Print this Article


කර්ම විපාක බලවේගය

කර්ම විපාක බලවේගය

පෙර සසරේ කළ පව්කම් උතුම් රහත්බව ලැබූ ආත්මභාවයේදීද විපාක දුන් කතා පුවත් ශ්‍රාවක චරිත කතාවල දක්නට ලැබේ. ඇතැම් පව්කම් ඒ ආත්මයේදීම විපාක දුන් අතර ඒවා දිට්ඨධම්මවේදනීය කර්ම වේ. චිංචිමානවිකාව,දේවදත්ත භික්ෂුව, චුන්දසූකර වැනි පිරිස් අපාගත වූයේ මෙහි අකුසල විපාක වශයෙනි. පුණ්ණ නම් දුගියාට සිටු තනතුර හිමිවූයේ මෙහි කුසල විපාක වශයෙනි. සිතින්, කයින් , වදනින් කළ පව්කම් හෝ කුසලකර්ම අනිවාර්යයෙන්ම දෙවන ආත්මභාවයේදීද ලැබෙන්නේ උපපජ්ජවේදනීය කර්ම වශයෙනි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ...
”මධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චතී
යදාච පච්චතී පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡතී”

පින්වත්නි,

අනුවණ තැනැත්තා පව්කම් මෝරා විපාක දෙනතුරු එය මී පැණි සේ සලකයි. පව්කම් මෝරා විපාක දෙන විට බෙහෙවින්ම අනුවණයා දුකට පත්වේ. අද ධර්ම දේශනාවට මාතෘකා කොට ගත්තේ ධම්මපදයේ බාලවර්ගයට අයත් දසවැනි ගාථාවය. මෙම ගාථාව බුදුන් වහන්සේ දේශනා කළේ උප්පලවණ්ණා රහත් තෙරණියට පවිටු කම් කොට අපාගත වූ නන්ද නම් තරුණයා මුල්කොට ගෙනය.

අනුවණ බාලජනයා පව්කම් කරන්නේ එහි විපාකය තමන්ට නොලැබේ යැයි සිතමිනි. විපාක දෙනතුරු ඔහුට ඒ පව්කම් මී පැණිමෙන් ඉතා රසවත්ය. නමුත් විපාකදීම පටන් ගත්විට

ඔහු අතිශයින්ම දුකට කනගාටුවට පත්වේ. මේ බුදුවදනින් ඉස්මතු වන්නේ අප කරන, කියන, හිතන දේවල් අප පසුපස පැමිණීම අනිවාර්ය බවයි. එයට අපේ කැමැත්ත හෝ අකැමැත්ත අදාළ නොවේ. ලෝකයේ ගතවන හැම මොහොතකම සිතින්, කයින්, වදනින් දුසිරිතේ යෙදෙමින් අනන්ත වූ පව්කම් එකතු කරගන්නා වූ පිරිස් අපමණ විය හැකිවේ. එය බුද්ධ කාලයේද කිසිදු අඩුවක් නැතිව සිදුවූවකි. පෙර සසරේ කළ පව්කම් උතුම් රහත්බව ලැබූ ආත්මභාවයේදීද විපාක දුන් කතා පුවත් ශ්‍රාවක චරිත කතාවල දක්නට ලැබේ. ඇතැම් පව්කම් ඒ ආත්මයේදීම විපාක දුන් අතර ඒවා දිට්ඨධම්මවේදනීය කර්ම වේ. චිංචිමානවිකාව,දේවදත්ත භික්ෂුව, චුන්දසූකර වැනි පිරිස් අපාගත වූයේ මෙහි අකුසල විපාක වශයෙනි. පුණ්ණ නම් දුගියාට සිටු තනතුර හිමිවූයේ මෙහි කුසල විපාක වශයෙනි. සිතින්, කයින් , වදනින් කළ පව්කම් හෝ කුසලකර්ම අනිවාර්යයෙන්ම දෙවන ආත්මභාවයේදීද ලැබෙන්නේ උපපජ්ජවේදනීය කර්ම වශයෙනි. පීතෘ ඝාතක අජාසත්ත රජු, සැරියුත් මහ තෙරුන්ට පහරදුන් නන්ද නම් යක්ෂයාට විපාක දුන්නේ එහි අකුසල විපාකයයි. අනුරුද්ධ මහරහතන් වහන්සේට එක් දන් හැන්දක් පූජාකොට මරණින් පසු දෙව්ලොව ඉපදුන ඉන්දක නම් දුගියා එහි කුසල විපාකය භුක්ති වින්දේය. අනිවාර්යයෙන්ම විපාක දෙන අකුසල කර්ම ගණයට මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ශරීරයේ රුධිරය සෙලවීම, සංඝභේදය, යන පඤ්ච ආනන්තරීය පාප කර්මයන් ද අයත්වේ. නිවන් දකිනාතුරු සසරේ පසුපස හඹා ආවුත් දුක් විපාක මෙන්ම සැප විපාකද ලබාදෙන කර්ම බලවේගය අපරාපරියවේදනීය නම් වේ. ශ්‍රාවක චරිතයන් සියල්ලෙහිම පාහේ දක්නට ලැබෙන්නේ මේ කර්ම බලවේගයයි. ඇතැම් කර්ම රහත් පදවියත් සමඟම අහෝසි වී ගිය බවටද තොරතුරු දහමෙහි සඳහන් වේ.අංගුලිමාල තෙරුන්ගේ කතාපුවත එවැන්නකි. ඇතැම් ශ්‍රාවකයන්ගේ රහත්බව ලැබීම හා අකුසල විපාකය යන දෙකම එකවිට සිදුවිය. චක්ඛුපාල තෙරුන්ගේ කතාව මීට හොඳම නිදසුනයි.

