Print this Article


දරුවන් ශික්ෂණය කළ යුත්තේ කෙසේද? නිවසක පරිසරය දරුවාගේ ඉදිරිගමනට හරිම වැදගත්

දරුවන් ශික්ෂණය කළ යුත්තේ කෙසේද?

නිවසක පරිසරය දරුවාගේ ඉදිරිගමනට හරිම වැදගත්

මෙම ලිපියෙහි මුල් කොටස නිකිණි පුර පසලොස්වක පෝදා පත්‍රයෙහි පළවිය.

පරිසරය නමැති කාරණාව නිසා වේගයෙන් උකහාගන්න ප්‍රමාණ යේ ප්‍රතිශතය අවුරුදු දොළහට අඩු ළමුන් තුළ වැඩි අගයක් ගනී. එම පරිසරයට අනුගත වෙමිනුයි දරුවා වර්ධනය වන්නේ. ව්‍යාපාරික පරිසරයක කුඩා කළ සිටම ජීවත් වූ දරුවකු බොහෝ අවස්ථාවලදී ව්‍යාපාරිකයෙකු වීමේ සම්භාවිතාව වැඩියි. දේශපාලන පරිසරයක් තිබෙන දරුවකු තුළ දේශපාලනිකව සිතීමට පෙළඹවීමට වැඩියි. මත්ද්‍රව්‍යවලට හුරුපුරුදු වුණ පරිසරයක හැදෙන වැඩෙන දරුවා එම මත්ද්‍ර්‍යව පරිසරයේ හැදෙනවා වැඩෙනවා වෙන්න පු‍්‍රළුවන් අධ්‍යාපනික පරිසරයත් තිබෙන නිවෙසක දරුවන් ඉතාමත්ම හොදින් අධ්‍යාපනය ලබනවා වෙන්න පුළුවන්. දෙමාපියන් ගුරුවරුන් යුවළක් නම්, ඔවුන් පරිසරය ශාස්ත්‍රීය නිසාම දරුවන්ද ශාස්ත්‍රිය පැත්තට යොමුවීමේ සම්භාවිතාව වැඩියි. නිවස පරිසරය දරුවාගේ ඉදිරි ගමනට හරිම වැදගත්.

