Print this Article


පූජාච පූජනීයානං

තුඹුල්ලේ ධම්මානන්ද නාහිමි

අලව්ව, ගල්වාරම ශ්‍රී ධර්මෝදය පරිවෙනාධ්‍යක්ෂක සහ විහාරාධිපති මහෝපාධ්‍යායධුරන්දර ශ්‍රී සද්ධර්ම චක්‍රවර්තී සද්ධම්ම ජෝතිකාධජ සාහිත්‍යසූරී රාජකීය පණ්ඩිත ප්‍රවීණාචාර්ය ග්‍රන්ථ විශාරද, සාහිත්‍යචාර්ය කලා භූෂණ රාජ්‍ය සම්මානලාභි අලව්ව ප්‍රාදේශීය ශාසනාරක්ෂක දකුණ බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති කුරුණෑගල දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී පරිවෙනාධිපති සංගමයේ සභාපති තුඹුල්ලේ ධම්මානන්දභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් දා 89 වැනි වියට පා තැබූහ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුඹුල්ල ගම්මානයේ ලියන පතිරන්නැහැලාගේ හේරත් බණ්ඩාර නමින් 1926 අගෝස්තු 07 වැනි දින මෙලොව එළිය දුටු මේ කුමරා මූලික අධ්‍යාපනය හුම්බුළුව බෞද්ධ මිශ්‍ර පාසලෙන් ලදහ. 1940 මැයි 17 වැනි දින අලව්ව ගල්වාරම ශ්‍රී බෝධිරුක්ඛාරාමය (වර්තමානයේ ශෛලාරාමය ශ්‍රී ධර්මෝදය පිරිවෙන) විහාරයේ දී තුඹුල්ලේ ධම්මානන්ද නමින් පැවිදි බිමට ඇතුළත්ව පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය පිරිවෙනේ දීප්තිමත් පැවිදි ශිෂ්‍යයකු ලෙස 1942 – 1950 දක්වා මූලික අධ්‍යාපනය ලබා 1947 ජූනි 23 මහනුවර අස්ගිරි ඓතිහාසික මහා විහාර උපෝසථාගාරයේ දී උපසම්පදාව ලදහ.

හොරණ විද්‍යාරත්න විද්‍යාපීඨයෙන් පෙර අපර දෙදිග භාෂා ශාස්ත්‍රය ඉගෙනීම හා ප්‍රාචීන ප්‍රාරම්භය, මධ්‍යම, අවසාන, විිභාග ඉතා ඉහළින් සමත්ව විද්‍යාලංකාර සාහිත්‍යාචාර්ය උපාධිය ලදහ. විද්‍යෝදය ශාස්ත්‍ර විශාරද පණ්ඩිත උපාධිය සමත්වූහ. රත්මලානේ පරිවේනාචාර්ය අභ්‍යාස උසස් අධ්‍යාපන ආයතනයෙන් ප්‍රවීණාචාර්ය උපාධිය ලබා ගත්හ. වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය මහ පිරිවෙනේ උපාචාර්යධූරය දැරූ අතර සඳලංකාව ශාස්ත්‍රෝදය මහ පිරිවෙනේ පරිවේනාධිපති ධූරය දරමින් තත් ආයතනය විද්‍යෝදය විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතනයක් කිරීම. අලව්ව ගල්වාරාම ශ්‍රී ධර්මෝදය පිරිවෙන අරඹා එහි වසර 15 වක් පරිවේනාධිපති ධූරය පරිවේනාධ්‍යක්ෂක තනතුර විහාරාධිපති පදවි ලදහ.

අනේක විධ කාර්යයන්ට සැලකීමක් වශයෙන් 1980 දී අස්ගිරි මහා විහාර මහා නායක ස්වාමීන්ද්‍රවරප්‍රමුඛ සානු නායක කාරක සංඝ සභාවෙන් දඹදෙණිහත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය හා 2006 මහෝපාධ්‍ය ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ. කලාභූෂණ රාජ්‍ය සම්මාන ද ලැබූහ.

නාහිමියන් විසින් රචිත ග්‍රන්ථයන් අතර විවේචන සහිත උදාන පාලි අභිනව ශාසන වංසෝ, බෞද්ධ ශතකය ධම්ම චක්ක පවත්තන සූත්‍රය, වෙස්සන්තර ජාතක මහා කාව්‍ය සිඟාලෝවාද සූත්‍රය, බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය, ථෙරිගාථා, උදාන පාලි 1 – 3 වග්ග, චුල්ල වග්ග පාලි (වක්කක්ඛන්ඛකය) සිරිත් මල්දම, මහා වප් මඟුල, පොසොන් තොරණ, සංශිප්ත අභිධර්ම විවරණය, චතුභාණාවර පාලි, පිරිවෙන් පොත් වහන්සේ යන කෘති ඒ අතර වේ.