පෙර ඇස් වෛද්‍යවරයෙකු වී දුප්පත් ස්ති‍්‍රයකගේ ඇස් අන්ධකිරීමේ පාපයෙන් චක්ඛුපාල තෙරුන්ගේ ඇස් අන්ධ වූයේ රහත් බව ලබන විටදීමය. පෙර කුරුළු වැද්දෙකු වී කුරුල්ලන්ගේ තටු සිඳ ඇට බිඳ මරණයට පත්කිරීමේ පාපයෙන් පූතිගත්ත තිස්ස තෙරුන්ගේ ශරීරය කුණුවී දුඟඳ වහනය වූයේද අකුසලය බලවත් වූ නිසාය. එසේම බෝධිරාජකුමාරයාට හා බිරිඳට දරු සම්පත් අහිමි වූයේද පෙර සසරේදී කුරුළු බිත්තර විනාශකිරීමේ පාපය හේතුකොට ගෙනය. ඉසිදාසිය නම් සිටුදියණියගේ විවාහ ජීවිතය අසාර්ථකවූයේද ඈ පෙර සසරේදී අනුන්ගේ පවුල් ජීවිත භේදභින්න කොට කඩාදැමූ පාපයෙනි. මීට අමතරව පෙර කාශ්‍යප බුදුන් වහන්සේගේ ධාතු සෑය තමාගේ අණින් කුඩාවට සකස්කිරීමේ පාපයෙන් මිහිරි හඬින් ධර්මදේශනා කළ ලකුණ්ඨක භද්දිය තෙරුන් මිටිවූ ශරීරයකින් උපත ලැබීම හා පෙර චෛත්‍ය මළුවේ පාවහන් පැළඳ ගමන් කිරීමේ පාපයෙන් බිම්බිසාර රජු තම පුත් වූ අජාසත් කුමරුගේ දරුණුූ වද බන්ධනවලට ලක්වී යටිපතුල් පැලීමේ වේදනාවට හසුවූයේ අකුසලය බලවත් වූ නිසාය. මේ පෙර සසරේදී අකුසලය මී පැණි සේ සිතමින් කළ සත්වයන්ට විඳින්නට වූ කටුක වූ විපාකයන්ගෙන් කිහිපයක් පමණි මෙම කතාපුවත් මගින් ඉස්මතු වී පෙනෙන්නේ අප කළ කී දෑ අප පසුපස පන්න පන්නා පහර දෙන බවය. නූතන සමාජය දෙස විමසුම් නුවණින් බලනවිටද අපට සනාථ වන්නේ පෙර කළ බොහෝ දෑ අප පසුපස භේද නොසලකා හඹා එන බවය.

එසේ හඹා එන විට සිතින් , කයින්, වදනින් හොඳ දේ සිදුකොට ඇත්නම් විපාක සැපවත් වන අතර නපුුරු දේ සිදුකොට ඇත්නම් විපාකය ඉතා දුක්ඛිත වනු ඒකාන්තය. එදා උප්පලවණ්ණා රහත් තෙරණිය අපහසුවට ලක් කොට මහ බලගතු පාපකර්මයකට උරුමකම් කී නන්ද මානවකයා අදද නිරයේ දුක්විපාක විදිනු ඒකාන්තය. එනිසා අපේ පුරාතන ගැමියන් කියූ “කලකම් පල දේ” යන දූරදර්ශී කියමන බුදුදහමේ ඉගැන්වෙන මෙකී කර්ම විපාක බලවේගය නැවත නැවතත් සනාථ කිරීමකි. වීදාගම හිමියන් ලෝවැඩසඟරාවේ “ කරන කලට පව් මිහිරිය මීසේ – විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ” යනුවෙන් කීවේද ලෝකයේ විද්‍යමාන මේ සදාතනික සත්‍යතාවයයි. එබැවින් නුවණැති බොදුණුවනි, ඔබ ඒ සනාතන දහම් නුවණින් දකිමින් ගතවන මේ මොහොතේද සිතින් , කයින්, වචනයෙන් අර්ථවත් වූ දෙයක්ම කරනු මැනවි. එවිට ඔබට මෙලොව මෙන්ම පරලොව දීද ගිනිසේ දැඩිවෙන දුක්විඳින්නට සිදුනොවනු ඇත. දුක් අඳෙීනා දෙමින් නන්ද මානවකයා මෙන් ලෝදියෙහි තැවෙන නිරයන්හි ඔබ නූපදිනු ඇත.

සැමට තෙරුවන් සරණයි!