රාත්‍රිය ආයෝජන කාලයත්.කුස්සිය සහ සාලය ආයෝජන ප්‍රවර්ධන කලාපයන් දෙකම ශික්ෂණය යන ප්‍රභේදයට අයත්වනවා. දෙමව්පියන් රාත්‍රිය එළඹෙන විට හැසිරෙන ආකාරය දරුවන්ගේ අනාගතයට හරිම වැදගත්. අම්ම රාත්‍රියට පොත්පත් පත්තර කියවනවා නම්, ලියනවා නම් තාත්තත් ඒ ආකාරයෙන් පොත් පත්තරවල ගැවසෙනවා නම්, දරුවනුත් අනිවාර්යයෙන්ම ඒ පැත්තට නැඹුරුවෙනවා.දරුවන්ට ප්‍රහේළිකා කියලා දෙනවා නම්, කතන්දර , කවි, කියලා දෙනවා නම්, දරුවාගේ රසවින්දන ශක්තියයි. කියවීමේ හැකියාවයි. සවන්දීමේ හැකියාවයි, බුද්ධියයි වැඩෙනවා , සෑම රාත්‍රියකටම පුංචි ප්‍රහේළිකාවක් කළ හැකි නම්, පොඩි තේරවිල්ලක් කියාදෙන්න. දරුවන්ගේ රස වින්දන ශක්තිය, සාහිත්‍යමය හැකියාව යන වෙනත් වෙනත් ප්‍රවර්ධනීය හැකියාවන් වර්ධනය වෙනවා. මේ කාලය තුළ දෙමව්පියන් රූපවාහිනිය ඉදිරිපිට කාලය කෑමට පුරුදු වුවහොත් දරුවන් බලහත්කාරයෙන්වත් පාඩම් කිරීමට යොමු කළ නොහැක. දරුවන් උදෙසා පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහා අම්මා සහ තාත්තා දැවැන්ත පරිත්‍යාගයක් කළ යුතුයි. තමන් ළග තිබෙන ආසාවන් ඇබ්බැහිවීම් පාලනය කර ගත යුතුයි. පර්යේෂණ තොරතුරුවලට අනුව ලංකා සමාජයේ රූපවාහිනිය සඳහා වැඩිපුරම ඇබ්බැහිවී සිටින්නේ තරුණ කාන්තාවන්. අක්කා රූපවාහිනියට ඇබ්බැහි වී ඇත්නම්,, නංගිත් එයට අනුගත වීම නිසාම අධ්‍යාපනික පරිසරය ගිලිහීයාමට ඉඩකඩ වැඩියි. රාත්‍රිය බෝවන විටම පළමුවෙන්ම බුදුන් වැඳීම කළා. දෙවන පියවර පවුලේ සියලු දෙනාම එක්කාසු වී රාත්‍රි ආහාර ගැනීම කළා. තුන්වන පියවර වශයෙන් පොත්පත්වල වැඩ කටයුතු කිරීම යන හැඟීම මීට දසක හතරකට පහකට පෙර බොහෝ ගැමි ගෙවල් තුළ තිබුණා. විශේෂයෙන්ම යාපනය වැනි ප්‍රදේශවල අදටත් පවතින හැඟීම රාති‍්‍රය එළඹෙන්නෙම පාඩම් කිරීම සඳහා යන්නයි. රාත්‍රිය එළඹෙන්නේ කවි කියන්න , කතන්දර අහන්න, පොත්පත් බලන්න කියන හැඟීම, වර්තමාන දෙමව්පියන් කෙතරම් වෙනස් කරගෙන තිබේද යන්න රාත්‍රිය එළඹෙන්නේ විනෝද වෙන්න යනුවෙන් අදහස් කරනු ලබයි. ආයෝජන ප්‍රවර්ධන කාලය ආයෝජන ප්‍රවර්ධන කලාපය යන දෙකම දරුවාගේ මනසින් ඉවත් වෙනවා. එනිසා ශික්ෂණය ලබන්නේ හැන්දෑවරුවේ නම්,අධ්‍යාපනය ලබන්නේ උදය කාලය තුළයි. දත්ත ඥානය පමණක් ලබාදීම පමණක් අධ්‍යාපනය කියල සිතීම ඉතාම වැරැදි අදහසක්. ළමයින්ට කෑම බීම ලබාදීමත්, පාසල් යවන එකත් පමණක් දෙමව්පියන් සතු කාර්යභාරය ලෙස සිතාගෙන සිටීම ශෝචනීය තත්ත්වයකි. මීට අවුරුදු පනහකට හැටකට පෙර ලංකාවේ එක පවුලක දරුවන් අට දෙනෙකු දහ දෙනෙකු සිටියා. වර්තමානය තුළ තරම් ලොකු ආදායම් තත්ත්වයක් නොතිබුණත් හොඳට කන බොන තත්ත්වයත් තිබුණා. එයට අමතරව අධ්‍යාපනයට, ගොවිතැනට ශරීර ශක්තියෙන් වැඩ කිරීමට යොමු කළා.

අදට ගැලපෙන ජනපි‍්‍රය පාසලක් අදට ගැලපෙන විෂය නිර්දේශයක් උගැන්වීමට යාම නිසා අදට ගැලපෙන අධ්‍යාපනය ඔවුන් වැඩිමහල් වන විට අනාගතයට ගැලපෙන තත්ත්වයක් නැහැ. පාසල්වල ගුරුවරුන්ගේ තත්ත්වය පිළිබදව සෑහීමකට පත්විය හැකිවුවද වර්තමාන දෙමව්පියන්ගේ භූමිකාව හෙවත් කාර්යභාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය.

දරුවන්ට ආහාර සඳහා පුරුදු කරවිමේදී ද ශීක්ෂණයක් ලැබිය යුතු ය. මොනවාද පුතේ වැඩිපුරම කන්න කැමැති පලතුර, කියා විමසූ විට ඇපල්, දොඩම්, මිදී යන පලතුරු දරුවන් කැමැති බවට ප්‍රකාශ කරනු ලබයි. එම පලතුරු, දෙමාපියන් විසින් දරුවන්ට පුරුදු කරනු ලැබ තිබෙනවා දරුවන් විසින් පුරුදු වූ ඒවා නොවේ. මාළු පාන්, එළවලු පාන්, රෝස් පාන්, තැටි පාන්, පැටිස්, බනිස් වර්ග, නූඩ්ල්ස් ආදී පාන්පිටි ආශි‍්‍රත ආහාර උදේ ආහාරය සඳහා පුරුදු කරනු ලැබ තිබේ.දරුවන්ට කව්පිවලට, මුං ඇටවලට, කඩවලට, හුරුකරවීම කුඩා අවධියේ කළ යුත්තකි.

