අර්ථාන්විතව කරගැනීමට අනුබලදීමයි කළ යුත්තේ. උදාහරණයක් ලෙස මල් පූජා කිරීමේදී අප වන්දනාවට යොදා ගන්නා ගාථා දෙක සලකා බලන්න.

වණ්නගන්ධ ගුණෝපේතං
ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුණින්දස්ස
සිරිපාද සරෝරුහේ

ඉතාම කුඩා දරුවකුට පවා අර්ථය වටහා ගත හැකි ගාථාවක් ලෙසින් එය හඳුන්වා දෙන්න පුළුවන්. මේ මල් සුවඳයි. මේ මල් ලස්සනයි. මේ මල් මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා.

ඉතාම සරල අර්ථයක් එමඟින් ගෙන හැර පාන්නේ . නමුත් අනෙක් ගාථාවේ අර්ථයට ඊට වඩා ගැඹූරින් යුක්ත වූවක්.

පුජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤේන මෙතේන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමේ
කායෝ තථායාති විනාසභාවං

මේ මල් මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා මේ මල් ලස්සනයි. සුවඳයි . නමුත් මේ මල් පරවෙනවා. එසේම මා කෙතරම් ශක්තිමත්ව පිරිපුන්ව සිටියද යම් දවසක මා වැහැරී ගොස් මරණයට පත්වෙනවා යැයි භාවනාවකට සිත යොමු කිරීමට අවශ්‍ය පසුබිමක් එම ගාථාවෙන් ලබාදෙනවා.

මෙහි ගාථා දෙස විමසුම් ඇසින් බැලූ විට අපට පැහැදිලිව පෙනී යන්නේ බුදු දහමේ සියලු පුද සිරිත් ක්‍රම යම් ක්‍රමවේදයකට පිළිවෙළකට සකස් වී ඇති බවයි.

කුඩා දරුවකුට පවා පහසුවෙන් යම් දෙයක අර්ථය වටහා ගැනීමට හැකි වන පරිද්දෙන් සියල්ල හඳුන්වා දී තිබෙනවා. එම තුරුණු මනස විකෘති වන අන්දමේ කරුණු කාරණා ගෙන හැර පාමින් සමාජයට දුර්මත ඇතුළු වීමට ඉඩ ලැබී තිබෙනවා. මේ නිසා සියලු දූ පුතුන් මැනවින් අවබෝධ කරගත යුතු කරුණක් තිබෙනවා. අපේ බෝ සමිඳුන් අපට වන්දනා පිණිස වැඩ සිටිය යුතුයි. අපේ චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනා පිණිස වැඩ සිටිය යුතුය. බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටිය යුතුයි.

මේ ගැන අවබෝධාත්මක මනසක් තරුණ දූ පුතුන්ට තිබීම ඉතාම වැදගත් වෙනවා.

විශේෂයෙන්ම බුද්ධ ප්‍රතිමාව හරහා මහා කලාකරුවන් බිහිවනවා මහා කුල ගෝත්‍ර පවතිනවා. ඒ කලාකරුවන් සැමදා අපට අවශ්‍ය වෙනවා. ඒ සියලුම කලාකරුවන් ආධ්‍යාත්මික සංවර්ධනයකින් මේ නිර්මාණ කර තිබෙන්නේ.

ප්‍රෞඩ ඉතිහාසයකට අපට හිමිකම් කීමට හැකිවී තිබෙන්නේ මේ කලාකරුවා නිසා යැයි ආඩම්බරයෙන් සිහිකළ හැකියි.මේ අපේ චාරිත්‍ර වාරිත්‍ර සියල්ල චිරාත් කාලයක් රඳා පැවැත්මට මේ කලාකරුවාගේ නිර්මාණ දායක වුණා.

චෛත්‍යය ඇත්නම් බෝධිය ඇත්නම් බුදුන් වහන්සේ වැඩ සිටීනම් අපගේ සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර අඛණ්ඩව ඉදිරියට ගමන් කරනවා.

දස පුණ්‍ය ක්‍රියාවල දක්වා තිබෙන වත් පිළිවෙත් අපට වර්ධනය කර ගැනීමට එමඟින් අවකාශය ලැබෙනවා. ආධ්‍යාත්මික සංවර්ධනයට තුරුණු සිතට එය අත්‍යවශ්‍යයි.