අලව්ව ගල්වාරම ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ හිටපු පරිවේනාධිපති, පොල්ගහවෙල දෙනගමුව, ශ්‍රී බෝධිගුප්ත පිරිවෙනේ ආචාර්ය ප්‍රවීනාචාර්ය
පුවක්ගහ කොටුවේ සරණතිස්ස හිමි


පුවක්පිටියේ පඤ්ඤාරතන නාහිමි

පානදුර කෙසෙල්වත්තේ ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පුවක්පිටියේ පඤ්ඤාරතන නාහිමියන් වෙත අමරපුර අරියවංශ සිරි සද්ධම්ම යුක්තික (මාතර) නිකායේ අභිනව අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය මෙම 17 වැනි දා පැවැත්වේ.

1943 දී කුරුණෑගල මාවතගම කොස්සින්න ග්‍රාමයේ දී උපත ලද උන්වහන්සේ වයස අවුරුදු 11 දී හිඟුරක්ගොඩ හතමුන විවේකාරාමාධිපති ඇල්පිටියේ රතනපාල නාහිමියන් වෙතින් පැවිදිබව ලබා සුදුසු අධ්‍යාපනයක් ලබමින් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේ ය. 1974 දී උපසම්පදා භූමියට ඇතුළත් වූ උන්වහන්සේ පානදුරේ රන්කොත් මහා විහාරාධිපති ව වැඩ විසූ මහාචාර්ය මොරටුවේ ශාසනරතන අනුනා හිමියන්ගේ අනුදැනුම ඇතිව එම විහාරස්ථ සෞගත පිරිවෙනේ ගුරුවරයකු ලෙස කටයුතු කළහ. පසුව ජාඇල මාකේවිට විද්‍යාදීප පිරිවෙනෙහි කෙටි කලක් ඉගැන්වීම් කටයුතු සිදුකර 1976 වසරේදී අම්බලන්තොට වලවේවත්ත විදුහලේ ගුරුවරයෙකු ලෙස පත්ව පසුව පානදුරේ වෑකඩ බෞද්ධාලෝක විදුහලේ ගුරුවරයෙකු ලෙස විශ්‍රාම යනතුරු සේවය කළහ.

උන්වහන්සේ වෙතින් සිප්සතර හදාරා ගුරු සිසු විශාල පිරිසක් රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයන්හි බැබළෙති. විශිෂ්ට ගණයේ ධර්ම දේශකයෙකු වූ පඤ්ඤාරතන නාහිමියෝ ප්‍රකට ග්‍රන්ථ කතුවරයෙකු ද වේ. “සුබදුරු මැදුම් සඝී දම් දෙසුම” “ගන්ධබ්බ හා අන්තර්බව විස්තර විමර්ශන” “කර්ම විපාක ජීවිත අත්දැකීම් ඇසුරින්” “අර්හත් සංකල්පය පිළිබඳ නිකායාන්තර විස්තර විමර්ශන” යන මැයෙන් යුතු ග්‍රන්ථ රැසක් ලියා පර්යේෂණ ක්ෂේත්‍රයට දායාද කළ උන්වහන්සේ පුවත්පත් හා මාධ්‍යයන්ට ලිපි සම්පාදනය කළහ.

පානදුර ප්‍රදේශයේ පොදු ආගමික හා සමාජ සේවා වැඩ කටයුතුවලදී නිරතුරුව කැපී පෙනෙන්නා වූ නා හිමියෝ ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය, ළිං හා පොකුණු ඉදි කිරීම අඩු ආදායම්ලාභීන්ට නිවාස හා සනීපාරක්ෂක පහසුකම් සලසා දී මාහැඟි සේවාවන් ඉටු කිරීමට උත්සුක වූහ.

ස්වකීය ආධිපත්‍ය හොබවන පානදුර කෙසෙල්වත්තේ ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානය අංග සම්පූර්ණත්වයට පත්කර ඉන් නොනැවති ලුණුගම් වෙහෙර පිළිමහෙළ ශ්‍රී මහානාග විහාරය හා ලුණුගම් වෙහෙර 5 වම් ඉවුර ජනපද විහාරය ඉදිකර සඟ සතු කර දුන්හ.

කෙසෙල්වත්තේ ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ දී මෙම අගෝස්තු මස 17 වන ඉරිදා ප.ව. 3.00 ට පැවැත්වෙන පදවි ප්‍රාප්ත උත්සවයේ දී නාහිමිපාණන් වහන්සේට නිකායේ මහා නායක හිමියන් අක්ත පත්‍රය පිළිගැන්වීමද, විජිනිපත පිළිගැන්වීම අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා අතින් ද, පිරිකර පූජාව පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා අතින් ද පිළිගැන්වේ. අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඇතුළු ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක්වීමට නියමිතය.