උදේ පාන්දර නැඟිටල කොළකැඳ බීපු සංස්කෘතියක් තිබුණ රටක්, පාන්දර තැටිවල ලුණු කැඳ බීමට පුරුදු වෙලා හිටිය රටක්. එම කොළකැඳ, ලුණුකැඳ බොමින් කොස් පොළොස් කාපු ජනතාව තමයි අහස සිඹින දාගැබ්ද සයුර පරයන වැව්ද තනනු ලැබුවේ. විවිධ පිටි කිරි වර්ග බොන අපි එම වැව රැකගැනීමටවත් නොහැකි ව තිබෙනවා. එම පරම්පරාව කළ වැඩ කොටස පාසල් යන පරම්පරාවට කරගත නොහැකිය. වර්තමානයේ ජනගහණය වැඩිවුවත් ඇතැම් විට එම වැඩි ජනගහනයට අඩු ජනගහණයක් කළ කී දේ පාලනය කරගැනීමටත් නොහැක. අපේ ආදි මුතුන් මිත්තන් වූ පැරැන්නන් විසින් විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලද අයවලුන් වුවත් විධිමත් ආහාර වේලක් පරිභෝජන කළ පිරිසක් වුණා. එනිසා නූතන මව සහ පියා දැනගත යුතුයි. අප වටපිටේ හරිත වනාන්තරයක් තියෙන වාසනාවන්ත ජාතියකි. ලෝකයේ බහුතර රටවල් අතරින් බහුතර රටකට ඒ වාසනාව අහිමියි. මේ රටේ තියෙන පෝෂණීය ආහාර විශේෂයන් උදයට පානයක් වශයෙන් බීමට හුරුවන එක කිරි පිටි බොනවාට වඩා ගුණසම්පන්නද යන්න කිහිප අවස්ථාවක් සිතිය යුතුයි.

අම්මාගේ කිරිවලට පුරුදුවුණ දරුවා මව්කිරිවලින් මුදාගැනීමටත් අපහසුයි. උදේ පාන්දර නැඟිටිමින් කුඩාකල සිටම කිරිපිටි වලට පුරුදු කළ දරුවාද සමහර විට ජීවිත කාලයෙන්ම කිරිපිටිවලින් මුදාගත නොහැකි විය කැඳ සඳහා පුරුදු වුණාද දරුවන් ජීවිත කාලය පුරාම කැඳවලින් වළකා ගැනීමත් අපහසුයි. මේ ආකාරයට පෝෂණය ඉතිරිවන්නේ කුමන ආහාරයකින් ද යන්න තෝරා බේරා ගැනීම දෙමව්පියන් සතු වගකීමක්. වර්තමානය වන විට මෙනේරි යන්න මොනවාද යන්න දැක නැති පරම්පරාවක් ඉන්නවා. තල දකින්නේ තල ගුලිවලිනි. රටක් වශයෙන් ජාතියක් වශයෙන් ඉදිරියට යන පිරිසකට ශික්ෂණය ලබාදීම කෙතරම් වැදගත්ද. ඒ නිසා දරුවන්ට ආහාර පද්ධතියෙන් ශික්ෂණය ලබාදීම, පරිසරයක් වශයෙන් ගෙදර නිවසෙහි පරිසරය අධ්‍යාපනික පරිසයක් කිරීම ඉතාම වැදගත්. මෙම කාර්යයන් දෙක සඳහාම දෙමව්පියන්ගේ වගකීම අනිවාර්යෙන්ම තිබිය යුතුයි.

“බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති වුච්චරේ”

අම්මා, තාත්තා දෙන්නම බ්‍රහ්ම ලෙසද පූර්වාචාර්යවරුන් ලෙසද කියනවා. ඒ පූර්වාචාර්යවරුන් වෙන්නේ බ්‍රහ්මවරුන් වෙන්නේ මේ ආකාරයෙන් දරුවන් ශික්ෂණය කළොත් පමණයි. මේ කාරණා තේරුම් ගත හොත් මේ රටේ ආදරණීය දෙමව්පියනුත්, ආදරණීය දරුවනුත් ජීවිතයම වෙනස් කළ හැකියි. එනිසා බුදුපියාණන් වහන්සේගේ මෙම වාක්‍යයට සාධාරණය ඉෂ්ට කරන්න නම්, පූර්වාචාර්යවරුන් ලෙස තමන්ගේ වගකීම නිසි ආකාරයෙන් ඉටුකිරීමට පූර්වාචාර්යවරුන් ලෙස හඳුන්වනු ලැබීම බුදුපියාණන් වහන්සේගේ සමස්ත අධ්‍යාපන සංකල්පය හුවා දක්වන කැඩපතක් තරම්ම විශාලයි. මෙම පූර්වාචාර්ය සංකල්පය ඒ තරම්ව වැදගත්.

හේමමාලා රන්දුනු