මේ චාරිත්‍ර වාරිත්‍රවලින් බලාපොරොත්තු වන්නේ මොනවාද? යහගුණ වැඩීමයි. එසේ වුවහොත් පමණයි ඔබ ගෙදර බුදුන් වඳින්නේ. ගෙදර පිරිත් කියන්නේ. මවට පියාට වන්දනා කරන්නේ. එපමණක් නොවෙයි. වැදගත්ම දේ තමයි චාරිත්‍ර වාරිත්‍ර මඟින් තරුණ සිතට අපේ කලාකෘති සංස්කෘතිය රැකෙනවා. බෙර, දවුල්, තම්මැට්ටම්, නැටුම් මේ සියල්ල රැකෙන්නේ අපි එම ශිල්පීන් අපේ චාරිත්‍ර සිරිත් විරිත් සඳහා යොදා ගන්නා නිසයි.

එසේ නොමැති වුවහොත් අපේ සංස්කෘතිය අභාවයට යෑම වැළැක්විය නොහැකියි. ඇත්තෙන්ම කනගාටුවට කරුණ ඇතැම් අය මේ සංස්කෘතික සංහාරයට දායක වී තිබීමයි. එම පුද්ගලයන් තම මඩිය තර කර ගැනීමට එලොවටත් නැති මෙලොවටත් නැති නිර්මාණ කර පෙන්වනවා.

අද ඇතැම් අය නිර්මාණය කරන බුදු පිළිම දෙස බලන්න. බුදුරජාණන් වහන්සේගේ නොමැති ලක්ෂණ අඩංගු කර ඒ නිර්මාණ කර තිබෙනවා. ඇතැම් බුදුරුව කාන්තා රූප ලෙසින් නිමවනවා. මාධ්‍ය මඟින් පවා මේ සම්බන්ධව කතා කරන්නේ නැහැ. බුදු දහමට කිසිසේත් අදාළ නොවන සිතුවම් ගෙන හැර දක්වනවා. මෙමඟින් සැබෑ ශ්‍රද්ධාව සම්පූර්ණයෙන් විනාශ කෙරෙනවා. මේ නිසා තරුණ මනස සාහිත්‍යයෙන් කලාවෙන් මුළුමනින්ම ඈත් වෙනවා. තරුණ පිරිස් සියදහස් ගණන් එක් රැස් කරගෙන ඉන්නා ආයතනයකින් ඔවුන්ගේ සැබෑ නිර්මාණ එළි දක්වා නැහැ. ඔවුන්ගෙ සාහිත්‍ය කෘතියක් නිර්මාණයක් එළි දක්වා නැහැ.

ආත්මාර්ථයට යොමු කෙරෙන තරුණ සිත් ඉන් වළකා යොමු කළ යුත්තේ නිසි දැනුම සහිතව ලෝකෝත්තර මඟට සම්මා දිට්ඨිය ඇති කර ගන්නා ආකාරයටයි. එසේ නැතිවුවහොත් අපට තරුණ සිත් නිසි මඟට යොමු කළ නොහැකියි. ලෝකයට විස්මය දනවන තොරණ මහා පෙරහර සංස්කෘතින් අනාගතයටත් ආරක්ෂා කරදීමට නම් වත්මන් පරපුරට එහි නිවැරැදි දැක්ම ලබාදිය යුතු වෙනවා.

ශ්‍රී නේරු වැනි ලෝක පූජිත අය පුදුමයට පත් කළ නිර්මාණ අප සතුව තිබෙනවා. අමාවතුර, බුත්සරණ වැනි නිර්මාණ අනාගතයේදි අනෙක් පරපුරටත් දායක කළ හැකි නිර්මාණ ලෙසින් තිබිය යුතු වෙනවා.

එම නිසා තෙරුවන් නැමදීම, බුද්ධ වන්දනාව, චෛත්‍ය වන්දනාව මෙන්ම විහාරස්ථානයේදි කළ යුතු වත්පිළිවෙත් නිසි පරිදි අපේ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් සිදු කළ යුතුවනවා. අපේ සංස්කෘතියත් රැකගෙන සාරධර්ම ගොඩ නංවමින් තරුණ පරපුර මඟින් අනාගතයට ඒ සියල්ල රැක දීමට හැකි වන්නේ නිවැරැදි අයුරින් තරුණ පරපුර දැනුවත් කළහොත් පමණයි. එය ඔවුන්ගේ ලෝකෝත්තර මාර්ගයටද ඉවහල් වෙනවා.

සාකච්ඡා කෙළේ -තාරක වික්‍රමසේකර