අත්තුඩාවේ මේධානන්ද නාහිමි

සුපේශල ශික්ෂාකාමී මහ සඟ ගුණයෙන් පිරිපුන් මහ සඟරුවනගෙන් බුදු සසුනටත් රටට මෙන්ම දැයටත් සිදුවන්නේ උදාර මෙහෙවරකි. තම විහාරස්ථානයට මෙන්ම ගමටත් තමන්ගෙන් ඉටුවිය යුතු මෙහෙවර බොදු සිත් දිනාගෙන ඉටු කරන ගඟබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක, කඹුරුපිටිය ඉහළවිටියල අරඹේගොඩ පබ්බතාරාම පුරාණ මහා විහාරාධිපති අත්තුඩාවේ මේධානන්ද නාහිමියෝ මෙම අගෝස්තු මස 17 වෙනි දින සිය ජීවිතයේ අනූවිය සපුරති.

දකුණුලක නිල්වලා ගඟබඩ අත්තුඩාව ගම්පියසේ රාජපක්ෂ ගුණසේකර පරපුරේ කොරනේලිස් ගුණසේකර සිසිලියානා වික්‍රමසිංහ දෙපොළගේ පුත් ඒබ්‍රහම් ගුණසේකර කුඩා අවධියේ සිටම සිය මෑණියන් සමඟ අරඹේගොඩ විහාරස්ථානයට යාමට පුරුද්දක් කරගෙන තිබුණි. විහාරස්ථානය පි‍්‍රය මනාප සොඳුරු තැනක් කරගත් ඔහු “මාත් මහණ කරවන්නැයි” සිය මවගේ දෙපා නැමඳ කළ ඉල්ලීමේ ප්‍රතිඵලය වූයේ එවකට විහාරාධිපති අතුරලියේ චන්ද්‍රජෝති ලොකු හාමුදුරුවන්ට ඔහු බාර දීමය.

12 හැවිරිදි වියට පත්වෙනතුරු අරඹේගොඩ පබ්බතාරාමයේ නේවාසිකව පතපොත උගත් මෙම ශිෂ්‍යයා මහණ කිරීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු 1938 දී ඉහළවිටියල සබරලේ ශ්‍රී නිවාසාරාමයේ පැවති කඨින මහා පුණ්‍යෝත්සවයේ දී අතුරලියේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා එතුමන්ගේ ආචාර්යන්වහන්සේලා වන උයන්වත්තේ ගුණරතන, මාලිම්බඩ ඛේමානන්ද නාහිමිවරුන්ගේ ප්‍රාචාර්යත්වයෙන් අත්තුඩාවේ මේධානන්ද නමින් පැවිදි දිවියට පත්වුණි.

මේධානන්ද හිමියන් මාතර සුදර්ශි පිරිවෙන හා කැලණිය පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනෙන් පාලි, සංස්කෘත, සිංහල යන පෙරදිග භාෂා හදාරා අවසාන විභාගය දක්වා ඉගෙනුම ලබා විනයාචාර්ය විභාගයෙන් ද සමත් වූයේ සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමිනි.

සෙංකඩගල ශ්‍රී පුෂ්පාරාම උපෝසථාගාර සීමා මාලකයේ දී 1947.06.11 වෙනි දින උපසම්පදාව ලැබූහ. එතැන් සිට ඉහළවිටියල අරඹේගොඩ පබ්බතාරාම පුරාණ විහාරයේ වැඩ වෙසෙමින් විහාරාධිපති අතුරලියේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ ජාතික, ආගමික සාමාජික වැඩවලට අතහිත දෙමින් මුළු ප්‍රදේශයේම ගිහි පැවිදි සියලු දෙනාගේ ප්‍රසාදයටත් ගෞරවයටත් පාත්‍ර වූයේ විහාරස්ථානයත් ගමත් දියුණු කිරීමට මේධානන්ද හිමියන් කැපවූ බැවිනි.

1986 ඔක්තෝබර් මස 16 වෙනි දින චන්ද්‍රජෝති නාහිමියන් අපවත්වීමෙන් පසු 1986 ඔක්තෝබර් මස 26 වෙනි දින විහාරාධිපති පදවියට පත් අත්තුඩාවේ මේධානන්ද හිමියන් බුදුසසුනට මෙන්ම බෞද්ධ ජනතාවට ඉටුකළ මෙහෙවර අමිලය.

විහාරස්ථානයේ පුණ්‍යවර්ධන දහම්පාසල ආරම්භ කළ අත්තුඩාවෙ හාමුදුරුවෝ යන ආදරණීය ඇමතුමෙන් හඳුන්වන මේ හිමියෝ අරඹේගොඩ පබ්බතාරාමයේ සංඝාවාසය, දාන ශාලාව බෝධි ප්‍රාකාරය ළිං පැන්පොකුණු පමණක් නොව විහාරස්ථානයට පහසුවෙන් ගමන් කළ හැකි පාරක් කැපීමට පවා වෙහෙසුනේ දායක කාරකාදීන්ගේ සහයෝගය නොඅඩුව ලබා ගනිමිනි.

අත්තුඩාවේ මේධානන්ද නාහිමියන්ගේ සහෝදර හා ශිෂ්‍ය යතිවරයින්ගෙන් සැලසෙන්නේ උදාර සසුන් මෙහෙවරකි.

කැස්බෑව, උන්දුරුගොඩ, විජයනන්දාරාමාධිපති අත්තුඩාවේ නන්දසිරි, වර්තමාන අරඹේගොඩ පබ්බතාරාම කෘත්‍යාධිකාරී, කඹුරුපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, අතුරලියේ ඉන්ද්‍රජෝති කහතුඩුව සම්බුද්ධාලෝක විහාරාධිපති ශාස්ත්‍රවේදී විටියල ඉන්ද්‍රසිරි, කිරම චන්දරතන, ඌරාපොල ශ්‍රී රතනජෝති පිරිවෙනේ පිරිවෙන්පති ශාස්ත්‍රපති විටියල ඉන්දරතන, යන හිමිවරු රට දැය සමය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කරනුයේ අත්තුඩාවේ මේධානන්ද නාහිමියන්ගේ ගමන් මග අනුව යමිනි.

අනූවිය සපුරන, අත්තුඩාවේ මේධානන්ද නාහිමියන්ට දිගාසිරි පැතීමේ මහා පුණ්‍යෙීත්සව මාලාවක් අගෝස්තු මස 10 වෙනි දින සිට 19 වෙනි දින දක්වා අරඹේගොඩ පබ්බතාරාමයේ සිදු කෙරෙන අතර 18 වෙනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවකි. 19 වෙනි දින භික්ෂූන් වහන්සේලා 90 නමක් උදෙසා සපිරිකර මහා සංඝගත දක්ෂිණාවකි.


ගැටමාන්නේ හේමාලෝක නා හිමි

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනාධිපති, කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය ශාසන කීර්ති ශ්‍රී සාරානන්ද සරණපාල ගැටමාන්නේ හේමාලෝකාභිධාන කොළඹ සල්පිටි කෝරළයෙහි අධිකරණ සංඝනායක මාහිමියන් වහන්සේ 69වැනි වියට පා තැබූහ.

1943 නිකිණි 11වන දින ගිරුවාපත්තුවෙහි හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණ ගැටමාන්න ග්‍රාමයෙහි නාපැලේ ළඟ ගෙදර නමින් ගම්මුන් ව්‍යවහාර කළ නිවසේ දී එඩ්වින් රත්නායක, එච්.ලියනපතිරණ යන යුවතිපතීන්ට දාව උපන් මේ කුමරුවාගේ මුල්නම වූයේ ඇන්ඩ්‍රියස් රත්නායක යන්නයි. ආගමට දහමට දැක්වූ ලැදිකම නිසාම ඔහුට ගමේ පන්සල ඉතා හුරු පුරුදු වූත් සිත්ගත් තැනක්ම විය. එනිසාම එවකට ගැටමාන්න පන්සලේ විහාරාධිපතිව වැඩ සිටි ගැටමාන්නේ සරණපාල නාහිමියන්ගේ ද සිත් ගත් දරුවෙකු විය. මේ සියල්ලෙහි අවසාන ඵලය වන්නේ 1958 ඔක්තෝබර් 17වන දින ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි දිවියට ඇතුළු වීමයි.

හේමාලෝක සාමණේරයන් වහන්සේ පැවිදි අධ්‍යාපනය හුණුපිටිය ශ්‍රී ඥානේශ්වර පිරිවෙනින් ලැබූ අතර 1963 දී මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

උන්වහන්සේගේ ද්විතීක අධ්‍යාපන තක්ෂිලාව වන්නේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයයි. ලක්දිව පතළ නම් ඇති දේශපාලඥයන්, ප්‍රකට විද්වතුන් රැසකගේ සමකාලීනයෙකු ලෙස අධ්‍යාපන කටයුතු කළ හේමාලෝක හිමියෝ ශිෂ්‍ය අවධියේ සිටම ප්‍රගතිශීලී අදහස් දැරූ අයෙක් විය. අධ්‍යාපන දිවිය තුළ භික්ෂු දිවියට අවශ්‍ය බණ දහම් පමණක් නොව බාහිර විෂය පථයන් වෙත ද සිය අවධානය යොමු කළ උන්වහන්සේ ඒ අනුව කොළඹ නීති පීඨයේ බාහිර ශිෂ්‍යයෙකු ලෙස පෙනී සිටිමින් එහි ප්‍රථම විභාගය සමත් විය.